Print this Article


යහපත සලසන දහම් මඟ

යහපත සලසන දහම් මඟ

ජන සමාජය මවට, පියාට සලකන තුරා දියුණුව පවතිනවා. දුවා දරුවන් සුවච කීකරු වෙන තරමටම දියුණුව, ආරක්ෂාව පවතිනවා. සමඟිය ,සමාදානය තිබෙන තරමට සැපවත් ජීවිතයක් ගෙන යන්න පුළුවන්. ආයතනයක දියුණුව ඇති කරගන්න මේ අවවාද අනුශාසනා බොහෝම වැදගත්.

තථාගත බුදුරජාණන් වහන්සේගේ දහමට අනුකූලව නිවැරැදි ජීවිතයක් ගත කරන්නේ කෙසේද? යන්න කොයි කවුරුත් දැනගත යුතුයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉක්මන් වෙන්නත් එපා. ඉක්මනින් වැඩ කරවා ගන්නත් එපා කියලා. එහෙම වුණොත් අන්තිමට සිද්ධ වෙන්නෙ දුකක්. තමා ඉක්මන් වුණොත් කරදර පීඩා බහුල වෙනවා. ඉක්මනින් වැඩ කරවා ගත්තොත් අලාභහානි, විපත් වැඩි වෙනවා. එනිසා ඉක්මන් වෙන්නත් එපා. ඉක්මනින් වැඩ කරවා ගන්නත් එපා. එහෙම වුණොත් අනර්ථයක් සිදු වෙනවා කියලා බුහුරදුන් වදාළා. මේක අප පාඩමකට ගත යුතුයි. ඉක්මන් වුණොත් අනතුරු බහුල වෙනවා. සිහිකල්පනාවෙන් ගමන ඉක්මන් කළොත් අපට කිසිම කරදරයක්, පීඩාවක් ,බාධාවක් , අනතුරක් වෙන්නෙ නෑ.

ඒ වගේම ඉක්මනින් වැඩ කරවා ගත්තොත් ඒ වැඩය බාල වෙනවා. ඇද වැටෙනවා. මේ තථාගත දේශනාවට අනුව ඔබ අප සියලු දෙනාම සතුටට පත්වීමට අවශ්‍යයි. මේ ජීවිතය සරු සාර කර ගැනීමට ඡන්දය, චිත්තය, වීර්ය, විමංසා ධර්ම හතර තිබුණොත් නිවැරැදිව කටයුතු කරගන්න පුළුවන්. මේ වටිනා දහම අපේ ජීවිතවලට සම්බන්ධ කරගත යුතුයි. කරන කියන සියලුම දේ බලවත් කැමැත්තකින් සිදු කිරීම පළමු කාරණයයි. සියලු කරන කියන දේ බලවත් සිතකින් කිරීම දෙවැන්නයි. කරන කියන දේ බලවත් උත්සාහයකින් කිරීම තෙවැන්නයි. කරන කියන සෑම දෙයක්ම නුවණින් සිදුකිරීම හතරවන කාරණයයි. එහෙම වුණොත් අපට මේ සෑම දෙයක්ම සාර්ථකව කරගන්න පුළුවන්. දැහැමි ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තුවන සියල්ලෝම අවංක භක්ත්‍යාදරයෙන් ඡන්ද, චිත්ත, විරිය, විමංසා ධර්මයන් තුළින් තමන්ට දියුණුවක්, යහපතක් සලසා ගන්න පුළුවන්. මේවායින් පාරිබාහිරව කටයුතු කළොත් දියුණුවක්, යහපතක් සලසා ගැනීම ලෙහෙසි පහසු නෑ. ඉතාමත්ම පහසු ක්‍රමයට තම ජීවිතය සකස් කර ගන්නට නුවණින් සිතා බලමින් වැඩකටයුතු කරන්න. එහෙම නොවුණොත් හැම දෙයක්ම අතරමං වෙලා දියුණුව පිණිස යමක් කරන්නට බැරි වෙනවා. තථාගත ධර්මය සිහි නුවණට මූලික තැන දීලා තියෙන්නේ ඒ නිසයි. ‘සිහිනුවණ’ සම්බුද්ධ ශාසනයේ මූලික ධර්මයක් ලෙස ‘අප්‍රමාදය’ යනුවෙන් හඳුන්වනවා. ඒ අප්‍රමාදය අප දියුණු කරන තරමටම මහා බලයක් ශක්තියක් උදාකර ගන්න පුළුවන්. අපට ඕන කරන්නේ මේ ජීවිතය සකස් කර ගැනීමේ ක්‍රමයයි. ජීවිතය දියුණුව පිණිස කටයුතු කරගන්න කවුරුත් මහන්සි ගන්න ඕන. දියුණුව නැත්නම් තව තවත් පිරිහෙනවා. දියුණුව සකස් කර ගැනීම තම තමන් සතු වගකීමක්. එය පැහැර හරින්නේ නැතිව කොයි කවුරුත් බලවත් ඕනෑකමකින් ඉදිරියට යන්න ශක්තිය සකසා ගත යුතුයි.

බුදුරජාණන් වහන්සේ අපට ජීවත් වන ක්‍රමය ඉතා හොඳින් වදාළා. කරණීය මෙත්ත සූත්‍රය, මහා මංගලසූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය, සිඟාලෝවාද සුත්‍රය ආදියෙන් අපට හොඳ, නරක, පෙන්වා දී තිබෙනවා. හොඳ දෙයින් සැප විපාකත් නරක දෙයින් දුක් විපාකත් ලැබෙනවා. එනිසා දුක් විපාක ලැබෙන දේ ඉවත් කරලා සැප විපාක ලැබෙන දේ සකසා ගත යුතුයි.

මිනිස් සිත දියුණු කර ගැනීම ඉතාම වැදගත්. දියුණුව, දියුණුව කියලා කතා කළාට බාහිර දියුණු ඕන තරම් තියෙනවා. ඒත් හිත දියුණු නෑ. අනතුරු එන්න එන්න වැඩිවෙන්නෙ හිත දියුණු නැති නිසයි. කලබලකාරිකම වැඩිවුණොත් විපත් කරදර බහුල වෙනවා. එනිසා නුවණ පාවිච්චි කරලා තමන්ගේ දියුණුව,ආරක්ෂාව, සලසාගත යුතුයි. ඉක්මන් ගමන් යාමෙන් ආයුෂ කොටයි කියන්නේ සිහි කල්පනාවෙන් තොරව අති ධාවනයයි. ඉක්මන් වුණාට කමක් නෑ සිහිකල්පනාවෙන්. එහෙමනම් සාරවත්, බලවත්, වාසනාවන්ත ජීවිත කියන්නේ සිහිකල්පනාවෙන් වැඩකරන අයගේ ජීවිතවලට පමණයි. සිහිකල්පනාවෙන් තොරව ජීවත් වුණොත් දියුණුවක් ලබන්න බෑ. අධ්‍යාපනය දියුණුව පිණිස ගෙනයන්න බෑ. රැකී රක්ෂාව, වෙළෙඳාම දියුණුව පිණිස ගෙනයන්න බෑ. ඒ වගේම විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වෙන්න බෑ. බැරිකම මොකද? සිහිකල්පනාවෙන් තොරවයි අධ්‍යාපනය ලැබුවේ. එනිසා උසස් තත්ත්වයකට පත්වෙන්න බෑ. ඉගෙන ගන්න දරුවාගේ සිහිකල්පනාව හොද නම් ඉහළ අධ්‍යාපනය ලැබීමට, පන්තියේ පළමු, දෙවන, තෙවන තත්ත්වය ලබන්න පුළුවන්. ඒ වගේම, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විභාග ඉහළින් සමත් වෙන්නත් පුළුවන්. ඊළඟට උසස් අධ්‍යාපනය ලබාගෙන විශ්වවිද්‍යාලවලට පිවිසෙන්නෙ සිහි කල්පනාවෙන් වැඩ කරන අය පමණයි. එනිසා සිහිකල්පනාවෙන් තොරව වැඩකරන අයට කිසිම සැපයක්, දියුණුවක් ලබන්න බෑ. එනිසා හැමදෙනාම තමන්ගේ දියුණුව සකසා ගැනීමට තථාගත ධර්මයට අනුව වැඩ කළ යුතුයි.

සිහිනුවණ යොදාගෙන කරන සෑම දෙයක්ම සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන් බව තථාගත ධර්මය හෙළිදරව් කරනවා. කරණීය මෙත්ත සූත්‍රය දියුණුව පිණිස දේශනා කරපු දේශනාවක්. හැමෝම දක්ෂව,අවංකව කටයුතු කළ යුතුයි.

කීකරුබව, මෘදු ගුණාංග, නිහතමානී බව, ලද දෙයින් සතුටු වීම, පෝෂණයෙන් සමර්ථයකු වීම, අල්ප කෘත්‍ය ඇති කෙනෙක් වීම, කුලයා කෙරෙහි නොඇලෙන , නපුරු ගති පැවතුම් නැත්තෙක් විය යුතුයි. විශේෂයෙන්ම තමන්ගේ ජීවිතයට අවශ්‍ය වන්නේ කුඩා වුවත් වරදක් නොකිරීමයි. යා යුතු මඟ කෙසේද? කරණීය මෙත්ත සූත්‍රයෙන් පෙන්වා දෙනවා. නිවැරැදිව ගමන් කරන නුවණින් වැඩකටයුතු කරන තැනැත්තාට පුළුවන්කම තියෙනවා මේ අනුසාරයෙන් වැඩකටයුතු කරලා ඉදිරියට යන්න. එහෙම අයට විශාල ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. ඒ වගේම පිරිහීම වළක්වා ගන්නත් පුළුවන්.

ජන සමාජය මවට, පියාට සලකන තුරා දියුණුව පවතිනවා. දුවා දරුවන් සුවච කීකරු වෙන තරමටම දියුණුව, ආරක්ෂාව පවතිනවා. සමඟිය ,සමාදානය තිබෙන තරමට සැපවත් ජීවිතයක් ගෙන යන්න පුළුවන්. ආයතනයක දියුණුව ඇති කරගන්න මේ අවවාද අනුශාසනා බොහෝම වැදගත්.

ජීවිතය සාර්ථක කරගන්න බුදුරදුන් ධර්මය විවිධාකාරව වදාළා. ඒ සෑම දෙයක්ම දියුණුව පිණිස මිස පිරිහීම පිණිස නොවෙයි. සැරියුත් , මුගලන්, ආනන්ද, කාශ්‍යප, රාහුල වැනි මහරහතන් වහන්සේලාගේ ජීවිත මේ තරම් ආලෝකවත් වුණේ යහපත් පිළිවෙත් මඟක ගමන් කළ නිසයි. ඒ නිසා කොයි කවුරු වුණත් එවැනි උතුමන්ගේ චරිත හොඳින් ආදර්ශයට ගන්න ඕන. නිවැරැදි පිළිවෙතකින් දියුණුව පිණිස කටයුතු කරමින් ඉදිරියට යා හැකියි. තථාගත දේශනාවට අනුකූලව කවුරුත් තම ජීවිතය සකස් කරගෙන අඩුපාඩුකම් යටපත් කරගෙන හොඳ ගතිගුණ සමඟින් ඉදිරියට යෑම අවශ්‍යයයි. එහෙම වුණොත් තමන්ගේ දියුණුව, යහපත, ආරක්ෂාව, සලසාගන්න පුළුවන්.

ලොවුතුරු දහමේ වැදගත්කම තිබෙන්නේ ජනතාවගේ යහපත සකසා දෙන නිසයි. මහජනතාව යහපත් වන තරමටම රට දියුණුව පිණිස ගෙන යන්න පුළුවන්. සමහර රටවල නීතිය හරියටම ක්‍රියාත්මක වන නිසා එයින් පාරිබාහිරව ඒ රටේ ඇත්තේ විශාල දියුණුවක්.එහෙත් නීතිය ක්‍රියාත්මක නොවුණදාට ඒ සියල්ල බිඳ වැටෙනවා. මේ සියලු නීතිවලට වඩා වටින්නේ තථාගත බුද්ධ නීතියයි. ඒ බුද්ධ නීතිය සිත හදාගැනීමට වගේම ලෝක දියුණුව සඳහාත් පවතිනවා.