Print this Article


සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 38

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 38

බුදුරජාණන් වහන්සේට ලැබෙන ලාභ සත්කාර අන්‍ය ආගමික තීර්ථකයින් ඉවසුවේ නැත. බුදුරදුන්ට අවමන් කිරීමට තරුණ කාන්තාවක් වූ චිංචිමානවිකාව යොදා ගැනීම සඳහා තීර්ථකයින් විසින් ඇයට උපදෙස් දුන්හ. චිංචිමානවිකාව සෑම දවසකම නිවසෙහි සිට ඉතා හොඳට හැඳ පැළඳ උදයට, හවසට ජේතවනාරාමයට එන යන අයුරින් හැසිරෙන්නට විය. මේ ආකාරයට ඇය ටික දිනක් මේ ක්‍රියාව සිදු කරමින් මාස දෙක තුනක් නොපෙනී සිටින ලදී. එක් දිනක් විශාල පිරිසක් බණ අසන්නට දම් සභා මණ්ඩපයට රැස්වූ විට චංචිමානවිකාව නමැති මේ ස්ත්‍රිය බඩට දරමිටියක් බැඳ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන තැනට පැමිණ තම හඬ අවදි කරන ලදී.

“ගෞතමයාණෙනි, දැන් බණ කිව්වා ඇති. ඔබට දාව මගේ කුසේ ඉන්න දරුවාටත් මටත් යමක් කරන්න. ඉන් මඟ අරින්නේ ඇයි? ඔබ වහන්සේට විවේක නැතිනම් මට මගේ කටයුතු කර ගැනීම සඳහා විශාඛාව හෝ කොසොල් රජතුමාට මේ කටයුතු පවරන්න” යැයි බුදුරදුන්ට අවමන් කළාය.

බුදුරජාණන් වහන්සේ මේ සෑම දෙයක්ම මනාව අසා තුෂ්නිම්භූතව සිටින මිනිසුන් විමතියට පත්කරමින්

“නැගණිය මදක් ඉවසන්න. ඔබත් මමත් මේ කාරණය පිළිබඳව හොඳින් දන්නෙමු”.

යැයි දෙසූහ. මෙසේ අවමන් කරනවාත් සමගම ශක්‍ර දෙවියන් මීයෙකුගේ වේශයෙන් පැමිණ ඇය බඩ බැඳ සිටි දරමිටියේ ලණුව කපා දමන ලදී. මෙය දුටු මහජනයා ඇයට පහර දෙන්නට විය. ඇය දුවන්නට විය. ඇයට ජේතවනාරාමයෙන් එලියට යන්නට වූයේ නැත.


ජේතවනාරාමයේ භික්ෂු ආරාම

මහ පොළොව පළාගෙන අවීචි මහා නරකාදියට ඇද වැටුනි. අද නව ජේතවනාරාමයේ ඉහළ මහළයට ගොස් බලන හැමදෙනාටම වගුරු බිමක විශාල වළක් දැකිය හැකිය. ඊට මදක් නුදුරින් දේවදත්ත හිමි අවීචි මහා නරකාදියට ඇදගත් ස්ථානයක්ද යැයි විශ්වාස කරනු ලබන දසුනක් ද දැකිය හැකිය.

බුදුරජාණන් වහන්සේට වෛර කරන ලද භික්ෂූන් වහන්සේ වූයේ දේවදත්ත හිමියන්ය. බුදුරජාණන් වහන්සේට ගල් පෙරළීම, නාලාගිරි ඇතු පිටත් කිරීම, දුණු හේවායන් යෙදීම ඇතුළුව බොහෝ දෙය කරමින් වෑයම් කරන ලද නමුත් උත්සාහය අසාර්ථක විය. ඉන් පසුව ජේතවනාරාමයේ වැඩ වාසය කරන ලද භික්ෂුන් වහන්සේලා 500 නමක් රැගෙන වනගත විය. නමුත් සැරියුත් හාමුදුරුවෝ මේ 500 දෙනාටම දහම් දේශනා කර ජේතවනාරාමයට වැඩමවාගෙන එන ලදී. දේවදත්ත තෙරුන් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලවීම භික්ෂු සංඝයා භේද කරවීම වැනි ආනන්තරීය පාප කර්මයන් සිදු කර ගත්හ. දරුණු අසනීප තත්ත්වයකට පත්වූ උන්වහන්සේ තම ගෝල පිරිසට කථා කොට තමන් බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් සමාව ගැනීමට සූදානම් බවත් ඒ සඳහා තමන් රැගෙන යන ලෙස ගෝල පිරිසට දන්වා සිටි අතර ගෝල පිරිස යහනාවක (ඇඳක) තබා ඔසවාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාමය කරා ගෙන ආහ. ඉතා දුර බැහැරක සිට පා ගමනින් ම පැමිණි නිසා පිරිසට මහන්සි වැඩි නිසා ජේතවනාරාම දොරටුව ළඟ තිබුණූ පොකුණ අසල දේවදත්ත හිමියන් සිටි යහනාව (ඇඳ) තබා පිරිස වෙහෙස නිවා ගැනීමට නෑමට පටන් ගත්හ. දෙව්දත් තෙරුන්ද ඇඳෙහි ඉඳගෙන දෙපා මහ පොළොවට තබාගෙන සිටියේය. දෙව්දත් කළ අකුසල් නිසා පොළොව පැළී උරහිස දක්වා ගිලී ගියේය. තම ඥාතිවර බුදුරජාණන් වහන්සේට කරන ලද අකුසල් සිහිවිය. ක්‍රමයෙන් ගිලි ගොස් නිකට පොළොවෙහි හැපෙන තරමට ගිලිණි, ඉබේම දෙව්දත් හට බුදු ගුණ සිහිපත් විය.

ඉමෙහි අට්ඨෙහි තමග්ග පුග්ගලං
දෙවාති දෙවං නර දම්මසාරථිං
සමන්ත චක්ඛුං සත පුඤ්ඤ ලක්ඛණං
පණෙනි බුද්ධං සරණං ගතොස්මි

මේ ගාථාව කියවා අවසන් වනවාත් සමගම, කම් පල දෙමින් මහා ගිනි දැල්ද සමගින් අවීචි මහා නරකාදියට ඇදගත්හ.

දේවදත්ත හිමි සහ චිංචිමානවිකාව ගිය අවීචි මහා නරකය

මිනිස් ලොව උපදිනා අප සැමවිටම කල්පනා කරන්නේ ඉතා හොඳ නිවැරදි ජීවිතයක් ගත කිරීමටයි. නමුත් ඇතැම් පුද්ගලයන් කරන වැරදි ක්‍රියා කාරකම් නිසා ඔවුනට යාමට අට මහා නිරයක් සහ පේ‍්‍රත ලෝක දොළහක්ද වශයෙන් දුක් විඳීමට ස්ථාන ඇත. එහි ඇති දරුණුම ලෝකය අතරට එකතුවන්නා වූ අවීචි මහා නරකය කුමක්ද? දේවදත්ත හිමි එමෙන්ම බුදුරජාණන් වහන්සේට අපහාස කළ චිංචිමානවිකාව ඇදගත් තැනයි.

මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනෙක් බිත්ති දක්වා ගමන් කරන්නේය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්වා ද උඩ පියන් පතෙන් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වාද ගමන් කරන්නේය. සත්වයෝ නිතරම එම සදිසාවෙන්ම එන ගිනි දැල්වලින් වෙලී දැවෙන අතරක් නැතිව එහි සත්වයෝ වෙසෙති. ගිනිදැල්වලින් හා දුක්වලින්ද සත්වයන්ගෙන්ද, අතරක් නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ. මෙම කරුණුද ලියා පළ කරන්නේ ඔබ යන වන්දනා ගමන තව තවත් අර්ථවත් කර ගනිමින් පාප ක්‍රියා නොකොට යහපත් ජීවිතයක් ගත කරන්නට මග කියා දීමටයි.

අවීචි මහා නරකාදියට යාමට සිදුවන අකුසල අතර මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය, බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම යන පංචානත්තරිය පාප කර්ම කළවුන් බෝසතාණන් වහන්සේලාගේ ජීවිතය නැසුවෝද, ගුණවතුන්ගේ ජීවිතය නැසුවෝද, වෙහෙර විහාර බිඳ දමන්නන්ද, බෝගස් විනාශ කළවුන්ද රත්නත්‍රයට අයත් වස්තුව පැහැරගන්නවුන්ද මිත්‍ර ද්‍රෝහීහුද, භාර්යාවන්ට අපරාධ කළෝද , බොරු කීවෝද, සුරාපානය කළවුන් ද මිසදිටු ගැත්තෝ ද, නිතර ගින්නෙන් දැවෙන මේ අවීචි මහා නරකාදියේ උප්පත්තිය ලබයි. දේවදත්ත හිමි සහ චිංචිමානවිකාව අවීචියට ගිය ස්ථාන දෙස බලා ඔබ අදිටන් කරගත යුත්තේ සියලු පාප කර්ම වලින් අත්මිදී නිවැරදි ජීවිතයක් ගත කරනවා යන අධිෂ්ඨානයයි.

තවත් කොටසක් පොසොන් පුර අටවක පොහෝදා මැයි 25 වනදා පත්‍රයේ


සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 37