Print this Article


බුදුදහම හා මාර සංකල්පය 11 බුදුරදුන්ට රජ වන්නට උපදෙස් දුන් මාරයා

බුදුදහම හා මාර සංකල්පය 11

බුදුරදුන්ට රජ වන්නට උපදෙස් දුන් මාරයා

මාරයාට අවශ්‍ය වන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පඤ්ච ඉන්ද්‍රියන් පිනවමින් කාම ලෝකයෙහි අතරමන් වෙමින් සිහිමුළාවෙන් කටයුතු කරන පිරිසකි.

පසුගිය අව අටවක පොහෝ දිනයේ දී අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ සංයුත්ත නිකායේ ඇතුළත් මාර සංයුත්තයටම අයත් නාගයෙකුගේ වෙස්ගත් මාරයා පිළිබඳ කරුණු ඉදිරිපත් වන ‘සප්ප සූත්‍රය’ විමසා බැලීමටයි. අද දින අපගේ අවධානය යොමුවන්නේ පාපී මාරයා බුදුරජාණන් වහන්සේට රජවීමට උපදෙස් දුන් ප්‍රවෘත්තියක් ඇතුළත් වන සංයුත්ත නිකායේ මාරසංයුත්තයට අයත් ‘රජ්ජ සූත්‍රය’ විමසා බැලීමටයි.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් රටෙහි හිමවන්ත ප්‍රාදේශීය අරණ්‍ය කුටියක වැඩ වසන සේක. එසේ හුදකලාව විවේකයෙන් වැඩසිටියාවූ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කල්පනාවක් විය. “අනුන් නොනසමින්, නොනස්වමින්, නොදිනමින්, නොදිනවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, දැහැමෙන් රජය කරවත හැකිද?”

එවිට පාපී මාරයා, භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි වූ කල්පනාව තම සිතින් දැන, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේ ය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට, ස්වාමීනි, නොනසමින්, නොනස්වමින්, නොදිනමින්, නොදිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවන සේක්වා.”

එවිට භාග්‍යවතුන් වහන්සේ “පාපිය, නොනසමින්, නොනස්වමින්, නොදිනමින්, නොදිනවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවන සේක්වායි, මට මෙසේ කියන්නට ඔබ කවර කරුණක් දන්නෙයිදැයි” ඇසූහ.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ඡන්ද, චිත්ත, විරිය, විමංසා යන සෘද්ධිපාද සතර වඩන ලදහ. බහුල කරන ලදහ. යෙදූ යානයක්සේ කරන ලදහ. තහවුරුකොට තම සිත පිහිටුවන ලදහ. නොහැර නිතර තමා කෙරෙහි පවත්වන ලදහ. පුරුදුකරන ලදහ. මැනවින් සම්පූර්ණ කරන ලදහ. ඉදින් භාග්‍යවතුන් වහන්සේ කැමතිනම් හිමාලය පර්වතය රන් ගොඩක්ම වේවා’යි සිතුවහොත් ඒ පර්වතය රන් ගොඩක්ම වන්නේය’යි (මාරයා කීය)

එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට පිළිතුරු වශයෙන් මෙසේ වදාළහ.

“පබ්බතස්ස සුවණ්ණස්ස,
ජාතරූපස්ස කෙවලො!
ද්වීත්තාව නාලමෙකස්ස,
ඉති විද්වා සම්ඤවරෙ”

“යො දුක්ඛමද්දක්ඛි යතොනිදානං,
කාමෙසු සො ජන්තු කථං නමෙය්‍ය,
උපධිං විදිත්වා සංගොති ලොකෙ,
තස්සෙව ජන්තු විනයාය සික්ඛෙ’ති.

(රනින්ම නිමියාවූ රන් ගොඩක්මවූ එක පර්වතයක් තබා එමෙන් දෙගුණයක් මහත් පර්වතයක් වුවද, එය එක් පුරුෂයෙකුට සිතට නොසෑහේ. මෙසේ මෙකරුණ දන්නා නුවණැත්තේ සමව හැසිරෙන්නේය.)

(යම් පස්කම් හේතුයෙන් දුක් පහළවේයයි යමෙක් මෙසේ දුක දකීනම්, ඒ පුද්ගලයා කෙසේනම් එකී පස්කම්හි නැමෙන්නේද? නුවණැති පුද්ගලයා පස්කම් ලෝකයෙහි සිත බැඳෙනා දේය’යි දැන එය දුරු කිරීම පිණිස හික්මිය යුතුය.)

ඡන්ද, චිත්ත, විරිය, විමංසා යන මේවා සතර සෘද්ධිපාදයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට විශේෂිත වූ මේ සතර සෘද්ධිපාදයන් වැඩීම තුළින් උන්වහන්සේලා යම් සිතුවිලි මාත්‍රයක් වුව සිතන්නේද ‘එය එලෙසින්ම වන්නේය’ යන්න මෙහි විශේෂත්වයයි. පාපී මාරයා බුදුරජාණන් වහන්සේට මෙම සතර සෘද්ධිපාදයන් පිළිබඳ දැන්වීම තුළින් ඔහු බුදුරජාණන් වහන්සේ මෙම සතර සෘද්ධිපාද වැඩූ උතුමෙක් බවත් එහි විශේෂත්වයක් දැනසිටි බවත් පැහැදිලි වෙයි.

මෙම සතර සෘද්ධිපාදයන් වැඩූ උතුමෙකුගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද හිමියන්ට දේශනා කළ අවස්ථාවක් දීඝනිකායේ එන මහාපරිනිබ්බාණ සූත්‍රයෙන් පැහැදිලි වෙයි. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙම සෘද්ධිපාදයන් වැඩූ උතුමන්ට යම් කෙනෙක් කල්පයක් වැඩසිටින ලෙසට ආරාධනා කළහොත් එසේ වැඩ සිටීමට ඒ උතුමන්ට හැකියාව ඇති බවයි. එම සඳහන මෙසේ ය.

යස්ස කස්සවි, ආනන්ද චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකංඛමානො කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසෙසං වා, තථාගස්ස ඛො, ආනන්ද, භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිකතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඪචමානො, ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්‍ය කප්පාවසෙසං වාති”.

බුදුරජාණන් වහන්සේ මෙම දැනුවත් කිරීම ආනන්ද හිමියන්ට තෙවරක්ම සිදුකළ නමුත් ආනන්ද හිමියන්ට ඒ පිළිබඳ සිතීමට අවස්ථාවක් නොවීය. එනම් උන්වහන්සේගේ සිත ඒ පිළිබඳ යොමු කිරීමට අවස්ථාව උදා වී නොමැත. ඒ පිළිබඳ අවධානය යොමු කළ බුදුරජාණන් වහන්සේට පෙනී ගොස් ඇත්තේ පාපී මාරයා බුදුරජාණන් වහන්සේ කල්පයක් වැඩ සිටිනවාට අකමැති නිසා ආනන්ද හිමියන්ගේ සිතට ආවේශ වී ඒ පිළිබඳ සිතීමට උන්වහන්සේට ඉඩ නොදී ඇති බවයි. බුදුරජාණන් වහන්සේ මේ වන විටත් චතුරාර්ය සත්‍ය දේශනා කොට උන්වහන්සේගේ සම්බුදු කිස නිමාකොට තිබූ බැවින් කල්පයක් වැඩ සිටීම පිළිබඳ අවධානය යොමු නොකොට ආනන්ද හිමියන් පිළිබඳ අනුකම්පාවෙන් උන්වහන්සේට විවේකීව වැඩසිටින ලෙස සිහිපත් කරයි.

එවම්පි ඛො ආයස්මා ආනන්දො භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔහාසෙ කයිරමානෙ නාසක්ඛි පටිච්ජිතුං, න භගවන්තං යාචි ‘තිට්ඨතු, හන්තෙ, භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං, බහුජනහිතාය බහුජන සුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන’ න්ති, යථා නං මාරෙන පරියුට්ඨිතචිත්තො, අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි ‘ගච්ඡ ත්වං, ආනන්ද, යස්සදානි කාලං මඤ්ඤසි’ති.

මහාපරිනිබ්බාන සූත්‍රයේ ඇතුළත් මෙම කතා ප්‍රවෘත්තියෙනුත්, සංයුත්ත නිකායේ මාරසංයුත්තයේ ඇතුළත් බොහෝමයක් සූත්‍රවලිනුත් පැහැදිලි වන්නේ පාපී මාරයා බුදුරජාණන් වහන්සේ පිළිබඳ චර්යාවන් පිළිබඳ ද්වේශයෙන් කටයුතු කොට ඇති බවයි. බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයට පත්වන අවස්ථාවේ පටන් පිරිනිවෙන තෙක්ම උන්වහන්සේට කරදර කර ඇතිබවයි. එයට හේතුව බුදුරජාණන් වහන්සේ මහජනයාට ධර්මය දේශනා කරමින්, ධර්මය අවබෝධ කරවමින් උතුම් නිවන හෙවත් රහත්භාවය ප්‍රත්‍යක්ෂ කරමින් කටයුතු කළ බැවිනි. මාරයාට අවශ්‍ය වන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පඤ්ච ඉන්ද්‍රියන් පිනවමින් කාම ලෝකයෙහි අතරමන් වෙමින් සිහිමුළාවෙන් කටයුතු කරන පිරිසකි. එවිට ඔහුට ඒ පිරිස පහසුවෙන් ග්‍රහණය කරගත හැකිය. එබැවින් අප උත්සාහ කළ යුත්තේ මේ මාරපාසයෙන් නිදහස් වී, පාපී මාරයා පරාජය කරමින් උතුම් ධර්මාවබෝධය ලැබීමට කටයුතු කිරීමයි.

මතු සම්බන්ධයි


බුදුදහම හා මාර සංකල්පය 10 - නාග වෙස් ගත් මාරයා