Print this Article


සිල්වතුන්ට දෙවියන්ගේද නමස්කාරය

සිල්වතුන්ට දෙවියන්ගේද නමස්කාරය

සිල්වත් වීම ජීවිතයක් බැබලීමටත් ගරු බුහුමන් ලැබීමටත්, ආරක්ෂාව ලබා ගැනීමටත් හේතු වනු ඇත. සීලය සම්බන්ධව විමසීමේ දී එය සිත, කය, වචනය යන ත්‍රිවිධද්වාරයම මුල්කොට පවතින්නකි. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දස පුණ්‍ය ක්‍රියා, දසරාජ ධර්ම, දස පාරමිතා යනාදී සෑම තැනකදීම සීලය දෙවෙනි තැනට යොදමින් එහි ඇති ආධ්‍යාත්මික හා ප්‍රායෝගික වටිනාකම පහදාදීමට බුදුහිමි වෙහෙස දරා ඇත. ත්‍රිශික්ෂාව අතර සීලය ප්‍රමුඛස්ථානයෙහි තබා ඇත. එහිද ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්මා වාචා, සම්මා කම්න්ත, සම්මා ආජීව ආදී කොටස් ශීලය පදනම් කොට පවතී. ඒ අනුව බැලීමේ දී ප්‍රඥා, සීල, සමාධි වශයෙන් බෙදෙනු ඇත.

අප සිල්වත් විය යුත්තේ තමන්, අනුන් හා මෙලොව, පරලොව උදෙසාය. එහිදී, කය, වචනය තුළ හික්මීම ප්‍රධාන බලවේගය වේ. එය හික්මවා ගැනීමට බුදු දහමේ පංච ශීලය, ආජීව අෂ්ඨමක ශීලය, අෂ්ටාංග ශීලය, දස ශීලය ආදී ප්‍රතිපදා අනුගමනය කිරීම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේගේ සීලය මුළු තුන්ලෝකයේම පැතිරුණු ආකාරය ඉතා පැහැදිලිය.

ප්පමත්තෝ අයං ගන්ධෝ
යායං තගර චන්දනී
යෝච සීලවතං ගන්ධෝ
වාති දෙවේසු උත්තමෝ - ධම්මපදය පුෂ්ප වග්ග

යම් තුවරලා සඳුන් සුවඳෙන් වේද එය ඉතා අල්පය. සිල්වතාගේ යම් උතුම් සුවඳක් වේද? එය දෙවියන් අතරද, හමා යේ,

බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාගේ සිල් සුවඳ මුළු විශ්වය පුරාම හමා ගියහ. ඊට අමතරව පෘතග්ජන සත්වයා තුළද අඩු වැඩි වශයෙන් සිල් සුවඳ පවතී. ඔවුනට දෙවියන්ගේද නමස්කාරය හිමිවන ආකාරය පැහැදිලි වේ. ස නි සත්තසංයුත්ත සක්කනමස්සන සූත්‍රය තුළ සක්‍රදේවේන්ද්‍රයාගේ නමස්කාරය ඉතා ප්‍රකටය. එනම්,

මං නමස්සන්ති තෙවිජ්ජා සබ්බේ භූම්මාච ඛත්තියා
චත්තාරෝච මහාරාජා නිදසාච යසස්සිනෝ
අහඤ්ච සීල සම්පන්නේ චීරරත්ත සමාහිතෙ
සම්මා පබ්බජිතේ වන්දේ බ්‍රහ්මචරිය පරායනෙ
යේ ගහට්ඨා පුඤ්ඤකරා සීලවන්තා උපාසකා
ධම්මේ දාරං පෝසෙන්ති තෙ නමස්සාමි මාතලි
සෙට්ඨාහි කිර ලෝකස්මිං යෙත්වං සක්ක නමස්සසි
අහම්පි තෙ නමස්සාමි යෙ නමස්සසි වාසවාති
ඉදං වත්තවාන මඝවා දෙවරාජ සුජම්පතී
පුථුදදිසා නමස්සිත්වා පමුඛො රථමාරුහීති

වේදත්‍රය හදාරන සියලු භූලෝකවාසීහුද, ක්ෂත්‍රියෝද, සතර වරම් දෙව්මහරජහුද, යශස් ඇති දෙවියෝද, නුඹ වඳීත්. නමුදු සක් දෙවිදුනි, නුඹ යමෙකු වදින්නාහු නම් හේ කිනම් සත්වයෙක්ද?

ත්‍රිවේදය හදාරණ පොළෝතල වැසි සියල්ලෝද, ක්ෂත්‍රියෝද සිව්වරම් දෙව්මහරජහුද, යසස් ඇති දෙවියෝද මම නමදිත්.

මමද ශීලයෙන් සමන්විත වූ බොහෝ කලක් මුළුල්ලෙහි එකඟ කළ සිත් ඇති බඹසර විසුම්හි තත්පර වූ පැවිද්දන් මැනවින් වඳිමි.

පින් කරන සිල්වත් වූ ගෘහස්ථ යම් උවසු කෙනෙක් දැහැමින් අඹුදරුවන් පෝෂණය කරද්ද, මාතලී මම ඔවුන් වඳිමි.

සක්දෙවිඳුනි, නුඹ යම් කෙනෙකුන් වඳිනාහුද ඔහු ලොව්හි ශ්‍රේෂ්ඨයෝමය. සක්දෙව්රදුනි, නුඹ යම් කෙනෙකුන් වඳනාහුද? මමද ඔවුන් නමදිමි.

දෙවියන්ට රජ වූ සුජාවගේ සැමියා වූ මඝවන්තු නම් වූ සක්දෙවිරජතෙමේ මෙය කියා හැම දිගුන් නැමද රියට නැංගේය.

එම දේශනාවෙන් පැහැදිලි වන්නේ සිල්වන්තව ඉඳ අඹුදරුවන් පෝෂණය කරමින් පින් දහම් කරන ධාර්මික ජීවිත ගත කරන මිනිසුන්ට දෙවියන්ගේ පවා නමස්කාරය හිමි වන බවයි. නමුදු අද එහි ප්‍රතිවිරුද්ධ පැත්ත ක්‍රියාත්මක වීම පිළිබඳ සිතන කල්හි කනගාටුවක් ජනිත වේ. දෙවියන්ගෙන් පවා මිනිසාට වැඳුම් පිදුම් ලබාගත හැකි බව බෞද්ධයන් විසින් සපුරා අමතක කොට ඇත. දැහැමින් ජීවත් වන අයට දෙවියන්ගේත් නායකයා වන ශක්‍රයාගෙන් වැඳුම් පිදුම් ලැබේ.

බුද්ධ චරිතය තුළ පැහැදිලි වන ආකාරයට විවිධ ආත්මවල ජීවිත පරිත්‍යාගයෙන් සීලය ආරක්ෂා කළ ආකාරය ඉතා විස්මිතය. එය බුද්ධ චරිතය තුළ දැකිය හැකි ශ්‍රේෂ්ඨ ලක්ෂණයකි. උන්වහන්සේ පුරන ලද පාරමිතා දෙස අවධානය යොමු කිරීමෙන් එය මනාව ප්‍රත්‍යක්ෂ වේ. සංඛපාල, කුරු ධර්ම, ලෝමහංස ඡද්දන්ත ආදී ජාතක කතා පරිශීලනය කිරීමෙන් බුදු හිමි ඒ ඒ ආත්මවල පුරන ලද ශීල පාරමිතාව කොතරම් ගැඹුරු ද, ගාම්භීරද යන්න ප්‍රත්‍යක්ෂ වේ.

ශීලය ප්‍රධාන කොටස් දෙකකින් අනූනය. චාරිත්‍ර ශීලය එකකි. එනම් ගුණවතුන්ට සිල්වතුන්ට, වැඩි හිටියන්ට අභිවාදනය කිරීම, වතාවත් කිරීම, ලෙඩුන්ට සාත්තු කිරීම ආදියයි. චාරිත්‍ර ශීලය දෙවැන්නයි. එනම් පස් පව් දස අකුසල් ආදියෙන් වෙන් වීමයි. බෝසත්වරුන් මෙම දෙඅංශයම ප්‍රගුණ කරන අතර ඔවුන්ගේ ශීලය සුවිශේෂී වන්නේ ඔවුන් ආර්ථික ලාභ ප්‍රයෝජන මත හෝ අඹුදරුවන් නිසා හෝ තම ශරීරය රැක ගැනීමට සිතා හෝ ශීලය කඩ කිරීමක් නැත්නම් ශීලය බිඳ ගැනීමක් සිදු නොකරන බැවිනි. දන් දීමෙන් වුවද වැඩි අනුසස් ලැබෙන්නේ සිල්වතුන්ට, ගුණවතුන්ට දීමෙන් බව බුදුහිමි දේශනා කොට ඇත. ‘යො සීලවා සීලවනෙතසු දදාති දානං’ ම.නි. එම දහම් පාඨය තුළින් එය පැහැදිලි වේ.

සීලය, ධනයක් වශයෙන් සප්තාර්ය ධන අතර බුදුහිමි පෙන්වා දී ඇත. කිරලෙකු බිජු රකින්නා සේ සිල් රැකීමේ දී ලෞකික ජීවිතය තුළ ද බොහෝ ආනිශංස ලැබෙන අයුරු පැහැදිලි වේ. නීරෝගි සම්පත්තිය ලැබීමට, දීර්ඝායුෂ ලැබීමට, කීර්ති ප්‍රසංශා ලැබීමට, ඕනෑම සභාවකට නොබියව ඉදිරිපත්වීමට සිල්වතුන්ට සීලය රැකීමේ ආනිශංස වශයෙන් ලැබෙනු ඇත.

සිත, කය, වචනය තුළ ඇති නිවැරදිතාව පිරිසුදුභාවය කරණකොට ගෙන හික්මීම සංවරය, ලැජ්ජා, බය ඇතිව ජීවත්වීම ආදී කාරණයන් සමඟ තමනට ලැබෙන ආත්ම තෘප්තිය ඉතා ඉහළය. එය සැපයක්ම වන්නේ ය. බුදුහිමි දේශනා කළ සුඛ අතර අනවජ්ජ සුඛය ලැබීමට එය සෘජුවම බලපානු ඇත.

ඉහත කරුණු සිතටගෙන උසස් මනසක් ලැබූ සෑම සත්වයෙක්ම සීලවත් වීමට උත්සාහවත් විය යුතු ය. දෙවියන්ගෙන් පවා වන්දනාමානයට ලක්වීමට එය හේතුවන අතර, තමන්ටත් අනුනටත් මෙලොවටත්, පරලොවටත් එය සැප පිණිස පවතී.