Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය
මජ්ඣිම නිකායේ අරියපරියේසන සූත්‍ර දේශනාවන්හි එන පරිදි බුදුරජාණන් වහන්සේගේ මීළඟ අදහස වූයේ තමා අවබෝධ කරගත් ධර්මය ප්‍රථමයෙන් දේශනා කළ යුත්තේ කාටද? කවරෙක් වහා මේ ධර්මය වටහාගැනීමට සමත් වෙයිද? යන කරුණු පිළිබඳවය. සූත්‍රයෙහි යොමුගත කරුණු අනුව ප්‍රථම ශ්‍රාවකයා කවුරුන් ද? යන්න තෝරා ගැනීම වඩාත් යෝග්‍ය තැනැත්තා කවුද ? යන්නය. බුද්ධ ධර්මයේ ආරම්භය බෝධිමූලය වන අතර බුද්ධ ශාසනයේ ආරම්භය මෙසේ ප්‍රථම ශ්‍රාවක පිරිසෙන් ආරම්භ විය. (සමණා සක්‍ය පුත්තියා) ශාක්‍යපුත්‍ර වූ බෞද්ධ ශ්‍රාවක පිරිස එදා සිට අද දක්වා පරිවර්තන විපරිවර්තන වෙමින් පවතියි. මුල් යුගයේ බෞද්ධ ශ්‍රාවක පිරිස පිළිබඳව හැඳින්වීමක් කරන්න.

පිළිතුර
බුදුරජාණන් වහන්සේට පළමුවෙන්ම සිහියට නැගුණේ, ආළාර කාලාමයි. කිං “සච්චගවේෂී” අවදියෙහි ඇසුරලත් කාලාම ගැන උන්වහන්සේට මනා අත්දැකීමක් විය. ‘ආකිඤ්චඤ්ඤායතන ධ්‍යාන ලාභියෙකු වූ හෙතෙම විශාරද ප්‍රාඥයෙකි. බොහෝ කලක් මනැස දියුණු කිරීමෙන් බෙහෙවින් කෙලෙස් තුනී කරගත් කෙනෙකි. එබැවින් ඔහු වහා මේ ධර්මය අවබෝධ කොට ගැනීමට සමත් වෙතැයි සිතූහ. ඒ වන විට ආළාර කාලාම මියගොස් සතියක්ම ගත වී හමාරය. ඔහුට මේ ධර්මය අසන්නට ලැබුණානම් වහා අවබෝධ කර ගන්නවාට කිසිදු සැකයක් නැත. මේ අභාවයෙන් ඔහුට සිදුවූයේ අලාභයකුයි උන්වහන්සේට සිතිනි. ආකිඤ්ඤා-යතනලාභීව මිය යාමෙන් එම බඹතලයෙහි ඉපදීම හැර සම්බෝධියත් නිර්වාණයත් ලැබීමට හේතු නොවන බව දැන සිටියේ ඔහු වෙත තවුස්දම් පිරූ අවදියේම ය. එබැවින් නිවන් නොලබා මියයාම ඔහුට සිදුවූ අලාභයයි.

අනතුරුව උන්වහන්සේ අදහස් කළේ උද්දකරාමපුත්ත තවුසාට දහම් දෙසීමටයි. ඔහු පිළිබඳවද උන්වහන්සේ වෙත පැවතුනේ හොඳ අවබෝධයකි. “කිං සච්ච ගවේසී අවදියෙහි බෝසතුන් කලක් ඔහු වෙතද පුහුණුව ලත් හෙයිනි. නේවසඤ්ඤානාසඤ්ඤා ධ්‍යාන ලාභියෙකු වූ රාමපුත්ත ද පඬිවරයෙකි. බුදු දහම වැනි සියුම් දහමක් ඉක්මනින් වටහා ගැනීමේ සමතෙකි. ඔහු ගැන විමසා බැලීමෙහිදී එදිනම මධ්‍යම රාත්‍රියෙහි මියගිය බව උන්වහන්සේට දැන ගන්නට ලැබුණි. බුදුදහම අවස්ථාව ලැබුණේ නම් වහා අවබෝධ කරගැනීමේ භාග්‍යය ඇතිව සිටි රාමපුත්ත ඒ අවස්ථාව නොලබා මිය යාම ඔහුට ද සිදු වූ බලවත් අලාභයක් බව පෙන්වා ඇත්තේ නිවන් නොලබා මියයෑම නිසා නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයන්යහි ඉපදීමෙන් සසර අවසන් නොවන හෙයිනි.

අනතුරුව බුදුරජාණන් වහන්සේ ස්වකීය ප්‍රථම ධර්මදේශනාව පස්වග තාපසවරුන්ට දේශනා කිරීම වඩාත් සුදුසු බව තීරණය කළහ. එයට හේතු වූයේ බෝසතුන් ප්‍රධන් වීර්යයෙහි යෙදී සිටි අවධියෙහි දී උන්වහන්සේට බෙහෙවින් ඇප උපස්ථාන කළ පිරිසක් වීමයි. තවුස් පැවිද්දට පත් මේ පිරිස කවදා හෝ බෝසතාණන් වහන්සේ සත්‍යාවබෝධය ලබා අපටත් දේශනා කරතියි යන සම්මුතිය නිසාද (බහුකාරා ඛො මෙ පඤ්ච වග්ගියා භික්ඛු යෙ මං පධානපහිතත්තං උපට්ඨ හිංසු) යන දේශනා පාඨයෙන්ද කියවෙන පරිදි බෙහෙවින් උපකාරකව ක්‍රියා කළ නිසා මෙම ප්‍රථම ධර්මදේශනාව සිදු කිරීමට ඉටා ගත්හ.