Print this Article


ප්‍රඥාවේ මූලික ලක්ෂණ

ප්‍රඥාවේ මූලික ලක්ෂණ

සංසාරේ දෙවියෙකුට වේවා ,මනුස්සයෙකුට වේවා වාසනාවට පිහිටන්න ඕන මූලික ම දේ තමා ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කුසල් දහම් කෙනෙකුට වැඩෙන්නට නම් අනිවාර්යයෙන්ම තිබෙන්න ඕන දේ තමා ප්‍රඥාව. ප්‍රඥාවට තව වචනයක් සඳහන් වෙනවා ධර්මයේ යෝනිසෝ මනසිකාරය කියලා. ඒ යෝනිසෝ මනසිකාරයේ එහෙම නැත්නම් ප්‍රඥාවේ ලක්ෂණ මොකක්ද? එහි ස්වභාවය මොකක්ද?

ප්‍රඥාව නැතිනම් යෝනිසෝ මනසිකාරය කෙනෙකුගේ හිතේ තිබෙනවා කියමු. ඒක ඔහේ තිබෙනවා. ඒක හරියට වතුරෙන් උඩට ආපු නෙළුම් පොහොට්ටුව වගේ. එවිට බාහිරින් ලැබෙන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරියට හිරු කිරණ වගේ. එතකොට හිරු කිරණ වැදුනොත් අර නෙළුමේ පෙති බලෙන් දිගහරින්න දෙයක් නැහැ. පෙත්ත පෙත්ත දිග හැරෙනවා.

ඒ වගේ බුදුරජාණන් වහන්සේ නමකගේ නිර්මල ධර්මයත් ඒ ආකාරයට කෙනෙකුට ඇසුනොත් ඔහුට අවබෝධ වෙන්න වුවමනා ආකාරය යෝනිසෝ මනසිකාරය හැදෙනවා. ඒ තමා යෝනිසෝ මනසිකාරයේ , ප්‍රඥාවේ තිබෙන ලක්ෂණය. එහෙනම් ධර්මය අහන කෙනෙකුට, ධර්මයේ හැසිරෙන කෙනෙකුට අභ්‍යන්තර වශයෙන් උපකාරි වන්නේ ප්‍රඥාව. එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ නා නා ප්‍රකාරයේ අදහස් තිබුණු නා නා ප්‍රකාර මත තිබුණු මිනිස්සු හිටියා. හැබැයි ඒ බොහෝ දෙනාට තිබුණා නුවණින් මෙනෙහි කරන්න පුළුවන්කම, ප්‍රඥාවෙන් දකින්න පුළුවන්කම. හැබැයි තිබුණා කිව්වාට ඒ තිබෙන බව තමන් දන්නේ නැහැ. තමන් දැනගන්න ඕනත් නැහැ. තමන්ට දැනගන්න ක්‍රමයකුත් නැහැ. නිර්මල ධර්මය තමන්ට ඇසුනානම් එය ඇසුණු ධර්මය අවබෝධ කරවීම යෝනිසෝ මනසිකාරයේ ලක්ෂණය යි. යෝනිසෝමනසිකාරය නැති කෙනෙක් දිවා රාත්‍රි ධර්මය ශ්‍රවණය කළත් ඔහු ඉන්නේ පරණ තැනම යි.

මෙහි තේරුම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රතිඵල බලෙන් ගන්න බැහැ කියන එකයි. අපේ හිතේ තිබෙන ප්‍රඥාව වැඩ කරන ආකාරය, යෝනිසෝ මනසිකාරය පිබිදෙන ආකාරය ලෝකයේ දන්නේ බුදු කෙනෙකුන් පමණයි . එය අන් කෙනෙකුට සොයන්න බැහැ. අදත් ලෝකයේ හරියට ඉන්නවා විමුක්තිය හොයාගෙන යන අය. විමුක්තිය හොයාගෙන ගියාට විමුක්තිය ලැබෙන්නේ නැහැ. එයට හේතුව තමා ප්‍රඥාවේ තිබෙන අඩුව සහ නිර්මල දහම අසන්නට නො ලැබීම.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ බොහෝ පිරිසක් සිටියේ ඔය ප්‍රඥාවේ, යෝනිසෝමනසිකාරය පිහිටපු අය. බුදුජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දෙසිය තිස් හයක් ගත වූ විටයි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියේ. ඒ කාලයේ ලංකාවේ හිටිය මනුස්සයන්ටත් තිබුණා යෝනිසෝ මනසිකාරය කියන දේ. පිටින් ලැබුණේ ධර්මය යි. ධර්මය ලැබෙනවිට ම අවබෝධ වුණා. ප්‍රඥාවෙන් ලොව බලන්න හැකියාව තිබෙන අයට බුදුරජාණන් වහන්සේ වදාළා අනිත්‍ය වශයෙන් දකින්න කියලා. එවිට ඔවුන් යෝනිසෝ මනසිකාරය වැඩ කරන්න ගන්නවා. දුක් වශයෙන් දකින්න කියනවා. අනාත්ම වශයෙන් දකින්න කියනවා. බුදුරජාණන් වහන්සේ ‘මෝඝරාජ’ කියන නුවණැති පුද්ගලයාට කියනවා “සුඤ්ඤතෝ ලෝකං අවක්ඛස්සු මෝඝරාජ සදා සතෝ ” මෝඝරාජ, හැම තිස්සේම සිහියෙන් ලෝකය දෙස බලන්න හිස් දෙයක් වගේ කියා.

එතන ලෝකය කිව්වේ මොකක්ද? ඇස, කණ, නාසය, දිව,කය, මනස දෙසයි බලන්න කීවේ. හිස් දෙයක් වගේ. මොකෙන් හිස්ද? මම කියන දෙයින් හිස් දෙයක්. මගේ කියන දෙයින් හිස් දෙයක්. මගේ ආත්මය කියන දෙයින් හිස් දෙයක් වගේ ලෝකය දෙස බලන්න කිව්වා. එහෙම ලෝකය දෙස බලනවිට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළා “අත්තානුදිට්ඨිං ඌහච්ච” එහෙම හිස් දෙයක් වගේ ලෝක දෙස බලද්දී අර තමාගේ වසඟයේ පවත්වන්න පුළුවනි කියලා තමන් ගාව තිබුණු දැඩි මතය ඉදිරිලා යනවා. “ඒවං මච්චුතරෝ සියා” එතකොට ඔබ මාරයා තරණය කරනවා, මාරයාව පරාජය කරගෙන යනවා. “ඒව ලෝකං අවෙක්ඛන්තං” ඒ ආකාරයට ලෝකය ලෙස බලද්දී “මච්චුරාජා න පස්සති” මාරයාට ඔබ නොපෙනේ.

බුදුරජාණන් වහන්සේ මෝඝරාජට ඒ කාරණය පැහැදිලි කරන්නේ ඒ මෝඝරාජගේ හිතේ තිබෙන ප්‍රඥාවේ ප්‍රමාණයට යි. මෝඝරාජට ඒ කතාව කියනවිට ඔහුගේ යෝනිසෝ මනසිකාරය ඔහුගේ ප්‍රඥාව සමඟ බද්ධ වෙනවා. ඊට පස්සේ ඒක වැඩ කරනවා. සුළු වෙලාවකින් ධර්මය අවබෝධ කරනවා. අප දැන් ධර්මය පාඩම් කරනවා. මෙනෙහි කරන්න බලනවා. මෙනෙහි කරන්න බැරිනම් තේරුම් ගන්න බලනවා. ඒක වහගෙන දෘෂ්ඨි එනවා. ඒක වහගෙන පැටලැවිලි එනවා. මොකක්ද හේතුව? ප්‍රඥාවේ අඩුවයි.

බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයට එක එක ශ්‍රාවකයන්ගේ ස්වභාවය බලමින් ඒ ඒ ස්වභාවයේ අයට ධර්මය වදාළා. දේශනා කරද්දී ඒ භික්ෂූන් වහන්සේලාට ප්‍රඥාව විවෘත වෙනවා. අද වර්තමාන ලෝකයේ මිනිසුන්ට නැත්තෙත් ප්‍රඥාවයි.

ප්‍රඥාවන්තයා එතෙර වෙලා ගියා. ප්‍රඥාවන්තයා නිවන් දැක්කා. අනාගාමි වුණා. සකදාගාමි වුණා. සෝවාන් වුණා. ඒ ප්‍රඥාවන්තයින්ටයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය විවෘත වුණේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය විවෘත වෙන්නේ සම්මා දිට්ඨියෙන්නම් ඒ සම්මා දිට්ඨිය ඇතිවෙන්නේ ප්‍රඥාවන්තයාට නම් ඒ ප්‍රඥාවන්තයා ඒක කරගෙන ගියා.

සම්මා දිට්ඨිය ඇතිවුණාම පදනම මොකක් ද? පදනම තමා ඔහු සැණෙකින් හඳුනාගන්නවා මේ කුසල්, මේ කුසල් මුල්. මේ අකුසල්, මේ අකුසල් මුල්. මේ තමා ප්‍රඥාවේ ආරම්භය. එවිට ප්‍රඥාවේ ආරම්භය කුසල් අඳුනාගන්න එක. කුසල් මුල් අඳුනගන්න එක. මේ කුසලයක් කියා තමන්ගේ කුසල් හඳුනා ගන්නවා. මේ කුසලයට මුල් වූ කාරණාව කියා ඒක හඳුනා ගන්නවා. මේ අකුසලය කියා තමන්ගේ අකුසලය හඳුනා ගන්නවා. මේ අකුසලයට මුල් වූ කාරණය කියා එයත් හඳුනා ගන්නවා.

කුසලය හඳුනාගත් විට කුසලයට මුල් වී තිබෙන්නේ ලෝභය නැතිකම. එහෙම නැත්නම් ද්වේශය නැතිකම, නැත්නම් මෝහය නැතිකම. අකුසලය තමන් තුළ හටගත් විට අකුසලය හටගන්න මුල් ව වී තිබෙන්නේ එක්කෝ ලෝභය, නැත්නම් ද්වේශය නැත්නම් මුලාවයි. මේ නුවණින් හඳුනා ගැනීම තමා ප්‍රඥාවේ මූලික ලක්ෂණය.

කෙනෙක් ඉන්නවා මහා දැනුමක් තිබෙනවා. ලොකු විෂය පථයක් දන්නවා. අප ගත්තොත් සාගරය ගැන, අකාසේ ගැන, පොළොව ගැන, ගහකොළ සතාසීපාව ගැන දන්නවා. මේ ඔක්කෝම විස්තර කියනකොට මිනිසුන් කියනවා මොහු මහා නුවණැත්තෙක් කියලා. නමුත් ඔහු කුසල් දන්නේත් නැත්නම්, කුසල් මුල් දන්නේත් නැත්නම්, අකුසල් දන්නෙත් නැත්නම් අකුඅසල් මුල් දන්නේත් නැත්නම් නුවණින් කළයුතු කිසිවක් කරන්න බැහැ.

එවිට බලන්න අපට මේ ජීවිතේට විශාල ලෙස උපකාරි වෙන්නේ දැන උගත්කම ම නොවේ. අත්දැකීම් ගොඩක් තිබීම නොවේ. අත්දැකීම්වලින් , කියවීමෙන් මනුෂ්‍යයා මෝරනවා කියා මා විශ්වාස කරන්නේ නැහැ. මා විශ්වාස කරන්නේ මනුෂ්‍යයා මෝරන්නේ ප්‍රඥාවෙන්ම යි. ඒ මෝරන්න උපකාරි වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යි. ඒ ධර්මයෙන් තොරව ඒක ලෝකයේ වෙන කිසි කෙනෙකුට කරන්න බැහැ. ධර්මය තිබෙන ලෝකය මිම්ම හඳුනනවා. ඒකයි උන්වහන්සේ දේශනාකළේ මාගේ ධර්මය තිබෙන්නේ ප්‍රඥාවන්තයන්ට යි කියලා. ප්‍රඥාවන්ත මනුෂ්‍යයා දිහා බලලා උන්වහන්සේ ධර්මය කියනවා කිව්වම ඒක අවබෝධ වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ කාලේ පුන් පොහොය දවසක සාතාගිරි හේමවත කියලා යක්ෂයෝ දෙනෙක් ආකාසේ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ ගැන කතා වුණා. කාලි කියන උපාසිකාවක් සොල්දරේ වාඩි වෙලා එය අසාගෙන හිටියා. ඈට ඇහෙනවා මේ කතන්දරේ. ඇය සෝවාන් වුණා. හිරු නැඟෙන්නේ කොහෙන්ද? හිරු රැස් වැටෙන්නේ කොතැනට ද? එතැන තිබෙනවා නම් පිපෙන දෙයක් එය පිපෙන එක ස්වභාවයක්.

හිරු රැස් පොකුණට වැටෙද්දී නෙළුම තිබෙන්නේ පොකුණ අස්සේ නම්, වතුර අස්සේ නම්, පිපෙන්නේ නැහැ. ඒ නිසා මේ විග්‍රහය හොඳයි තමන්ගේ ජීවිතය තේරුම් ගන්න. අපේ ජීවිත වෙනසක් වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ මේක කුසල් කියා හඳුනන්නට සමාර්ථ නැත්නම්, මේක තමා කුසලයට මුල් වෙලා තිබෙන්නේ කියා තමන්ට පෙනෙන්නේ නැත්නම් තමන් කුසල් වඩන්නේ කොහොම ද? අකුසල් දුරු කරන්නේ කොහොමද ඒ එකක්වත් බැහැ.

ඒ නිසා අප තේරුම් ගන්න ඕන මාර්ගඵල බාහිර කිසිම දෙනෙකුට දෙන්න බැහැ. ඒක කරන්න පුළුවන් බුද්ධ ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ පමණයි.

උන්වහන්සේ ඒ කෙනාගේ ප්‍රඥාාව කොහොමද කියලා බලනවා. මොකද සමහරවිට ඔහුගේ ප්‍රඥාවට වුවමනා කරන පුංචි එළිය ඔහුගේ හිතේ පැළ වෙලා තිබෙන්නේ ගොඩක් කාලෙකට කලින්. එවිට ඒක පත්තු වෙන රටාවට උන්වහන්සේ ධර්මය කියනවා. සමහර අවස්ථාවක සමහරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ අහන්නේ වෙන ප්‍රශ්නයක්. නමුත් උන්වහන්සේ වෙන උත්තරයක් දෙනවා. හැබැයි ඒ උත්තරය අහනකොට ඔහු සෝවාන් වෙනවා. ඔහුගේ ප්‍රඥාව අවදි වෙන්නේ ඒ පිළිතුරෙන්.

ඒනිසා අප සියලුම දෙනාට බුද්ධ දේශනා තුළින් යෝනිසෝ මනසිකාරය ඇතිකරගෙන, සම්මා දිට්ඨිය දියුණු කරගෙන, චිත්ත ප්‍රසාදය ස්ථිරව පවත්වා ගන්නටත්, අකුසල් ප්‍රහාණය කරගන්නටත් වාසනාව ලැබේවා.

නයනා නිල්මිණි