UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලක්දිව බෞද්ධ කලා ශිල්ප 08 සිරිපතුල් වන්දනය

සිරිපතුල් වන්දනය

බුදු පිළිම නිර්මාණයට පෙර සිරිපතුල් වන්දනය ලංකාවේ පැවතුණි. ඊට පසුවද සිරිපතුල් වන්දනය පවත්වාගෙන එන්නට ඇතැයි ශ්‍රී ලංකා යුනෙස්කෝ සංස්කෘතික ත්‍රිකෝණ අභයගිරි ව්‍යාපෘතියේ කැණීම්වලින් සොයාගෙන ඇත. අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයෙහිද මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් අභයගිරි හා ජේතවනාරාම කෞතුකාගාරවලද පුරාණ සිරිපතුල් ගල් රැසක්ම දක්නට ලැබේ.

පුරාණ ලක්දිව බෞද්ධ කලාශිල්ප පිළිබඳ විමසා බලනවිට ඉතාමත් වැදගත් මූර්ති සහ කැටයම් රැසක්ම මේ වන විට පුරාවිද්‍යා ගවේෂණ සහ පුරාවිද්‍යා කැණීම්වලින් හමුවී ඇත. අපි මීට ඉහතදී පුරාණ පුදබිම් ආශි‍්‍රතව ඇති ඉතා පුරාණ කාලයේ සිට ඒ පුදබිම්වල දක්නට ලැබුණූ සඳකඩපහණ ,මුරගල ,කොරවක්ගල ආදී මූර්ති කැටයම් පිළිබඳ විමසා බැලුවෙමු. කිසියම් පුරාණ බෞද්ධ පුදබිමක් ආශි‍්‍රත වූ පරිසරය මෙයින් අපි සොයා බැලුවෙමු.

ඉතා පුරාණ බෞද්ධ පුදබිමක් හඳුනාගැනීමට විශේෂයෙන්ම ලෙන් ලිපි (Cave Inscripion) කේව් ඉන්ස්ක්‍රිප්ෂන්ස් ) වැදගත් වේ.අප එසේ සඳහන් කරන්නේ ඒ පුදබිම් වල ලෙන් පුරාණකාලයේදී භික්ෂූන් වහන්සේලාගේ වාසය සඳහා සුද්ධ පවිත්‍ර කර පූජා කිරීම නිසාය. ඒ ලෙන්වල ඇති ඉතා පුරාණම අකුරුවලට අප භාවිතා කරන නාමය වන්නේ බ්‍රාහ්මී අක්ෂර යන්නයි.මේ බ්‍රාහ්මී අක්ෂර මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ පසුව ලංකාවේ භාවිතා වූ බව සාමාන්‍ය මතයක් වූයේය. කෙසේ වුවද ඉතා පුරාණතම පුදබිමක් හඳුනා ගැනීමට ලෙනක් තුළ කොපමණ භික්ෂූන් වහන්සේලා වාසය කළ ඒ ශිලා ලේඛනවලින් කිව හැකිය. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී මිහිඳු මහරහතන් වහන්සේ වර ප්‍රමුඛ භික්ෂූන්වහන්සේලා ලංකාවට වැඩම කිරීමට පෙර පවා ලංකාවේ බ්‍රාහ්මී අක්ෂර භාවිතය තිබුණූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර පුරාණ නගරයේ ඇතුළුනුවර (සල්ගහවත්ත) ප්‍රදේශයේ කරන ලද කැණීම්වලින් හමුවූ පුරාවිද්‍යා සාක්ෂිවලින් පැහැදිලි වී ඇත. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් 1984 වර්ෂයේදී මෙම කැණීම සිදුකරන ලදී. එම කැණීම අනුරාධපුර පුරාණ නගරයේ මතුපිට සිට අඩි 30 ට පමණ ගැඹුර කරන ලද ඒ පුරාවිද්‍යා කැණීම්වලදී ක්‍රිස්තු පූර්ව 900- 800 පමණ පැරණි පුරාණ ශිෂ්ටාචාරයක නටබුන් හමුව ඇත. මහාවංසයේ සඳහන් වන විජයාවතරණයට (විජය කුමරු සහ පිරිස වසර තුන් හාර සියයකට ඉහත කාලයකට එම යුගය අයත් වන්නේය.එම ගෙඩිගේ කැණීම් ලෙසින් ප්‍රකට කැණීම්වලින් ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් පහත සඳහන් කරුණු අනාවරණය කෙරුණ පුරාවස්තු හමුවී ඇත.

1.යකඩ භාවිතා කළ බවට වූ යකඩ තාක්ෂණය
2.අශ්වයින් ඇති කිරීම
3.වී ගොවිතැන
4.ඉතා දියුණු මැටිබඳුන් නිර්මාණය (සකපෝරවේ කරකවා සාදන ලද)

මෙහිදී හමුවූ මැටි බඳුන් (මැටි භාජන) පුලුස්සා ඇති බවද හෙළි වී ඇත. ඒ මැටි බඳුන් සකපෝරුවේ කරකවා සෑදීමෙන් පසුව පිලිස්සීමට පෙර එහි ලියූ අක්ෂර වර්ගයක්ද හමුවී ඇත. එම අක්ෂර පුරාණ ජම්බුද්වීපයේ අසෝක රජුගේ කාලයට වඩා පැරණි බ්‍රාහ්මී අක්ෂර බවද සොයාගෙන ඇත. එම මැටි වළං වල ලියූ ඒ පැරණි බ්‍රාහ්මී අක්ෂර ඒ අනුව අයත් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීමට පෙර ලියන ලද අකුරු වශයෙනි. ඒ අක්ෂර ක්‍රිස්තු පූර්ව හය (6) සහ පහ (5) යන ශතවර්ෂවලට අයත්වන බවට කාල නිර්ණය කර තිබේ. “අනුරද” යන වචනය සඳහන් වන මැටි බඳුන් කැබැල්ලක් ද එම කැණීම්වලින් හමුවී තිබේ. (දැරණියගල අභිනන්දන – සිරිසමන් විජේතුංග – පිටු 6-7 -2002)

අප මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නේ අපගේ ශිෂ්ටාචාරය කොපමණ පුරාණ ද යන්න පහදාදීමටත් පුරාණ අකුරු මහින්දාගමනයට පෙර සිට මේ රටේ පැවති බවත් පෙන්වාදීමටය. මෙම බ්‍රාහ්මී අක්ෂර ලංකාව පුරා පැතිරී ගියේත් ලෙන් ලිපි හා පර්වත ලිපි ලෙසින් ව්‍යාප්ත වූයේත් මහින්දාගමනය හෙවත් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීමෙන් පසුව බව අප විසින් අමතක කළ යුතු නොවේ.

මේ පුරාණ පුදබිම් ආශි‍්‍රතව බ්‍රාහ්මී අක්ෂරවලින් (ඒ ලෙන් ආශි‍්‍රතව) පුරාණ කාලයට අයත් බව ඉතා පැහැදිලිය. ඊට අමතරව පුදබිමක් ඉතා පැරණි බව ප්‍රකාශ කෙරෙන තවත් අපේ පුරාණ ලක්දිව බෞද්ධ කලාශිල්පවලට අයත් වූ විශිෂ්ට නිර්මාණයක් ඇත. මෙම නිර්මාණය අප මෙකල හඳුන්වන්නේ “සිරිපතුල් ගල්” යන නාමයෙනි. මොනවාද මේ සිරිපතුල් ගල් යන්න ඔබ විසින් දැනගැනීම ඉතා වැදගත්ය. සිරිපතුල් දෙකක් (සමචතුරස්‍රාකාර) ගලක කොටා ඇත. මෙය ලංකාවේ ඉතා පැරණිම බෞද්ධ කලා ශිල්පවලට අයත්වන වැදගත් මූර්ති කැටයමකි.

බුදුරජාණන් වහන්සේගේ රූපකායෙන් බුද්ධරූප නිර්මාණයට පෙර මෙම සිරිපතුල් ගල් නිර්මාණය කළ බව පුරාවිද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත. මෙම සිරිපතුල් දෙක එම ශිලාවෙහි නිර්මාණයකර තිබේ. ඒ සිරිපතුල් දෙක අතර ඡත්‍රයක්ද කැටයම් කර ඇති අන්දම දැකගත හැකිය.

ලංකාවේ පමණක් නොව පුරාණ ජම්බුද්වීපයේ පවා බුදුපිළිම නිර්මාණය කිරීමට පෙර වැඳුම් පිදුම් කළේ සිරිපතුල්වලටය. මේ බවට අමරාවතී (ආන්ද්‍රා ප්‍රදේශ්හි) සාංචි භාරුත් පුදබිම්වල ඇති මූර්ති කැටයම්වලින් පැහැදිලි වේ.

ශ්‍රී ලංකාවේ සිරිපතුල් වන්දනය

බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේදී අපේ රටට තෙවැනි වරට බුදුරජාණන් වහන්සේ වැඩම කළේ කැලණියටය. කැලණියේ නා රජුගේ ආරාධනය පරිදිය. එම ගමනේදී සුමන කූටයෙහි සිරිපා සටහන බුදුරජාණන් වහන්සේ විසින් තබන ලද බව මහාවංසය සඳහන් කරයි. ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී (ක්‍රි.ව. 411-) චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් වූ ෆාහියන් හිමියන් ලංකාවට පැමිණ අනුරාධපුරයේ අභයගිරි විහාරයේ වසර දෙකක් වාසය කර ඇත. ඒ කාලයේදී බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමන ගැන ඉතා ප්‍රබල ලෙසින් ජනතාව අතර පැතිරී තිබුණි. ෆාහියන් හිමියන්ගේ වාර්තාවල ලංකාවේ එකල බුදු සිරිපතුල් දෙකක් පිළිබඳ සඳහන් කරති. එයින් එකක් කඳු ශිඛරයක මතද අනෙක් සිරිපතුල උතුරේ රාජකීය නගරයේය. (A Record of Buddhitic Kindom J.Legge –P..102 (1965)උතුරු අනුරාධපුර යේ සිරිපතුල් දක්නට තිබුණු බව සඳහන් කරන ෆාහියන් හිමියෝ එම සිරිපතුලක් වසා ථූපයක් රජු විසින් කරවන ලද බව සඳහන් කරති. ලංකාවට බුදුරජාණන් වහන්සේ වැඩම කර එහි නිරිත දිග ප්‍රදේශයේ කන්දක සිට ලංකාවතාර සූත්‍රය දේශනා කළ බව ක්‍රිස්තු වර්ෂ හත්වන සියවසේදී ඉන්දියාවේ සංචාරය කළ තවත් චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් වූ හියුංසාං හිමියෝ පවසා ඇත.

Travel of Fasheian and Hucnsan- S.Beal Vol.II page 251 (1964) එම සියවසේම ලංකාවට පැමිණි වජිරබෝධි සිරිපතුල ඇති කන්දට නැග භාවනා කළ බවද සඳහන් වෙයි. චීන වාර්තා අනුව එය සුමන කූටයයි. ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසේදී සුලෙයිමාන් ලංකාවට පැමිණි අතර ඔහුද සිරිපාදයට ගියේයැයි වාර්තා වෙයි.

බුදු පිළිම නිර්මාණයට පෙර සිරිපතුල් වන්දනය ලංකාවේ පැවතුණි. ඊට පසුවද සිරිපතුල් වන්දනය පවත්වාගෙන එන්නට ඇතැයි ශ්‍රී ලංකා යුනෙස්කෝ සංස්කෘතික ත්‍රිකෝණ අභයගිරි ව්‍යාපෘතියේ කැණීම්වලින් සොයාගෙන ඇත. අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයෙහිද මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් අභයගිරි හා ජේතවනාරාම කෞතුකාගාරවලද පුරාණ සිරිපතුල් ගල් රැසක්ම දක්නට ලැබේ.

මීට අමතරව මිහින්තලේ, සිතුල්පව්ව ,අනුරාධපුරය, දඹුල්ල, තිස්සමහාරාමය, අව්කන ආදි පුරාණ පුදබිම්වලද මෙම සිරිපතුල් ගල් හමුවී ඇත. වව්නියාවේ කොඩ්ඩකේනිහි තිබී හමුවූ සිරිපතුල් ගලක් (ක්‍රි.ව. 3 සියවසට අයත්) කොළඹ ජාතික කෞතුකාගාරයෙහි ඇත.


පසුගිය සතියෙන් - පුරාණ ලක්දිව බෞද්ධ කලා ශිල්ප 07- ථූපාරාමය

 

      ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 10 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 03.24 ට ලබයි. 11 වැනිදා සිකුරාදා අපරභාග 03.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
දෙසැම්බර් 18 වැනිදා සිකුරාදා ය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]