Print this Article


අබ්‍රහ්මචරියා වේරමණී ශික්ෂා පදය

අබ්‍රහ්මචරියා වේරමණී ශික්ෂා පදය

ප්‍රබල සදාචාරමය පදනමක් නොමැතිව කවර ආගමක් හෝ දර්ශනයක් ගොඩනැගිය නො හැකි ය. බඹසර හැසිරීමක් හඳුන්වා දී ඇත්තේ මිනිසා ප්‍රමාණය ඉක්මවා ලෞකික ආශාවන්ට ගැතිවීමෙන් වළක්වා ගැනීමට ය. එය සර්වසත්ව හිතගවේෂී ශාස්තෘවරයෙකුගේ පරම යුතුකමකි. තමන්වහන්සේ මිනිසා කැමති වන දෙය පමණක් නොව හිතකාරි නම් අකමැති වන දෙයත් පවසන බව ප්‍රකාශ කර තිබේ. බඹසර හැසිරීමෙන් යතිවරයන්ට මෙන්ම ගිහියන්ට ද මෙලොවම ලැබෙන සැනසිල්ල අපමණ ය.

උතුම් හැසිරීම, පිරිසුදු හැසිරීම යන අදහසින් “බ්‍රහ්මචරිය” යයි ව්‍යවහාර වේ. බ්‍රහ්මන්ගේ හැසිරීමට සමාන පාරිශුද්ධ චර්යාවක් ඇතිකර ගැනීම ද බ්‍රහ්මචර්යා යන්නෙන් අදහස් කෙරේ. සගුණ බ්‍රහ්මන්, නිර්ගුණ බ්‍රහ්මන් යයි බ්‍රහ්මන්ගේ ස්වරූප දෙකකි. සගුණ යනු කිසියම් ස්වරූපයකින් පෙනී සිටීමයි. නිර්ගුණ යනු ස්වරූප රහිත බවයි. මූර්ත, අමූර්ත යනුවෙන් ද මෙය හැඳින්වේ. කවර හෝ ක්‍රමයකින් දත හැක්කේ සගුණ හෝ මූර්ත බ්‍රහ්මන් පමණි. නිර්ගුණ හෝ අමූර්ත බ්‍රහ්මන් කිසිසේත් දත නොහැකි ය. භාරතීය දර්ශනයෙහි පිළිගෙන ඇති පරිදි බ්‍රහ්මන්ගේ එක් ප්‍රධාන ලක්ෂණයක් නම් එතුමා හැමකල්හි ස්ත්‍රී පරිහරණයෙන් තොර වීමයි.

මෙම ලක්ෂණය බුදුරජාණන් වහන්සේ අගය කර තිබේ. එපමණක් නොව එය බුදුරජාණන් වහන්සේගේ ද සුවිශේෂ ගුණයක් ලෙස දීඝනිකායයෙහි උන්වහන්සේ ම වදාරා තිබේ.

“අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී සමණො ගොතමො ආරාචාරී වීරතො මෙථුනා ගාමධම්මාති ඉති වා හි භික්ඛවෙ පුථුප්ජනො තථාගතස්ස චණ්නං වදමානො වදෙය්‍ය”

ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අබ්‍රහ්මචර්යාව දුරුකොට බඹසර හැසිරෙන සේක. ගැමි දහමක් වූ මෙවුන්දමින් තොරව හැසිරෙන්නේය. මහණෙනි, මෙසේ පුථුජ්ජනයා තථාගතයන් වහන්සේගේ ගුණ කියන්නේය. සිය ශ්‍රාවකයන් මෙවුන්දමින් වැළකී බඹසර හැසිරීම පිළිබඳව උන්වහන්සේ ඉතා ඉහළින් ප්‍රශංසා කළ සේක.

“තෙ සුසුකාල කෙසා භද්‍රෙණ යොබ්බණෙන සමන්නාගතා අනිකීළාවිනො කාමෙසු යාවජීවං බ්‍රහ්මචරියං චරන්ති” (ඒ භික්ෂූහු තද කළු කෙස් ඇත්තාහු නව යොවුන් වියෙන් යුක්ත වූවාහු කාම ක්‍රීඩාවන්හි නො යෙදුනාහු දිවි හිමියෙන් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කෙරෙත්) බඹසර රැකීම භික්ෂූ ජීවිතයේ ප්‍රධානම අංගයක් බව එයින් පැහැදිලිවේ. මෛථුන සේවනය පළමුවෙනි පාරාජිකා ශික්ෂාවයි. එය කඩ කළහොත් භික්ෂුව පාරාජිකා බවට පත්වේ. පාරාජිකා යනු භික්ෂුභාවයෙන් පිරිහීමයි. එවිට භික්ෂුවක් ලෙස පෙනීසිටිය නොහැකි ය.

“අබ්‍රහ්මචරියං පරිවජ්ජයෙය්‍ය අංගාරකාසුං ජලිතංව විඤ්ඤූ” (නැණවතා දැල්වෙන අඟුරුවළක් මෙන් අබ්‍රහ්මචර්යාව දුරුකළ යුතු ය. බුදුරදුන් තුළ බ්‍රහ්මචර්යාව කෙරෙහි පැවති පිරිසුදු අදහස එම ප්‍රකාශයෙහි පිළිබිඹු වේ. සුපිරිසුදු බ්‍රහ්ම චර්යාව නොමැතිව පිවිතුරු ලොවුතුරු මගේ නිදහස්ව යා නොහැකි ය. නිවණ යම්තාක් පිවිතුරු ද බ්‍රමහ්මචර්යාවත් එපමණට ම පිවිතුරු ය. කාමසේවනය බුද්ධිවර්ධනයට බාධාවක් නො වන බව බටහිර විද්වතුන්ගේ මතයයි.

එහෙත් ප්‍රඥා වර්ධනයට එය බාධාවක් බව බුදුදහමේ නිගමනයයි. ගිහියන්ගේ බ්‍රහ්මචර්යාව යාවජීව නො වේ. පොහොය දින අටසිල් හෝ දස සිල් සමාදන්ව සිටින පැය කිහිපයකට පමණක් එය සීමා වේ. එපමණක් වුවත් බෙහෙවින් ආනිශංස දායක ය. ආධ්‍යාත්මික ශික්ෂණයට මහෝපකාරී වේ. බුදුරජාණන් වහන්සේ මානව වර්ගයාගේ පැවැත්මට බාධා වන අයුරින් කිසිම ශික්ෂාපදයක් පනවා නැත.

කාන්තාවකගේ වරළස හෝ දෑත් දෙපා හෝ වෙනත් අඟ පසඟ පිරිමැදීම, ස්පර්ශ කිරීම භික්ෂූන්ට තහනම්ය, සංඝාදිසෙස ආපත්ති යටතේ මෙම නීතිය පනවා තිබේ. දෙවෙනි සංඝාදිසේස ආපත්තියෙහි මෙසේ සඳහන් වේ.

“යම්කිසි භික්ෂුවක් කායසංසර්ග රාගයෙන් යුතුව පෙරැළුනු සිතින් කාන්තාවකගේ අතින් ඇල්ලීම, වරළස ඇල්ලීම, අනෙක් අවයවයන් ස්පර්ෂ කිරීම සිදුකරයි ද සඟවෙසෙස් වේ.”

සංඝාදිසේස ආපත්තියකින් පාරිශුද්ධිය ලැබීම සඳහා ඉතා සංකීර්ණ පිළිවෙත් සමුදායයක් අනුගමනය කිරීමට සිදුවේ. මානත්ත, අබ්භාන ආදී දුෂ්කර ක්‍රියාමාර්ගයක් ඒ සඳහා නියමකර ඇත. අටසිල්, දස සිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට ද මෙම ශික්ෂාපදයේ අර්ථයෙහි බලපෑමක් ඇතිබව පෙනී යයි. ශීලසමාදානයෙහි යෙදී ගතකරන කාලය තුළ උපාසක උපාසිකාවන් ඔවුන්නොවුන්ගේ ශරීර එකිනෙකාට ස්පර්ශ වන පරිදි නො හැසිරිය යුතුය.

ස්වකීය ස්වාමිපුරුෂයා/බිරිඳ පවා ස්පර්ෂ කිරීම සුදුසු නො වේ. සිල් සමාදන්ව ගතකරන කාලය තුළ ස්වාමි භාර්යාවරු එකතැන එකට වාඩිවීමෙන් වැළකිය යුතු ය. ගේහසිත ප්‍රේමය වර්ධනයට එය හේතුවක් විය හැකි ය. සිල්සමාදන් වීම යනු හුදු චාරිත්‍රයක් නො වේ. ක්ලේශ ප්‍රහාණය සඳහා දෘඪ ප්‍රයත්නයකි.

බුදුරජාණන් වහන්සේ අබ්‍රහ්මචරියා ශික්ෂාපදය පැනවූයේ පුද්ගල පාරිශුද්ධිය ඇතිකිරීම සඳහාය. නිශ්චිත ශීලයක පිහිටි අවස්ථාවේදී පමණක් ස්ත්‍රී පුරුෂයන් අන්‍යෝන්‍ය ස්පර්ශයෙන් වෙන් වී සිටිය යුතු බව බුදුදහම පෙන්වා දෙයි. කාමසේවනයෙහි ආදීනව ජෛණ, අචෙලක ආදී භාරතීය ආගම්වල ද පෙන්වා දී තිබේ.

ප්‍රබල සදාචාරමය පදනමක් නොමැතිව කවර ආගමක් හෝ දර්ශනයක් ගොඩනැගිය නො හැකි ය. බඹසර හැසිරීමක් හඳුන්වා දී ඇත්තේ මිනිසා ප්‍රමාණය ඉක්මවා ලෞකික ආශාවන්ට ගැතිවීමෙන් වළක්වා ගැනීමට ය. එය සර්වසත්ව හිතගවේෂී ශාස්තෘවරයෙකුගේ පරම යුතුකමකි. තමන්වහන්සේ මිනිසා කැමති වන දෙය පමණක් නොව හිතකාරි නම් අකමැති වන දෙයත් පවසන බව ප්‍රකාශ කර තිබේ. බඹසර හැසිරීමෙන් යතිවරයන්ට මෙන්ම ගිහියන්ට ද මෙලොවම ලැබෙන සැනසිල්ල අපමණ ය.


සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ඨං - ශ්‍රද්ධාව පුරුෂයාට ශ්‍රේෂ්ඨ ධනයයි - සු. නි. ආලවක සූත්‍රය