Print this Article


විමාන වත්ථු ප්‍රකරණයෙන් ...... දෙව්ලොව ගිය ඇත්තෝ ආසනයත් සමඟ අහසින් ගිය දෙවඟන

විමාන වත්ථු ප්‍රකරණයෙන් ......

දෙව්ලොව ගිය ඇත්තෝ

ආසනයත් සමඟ අහසින් ගිය දෙවඟන

බුදුරජාණන් වහන්සේට අසදිස මහා දානය පිරිනැමුවෝ පසේනදි කෝසල රජ්ජුරුවෝය. එය සත් දවසක් මුළුල්ලේ පිරිනැමුණු සුවිශේෂ දාන කාර්යයක් විය. එයින් පසු අනේපිඬු සිටුතුමා ද විශාඛා මහෝපාසිකාවද නුවර වැස්සෝ ද තුන් දවසක් පුරා මහා දානමය පින්කමක් පැවැත්වූහ. මේ පුවත රට පුරා පැතිර යද්දී මහජනයාගේ සිත් තුළ කිසියම් කුකුසක් ද පහළ විණි. එනම්, මහත් උදාරතරව කෙරෙන දානාදියෙන් මහත් වූ ආනිසංස අත්වේද ශක්ති ප්‍රමාණයෙන් සුළුතර ව කෙරෙන දානාදියෙන් සුළු ආනිසංස අත්වේද යන්නයි. මේ සැක සංකා දුරු කරමින්, චිත්ත ප්‍රසාද ගුණයෙන් ද සිය හැකියාවේ තරමින් ද යම් කෙනකුන් විසින් පහන් සිතින් දෙන දානය මහත්ඵල මහානිසංස වන බැව් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

මේ කාලයේ එක්තරා පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ නමක් මැනැවින් සිවුරු හැඳ පොරවා පාත්‍රය අතින්ගෙන සංවර ඉරියව්වෙන් සන්සුන් ලීලාවෙන් පිඬු සිඟා වඩිමින් එක්තරා ගෙදොරකොඩකට පැමිණියහ. ඒ ගෙදර වැසි ශ්‍රද්ධා සම්පන්න වූ කාන්තාව තෙරුන් වහන්සේ දැක මහත් ගෞරවාචාරයෙන් යුක්තව වැඳ නමස්කාර කොට කැඳවා ගෙහි තමන් හිඳ ගන්නා පුටුව මත රන්වන් වස්ත්‍රයක් අතුරා උන්වහන්සේට වැඩ සිටින්නට සැලැස්වීය.

ඈ මහත් සොම්නසින් එසේ කරද්දී ‘මට උතුම් වූ පින්කෙතක් පහළ වී යැ’යි පහන් සිත් ඇතිකර ගත්තාය. අනතුරුව තම හැකි පමණින් දානය පිළියෙළ කොට උන්වහන්සේට පිළිගන්වා දන් වළඳද්දී විජිනි පතක් ගෙන පවන් සලන්නට ද වූවා ය.

දන් වළඳා අවසානයේ අනුමෝදනා බණ වදාළ තෙරුන් වහන්සේ දානයෙහි ද ආසන පැනවීමෙහි ද අනුසස් දේශනා කොට වදාළහ. තම දානයෙන් හා ශ්‍රවණය කළ ධර්මයෙන් පිනාගොස් ශරීරය පුරා දැනුණු පී‍්‍රතියෙන් යුක්ත වූ ගෙහිමි කාන්තාව තෙරුන් වැඩහිඳී ආසනය ද විහාරයට ම පූජා කළා ය. එයින් කෙටි කාලයකට පසු එක්තරා රෝගයක් හේතුවෙන් ඈ කළුරිය කළා ය.

මිනිස් ආත්මයෙන් චුත වූ සැණින් තමන් විසින් කරන ලද කුසලානුභාවයේ මහිමයෙන් ඈ තව්තිසා දිව්‍ය ලෝකයේ දිව්‍යාංගනාවක ව උපත ලැබුවා ය. ඒ දිව්‍යාංගනාවට දොළොස් යොදුන් රන් විමානයක් ද පරිවාර ස්ත්‍රීන් දහසක් ද පහළ විණි. ආසන දානයේ අනුභාවයෙන් සතර ගව්වක ප්‍රමාණයේ රන් ආසනයක් ද පහළ විණි. ඒ රන් ආසනය අහසින් ගමන් කරන්නේ ය.

වේගවත් වූ ගමන් ඇත්තේ ය. එය උස් වූ මුදුන සහිත ආවරණයකින් සමන්විත විණි. එහෙයින් එය “පීඨ විමානය” නම් විය. පෙර දවස ඇය ආසනය පූජා කරද්දී එහි රන්වන් වස්ත්‍රයක් අතුරා එය පිරිනැමූ බැවින් එහි කුසල විපාකය දැකිය හැකි සේ මෙකී ආසනය ස්වර්ණමය නිර්මාණයක් විණි. එදා ඒ දාන පූජාවේ ආනිසංස බලවත් වූ බැවින් ශීඝ්‍ර ජව ගමන්වේග හිමි විය. ප්‍රසාද සිතින් දුන් බැවින් ප්‍රසාද වහනය වන්නා වූ රූප සම්පත්ති විය. ලෝභයෙන් තොර සද්ධාසමාධියෙන් දුන් බැවින් ස්වර්ණ වර්ණ විය. ද්වේෂයෙන් තොර ප්‍රඥා සමාධියෙන් දුන් බැවින් උදාරතර විය. මෝහයෙන් දුරුව වීර්ය සමාධියෙන් දුන් බැවින් මනෝමය ජව ඇති විය. මෙසේ මේ දිව්‍යාංගනාව ශ්‍රී සෞභාග්‍යයෙන් යුක්ත වූ දිව්‍ය ශ්‍රී වින්දනය කරමින් හුන්නා ය.

එකල දෙව්ලොව දෙවියන්ගේ එක්තරා උත්සව අවස්ථාවක් එළැඹිණි. සෑම දෙවියෙක් ම දෙවඟනක්ම තම තමන්ට හිමි දිව්‍ය ලීලාවක් වේද දිව්‍යාලංකාරයක් වේද ඒ ඒ දිව්‍යානුභාවයෙන් බැබැළෙමින් දිව්‍යෝත්සවයට යන්නට පටන් ගත්හ. මෙකී දිව්‍යාංගනාවද සුන්දර දිව්‍ය සළුවක් හැඳ එවැනි සළුවක් ඒකාංශ කොට දිව්‍යාභාරණයෙන් සැරසී දිව්‍යාප්සරාවන් පිරිවරා පීඨ විමානයට නැග දිව්‍ය සෞභාග්‍යය ප්‍රකට කරමින් හිරු සඳු මෙන් වටපිටාව ශෝභාමත් කරමින් උයන් කෙළි පිණිස යන්නට වූවා ය.

එවේලේ දෙව්ලොවට වැඩම කොට හුන් මුගලන් මහ රහතන් වහන්සේ මෙකී දිව්‍යාංගනාව එමින් සිටි මඟ ආසන්නයේ වැඩ සිටි සේක. උන්වහන්සේ දුටු ඈ මහත් පී‍්‍රති ප්‍රමෝදයට පත්ව ගෞරව සම්ප්‍රයුක්තව පීඨ විමානයෙන් බැස විත් පසඟ පිහිටුවා වැඳ දොහොත් මුදුන් දී නමස්කාර කරමින් එකත්පස්ව සිටියා ය.

යම් දෙවියකු හෝ දෙවඟනක හෝ විසින් පෙර කරන ලද කුමන කුසල බලයකින් ඔහු හෝ ඇය දෙව්ලොව උපත ලැබීද යන්න මැනැවින් දැකිය හැකි ඥානය මුගලන් මහ තෙරුන් වහන්සේ සතුව තිබිණි. තමන් කුමන කුසලයකින් දෙව්ලොව උපන්නේ දැයි දැකීමේ හැකියාව ඒ ඒ දෙවියන්ට හෝ දෙවඟනට හෝ තිබිණි. මේ දෙවඟනගේ දිව්‍ය ඓශ්චර්යයත් අසාමාන්‍ය රූප ශෝභාවත් ඈ කවර කුසලානුභාවයකින් ලද්දී දැයි ඇගේ මුවින්ම ප්‍රකාශ කරවීම මහ තෙරුන්ගේ අභිප්‍රායය විය. එබැවින්, ‘එම්බා දෙව් දුවණිය, තෙපි කවර කුසල කර්මයක් හේතුකොටගෙන මේ සම්පත්තීන් ලද්දේ දැයි ප්‍රකාශ කරනු’ යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

“ස්වාමීනි, මවිසින් පෙර ආත්මයේ එක්තරා තෙරුන් වහන්සේ නමකට මහත් වූ ශ්‍රද්ධාවෙන් ස්වල්ප වූ දානයක් පිරිනැමීමෙන් මෙබඳු වූ දිව්‍ය සම්පත් ලඳිමි” යි දෙවඟන සිය දාන කාරිය පිළිබඳ තොරතුරු ප්‍රකාශ කර සිටියා ය. එවිට ඒ කරුණ අරභයා මුගලන් මහරහතන් වහන්සේ විසින් දිව්‍ය සමූහයා අමතා විස්තර වශයෙන් ධර්ම දේශනා කරන ලදී. ඒ දේශනාව දෙවඟනට මෙන්ම පරිවාර පිරිසට ද මහත් ඵලදායක විණි.

මුගලන් මහ තෙරුන් වහන්සේ මනුලොවට වැඩම කොට මේ පුවත බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කොට සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ එය අරමුණු කොටගෙන ධර්මය දේශනා කළහ. ඒ දේශනාව බොහෝ ජනයාට මහත් වූ හිත සුව පිණිස වූයේ ය.


පසුගිය ලිපිය - විමාන වත්ථු ප්‍රකරණයෙන් ......දෙව්ලොව ගිය ඇත්තෝ පැන් බිඳක් දන් දී දිව සැපත් ලද්දී