Print this Article


පූජාච පූජනීයානං

පත්බේරියේ ශ්‍රී විමලඤාණ නා හිමි

කිරුලපන, ශ්‍රී පූර්වාරාමය ඇතුළු, නාරාහේන්පිට ශ්‍රී අභයාරාමය, පංචමහා විහාරයන්හි අධිපතිත්වය දරන විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (පිරිවෙන්) සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පත්බේරියේ ශ්‍රී විමලඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවෙන් පත් කරන ලද රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ධුරය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ලබාගැනීමේ හා පිළිගැනීමේ උත්සවය 2015 අගෝස්තු මස 22 කෝට්ටේ දී හා 23 දින කිරුළපන දී පැවැත්වීමට තීරණය කර ඇත.

පත්බේරියේ ශ්‍රී විමලඤාණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1949.08.20 දින පත්බේරිය ග්‍රාමයෙහි උපත ලදහ. උන්වහන්සේ රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා තලාවිටියේ පේමාලෝක නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු ලෙස 1960.12.30 දින කිරුළපන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ දී පැවිදි දිවියට ඇතුළත් වූහ. 1970.07.08 දින කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරිමංගල උපෝෂථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබුු අතර 1969 දී විද්‍යෝදය පිරිවෙනේ අවසාන පරීක්ෂණයෙන් ගෞරව පත්තියේ පළමුවැනියා ලෙස සමත්ව ශ්‍යාමරාජ ත්‍යාගය ඇතුළු ත්‍යාග රැසක් දිනා ගත්හ. රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති, අධ්‍යාපන ඩිප්ලෝමා යන උපාධි ද ලබා ගත්හ. අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය හා පරිවේණාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇති උන්වහන්සේ අධ්‍යාපන පරිපාලන තනතුරු රැසක් දරන ලද හිමිනමක් වශයෙන් ජාතියටත් ශාසනයටත් ඉමහත් සේවයක් ඉටුකර ඇත.

1980 දී කම්මවාගාචාර්යවරයකු හා කාරක සභිකයෙකු ලෙස කෝට්ටේ සංඝ සභාවට තේරී පත් වූ නාහිමියෝ විනිශ්චයකාරක සභික අනුවිජ්ජක ධුරය දරමින් එම සංඝ සභාවේ උන්නතිය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කරති. තිඹිරිගස්යාය ශාසනාරක්ෂක ප්‍රාදේශීය මණ්ඩලයේ සභාපති, කොළඹ දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ උප සභාපති, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කාරක සභිකවරයෙකු ආදී වශයෙන් විවිධ තනතුරු දරමින් ශාසනයටත් දහම් පාසල් ක්ෂේත්‍රයටත් සමස්ත සමාජයටත් පුළුල් සේවාවක යෙදී සිටිති. ශ්‍රී පූර්වාරාමස්ථ ශ්‍රී සද්ධර්මෝදය රිවිදින දහම් පාසලේ පනස් වසරක සේවාවක නියැළුණු ශ්‍රී විමලඤාණ නාහිමියෝ සිරිරහල් ළදරු පාසල, ශ්‍රී සුමනසාර ළමා සමාජ, කිරුළපන සණස සමිතිය, ශ්‍රී පූර්වාරාම කාර්ය සාධක සමිතිය, සණස බැංකුව, ශ්‍රී පූර්වාරාම කුළඟන සමිතිය ආරම්භ කිරීමෙන්ද පන්සලෙන් ගමට තේමාව යටතේ ගමට අගනා සේවාවක් සිදුකරති. සිල්වත් උගත් සිසු පරපුරක් සසුනට දායාද කිරීමේ උදාර අරමුණ ඇතිව 1998 ද ශ්‍රී පඤ්ඤාලෝක ධර්ම නිකේතන පිරිවෙන ආරම්භ කොට සාර්ථකව කරගෙන යන අතර එමගින් රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී ආදි උපාධි ලැබූ විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් බිහිකර තිබීම සතුටට කරුණකි. 15 නමකට අධික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් සසුන් ගතකළ නාහිමියෝ සිය ගණනක් වූ පාරිවේණික සිසුන්ට උපදේශනය කරති.


පන්ගම්විලයායේ සෝරත නා හිමි

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන පන්ගම්විලයාය, ග්‍රාමවරය උන්වහන්සේගේ ජන්ම භූමිය විය. එම ගම් පියසේ ගම් විදානගේ මාටින් මහතාට හා කුසුමාවතී මහත්මියට දාව 1948 දුරුතු මස 02 වැනි දින ජන්ම ලාභය ලැබීය.

කටුවන මහ විද්‍යාලයේ හැම ක්‍රීඩා ඉසව්වකටම නැතිවම බැරි ක්‍රීඩකයෙකු වූ මොහු තුළ තිබුණු ශක්තිය, බලය හා ජවසම්පන්න බව මනාව පිළිබිඹු කළේය. ජයග්‍රහණයත්, පරාජයත්, සමසේ භුක්ති විඳීමට ආත්ම ශක්තියක් තිබුණු මොහු වඩාත් ජනපි‍්‍රය වූයේ ක්‍රීඩකයෙකු තුළ තිබිය යුතු හොඳ ආත්ම සංයමයත් ක්‍රීඩා කෞශල්‍යයත් විදහා දැක්වීම නිසාය. වයස 19 වන විට අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් උසස් සාමාර්ථයක් ලබා ගැනීමට සමත් වූ මොහු මේ වන විට ක්‍රීඩා අංශයෙන්ද සහතික රැසක් හිමිකරගෙන සිටියේය .

කුඩා කල සිටම ආගම, දහම පිළිබඳව වැටහීමක් තිබුණූ හෙයින් නව යොවුන් වියේදීම සසර පින් මහිමය නිසා සිය දෙමාපියන්ගෙන් පැවිදි වීමට කැමැත්තක් ලබා ගෙන පස්ගොඩ ශ්‍රී නාගරාමාධිපතිව වැඩ විසූ බෙංගමුවේ හේමාලෝක නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස 1967 නිකිණි මස 24 වැනි දින උතුම් පැවිදි දිවියට ඇතුලත් විය.

මූලික පැවිදි අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ත්‍රිපිටක ධර්මය පිළිබඳ ප්‍රවීණත්වයක් ඇති ඌරුබොක්කේ ශ්‍රී මේධංකාර පිරිවෙනෙහි වැඩ සිටි පරිවෙනාධිපති ශාස්ත්‍රවේදී බෙන්ගමුවේ චන්දානන්ද හිමිපාණන් වහන්සේ වෙත යවනු ලැබීය. වසර දෙකක් තුළදී එම අධ්‍යාපනය ලබාගත්හ.

අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබාගැනීමෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා සිද්ධමුල්ල ශ්‍රී සංඝාරාම විහාරස්ථානයෙහි නේවාසික වෙමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ලබා රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙසත් නියෝජ්‍ය පරිවෙණාධිපති ලෙසත් අවුරුදු තිහකට අධික කාලයක් සම්බුද්ධ ශාසනයට අමිල සේවයක් උන්වහන්සේ විසින් සිදු කරන ලදී. පරමධම්මචේතිය පිරිවෙනෙහි කරන ලද සේවයට බාධාවක් නොවන පරිදි 1980 අගභාගයේදී කටු මැටිවලින් තනවා ගත් පොඩි කුටියක මත්තේගොඩ ජනාවාසයෙහි නතර වී පළාත් වාසී බෞද්ධ ජනතාවගේ ආගමික, ජාතික සංස්කෘතික සේවාවන් ඉටු කිරීමට ද මුන්වහන්සේ කැප වූහ.

කුඩා ආවාසයක් වශයෙන් පවත්වාගෙන ගිය මෙම ස්ථානය තමන්ට ලබාදුන් පරගස්තොට පියරතන නාහිමිපාණන් වහන්සේ සිහිපත් වනු වස් පන්සල පියරතනාරාමය යන නමින් ප්‍රකාශයට පත් කරන ලදී. එම පන්සල දශක දෙකක් තුළදී ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් සමන්විත අංග සම්පූර්ණ මහා විහාරස්ථානයක් ලෙසට නගා සිටුවීමට හැකි වූයේ පන්ගම්විලයායේ සෝරත නාහිමිපාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසාම ය.

වර්තමානය වන විට සියලු විහාර අංගයන්ගෙන් යුක්තව මහා විහාරස්ථානයක් ලෙසට දියුණු කිරීමට පන්ගම්විලයායේ සෝරත ස්වාමින් වහන්සේට හැකි වී ඇත. උන්වහන්සේ තායිලන්තය, තායිවානය , සිංගප්පූරුව වැනි රටවලටද වරින් වර වැඩම කළහ. ඒ ජාත්‍යන්තර සංඝ සම්මේලනයට සහභාගි වීමට සහ නිරීක්ෂණ කටයුතු සඳහාය.

නායක හාමුදුරුවෝ විවිධ සඟරා පුවත්පත් සහ නිර්මාණවලට ශාස්ත්‍රීය ලිපි මෙන්ම චරිතාපදාන බොහොමයක් ඉදිරිපත් කොට ඇත. ඡ්‍යොතිෂ ශාස්ත්‍රය, වෛද්‍ය ශාස්ත්‍රය සහ ගෘහ නිර්මාණ ශාස්ත්‍රය පිළිබඳව අවබෝධයක් ඇති මුන්වහන්සේ ඒ තුළින් රටට සමාජයට කරනු ලබන මෙහෙය උදාරය. චිත්‍ර මූර්ති සහ කැටයම් කලාව උන්වහන්සේගේ උපතින්ම ගෙන ආ දායාදයක් වේ.

මත්තේගොඩ විහාරස්ථානයේ නිර්මාණය සහ එහි ප්‍රදර්ශනය වන බොහොමයක් චිත්‍ර මූර්ති , කැටයම් තුළින් මුන්වහන්සේගේ එම කුශලතාව මතුවේ. සෝරත හිමියන් විසින් කරන ලද ජාතික,ආගමික, අධ්‍යාපනික , ශාසනික , සාමාජික, සංස්කෘතික ආදි සේවාවන් ඇගයීම් වස් මුළු දිවයිනටම බලපවත්වන පරිදි සාම විනිසුරු පදවියද රජය විසින් පිරිනමනු ලැබීය.

මත්තේගොඩ ශ්‍රී පියරතනාරාමය, පස්ගොඩ ශ්‍රී නාගාරාමය යන උභයවිහාරාධිපති සල්පිටි කෝරළයේ හා උඩගහ පත්තුවේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශී‍්‍ර ශාස්ත්‍රවේදී පන්ගම්විලයායේ සෝරත නාහිමිපාණන් වහන්සේට බොහෝ කාලයක් නිදුක්ව, නිරෝගීව සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියේ නියැළෙන්නන්ට තුණුරුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ රැකවරණය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


ගණේකන්දේ චන්දරතන හිමි

ගණේකන්දේ චන්දරතන හිමියන් වැඩවසන්නේ අලව්ව නාරම්මල ශ්‍රී පුෂ්පාරාමය නම් වූ රමණීය පින් බිමේය.

සාමාජික සාමාජිකාවන් සිව් දෙනෙකුගෙන් යුතු කුටුම්බයේ ජ්‍යෙෂ්ඨ පුතනුවූ කුලතුංග ආරච්චිලාගේ තරංග ජීවන් කුමාර කුමරු තෙම ළදරු වියේ සිටම දහම් පාසලේ දී මෙන්ම පාසලේදී ද කවියටම උපන් හපන්කම් විදහා දක්වන්නට යෙදුනෙන් 1997 ක්වූ ඉල් මස 22 වන දින අලව්ව ශ්‍රී පුෂ්පාරාමයේ දී ගල්වාරම ශ්‍රී සුමනතිස්ස නාහිමියන්ගේ සහ මහගල්වැවේ විමලරතන නාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් උතුම් පැවිදි දිවියට පත්ව උගතමනා බණ ප්‍රගුණ කළ අප ගනේකන්දේ චන්දරතන සාමණේරයෝ 2007 ක්වූ පොසොන් මස 27 වන දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා සීලය ලදහ.

කුලතුංග ආරච්චිලාගේ උපාලි ප්‍රේමසිරි හා බදුල්ලෑවගේ නාරිලතා කුමාරිහාමි දම්පතීන්ගේ පුතනුවෝ වත්මනෙහි නම්දරා සිටිනුයේ ‘කවිබණ හාමුදුරුවෝ’ යන අන්වර්ථ නාමයෙනි. දේශනයට පමණක් සීමා නොවී කාව්‍ය රචනයටද උරුමකම් කියන ගනේකන්දේ චන්දරතන හිමියන් වෙත ‘සද්ධර්ම වාගීෂ්වර කාව්‍ය ශ්‍රී විචිත්‍රභාණී’ මෙන්ම ‘ශාසන කීර්ති ශ්‍රී කාව්‍ය විශාරද පණ්ඩිත’ වැනි ගෞරව සම්මානෝපාධි පිරිනමා තිබීම අතිශයින්ම අගය කටයුත්තකි.

“අසිරිමත් බුදුසමිඳු” අම්මාවරුනේ, දෙමව්පියෝ ආදී විවිධ තේමාවන් අනුව මේ දක්වා කවිබණ සංයුක්ත තැටි විශාල ප්‍රමාණයක් ශ්‍රාවක දෙසවනට දායාද කොට තිබෙනු දැකීම ප්‍රශංසනීය. ගුවන්විදුලියේ සෑම නාලිකාවකම පාහේ ඉරිදා කවිබණෙන් ද සජීවී යුගාසන කවිබණෙන් මෙන්ම රූපවාහිනී නාලිකා තුළින්ද මනස දහමින් සුවපත් කරන ගනේකන්දේ චන්දරතන ස්වාමීන් වහන්සේ පුසාදයට ලක්විය යුතු හිමි නමකි.

වර්ෂ 2015 ක්වූ අගෝස්තු මස 12 සහ 13 යන දෙදින පුරා උන්වහන්සේගේ ජන්ම දිනය නිමිතිකොට අලව්ව ශ්‍රී පුෂ්පාරාමයේ දී මහ පින්කම් මාලාවක් සිදු කෙරිණි. ගනේකන්දේ චන්දරතන කවිබණ හාමුදුරුවන්ට තුනුරුවනේ ආශීර්වාදයත් සියලු දෙවියන්ගේ ආරක්ෂාවත් හේතුවෙන් ලෝ සසුන් වැඩ වඩන්නට දිගාසිරි ලැබේවායි මෙත්සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමු.