Print this Article


අනන්ත සම්බුදු ගුණයට අසිරිමත් පින්කම් මාලාවක්

අනන්ත සම්බුදු ගුණයට අසිරිමත් පින්කම් මාලාවක්

මුන්දලම අඟුණවිල ශ්‍රී බෝධිරාජාරාම පින්බිම තුළ දී මහා සම්බුදු පූජෝපහාර පින්කම් මාලාවක් පැවැත්වේ. නිකවැරටිය ඇළවක කුඹුක්වැව ශ්‍රී ගෝනම ශාසන භාවනා මධ්‍යස්ථානයේ සිට දහවල් 12.00 ට සකසන ලද බෞද්ධ කොඩි 84000 ක් සමඟ සකසන ලද අනෙකුත් පූජාවන් ද සමඟ ධාතුන් වහන්සේලා රැගත් දා කරඬුව මේ මස 13 වැනිදා වැඩමවීම.

එදින සවස 6.00 ට විශේෂ බුද්ධ පූජාව සමඟ මඟුල් බෙර වාදනය මධ්‍යයේ කොඩි පූජාව ආරම්භ කිරීම මෙදින සිට 19 දින දක්වා අඛණ්ඩව පැවැත්වෙන කොඩි එල්ලීම, දිනකට පූජා හයක් පැවැත්වීම, සීල භාවනා වැඩසටහන් පැවැත්වීම.

20 වැනි සෙනසුරාදා නව අරහාදී සම්බුදු ගුණ උදෙසා වර්ග නවයකින් අසූහාරදහසක් වූ ධර්මස්කන්ධයට පූජෝපහාර දැක්වීමට අසූහාර දහසේ අසිරිමත් මහා පින්කම මෙසේ ය. අසූහාර දහසක් පහන් පූජාව, අසූහාර දහසක් කොඩි පූජාව, අසූහාර දහසක් විළඳ මාලා පූජාව, අසූහාර දහසක් හඳුන්කූරු පූජාව, අසූහාර දහසක් කපුරු පෙති පූජාව, අසූහාර දහසක් නෙළුම් මල් පූජාව, අසූහාර දහසක් වනමල් මාලා පූජාව, අසූහාර දහසක් ඖෂධ පූජාව, අසූහාර දහසක් විදුලි බුබුළු පූජාව.

තුන්ලොවක් සනසා වදාළ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සම්මා සම්බුදු ගුණයට තුන්ලොවටම දැනෙන අසිරිමත් සම්බුද්ධ පූජාව 20 වැනිදා දින උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා. එදින සිට 26 වැනිදා දක්වා භාවනා වැඩසටහන් ද දිනකට පූජා හය බැගින් සම්බුදු පූජාවන්ද විශේෂ ධර්ම දේශනාද පැවැත්වේ.

මුළු ලොවටම සෙත් පතා පවත්වනු ලබන පින්කම් මාලාවේ සුවිශේෂී වූ මහා සම්බුදු පූජාව අඟුණවිල සම්බුදු මැදුරේ ප්‍රධාන ඔත්පිළිම වහන්සේගේ පිළිරූ සියයක් සමඟ මුතුකුඩ සියයකින් සකස් කරන විශේෂ සුගන්ධ කුටි 100 කට පූජෝපහාර පැවැත්වීම.

පූජාවන් අතරට පස්පියුම් පූජා, පැයෙන් පැයට නෙළුම් මල් වට්ටි පූජා කර හේවිසි පූජා පැවැත්වීම, ගිලන් පස බුද්ධ පූජාවන් පැවැත්වීම, පොල් මල් පුවක් මල් පූජාව, නොනිවා දල්වන ලද පන්දම්, ඖෂධ තෙල් පහන් සියයක් නොනිවා දැල්වීම, පුන්කලස් 500 ක් පූජා කිරීම, ඕකිඩ් ඇන්තූරියම් මල් පූජාව, ලද පස් මල් පූජාව, කෙසෙල් කැන් සහිත ගස් තොරණ ද පැවැත්වේ.

අනතුරුව පුරා පැය විසිහතරක් පුරාවට නොනිම්, සම්බුදු ගුණ දහරින් බිඳක් නොකඩවා නොනවත්වා සජ්ඣායනා කිරීම 27 දින ප.ව. 6.00 සිට 28 දින ප.ව. 6.00 දක්වා, 28 දින අලුයම පවත්වනු ලබන කිරි ආහාර පාත්‍ර සියයේ පූජාව සමඟ මහා සම්බුදු පූජෝපහාර පින්කම් මාලාව නිමාවට පත්වේ. පින්කම් මාලාව පුරාවට ආහාරපාන දන්සැල් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සම්බුදු පූජා කමිටුව වෙනුවෙන් වඩිගමංගාවේ ධම්මානන්ද හිමි දන්වා සිටියි.