Print this Article


ප්‍රභාශ්වර සිත කැලඹෙන හැටි

ප්‍රභාශ්වර සිත කැලඹෙන හැටි

අපේ සිත නිවැරැදි වන්නේ නිවැරැදි සිතිවිලි වලින්. ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් හැම මොහොතකම අපේ සිතට විවිධ අරමුණු ගලාගෙන එනවා. සැබැවින්ම අපේ සිත බොහෝම ප්‍රභාශ්වරයි. සිතේ නියම ස්වභාවය අචංචල බවයි.

මහ මුහුද මුහුදේ ජලය කලම්ඹවනවා විශාල රැළි, මධ්‍යම රැළි, කුඩා රැළි ඇති කරනවා. සාගර ජලය කැලඹෙන්නේ කලඹන්නේ කොහොමද? සිවු දිසාවෙන් හමන සුළඟින්. අට දිසාවෙන් හමන සුළඟින් ඒ අචංචල ජලය කලඹවනවා. මහා ඝෝෂා ඇති කරනවා. ඒ වගේ අපේ ප්‍රභාෂ්වර සිත සංශෝභනයට පත් කරන මහ සුළං වර්ග පහක් තමයි මේ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන් සිත වෙත හමාගෙන එන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ කියන මේ භයානක සුළං පහෙන් සිත කලඹනවා. කැලඹුණු සිතට බලයක් ඇත්තේ නැහැ. අචංචල සිත තුළයි බලයක් ඇති වෙන්නේ. ඒනිසා ඒකාග්‍ර මනසක් ඇති කර ගන්න නම් ධම්මානුපස්සනාවත් ධර්මය මනසිකාරයත් ජීවිතයට එකතු කර ගත යුතුමයි.

දිනක් බුදුරජාණන් වහන්සේ ධර්මය වදාරණ ස්ථානයෙන් එක්තරා දිළිදු පේෂකාර දියණියක් ගමන් කළා. උන්වහන්සේ අසිරිමත් ධර්මයක් දේශනා කරමින් සිටියා. ඒ සදහම් දේශනා ශ්‍රවණය කරන්නට විශාල පිරිසක් රැස්වී සිටියා. පේෂකාර දියණිය දිළිඳු වුවත් ඇයගේ සිත දිළිදු නැහැ. සංසාරයේ ධර්මයට පුරුදු කළ සිතේ ස්වභාවය මතුවෙලා ආවා. බුදුබණ පදයක් ශ්‍රවණය කිරීම මෙලොවටත් පරලොවට ශාන්තියක් යැයි කියා සිතා උන්වහන්සේ ධර්මය දේශනා කරන තැන වාඩිවුණා. ඒ වෙලාවේදී උන්වහන්සේ මේ පේෂකාර දියණියගෙන් අසනවා දියණියනි ඔබ කොහේ සිටදැයි මේ ආවේ කියා. ඇය කියා සිටියා මම දන්නේ නැහැ ස්වාමිනි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විමසනවා එහෙනම් දියණිය ඔබ කොහෙද යන්නේ? එවිටත් ඇය පිළිතුරු දෙනවා දන්නේ නැහැ ස්වාමිනි කියා. බුදුරජාණන් වහන්සේ අසනවා ඔබ කිසිවක් දන්නේම නැද්ද කියා ඇය කියනවා ස්වාමිනි, මම දන්නවා කියා. එහෙමනම් ඔබ දන්නේ නැහැ කිවුවාට දන්නවානේ කියා වදාළා. ඇය එවිට කියනවා ස්වාමිනි මම දන්නේ නැහැ කියා මෙතැන නැහැ කියා උත්තර තුනකුත් දන්නවා කියා එක උත්තරයකුත් තිබුණා. ඒ ප්‍රශ්න හතර හා පිළිතුරු හතර එකිනෙකට වෙනස්.

එන්නේ කොහිද ඇසුවාම දන්නේ නැහැ කිවුවා
යන්නේ කොහිද ඇසුවා දන්නේ නැහැ කිව්වා
එහෙනම් දන්නේම නැද්ද ඇසුවා. දන්නවා කිව්වා
එහෙනම් දන්නවා නේද ඇසුවාම ඇත්තටම දන්නේ නැහැ කිව්වා.

මෙය බලන ඔබත් සිතින් විමසන්න. ඒ ප්‍රශ්නත් ලැබුණ උත්තරත් අපූරුයි. එතැන සිටි මිනිසුන් මේ තරුණිය බුදුරජාණන් වහන්සේ සමඟ විකාර දොඩවනවා කියා කලබල වුණා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ පිරිසට ඔබලා කලබල වෙන්න එපා. මේ පේෂකාර දියණිය නන් දොඩවීමක් කළේ නැහැ. වැරැදි දෙයක් කිව්වෙත් නැහැ. ඇය දුන්න පිළිතුරු බොහෝම අර්ථාන්විතයි කියා වදාළා.

එන්නේ කොහේ සිටද කියා අසුවාම බුදුරජාණන් වහන්සේ අදහස් කළ කාරණය ඇය හොඳින් දැක්කා. දන්නේ නැහැ කිව්වේ ඇය මනුෂ්‍ය ලෝකයට ආවේ කොහේ ඉඳළාද? කියා ඇත්තටම දන්නේ නැහැ. අප කවුරුත් දන්නේ නැහැ. මැරෙන අය මව් කුසකට ඇඳෙනවා. පවු කළ අය සතර අපායට ඇඳෙනවා. යක්ෂ, භූත, පේ‍්‍රත, තිරස්චීන ලෝකවලට ඇඳෙනවා. පින් කරගත් ඇත්තෝ සුගතිය කරා ඇඳනවා. දිව්‍ය, බ්‍රහ්ම ලෝක කරා ඇඳෙනවා. ආශ්‍රව සහිත සිත අනාශ්‍රව භවයට පත්කර ගත්තා නම්, පහන් සිලක් නිවිලා යනවා වගේ මේ ඝෝර සසරින් නිදහස් වෙනවා. එන තැන දන්නේ නැති නිසයි ඇය දන්නේ නැහැ කිවුවේ. යන්නේ කොහිද කියා ඇසුවා. දන්නේ නැහැ කිව්වා. මේ ජීවිතයෙන් පස්සේ කොහේ යනවාද කියා දන්නේ නැති නිසා දන්නේ නැහැ කියා උත්තරයක් දුන්නා. එහෙමනම් දන්නේම නැහැ නේද කියා ප්‍රශ්නයක් ඇසුවාම දන්නවා කිව්වා. එහිදී දන්නවා කිව්වේ මෙලොවට එන්නේ කොහි සිටදැයි දන්නේ නැති වුණාට මරණින් මත්තේ යන තැන දන්නේ නැතිවුණාට ඇය දන්නවා මැරෙන බව. ඒකයි ඇය දන්නවා කිව්වේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඇසුවා දන්නවා නේද කියා මම දන්නේ නැහැ කිව්වේ මේ ජීවිතයේදී කවදා කොතැනද කෙසේ මැරෙයිද කියා දන්නේ නැති නිසයි දන්නේ නැහැ කිව්වේ. මමත් ඔබත් දන්නේ නැති ප්‍රශ්න තුනක් එතැන තිබුණා. දන්න එක කරුණක් එතැන තිබුණා. ඒ අප සියලුම දෙනා මැරෙන බව.

ඔබ හිතන්න ඔබ මරණයට සූදානම් වෙන කෙනෙක් නම් ඔබ ඒසඳහා සිත පුරුදු කර තිබෙනවාද? ඔබගේ ගෙදර ගැන ඔබ කරන රැකියාව ගැන ඔබේ දූ දරුවන් ගැන යාන වාහන, මිල මුදල්, තත්ත්වය ගැන සිතනවා වන්නට පුළුවන්. අප නොහිතන එකම දේ මරණය කරා ඇඳෙන අපේ ජීවිත තුළ ඒ සඳහා සුදුසු සිතක් ගොඩනඟා තිබෙනවාද කියන දේයි.මේ පේෂකාර දියණිය මරණ සතිය වැඩූ කෙනෙක්. ඒ මරණය ගැන සිත සිතා ගියපු නිසයි බුදුරජාණන් වහන්සේ ඇසු අර ප්‍රශ්නවලට අපූරු පිළිතුරු ලබා දුන්නේ. උන්වහන්සේ පැහැදිලි කරන්නේත් ඒකමයි.

මේ ලෝකවාසීන් මෝහාන්ධකාරයෙන් මහා ඝන අඳුරකට කළුවරකට ඇඳෙගෙන වැටිලා. ඝන අන්ධකාරයක කොටුවෙලා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් කියා දෙනවා. කුරුළු වැද්දෙක්ගේ දැලකට මහා කුරුළු රෑනක් හසු වුණාම හේ එයින් මිදිලා දැල කපාගෙන හෝ යන්නේ බොහෝම සුළු පිරිසක්. ඒ වගේ හැමදාම මැරෙන අප, හැමදාම මරණය නිසා බියට පත්වෙන අප, මරණයෙන් සමුදෙන අප මරණයෙන් මේ ජීවිතයේ සමු ගන්න ඉන්න අප හිතන්නේ නැහැ මේ මාරයාගේ දැලෙන් මිදෙන්න. ඒ මාරයාගේ දැලෙන් මිදෙන්නේ මනුස්ස ජීවිත ලබාගත් කීයෙන් කීදෙනා ද? මේ ධර්මය ඔස්සේ සිත පුහුණු කරගත් පුද්ගලයාට මාරයා හොඳට හඳුනාගන්න පුළුවන්. ඒ මාරයාගෙන් මිදෙන මඟ හඳුනා ගන්නටත් පුළුවන්. ඔහුට ධර්මයෙන් සුවපත්භාවය ලබන්න පුළුවන්.

එක් අවස්ථාවකදී මේ මරණය සිදුවෙන්න පුළුවන් අවස්ථා කිහිපයක් ගැන උන්වහන්සේ පැහැදිලි කරනවා. අම්මා දරු ගැබ දරනකොට මේ ලෝකයේ එළියවත් දකින්නේ නැතුව කී දෙනෙක් මැරෙනවාද? මවු කුසේදීම ජීවිතයෙන් සමු ගන්නවාද? ඒවගේම මේ දරු ගැබ ටික ටික මෝරලා බිහි වෙන්න සූදානම් වනවිට බිහි කරන්න සුදානම් වනවිටත් මේ දරුවා මියයන්න පුළුවන්. මවුකුසින් මේ ලෝකයට ඇදිලා ලෝකයේ එළිය දකිනකොටම මැරෙන අය ඉන්නවා. ඒ දුක් අප අත්විඳලා ඇති. ඒ වගේම සිතේ ඇතිවන විවිධ කනගාටු භයානක සිතිවිලි නිසා තමන් විසින්ම මරණය ඇතිකර ගන්නට පුළුවන්. සමහර අය වසවිස බොනවා. කෝච්චියට බෙල්ල තියෙනවා. ළිංවලට ගංගාවලට පනිනවා. විවිධ ආකාරයට තමා විසින්ම තමාටම මේ මරණ දුක සමීප කර ගන්නවා. එය බොහෝම භයානකයි. ඒ වගේම අනුන්ගේ විවිධ තාඩන පීඩන වද හිංසා නිසා මේ මරණ දුක අප කරා ඇදී එන්න පුළුවන්.

බුද්ධානුස්සති, මෛත්‍රී අසුභ, මරණ කියන භාවනා හතර ජීවිතයේ ආරක්ෂාව පිණිස පවත්වනවා. බුද්ධානුස්සති වඩන විට අපේ සිත තුළ ශ්‍රද්ධාව වැඩෙනවා. ශ්‍රද්ධාව වැඩෙන සිතක් නරකට, අඳුරට පාපය කරා දුවන්නේ නැහැ. මෙලොව පරලොව දෙලොව ආරක්ෂා කරනවා. මෛත්‍රී භාවනාවත් එහෙමයි. තමන්ට මුලින් මෙත් වඩනවා. ඒ වගේම තමන්ගේ පවුලේ අයට, ගමේ, පළාතේ, රටේ, ලෝකයමට මෙත් වඩනවා. එවිට අප අනුන්ගේ පණ නසන්නට උත්සාහ කරන්නේ නැහැ. අනුන්ගේ දේ සොරකම් කරන්නේ නැහැ. නරක නපුරු දේවල් අනුන්ට කරන්නේ නැති නිසාම මහ පවු කන්දක් පාප බරක් අපේ සිතේ අරක් ගන්නේ නැහැ. ඒ නිසාම අපට විශාල ආරක්ෂාවක් මෛත්‍රී භාවනාවෙන් ඇතිවෙනවා. අසුභ භාවනාවෙන් කියවෙන්නේ මේ ශරීරයේ තිබෙන දෙතිස් කුණුප කොටස් ගැනයි. මේ අසාර වූ ජීවිතයේ කය ගැන මැනවින් යෝනිසෝමනසිකාරය කරන විට නුවණැති සිහිය, නුවණ ඒකාග්‍රාක කිරීම නිසා මාන්නය උඩඟු බව නැති වෙනවා. ඒක සසර ආරක්ෂාව පිණිස හේතු වෙනවා. මරණ සතිය වැඩීම නිසා හැම මොහොතකම පාපයෙන් වෙන්වෙලා මරණයට සූදානම් වූ සිතක් ඇතිකර ගන්නට භාග්‍යය ලැබෙනවා. ඒනිසා මේ කියන භාවනා හතර චතුර්විධ ආරක්ෂ භාවනා බවට පත්වෙනවා. අපේ සිත අප හැදිය යුතුමයි. බොහෝ දෙනා කය හදනවා. ආටෝප සාටෝප කරනවා. කෙස් පාට කරනවා. නියපොතු ඇඟ පාට කරනවා. මේ ඇඟම ලස්සන කරනවා. ආහාර පාන ලබා දෙනවා. සිත පිරිසුදු කර ගන්න කිසිම වියදමක් මෙහෙයක්, උත්සාහයක් දරන්නේ නැහැ. මේ සිත පිරිසුදු කර ගන්න. ඒනිසා සිත පිරිසුදු කර ගන්න මේ ජීවිතේ ආරක්ෂා කර ගන්නට පරලොව ජීවිතය ආරක්ෂා කර ගන්නට හැම මොහොකම මේ චතුරාක්ඛා භාවනා වැඩිය යුතුමයි.

ඒ නිසා මේ භයානකකම දකින්න ලැබුණ අවස්ථාවෙන් අප ඵල නෙලා ගනිමු.

නයනා නිල්මිණි