Print this Article


රාගම වල්පොල විමලරත්නාරාම විද්‍යානිවාස පිරිවෙනේ දී මෙම මස 25, 26, 27, 28 පැවැත්වෙන උපසම්පදා පුණ්‍ය උත්සවය සහ මහගම විපුලසිරි හිමියන් වෙත ඉතාලියේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය

රාගම වල්පොල විමලරත්නාරාම විද්‍යානිවාස පිරිවෙනේ දී මෙම මස 25, 26, 27, 28 පැවැත්වෙන උපසම්පදා පුණ්‍ය උත්සවය සහ මහගම විපුලසිරි හිමියන් වෙත ඉතාලියේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය

මහත් ආශිර්වාදයක්
 

අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික මහානිකායේ 39 වැනි උපසම්පදාව නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන්නේ ඉතා සතුටිනි. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව නමින් වර්තමානයේ හැඳින්වෙන නිකාය, ශාඛා, ප්‍රශාඛාවලට වියුක්තවද විහිදී පවත්නා පාර්ශව ගණනාවකි. එයින් අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික නිකාය ව්‍යක්ත විශාරද විනයධර මහ තෙරුන් බිහිකර ඇත. එසේම ශාසනික වශයෙන්ද, සාමාජීය වශයෙන්ද, සංස්කෘතික වශයෙන්ද, කරන ලද මෙහෙය විශාලය. “විනයෝ නාම සාසනස්ස ආයු” “ශාසනයේ ආයුෂ විනයයි” එය ආරක්ෂා වී පවතින්නේ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය තුළය. විනය පවතින තාක් කල් සසුනද පවතී. උපසම්පදා ශීලය නොමැති විට භික්ෂු ශාසනයද නොපවතින්නේ ය. තත් නිකායේ 39 වැනි උපසම්පදාවෙන් බිහිවන භික්ෂූන් වහන්සේලාගෙන් සංඝ ශාසනය ශෝභා සම්පන්න වේවායි ඉත සිතින් ශුභාශිංසනය කරමි.


උතුම් පුණ්‍ය කර්මයක්

උදකුක්ඛේප සීමා, බද්ධ සීමා යන දෙතැනින්ම මහා සංඝයාගේ අනුමැතිය පරිදි උපසම්පදා විනය කර්මයක් සිදු කළ හැකිය. උදකුක්ඛේප සීමා යනු ජලාශයක් මැද දර්ශනීය මණ්ඩපයක් තනා ඒ තුළ සිදු කරනු ලබන උපසම්පදා විනය කර්මයයි. බද්ධ සීමාව නම් ගොඩබිම පිහිටි විනය කර්මයකින් අනුමත කරන ලද සීමා මාලකයක සිදු කරනු ලබන උපසම්පදා විනය කර්මයයි. ධර්ම විනයට අනුගතව පිහිටුවා ගත් සීමා මාලකයක් නම් මේ දෙකින් කවර එකක උපසම්පදා කළද වරදක් නැත. ඉහත කී පරිදි උදකුක්ඛේප සීමා, බද්ධ සීමා දෙ ආකාර සීමා බෞද්ධ රටවල පිහිටුවා තිබේ. දැනට වසර 119 පමණ සපුරා ඇති මේ භික්ෂු වංශයෙහි මෙවර පවත්වනු ලබන්නේ 39 වැනි උපසම්පදා මහෝත්සවයයි. සම්බුද්ධ ශාසනයේ ආයුෂය මේ විනය කර්මය බව සලකා ඉදිරියටත් මෙවන් උතුම් පුණ්‍ය කර්මයන් සිදුකොට සසුන රැක ගැනීමට සියලු දෙනාම උත්සාහවන්ත විය යුතු ය. එසේම වාසනාවන්ත දරුවන් සසුනට පූජා කළ යුතු ය.


මහඟු අවස්ථාවක්

අමරපුර භික්ෂු වංශයේ කොටස් ගණනාවකට බෙදී ගොස් තිබියදී එකම සංඝ සභාවක් සේ ඒකාබද්ධව ක්‍රියාත්මක වෙමින් ශාසන ඉතිහාසයේ නොමැකෙන නමක් තබා ක්‍රියා කරන පිළිවෙළ සෙසු බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ.

මෙවර උපසම්පදාලාභී වන අපේ නවක ස්වාමීන් වහන්සේලා වර්තමාන ආර්ථික සාමාජික පරිවර්තන සියල්ලක් හමුවේ නොසැලී හිඳිමින් ඒ සියල්ලක් කවරේදැයි නුවණින් විමසා බලා දැන හැඳින වර්තමාන සමාජයට ගැළපෙන පරිදි භික්ෂුත්වය අර්ථවත් කර ගැනීමට සුදුසු අන්දමට කියවා දැන හැඳින කරුණාවෙන් යුතුව කටයුතු කරන මෙන් ශාසනාලයෙන් සිහිපත් කරමි.


උපසම්පදා මහෝත්සවය හා අක්තපත්‍ර ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්මයුත්තික පාර්ශ්වයේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය 2015 ජුනි 25,26,27,28 දිනයන්හිදී රාගම වල්පොල විමලරත්නාරාම විද්‍යානිවාස පිරිවෙන් මහා විහාරයේදී අත්‍යාලංකාරයෙන් සිදු කෙරේ.

සාමණේරයන් වහන්සේලා 100 නමක් උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලබන මෙම මහෝත්සවයට සමගාමීව ජුනි 25 වෙනිදා සවස 3.30 ට පැවැත්වෙන දහම් හමුවේදී මහගම අභිනවාරාම මංගල මහා විහාරාධිපති ඉතාලියේ මිලාමෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත මහගම විපුලසිරි හිමිපාණන් වෙත ඉතාලියේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ අක්තපත්‍රයද පිළිගැන්වේ. ජුනි මස 25 වෙනිදා පෙරවරු 11.00 ට පෙර සියලුම උපසම්පදා පේක්ෂකයන් වහන්සේලා වල්පොල විමලරත්නාරාම විහාරස්ථානයට වැඩම කළ යුතු බව නිකායේ මහාලේඛකාධිකාරි ආචාර්ය වල්පොල විමලඤාණ හිමියෝ ප්‍රකාශ කරති.

ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක මාහිමියන් මුලසුන හොබවන දහම් හමුවට දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගිවීමට නියමිතය.


මහගම විපුලසිරි නා හිමි

මහගම අභිනවාරාම ශ්‍රී මංගල මහා විහාරාධිපති, ඉතාලියේ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත මහගම විපුලසිරි මාහිමියන් වෙත ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්මයුත්තික මහා නිකායේ ශ්‍රී සුමනජෝති කාරක මහා සංඝ සභාව මගින් ඉතාලියේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීම බෞද්ධ ලෝකවාසීන්ගේ ඉමහත් සතුටට හේතුවන්නකි.

මහගම නමැති සුවිශාල ගම්වරයෙහි බෝගහවත්ත නම් ගම් පියසෙහි කිතු වසින් 1952.10.11 දින ඇස්. සෙනේරිස් සහ එස්. සරලින් යන සැදැහැති දම්පතීන් යුවළට දාව අට දෙනෙකුගෙන් යුත් පවුලෙහි පස්වැන්නට මෙලොව එලිය දුටුවේ විපුලසිරි හිමියන්ය. මහගම කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ එකල බෙහෙවින් දියුණුවට පත්ව තිබූ අභිනවාරාමයෙහි අධිපතිත්වය දැරූ අතිපූජ්‍ය මහගම රතනසිරි අධිකරණ නා හිමියන් (සුදුවැල්ලේ හාමුදුරුවෝ )ඇසුරට පත්ව පන්සල් පත පොතද ඉගෙන ගත්හ. පන්සලේ ඇසුරෙන් ගුණ නැණ දෙක්හිම හික්මවෙමින් ළමා ජීවිතය සරුකොට ගත්හ. දිනෙන් දින ගුණ නුවණින් හැදී වැඩී ගත් මේ සිසු දරුවාගේ චරිතය මනාව අවබෝධ කොටගත් නාහිමිපාණන් විසින් දෙමාපියන්ගේද අවසරය ලබා 1964.5.21 දින එල්ලාවල විපුලතිස්ස නාහිමියන්ගේද අනුමැතිය ලබා දෙදෙනා වහන්සේගේම ශිෂ්‍යවරයෙකු වශයෙන් පැවිද්ද ලබා දී 1976.6.17 දින පෑලියගොඩ ගංගාරාමස්ථ උදකුක්ඛේප සීමා මාලකයේදී අති උතුම් උපසම්පදා ශීලයෙහි පිහිටුවාලූහ. උගතමනා බණ දහම්ද පැවිදි ජීවිතයට අවශ්‍යවත් පිළිවෙත්ද මනාව සපුරාගත් හෙයින් විපුලසිරි හිමියන් බොහෝ කල් නොයවා ශාස්ත්‍රීය අධ්‍යාපනයට යොමු කළහ. 1966 දී උන්වහන්සේ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමි සෙවණේ ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ අධ්‍යාපනය ලැබීමට වරම් ලැබූහ. එහිදී විපුලසිරි හිමියෝ සිංහල , පාලි, සංස්කෘත, භාෂා පමණක් නොව යුරෝපීය භාෂා කිහිපයක්ද මනාව ප්‍රගුණ කළහ. මෙහිදී ත්‍රිපිටකාචරිය පරික්ෂණයෙන්ද සමත්ව රාජකීය පණ්ඩිත උපාධියද ලබාගත්හ. ඉනික්බිති කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්සේ එහිදී ගෞරව පන්ති සාමාර්ථයක්ද ලත්හ. 1982 තම ගුරුදේව නාහිමියන් අපවත් වීමෙන් පසු විහාරාධිපති පදවියට පත්වූ උන්වහන්සේ ගුරු වෘත්තියට අවතීර්ණව බෙල්ලන පිරිවෙනෙහිත් කළුතර විද්‍යාසාගර පිරිවෙනෙහිත්, සේවය කළහ. එයින් පසු අසම්පූර්ණව පැවති විහාර කර්මාන්තයට නැඹුරුව දායක කාරකාදීන්ගේත් සහාය ලබා අභිනව විහාර මන්දිරයේ සියලු කටයුතු නිම කළහ. මේ සියලු කාර්යයන් අතර 1999 දෙසැ. 22 දින ඉතාලියේ මිලානෝහි ලංකාරාමයේ අධිපති පදවියට පත්වීම අමතක නොවන්නකි. විදේශගතව ධර්මප්‍රචාර සේවාවන්හි නිරතවෙමින් කෙතරම් අවිවේකී වුවත් තම මව්බිම වෙනුවෙන් මෙහෙවරක් ඉටුකිරීම උන්වහන්සේගේ දැඩි අධිෂ්ඨානයකි. කුරිරු යුද්ධය නිසා අසරණව ගිය ශී‍්‍ර ලාංකිකයන්ට විශේෂයෙන් ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට අවශ්‍ය බොහෝ දේ මෙරටට ගෙනවිත් ඔවුන් අතර බෙදා දුන් අයුරු මතකයේ පවතී. එසේම සුනාමි විපතේදී විපතට පත් අය අතර බෙදාදීම සඳහා බොහෝ ද්‍රව්‍ය මෙරටට ලබාදුන් අයුරු අමතක කළ නොහැකිය. විපුලසිරි නාහිමියන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ශමත් හිමිනමකි. සඟ සසුනට වටිනා දායාදයකි. අප අමරපුර අරියවංශ සද්ධම්මයුත්තික මහා නිකායේ අභිවෘද්ධියද වෙනුවෙන්ද උන්වහන්සේගෙන් ඉටුවන සේවය අතිවිශාලය. කළුතර පළාත් සංඝසභාව මගින් පැවැත්වූ උපසම්පදා උත්සවවලදී උන්වහන්සේ ලබාදුන් සහාය සැමදා අපේ මතකයේ රැඳී පවතී. එසේම අප නිකාය වෙනුවෙන් වල්පොල විමලරත්නාරාම විද්‍යා නිවාස පිරිවෙන් මහා විහාරයේ ඉදිකළ සීමාමාලකයටද ලබාදුන් සහාය අමතක නොකළ යුත්තකි.