UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙළන වතුරුවිල ආරණ්‍යය සේනාසනය

ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙළන

වතුරුවිල ආරණ්‍යය සේනාසනය

බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙළන අයුරු

වනවාසී භික්ෂු ප්‍රතිපදාවට පුනර්ජීවයක් ලබාදෙමින් වනවාසී භික්ෂූන් වහන්සේලාගේ උන්නතිය වෙනුවෙන් අනූපමේය සේවයක් සිදුකොට වදාළ ස්‍යාමෝපාලි වනවාස නිකායේ වතුරුවිල සහ මදුනාගල ආදී ලක්දිව ආරණ්‍යය සෙනසුන් රැසක නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය වතුරුවිල ශ්‍රී ඤාණානන්දාභිධාන වනවාස ප්‍රථම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1942 වසරේ කලුගල ආරණ්‍යය සෙනසුනෙන් වන ගත ජීවිතය ආරම්භකර 1946 වසරේ ඓතිහාසික මදුනාගල මහා ආරණ්‍යය සේනාසනයටත්, 1953 වතුරුවිල ආරණ්‍යය සේනාසනයට වැඩම කර වනවාසී භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදාව, වනවාස භික්ෂු අධ්‍යාපනය, වනවාස භික්ෂූන් වහන්සේලාගේ පරිපාලන කටයුතු සිදු කරන ස්ථානය බවට පත් කරන ලදී. එම පුණ්‍ය භූමිය අද වන විට විශාල ශාසනික සේවාවක කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත.

වතුරුවිල වනවාස මහානායක හිමිපාණන් වහන්සේගේ ශාසනික මෙහෙවරෙහි තිබූ තවත් බලාපොරොත්තුවක් වශයෙන් ආරණ්‍යය මධ්‍යස්ථානයේ චෛත්‍යය රාජයාණන් අභියස ගල් පර්වතයෙහි ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කිරීම යැයි කිව හැකි ය.

දිනක් උන්වහන්සේ මෙම ගල් පර්වතයෙහි චිත්‍ර ශිල්පී මහතෙකු ලවා තීන්තවලින් කුඩා ප්‍රතිමාවක් අන්දවා එම රේඛාවල ඉටිපන්දම් කෑලි අලවා එකවර දල්වන්නට සළස්වා, මෙම ස්ථානයේ බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය විය යුතු බව ප්‍රකාශ කර ඇත.

මහණෙනි සිල්වතුන්ගේ අදහස් ඉටුවේ. යන තථාගත දේශනාවට අනුව, එම අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන වනවාස සංඝ මූලස්ථානාධිපති, මහකන්දේ රතනපාල අනුනායක හිමිපාණන් වහන්සේ මෙම මහඟු යෝධ සද් කාර්යයෙහි අනුශාසකයන් වහන්සේ ලෙස, තම සංඝ සභාවේ මහානායක, අනුනායක ස්වාමීන්ද්‍රවරු ප්‍රමුඛ මහා සංඝරත්නයේ ද, නාලන්දේ ජිනාරාම, උපුල්විල සාසන සුමන, මෙදේරිපිටියේ පේමානන්ද, කැලේගාලේ සුමේධ යන පණ්ඩිත ස්වාමීන් වහන්සේලාගේ හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ සහාය හා ධෛර්යද වනවාස සංඝ මූලස්ථානයට සම්බන්ධ වාර්ෂික දන් පිරිනමන පින්වතුන්ගේද දෙස් විදෙස් සැදැහැවතුන්ගේ ද වනවාස සංඝ මූලස්ථාන දායක සභා හා සෙල් පිළිම කමිටුවේද සහයෝගය ලබාගනිමින් රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් වැය කර බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිර්මාණ කටයුතු නිම කර ඇත.

වනවාස මහා නිකායේ අනුනායක ශ්‍රී ඥානානන්ද පරිවේණාධ්‍යක්ෂ වනවාස සංඝ මූලස්ථානාධිපති මහකන්දේ රතනපාල අනුනාහිමි

අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් වසර 23 ක් ගත වීමෙන් පසු ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිර්මාණ කටයුතු සම්බන්ධව වනවාස සංඝ මූලස්ථානාධිපති, මහකන්දේ ශ්‍රී රතනපාලාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සිත් විය. ප්‍රතිමා නිර්මාණ ශිල්පීන් සෙවීමේ භාරදූර කාර්යයෙහි නිරත වූ උන්වහන්සේ මඩකුඹුරේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ සමඟ ඉන්දියාවට වැඩම කළහ.

මැෂිවි ලංකා කළමනාකාර අධ්‍යක්ෂ පේ.වැන්දබෝනා මැතිතුමන් හා ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්තුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සහායද ඇතිව ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කිලෝමීටර් 60 කට වඩා දුර ගොස් මහබලි පුරම්හි ගල් කැටයම් ශිල්පීන් මුණගැසී ලංකාවට ගෙන්වා ඇස්තමේන්තු සකස් කළහ.

මහකන්දේ ශ්‍රී රතනපාලාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවේ ශිල්පීන් හරහා මෙම නිර්මාණය කිරීමට සංකල්පමය වෙනසකට අවතීර්ණ වූහ.

ප්‍රතිමා වහන්සේට මුල්ගල් තැබූ දින පටන් ප්‍රතිමා නිර්මාණයට යෝජිත ස්ථානයෙහි දෛනිකව මල් පහන් පුදා ධම්මචක්කප්පවත්තන සූත්‍රය සජ්ඣායනා කොට ඒ සඳහා සුදුසු ශිල්පියෙකු ගැන බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇති කරගත්හ. මේ කාල වකවානුවේදී දිනක් අයෙකු පැමිණ ප්‍රවීණ ශිල්පියෙකු පිළිබඳ දුරකතන අංකයක් මාහිමිපාණන්ට ලබා දුන්හ.

මහ සඟරුවන පිණ්ඩපාතයේ වැඩම කරමින්

ඒ ගැන සෙවීමේ ප්‍රතිඵලයක් ලෙස මිනුවන්ගොඩ එච්.ඩී.එල්. වික්‍රමසිංහ මහතා මුණ ගැසී එතුමා සමඟ කරන ලද සාකච්ඡා කිහිපයකින් පසු 2009 ජූනි මස 13 වෙනි දින බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩ ස්ථිරව ආරම්භ කළහ. මුලින්ම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩකටයුතු ආරම්භ කළේ 2008.12.12 දිනය. නමුත් නිසි ශිල්පීන් සොයා ගැනීමේ අපහසුතාව තිබූ නිසා මාස 06 ක් පමණ කාලය ගත විය.

2009 වසරේ වැඩ ආරම්භ කිරීමෙන් පසු වසර 6 කුත් මාස 11 වැනි කලකදී ගල් පව්ව ඇතුළට අඩි 30 ක් පමණ කඩා ඉවත් කොට සෙල් පිළිම වහන්සේ අද තිබෙන තත්ත්වයට මතු කර ගැනීමට හැකි විය.

 

 

 

 නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 08 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.34 ට ලබයි. 9 වනදා බදාදා පූර්ව භාග 07.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 08 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 15 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]