Print this Article


අරහන්ත ධාතූන් වහන්සේ සහ පසේබුදුවරුන්ගේ ධාතූන් වහන්සේ

අරහන්ත ධාතූන් වහන්සේ සහ පසේබුදුවරුන්ගේ ධාතූන් වහන්සේ

මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ උතුම් ධාතූන් වහන්සේ ස්තූප කොට මහා හරසරින් වන්දනා පුද සත්කාර කළ අයුරු අප මීට පෙර ඉගෙන ගත්තේය. අද එහි තව කොටසක මෙසේ පළ වේ.

රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ විශාල ප්‍රමාණයක් ඉතිරි නොවේ. දේශනාවේ තිබෙන්නේ පෙරහන් කඩයට ගතහැකි ප්‍රමාණයක් ලෙසිනි. සාරිපුත්ත, මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේගේ දළදා වහන්සේ , ආනන්ද මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන් වහන්සේ මෙන්ම මහා ශ්‍රාවකයන් පස්වග මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේත් විටින් විට අපට වන්දනා කරන්න අවස්ථාව ලැබී තිබේ. සීවලි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ වන්දනා කරන්න ආශා කරන්නේ ප්‍රත්‍යය ලැබෙන නිසායි. කෙසේ නමුත් උතුම් ධාතූන් වහන්සේ තුළ නම් එදා ඒ උතුම් මුනිවරුන් තුළ තිබුණ ආනූභාවය අදටත් තිබෙන බව මනාව පසක් වේ. රහතන් වහන්සේ පිරිනිවන් වැඩි පසු ඉතිරිවන ධාතූන් වහන්සේ නිධන් කොට ස්තූප තනන ලදී. අදටත් ඉන්දියාවේ දඹදිව වන්දනාවේ යන අය දකිනවා ඇති ඒ සිද්ධස්ථානවල පුංචි පුංචි ස්ථූප. ඒවා බොහෝවිට අරහත් ස්තූප යැයි බොහෝ දෙනා සලකයි.

ධර්මාශෝක රජ සමයේ අරහත් ධාතු වන්දනාව

අජාසත්ත මහරජ අසූමහා ශ්‍රාවකයන් වෙනුවෙන් ස්තූප අසූවක් තැනූ බව මහා ධාතු නිධාන කතාවේ මීට පෙර ඔබ ඉගෙන ගන්නා ලදී. ගරා වැටුණු ස්තූප ධර්මාශෝක රජ සමයේ නැවත පිළිසකර කළේය. බක්කුල මහරහතන් වහන්සේගේ නිහඬ ජීවිතය පිළිබඳව එතරම් සතුටු නොවූ මහරජු උන්වහන්සේගේ ධාතු සෑයට තුට්ටුවක් පූජා කළ විට එය නැවත කැරකී රජු ළඟට ආ විස්තරයක් මීට පෙර ඔබ දන්නවා ඇති. විශ්මයට පත් මහරජු අන් ස්තූපවලට මෙන් ලක්ෂයක් කහවනු පූජා කළේය. මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු තුන්වැනි ධර්ම සංඟායනාවට සහභාගි වූ රහතන් වහන්සේගේ ධාතු තැන්පත් ස්තූප තිබේ. තව ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ වෙනුවෙන් ස්තූපයක්ද ඉදි කළේය. ආනන්ද, ස්තූපය විශාලා මහනුවර ධාතු තැන්පත් කළේ අශෝක අධිරාජයා විසිනි. මහරහතන් වහන්සේලාගේ උතුම් ධාතුන් වහන්සේ වෙනුවෙන් උපරිම ගෞරවය ලැබීමට ධර්මාශෝක රජු විශාල ලෙස කටයුතු කර තිබේ.

මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ

මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් වැඩිය පසු ඉතිරි වූ ධාතුන් වහන්සේ මිහින්තලාවෙත්, රජගල ආදී ප්‍රදේශවලත් තැන්පත් වූ බව පොතපතේ සඳහන් වේ. ඉත්ථිය, උත්ථිය ආදී රහතන් වහන්සේගේ ධාතු ස්තූපත් ගොඩනැඟී තිබේ. නමුත් අපේ වාසනාවකට මිහින්තලාවේ මිහිඳු සෑය කැණීමෙන් ලැබුණු මිහ¼ිදු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේත් භෂ්මාවශේෂත් අද මිහින්තලා නව ධාතු මන්දිරයේ තැන්පත්ව තිබේ. එය විශාල පුණ්‍ය වාසනාවකි. අප කාටවුවත් වන්දනා කර ගැනීමට පුළුවන් ආකාරයට ඒ ධාතුන් වහන්සේ තැන්පත් කර ඇත. නීලගිරි මහා සෑයෙන් ලැබුණ ධාතුන් වහන්සේ අතරත් මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ ඇතැයි විශ්වාසයක් පවතී.

සංඝමිත්තා රහත් තෙරණියගේ ධාතුන් වහන්සේ

මහා ප්‍රජාපති මහරහත් තෙරණිය වෙනුවෙන් කළ ධාතු ස්තූපයේ නටබුන් දඹදිව සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ ගන්ධකුටිය සමීපයේ අදටත් දක්නට තිබේ. දෛවෝපගත ධර්මයක් නිසාදෝ රහත් තෙරණිවරුන්ගේ ධාතු ස්තූප අප්‍රකටයි. ධාතුන් නො මැතිව නොවේ. අපත් කඩුවෙල උඩුපිල අනගාරිකා අසපුවේ යසෝධරා රහත් තෙරණියගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට යසෝධරා සෑය ඉඳි කළේය. සංඝමිත්තා මහා රහත් තෙරණින් වහන්සේගේ ධාතූ ස්තූපය ථූපාරාමය සමීපයේ තිබේ. අදටත් වන්දනා කරන්න පුළුවනි. හෙළවැසි කාන්තාවන්ට විමුක්තිය දුන්නේ ඒ උත්තමාවිය යි. එනිසා කාන්තාවන් විශේෂයෙන්ම ඒ උතුම් සෑ රජුන්ට උපහාර කරන එක සද්පුරුෂ ක්‍රියාවකි. ඒ හැර රහත් භික්ෂුණින්ගේ ස්තූප අප්‍රකටයි.

ඛුද්දක තිස්ස නොහොත් ඛුජ්ජතිස්ස මහා සෑය

මෙය නම් අප්‍රකට කාරණාවක්. ධර්මාශෝක නරේන්ද්‍රයා මරණයෙන් පසු ලංකාවේ ඉපදුණි. ඛුද්දක තිස්ස නමින් ඉපදී තරුණ වයසේ දී පැවිදිව අරහත්ව වනවාසීව හුදකලාවේ වාසය කළේය. උන්වහන්සේගේ විස්තර “ඉතා පැරණි සිංහල බණකතා” සහස්ස වත්ථුවේ තිබේ. අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහා නා හිමිපාණන් විසින් එම පොත පරිවර්තනය කොට තිබේ. ලංකාවේ රහතන් වහන්සේ හා ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන් ගැන එහි විශේෂ කොට විස්තර වේ. ඒ වගේම රසවාහිනිය පැරණි පොතක්. ඒ පොතේද විස්තර තිබේ. ඉතින් ඛුද්දකතිස්ස නොහොත් ඛුජ්ජතිස්ස මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත්ව තිබෙන්නේ රුවන්මැලි මහා සෑයත් ජේතවන සෑයත් අතර තිබෙන ශෛල ස්තූපයේ. අද කාගෙත් අවධානයෙන් බැහැරව හුදකලාවේ ඒ ස්තූපය තිබේ. දඹදිව ගිය කෙනෙක් ඒ වගේම අශෝක රජුන්ගේ නිරවුල් ජීවන චරිතය හා ශාසන සේවාව දන්නා අයෙක් ඒ සෑයට නම් අනිවාර්යෙන් වන්දනා කරාවි. එය අරහන්තක ධාතුන් වහන්සේ තැන්පත් සෑයකි.

හෙළවැසි මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ

මිහිඳු මහරහතන් වහන්සේ ආරම්භ කළ අරිට්ඨ මහරහතන් වහන්සේගේ පටන් පැවතෙන මහරහතන් වහන්සේගේ ධාතු ස්තූප ලංකාවේ තිබේ. නමුත් එය බොහෝ දෙනා නොදනී. බොහෝ ධාතු ස්තූප අසද්පුරුෂයන් විසින් විනාශ කොට ඇත. ඒ වගේම කාලිංගමාඝ , සොලී ආක්‍රමණ, විවිධ ආක්‍රමණ මේ විනාශයට තවත් හේතුවකි. මලියදේව මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ විවිධ ස්ථානවල වැඩ සිටී. චිත්තගුත්ත මහරහතන් වහන්සේ ධම්මදින්න මහරහතන් වහන්සේ, මහානාග මහරහතන් වහන්සේ ආදී ප්‍රකට සමහර රහතන් වහන්සේ වැඩසිටිය මේ හෙළවැසි අරහන්ත ධාතුන් වහන්සේ යම් ප්‍රමාණයක් නන් දෙස වැඩ සිටී. නමුත් නම් වශයෙන් හඳුනා ගත නොහැකියි.

පසේ බුදුවරුන්ගේ සහ සක්විති රජවරුන්ගේ ධාතුන් වහන්සේ

චීන සංචාරක භික්ෂුවක් වූ ප්‍රකට නම් ඇති ෂා හියන් හා හියුං සියෑං භික්ෂූන් වහන්සේලා දඹදිව සැරිසරන විට පසේ බුදුවරුන්ගේත් සක්විති රජවරුන්ගේත් ධාතූන් වහන්සේලා හා ස්තූප දුටු බව ඒ දේශාටන වාර්තාවල තිබේ. නමුත් අද ඒ ගැන කිසිදු විස්තරයක් හමු නොවේ. අපට මතක හැටියට කපිලවස්තු මාලිගා නටබුන් තිබෙන ප්‍රදේශයේ පසේබුදු සෑයක විස්තරයක් තිබුණි. නමුත් ඒ ස්තූප කවුරුත් නොදනී. පසේබුදුවරු පහළ වන්නේ සම්මා සම්බුදුවරු පහළවන කාලවල නොවේ. එනිසා සමහර විට සම්බුද්ධ ශාසනයක් පවතින කාලවලදී ඒ විස්තර අප්‍රකට විය හැකියි. ඉසිගිලි පර්වතයේ මුදුනෙත් ස්තූපයක් තිබේ. නමුත් විස්තර නැත. කෙසේ නමුත් පසේ බුදුවරුන්ගේ හෝ සක්විති රජවරුන්ගේ ධාතුන් වහන්සේ අප දැක නැත.

බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ සම්බුද්ධ වර්ගයෙක් මෙසේ වදාළ සේක.

පූජාරහේ පූජයතෝ
බුද්ධේ යදි ව සාවකේ
ප පඤ්ච සමතික්කන්තේ
තිණ්ණසෝකපරිද්දවේ

පිරිනිවන් වැඩි , බිය තැති ගැනීම් නැති, කෙලෙස් පැටලැවිලි ඉක්මවා ගිය, ශෝක වැළපීම් වලින් එතෙර වූ බුදුරජාණන් වහන්සේට හෝ බුද්ධ ශ්‍රාවකයන්ට හෝ එබඳු පූජනීය උතුමන්ට යමෙක් පූජා සත්කාර වැඳුම් පිදුම් කරනවානම් ඔහුට රැස්වන පින මෙපමණයි කියා මැන කියන්නට පුළුවන් කමක් නැත.

තේ තාදිසේ පූජයතෝ
නිබ්බුතේ අකුතෝභයේ
න සක්කා පුඤ්ඤං සංඛාතුං
ඉමෙත්තමපි කේනචීති

කිසි ලෙසකිනුත් බිය තැති ගැනීම් නැති නිවුණු සිත් ඇති එබඳු උතුමන්ට පූජා සත්කාර කරන පුද්ගලයාගේ ඒ පින මෙපමණයි කියා මැන කියන්නට පුළුවන්කමක් නැත.

ඒ අනුව බලනවිට සම්බුදු ගුණ දන්නා අරහත් ගුණ දන්නා කෙනෙකුට ධාතුන් වහන්සේ වන්දනාවෙන් කෙතරම් පිනක් රැස්වෙනවා ද


පසුගිය සතියෙන්:- අසිරිමත් ධාතු පුරාණය 25 කොටස : නිකෙලෙස් මුනිවරුන්ගේ අරහන්ත ධාතූන් වහන්සේ