Print this Article


සම්බුදුගුණ මනාව හඳුනාගත් අනාථ පිණ්ඩික දිව්‍යපුත්‍රයා

සම්බුදුගුණ මනාව හඳුනාගත් අනාථ පිණ්ඩික දිව්‍යපුත්‍රයා

ඒ උතුම් සම්බුදුගුණ හඳුනා නො ගෙන අප්‍රසාදයෙන් පසු වූ දෙවිවරු පිරිසක් හේතුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සොඳුරු ධර්ම කරුණු කිහිපයක් අප ගියවර ඉගෙන ගත්තා. අද අප ඉගෙන ගන්නේ ඒ උතුම් සම්බුදුගුණ මනාකොට හඳුනාගෙන අචලප්‍රසාදයට පත්ව සිටි දිව්‍ය පුත්‍රයෙකු හේතු කොටගෙන ඇති වූ සිදුවීමක්.

අපගේ ගෞතම බුදුජාණන් වහන්සේ වරක් දේශනා කළා

යේ කේචි බුද්ධං සරණං ගතාසේ
න තේ ගමිස්සන්ති අපායං
පහාය මනුසං දේහං
දේවකායා පරිපූරෙස්සන්ති

යම්කිසි කෙනෙක් බුදු සමිඳුන් සරණ ගියානම් ඒ උදවිය අපායට යන්නේ නැහැ. මිනිස් සිරුර අත්හැරියට පස්සේ ඒ උදවියගෙන් දෙව්ලොව පිරෙනවා. මනුලොව උපන් මිනිසුන් අතරේ ඉතාමත් අතලොස්සකට ඒ දුර්ලභ අවස්ථාව උදාකර ගන්නට හැකිවුණා. ඒ සියලුදෙනා ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වූ අයයි. ගෞතම බුද්ධ ශාසනයේ උපාසකයන් කියු විට නිරායාසයෙන්ම සිහිපත් වන කෙනෙක් තමා අණේපිඬු සිටුතුමා. එතුමාගේ සැබෑ නම තමා සුදත්ත. ඔහුට අපගේ බුදුරජාණන් වහන්සේ හමු වූ අයුරු විශ්මිතයි.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර සීත වනයේ. එදා "සුදත්ත" ගෘහපතියාද යම්කිසි කටයුත්තකට රජගහ නුවරට ඇවිත් හිටියා. ඉතිං සුදත්ත ගෘහපතියාට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වුනා කියලා අහන්න ලැබුණා. ඒ ඇසීමත් සමඟම භාග්‍යවතුන් වහන්සේ ළඟට යන්න ඔහු තුළ ලොකු ආශාවක් ඇතිවුණා. එතකොට සුදත්ත ගෘහපතියාට සිතුනා අද භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට යන්න ඕන කියලා. බුදු සමිඳුන් ගැනම හිත හිතා ඔහු නිදා ගත්තා. අළුයම කියලා හිතාගෙන රෑ තුන් වරක් ම නැගිට්ටා. බුදු සමිඳුන් ගැන අසන්නට ලැබුණ ගුණම සිහිපත් කරමින් සිටි නිසා ඔහුට නො දනීම සිත සමාධිමත් වෙලා ආලෝකයක් පහළවුණා. අළුයම උදා වුනා කියා සිතු ඔහු පිටත් වුණා. අන්තිමේදී සුදත්ත ගෘහපතියා නගරයේ සොහොන් පිට්ටනියේ දොර ළඟටත් ආවා. ඔහුගේ තිබූ පුණ්‍යානුභාවයට අමනුස්සයෝ දොර ඇර දුන්නා.

එවිට සුදත්ත ගෘහපතියා නගරයෙන් නික්මෙද්දී සොහොන දැක භයක් හටගත්තා. එළිය අතුරුදහන් වුනා. කළුවර වෙලා ගියා. භයත්, තැති ගැනීමත්, ලොමු දහගැනීමත් ඇතිවුණා. ආපසු හැරිල යන්නට හිතුනා. ඒ මොහොතේ "සීවක" නම් යක්ෂයෙක් නොපෙනී සිට හඬනඟා මෙම ගාථාව කිව්වා.

සතං හත්ථි සතං අස්සා
සතං අස්සතරී රථා
සතං ඤඤ්ඤාසහස්සානී ආමුත්තමණිකුණ්ඩලා
ඒකස්ස පදවිතිහාරස්ස
කළං නාග්ඝන්ති සෝළසින්ති

ඇත්තු ලක්ෂයක් ලැබුණත්, අශ්වයන් ලක්ෂයක් ලැබුණත්, වෙළඹුන් ලක්ෂයක් ලැබුණත්, අශ්ව රිය ලක්ෂයක් ලැබුණත්, මුතු මැණික් ආභරණවලින් සැරසුන කන්‍යාවන් ලක්ෂයක් ලැබුණත් ඒවා බුදු සමිඳුන් බැහැ දකින්න තබන එක පියවරකින් සොළොස් කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නැහැ. පින්වත් ගෘහපතිය, ඉස්සරහට යන්න. පින්වත් ගෘහපතිය, ඉස්සරහට යන්න, ඉස්සරහට යන එකමයි ඔබට උතුම්. ආපසු හැරිලා යන්න ඕන නැහැ.

එවිට සුදත්ත ගෘහපතියාට කලුවර ගතිය නැතිවුණා. ආලෝකය ඇතිවුණා. කලින් තිබුණ භය, තැති ගැනීම, ලොමු දහගැනීම සංසිඳුනා. ඉතින් සුදත්ත ගෘහපතියා සීත වනයට ආවා. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී හිමිදිරියේ අවදිවෙලා එළිමහනේ සක්මන් කරමින් හිටියේ. භාග්‍යවතුන් වහන්සේ දුරින්ම පැමිණෙන සුදත්ත ගෘහපතියා දැක්කා. සක්මනින් ඉවත්වෙලා පැන වූ ආසනේ වැඩසිටියා. වැඩ හිඳගත් භාග්‍යවතුන් වහන්සේ සුදත්ත ගෘහපතියාට මෙහෙම වදාළා.

“පින්වත් සුදත්ත, මෙහෙ එන්න”

එතකොට සුදත්ත ගෘහපතියා ‘භාග්‍යවතුන් වහන්සේ මගේ නමින්ම කථාකොට වදාළා කියා එතැනම භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් අභියස වැඳ වැටුනා. සුදත්ත අසනවා, භාග්‍යවතුන් වහන්ස, සුවසේ සැතපුණ සේක්ද? කියා. එවිට උන්වහන්සේ ඒ මොහොතේ ඔහුට මෙබඳු ධර්මයක් දේශනා කොට වදාළා.

‘යම් කෙනෙක් කාමයන්ට ඇලෙන්නේ නැත්නම්, සිහිල් වෙලා නම්, කෙලෙස් රහිත නම් පිරිනිවිලා නම්, ඒ බ්‍රාහ්මණයා හැමදාම ඒකානත්යෙන්ම සුවසේ සැතපෙනවා. සියලු තණ්හාව නැතිකරලා හදවතේ පීඩාව දුරු කරලා, සිතේ සංසිඳීමට පැමිණි උපශාන්ත පුද්ගලයා සුවසේ සැතපෙනවා.

සසරේ කරන ලද පින්වල බලෙයන් මහා නුවණැත්තෙක් වූ සුදත්ත ගෘහපතියා එම ධර්මය ශ්‍රවණය කරන විටම සෝවාන් ඵලයට පත්වුණා. ඉන්පසු ඔහු ආරාම පූජාවන්, මහා දානමය පින්කම් සිදුකළා. ඔහුට පරපුරෙන් ලැබුණ ධනය අවසන් වන තරමටම දන් දුන්නා. එනිසාම ඔහු අනාථපිණ්ඩික නමින් ප්‍රසිද්ධ වුණා. ගෞතම බුදු සසුනේ උපාසකයන් අතර අග්‍රදායකයා බවට පත්වීමට ඔහු භාග්‍යවන්ත වුණා. නිතර නිතර භික්ෂුන් බැහැදැකීම සිටුතුමාගේ සිරිතක්. ඒ සඟ පිරිස අතරේ ඔහු ගොඩක්ම පි‍්‍රයකළේ සාරිපුත්ත මහ රහතන් වහන්සේටයි.

මෙසේ කලක් ගතවෙද්දී සිටුතුමා හොඳටම අසනීප වුණා. ඒ හේතුවෙන්ම ටික දිනකින් කලුරිය කළා. රැස්කළ පින් බලයෙන් දෙවියන් අතර ඉපදුනා. ඉතින් අනේපිඬු සිටුතුමා විසින්ම කර වූ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ සමීපයට මේ දිව්‍යපුත්‍රයා පැමිණුනා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර පැත්තකින් හිට ගත්තා. එකත්පසක සිටි අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.

මේ ජේතවන අසපුවේ ඉසිවරයන් වහන්සේලා පිරී ඉතිරි වැඩ ඉන්නවා දැක්කහාම ධර්මරාජයන් වහන්සේත් වැඩ ඉන්නවා දැක්කාහම මා තුළ පුදුම පී‍්‍රතියක් ඇතිවෙනවා. ක්‍රියාකලාපයත්, අවබෝධ ඤාණයත්, ධර්මයත්, උතුම් සිල්වත් ජීවිතයත් කියන මෙයින් තමයි සත්ත්වයන් පිරිසුදු වෙන්නේ. උපන් කුසලයෙන්වත්, ධනයෙන්වත්, සත්ත්වයන් පිරිසුදු වෙන්නේ නැහැ. ඒ නිසා නුවණැති පුද්ගලයා තමන්ගේ යහපත කැමැතිනම් නුවණින් යුක්තව ශ්‍රී සද්ධර්මය විමසා බලන්න ඕන. එවිටයි කෙනෙක් පිරිසුදු වෙන්නේ. ප්‍රඥාවෙනුත්, සීලයෙනුත්, සංසිඳීමෙනුත්, උතුම් වන්නේ මේ සැරියුත් තෙරුන් වහන්සේම යි. සසරෙන් එතෙරට වැඩි යම් භික්ෂුවක් වේනම් උන්වහන්සේලා අතුරින් සාරිපුත්තයන් වහන්සේම ශ්‍රේෂ්ඨයි.

අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා මෙසේ පැවසුවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා. එතැනම නොපෙනී ගියා. ඒ රාත්‍රිය ගෙවුනට පස්සේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතුවා.

පින්වත් මහණෙනි, මේ රාත්‍රියේ සුන්දර පෙනුම තිබෙන එක්තරා දෙවියෙක් රැය පහන්වෙන වෙලාවේ මුළු ජේතවනයම බබුළුවාගෙන මම ළඟට ආවා. ඇවිදින් මට වන්දනා කරලා පැත්තකින් හිටගත්තා. පින්වත් මහණෙනි, පැත්තකින් හිටගත්තු ඒ දිව්‍ය පුත්‍රයා මා අසලදී මේ ගාථාවන් පැවසුවා කියලා ඒ ගාථාවන් එලෙසින්ම භික්ෂූන්ටත් පවසා වදාළා. එතකොට උන්වහන්සේ අසලම සිටි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

ස්වාමිිනි, ඔය දෙවියා නම් අනාථපිණ්ඩිත දිව්‍යපුත්‍රයාම වෙන්න ඕන. අනාථපිණ්ඩිත දිව්‍යපුත්‍රයා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගැන ගොඩක් පැහැදිමකින් හිටියේ.

භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට මෙසේ පැවසුවා. “සාධු සාධු පින්වත් ආනන්ද, යම්තාක් තර්කයෙන් දැනගත යුතු නම්, ඔබ ඒ තාක් දැනගත්තා නේද? පින්වත් ආනන්ද, ඔහු අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයාම තමයි”.

අපට මේකෙන් ඉතාම හොඳට තේරුම් ගන්න පුළුවන් පිනේ වටිනාකම. පින්කරන කෙනා ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙමයි. හොඳට පින් දහම් කරගත්ත කෙනා තමයි මෙලොවදී සතුටු වෙන්නේ. පරලොවදී සතුටු වෙන්නෙත් ඔහුම යි. දෙලොවදීම ඔහු සතුටු වෙනවා. මම පින් කරගත්තා කියා සතුටු වෙනවා. සුගතියේ ඉපදුනාට පස්සේ ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඒ නිසා අපත් මේ ලද දුර්ලභ මනුස්ස ජීවිතය හැකිතාක් පිනෙන් පුරවා ගන්නට මහන්සි ගනිමු.

නයනා නිල්මිණි