Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය

පරිසරය දූෂණය නොකිරීමත් පිරිසුදුකම ආරක්ෂා කරගැනීමත් පමණක් නොව පරිසරය අලංකාර කිරීම හා වැඩි දියුණු කිරීමත් යන බුදුසමය අවධාරණය සූත්‍රාගත දේශනා මගින් පැහැදිලි කරන්න.

පිළිතුර

වර්ෂාව හා ජලය මිනිසාට ප්‍රයෝජනවත් අයුරු “දේවතා සංයුත්තයේ” පජ්ජෝත සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙයි.

වුට්ඨිං අලසං අනලසඤ්මාතා
මාතා පුත්තාද පොසති
වුට්ඨිං භුතුප ජීවන්ති යෙපාණා
පඨවිං සිතාති (ස.නි.පජ්ජොති සූත්‍ර)

“වැස්ස අලස – අනලස දෙදෙනාම මව දරුවකු පෝෂණය කරන දයාවෙන් පෝෂණය කරයි. පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙත්නම් වැස්ස නිසා ජීවත් වෙති. ජලය දූෂණය කිරීම බලවත් වරදකි. ජලයෙහි මළ මුත්‍ර පහ කිරීම, කෙළ ගැසීම භික්ෂුවට දුක්කටාපත්තියකි.

යො අනාදරියං පටිච්ච උදකෙ අගිලානො උච්චාරං වා පස්සාවංවා ඛෙලං වා කරොති. ආපත්ති දුක්කටස්ස”

(පාචිත්තිය පාලි)

ජලය පානීය ජලය සහ පරිභෝජනීය ජලය කොටස් දෙකකට වෙන්කොට දක්වා ජලය අපිරිසුදු නොකොට පරිභෝජනය කළ යුතු බව අනුදැන වදාළහ.

ප්‍රශ්නය

පරිසරය පිළිබඳ වන බුදුසමය අවධාරිත දේශනා වර්තමානිකයනට බෙහෙවින් ප්‍රායෝගිකය. බෞද්ධ අධ්‍යයනයෙහි දී විශේෂයෙන් දහම් පාසලේ දී ගුරු ශිෂ්‍ය දෙපිරිසම අවධානය යොමුකළ යුතුය. වාතය (සුළඟ) දූෂණය වළක්වා /ගැනීම සඳහා දේශනා පාඨයන්හි සඳහන් කරුණූ පැහැදිලි කරන්න.

පිළිතුර

(චුල්ලවග්ග පාලි වත්තක්ඛන්ධ)

දෛනික ජීවිතයෙහි දී වාතය දූෂණයෙහි වළක්වා ගැනීම සඳහා ඉහත සඳහන් ග්‍රන්ථාගත ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වෙයි. ඉදින් පෙරදිග වූ දුවිලි සහිත වාතයේ හමත් නම් පෙරදිගට අයත් (වාබොන) ජනෙල් වැසිය යුතු. ඉදින් පැසීම් දිගට උතුරු දිගට දකුණූ දිගට උණුසුම් කාලයක නම් ( වා කවුළු ජනෙල් වසා තබා රාත්‍රි විවෘත කළ යුතුය. ශීත කාලය වී නම් රාත්‍රියද වසා තැබිය යුතු දහවල් විවෘත කළ යුතුය.

නිවහන සහ වටාපිටාව පිළිබඳවද අවධානය කළ යුතු බව මෙසේ සඳහන් වෙයි.

ඉදින් පිරිවෙන (විහාර ප්‍රාකාර අතර පෙදෙස) කැළි කසළ සහිත වී නම් එය හැමැද්ද යුතු. එසේම දොරකොටුව උවටැන්හල ගිනිහල වැසිකිළිය ඉදින් පැන් නොවී නම් පැන් හලවා තැබිය යුතුය. වැසිකිළියේ ප්‍රයෝජනයට ගන්නා ජලය බහාලන භාජනයෙහි ජලය නොවේනම් එහි ජලය පුරවාලිය යුතුය.

ප්‍රශ්නය

බුදුරජාණන් වහන්සේ සුංසුමාරගිරි පුරයට වැඩම වූ කළ එක්තරා ගෘහපති ගෘහපතිනි දෙපලක්. බුදුරදුන් දුටු විගස “පුතා ඔබ අපහැර මෙතෙක්දා හැසුරුණේ කොහිදැයි හඩන්නට වූහ. මේ අඹුසැමි යුවල කවුරුන්ද අවස්ථාව කුමක්ද

පිළිතුර

බුදුරජාණන් වහන්සේට නකුල මාතා සහ නකුල පිතු – පන්සිය වාරයක් දෙමව්පියන් වූවාය. බුදුන් වහන්සේ ඔවුන්ගේ සිත් තුළින් පුත්‍ර ස්නේහය පහ වන තෙක්ම වැඩ සිට දහම් දෙසූහ. සදහම් ඇසු දෙමහල්ලෝ සෝවාන් මූලයෙහි පිහිටියහ.

ප්‍රශ්නය – සුජාත ජාතක කථාව සුමනා නම් සිටු දියණිය අරභයා දේශනා කොට වදාළ ජාතක කථාවකි. විවාහය පිළිබඳව පමණක් සලකා භාර්යාවකගේ වර්ගීකරණයක් මෙම ජාතක කථාවට ඇතුලත්ව ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර

භාර්යාවෝ සත්දෙනෙකි.

1.වධක භාර්යාව – සියලු දෙනාට කරදරගෙන දෙන්නාවූ)

2.චෝර භාර්යාව – (ස්වාමියා උපයන වස්තුව විනාශ කරයි)

3.ආරීය භාර්යාව – (ස්වාමියා අවමානයට ලක් කරන භාර්යාව)

4.මාතු භරිය – (ආදරණීය බව සියලු දෙනා වෙත පවත්නා තම එකම පුතු ආරක්ෂා කරන මවක් මෙන් සිටින භාර්යාවය.

5.භගිනි භාර්යාව – (සැමියාට සොහොයුරු දයාවෙන් සලකන භාර්යාවයි)

6.සඛී භාර්යාව – (ස්වාමියාට මිත්‍ර ස්නේහයෙන් කටයුතු කරන භාර්යාවයි.

7.දාසි භාර්යාව – සන්සුන් සිත් ඇති සැමියාගේ වදනට කීකරු බිරිය දාසි භාර්යාවයි.

මෙයින් මාතු ,භගිනි, සහ දාසී යන භාර්යාවන් මරණින් මතු දෙව්ලොව උපදනා යහපත් භාර්යාවන් බව බෞද්ධ සාහිත්‍යයෙහි එයි.

ප්‍රශ්නය – බුද්ධ ප්‍රතිමාවක දක්නට ලැබෙන මුලික අංග අතර එහි අන්තර්ගත “මුද්‍රා” වට විශේෂ තැනක් හිමිවෙයි. බෞද්ධ ප්‍රතිමා වන්හි දක්නට ලැබෙන්නේ “මුද්‍රා” හයක් පමණ එයින් භූ ස්පර්ශ (භූමි) මුද්‍රාව එකකි. එම මුද්‍රාවෙහි සුවිශේෂත්වය කුමක්ද

පිළිතුර

වචනාර්ථයට අනුව භූමිය හෙවත් මහ පොළොව ස්පර්ශ කිරීමයි. හින්දු ප්‍රතිමා නිර්මාණවල දක්නට නොලැබෙන මෙය බුද්ධ හා බෝධි සත්ව ප්‍රතිමාවලට පමණක් ආවේණික වු මුද්‍රා විශේෂයකි. එසේම මෙම මුද්‍රාව බුද්ධ ප්‍රතිමා අතරද හිඳි පිළිම හෙවත් වැඩ සිටින පිළිමවල පමණ ක් දක්නට ලැබෙන මුද්‍රාවකි.

වැඩි වශයෙන්ම පද්මාසනාරූඪව වැඩසිටි ආකාරයෙන් නිර්මාණය කොට ඇති භූමිස්පර්ශ මුද්‍රා ප්‍රතිමාවන්හි විශේෂත්ව දක්ෂිණ හස්තය දකුණූ දණහිසින් අත්ල ඇතුලට සිටින සේ සියලු ඇඟිලි දිගහැර පහතට යොමුව තිබීමයි.

ප්‍රශ්නය

බුදු දහමෙහි එන පරිදි භාවනාව සඳහා අරමුණූ කරගන්නා කර්මස්ථාන (කම්මට්ඨාන) හතළිහක් වෙයි. මේවා ඒ ඒ පුද්ගලයන් ගේ මානසික ස්වභාවයට සුදුසු පරිදි යොදා ගනු ලැබේ. කර්මස්ථාන සතළිහක් නාමික වශයෙන් පෙළ දහමෙහි සඳහන් වන අතර සතර අප්පමඤ්ඤා යන්නද එක් කර්මස්ථානයකි. පැහැදිලි කරන්න.

පිළිතුර – අප්පමඤ්ඤා යනුවෙන් සඳහන් වන්නේ බ්‍රහ්ම විහාර හෙවත් සතර බ්‍රහ්මචර්යාවයි. බ්‍රහ්ම යන වචනය යොදා ඇත්තේ උතුම් විශිෂ්ඨ යන අර්ථය දීම සඳහාය. “විහාර නම් චර්යාව හෙවත් හැසිරීමයි. පැවතුම් රටාවකි මේවා අප්පමඤ්ඤා (අසීමිත නිමක් නැති) වශයෙන්ද හැඳින්වෙයි. එසේ වන්නේ අප්‍රමාණ වූ (අපරිමාණං) මුළු ලොව වසන සියලුම සත්වයන් වෙත මෙත් සිතුවිලි පතුරුවා හරින හෙයිනි.

ප්‍රශ්නය

අංගුලිමාල සූත්‍ර දේශනාවට අනුව “ආර්ය ජාතියෙහි උපත ලද පසු ඉතාම කුඩා ප්‍රාණියෙකුගේද දිවි තොර නොකළ පරම අහිංසකයෙකු වූ අංගුලිමාල තෙරණුන් සිය ගණන් මිනිසුන් මරා දැමුවේ අනාර්යව සිටියදීය. බුදුදහමට අනුව ආර්ය සහ අනාර්ය චර්යා මය ප්‍රමාණයන් උපයෝගීකොට ගෙන බුදුදහම සමස්ත මානව වර්ගයා ආර්ය සහ අනාර්ය යන කොටස් දෙකකට බෙදා තිබේ. පැහැදිලි කරන්න.

පිළිතුර

දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාවට අනුව අනරියෝ අනත්ථ සංහිතො දුක්ඛෝ” ආදි වශයෙන් අනාර්ය පිළිවෙත හීන ග්‍රාම්‍ය පුහුදුන් මිනිසුන් විසින් සේවිතය. අනර්ථ කාරීය එසේම ආර්ය මාර්ගය අර්ථ සංහිතය ආර්යෝ යුගල වශයෙන් හතරක්ද පුද්ගලයන් වශයෙන් අටදෙනෙක්ද වෙයි. ඒ මෙසේය. සොතාපන්න මාර්ගස්ථ ඵලස්ථ දෙදෙනාය. සකදාගාමී මාර්ගස්ථ හා ඵලස්ථ දෙදෙනාය. අනාගාමී මාර්ගස්ථ ඵලස්ථ දෙදෙනාය. අර්හන්ත මාර්ගස්ථ හා ඵලස්ථ දෙදෙනාය. යනුවෙනි. මෙයින් රහතන් වහන්සේ (අරහන්ත) නිම කළ කිස (කතකිච්ච) හෙයින් අශේක නමින්ද, ඉතිරි සත්දෙන හික්මෙන අවස්ථාවක පසුවන හෙයින් “සෙඛ” නමින්ද හැඳින්වෙති.