Print this Article


සමාජ නායකත්වයයි බෞද්ධ මඟ පෙන්වීමයි

සමාජ නායකත්වයයි බෞද්ධ මඟ පෙන්වීමයි

සමාජයක් යනු පුද්ගල සමූහයක එකතුවකි. හැම දෙනාටම ජීවත්වීම සඳහා සමාජයක් අත්‍යවශ්‍යය. සමාජයක් අවශ්‍ය නොවන බව පවසන්නා එක්කො දෙවියකු විය යුතු නැතිනම් තිරිසනකු විය යුතු යැයි ප්‍රසිද්ධ දාර්ශනිකයෙකු වන ඇරිස්ටෝටල් පඬිවරයා සඳහන් කරයි. සමාජ සම්භවයේ සිටම කණ්ඩායම් ගතවීම දක්නට ලැබේ. මෙය මනුෂ්‍යයන් අතර පමණක් නොව අන්‍ය ජීවින් තුළද දක්නට ඇත.ජාති, කුල ගෝත්‍ර වෘත්තීන් වර්ණ ආදි විවිධතා අනුව එම කණ්ඩායම් ගත වීම සිදුවන බව සමාජ විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

එලෙස කණ්ඩායම් ගත වන්නන්ගේ එම කාර්යයෙහි පියවර පහක් ඇතැයි සමාජ මනෝවිද්‍යාඥයෝ දක්වති. 01 ආරම්භක අවස්ථාව 02 කුණාටුමය අවස්ථාව 03 ප්‍රතිමාණන අවස්ථාව 04 කාර්ය සාධන අවස්ථාව 05 විසිර යන අවස්ථාව යනු එම පියවර පහයි. සමාජය ගතිකය, විවිධ ගතිසිරිත් මතවාදවලින් ගහන සමාජය නිරන්තරයෙන් හැලහැප්පිලි අර්බුද ගැටුම්වලින් යුතුය. සමාජය ආරම්භයේ පටන්ම එවන් අවස්ථා සංසිඳුවා ගැනීම සඳහා සාමාජිකයන් විසින් විවිධ ක්‍රමෝපායන් භාවිතා කර ඇත. ඒ පිළිබඳ ප්‍රාථමික අවස්ථාවක් ලෙස දෙවියන් හා අසුරයන් අතර ඇතිවූ යුද්ධය දැක්විය හැකිය. ඓතෙර්ය බ්‍රාහ්මණයෙහි සඳහන් වන අන්දමට එම යුද්ධය සංසිඳුවීම සඳහා සෝම නමැති දෙවියා ප්‍රථම වරට පත් කරගෙන ඇත. බුදු දහම සමාජ ප්‍රභවය හා රජකු පත්කරගැනීම පිළිබඳ වඩාත් හේතුඵලවාදි මතයක් ඉදිරිපත් කර ඇති බව අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් වන සමාජ විකාශන විග්‍රහයෙන් පැහැදිලි වෙයි. සමාජය තුළ අධර්ම රාගය ,විෂම ලෝභය වැනි හේතුන් නිසා ඇතිවූ ගැටලුවලට විසැඳුමක් ලෙස මහා සම්මත නමින් පාලකයකු නායකයකු පත් කරගත් බව එහි සඳහන්ය. ඉන් අනතුරුව සමාජ විකාශනයෙහි දී අවශ්‍යතා අනුව ඒ ඒ සමාජ සංස්ථාවල නායකත්වය ප්‍රාදූභූ¡¡තව ඇත. එයට සමගාමීව නායකත්ව සංකල්පයත් එයට අදාළ වූ ගති ලක්ෂණ ගුණාංගත් විකාශනයට පත්ව ඇත.

මීළඟට අප උත්සාහ කරන්නේ බුද්ධ චරිතය තුළින් ප්‍රකට වන නායකත්ව ගුණාංග පිළිබඳව විමසා බැලීමටයි. බුදුරජාණන් වහන්සේ පහළ වන භාරතීය සමාජයේ විවිධ ආගමික කණ්ඩායම් සිටියහ. ඔවුහු කණ්ඩායම් ලෙස සංවිධානය වී ගම්නියම් දනව්වල සැරිසරමින් තම ආගමික මතවාද සමාජ ගත කර ඇත. එම කණ්ඩායම් නායකයින් සංඝී ගණී ගණාචාරිය නම්වලින් වෙසෙසා ඇත. එම නායකයන් තම කණ්ඩායමෙහි සියලු කටයුතු සොයා බැලූ අතර පිරිසෙහි ආරක්ෂාව විනය අනුගාමික සබඳතා ආදි සියලු දෑ පිළිබඳ වගකීම් දරා ඇත. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස භික්ෂු, භික්ෂුණී, උපාසක,උපාසිකා යන සිව් පිරිසෙන් යුතු වූ අතර උන්වහන්සේට ආමන්ත්‍රණය කර ඇත්තේ භන්තේ යන නමිනි. සමණො ගොතමො යන පාලිවචනයෙන් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ යනුවෙන්ද අන්‍ය ආගමික පිරිස් විසින් හඳුන්වා ඇත. ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ බුදුන්වහන්සේ හා තථාගතයන් වහන්සේ යන්නත් ඒ සඳහා භාවිතා වී ඇත. සර්වඥතා ශාසනයට රාජ්‍යත්වය ආරෝපණය කර සම්බුදු රාජ පදවියක්ද සාහිත්‍යකරුවන් නිර්මාණය කර ඇති බව දක්නට ඇත. ඒ අනුව සම්මා සම්බුද්ධ රාජ්‍ය යන්නත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යන්නත් වර්තමානයෙහිදී බෙහෙවින් ව්‍යාහාර වනු පෙනේ. සසරින් ලද නායකත්ව පුහුණුවක් බුදුරදුන් වෙත පැවතුණි. බෝසත් සිරිත කියවන විට අපට පැහැදිලිවන්නේ උපන් හැම භවයකම පාහේ බෝසතාණන් වහන්සේ තම පිරිසට නායකත්වය ලබාදී ඇති බවයි. එය මනුෂ්‍ය තිරිසන් යන හැම අවස්ථාවකටම සාධාරණය. උදාහරණ ලෙස සේරිවාණිජ ජාතිකයත් මහකපි ජාතකයත් පෙන්වා දිය හැකිය. ඕනම ආයතනයක් සංවිධානයක් සංවර්ධනය වන්නේ ස්ථාවරවන්නේ දියුණුවන්නේ සංවිධාන ගතවූ තරමටය. විශේෂයෙන් ආයතන ගත නායකත්වයෙහි ඇති ශක්තිමත් බව ඒ සඳහා ඉවහල් වෙයි. දුර්වල නායකත්වය සාමාජික අරමුණු නොසලකා ක්‍රියා කරනු පමණක් නොව සංවිධානයද බිඳ හෙලයි.

බුදුපියාණන් වහන්සේ ඉතා කෙටි කාලයක් තුළ දී භික්ෂු සංස්ථාව ප්‍රබල සංවිධානයක් බවට පත් කළහ. එයට මූලික හේතුව වූයේ උන්වහන්සේ තුළ පැවති ආදර්ශමත් නායකත්ව ගුණාංගයන්ය. බුද්ධත්වයෙන් මාස දහයක් තරම් කෙටි කාලයක් තුළදී විසිදහසකට වඩා භික්ෂු පිරිසකට නායකත්වය දුන්හ. එයට වඩා විශාල දායක දායිකා පිරිසක් උන්වහන්සේ මූලික කරගෙන උන්හ. වසර පහක් පමණ වන විට ඉන්දියාවේ මධ්‍යදේශයෙන් බැහැර ප්‍රදේශවලත් විදේශ රටවලත් අනුගාමිකයෝ ඇති වූහ.

නායකයකු කියනදේ කරන කරන දේට අනුව කථා කරන්නෙකු විය යුතුය. එය දහමේ හැඳින්වෙන්නේ යථාවාදී තථාකාරි තථාවාදී යථාකාරි ගුණය යනුවෙනි. නායකයකු තුළ න්‍යාය හා භාවිතය අතර පරස්පරතාවක් තිබිය නොහැක. එසේ වෙනස්කම් ඇතිවන විට අනුගාමිකයන් සංවිධානයෙන් ඈත් වෙනු ඒ කාන්තය. බල ලෝභය ධන තණ්හාව, කීර්ති කාමය, නායකත්වය විනාශ කරන හේතුය. සංවිධාන ආයතන ප්‍රමාණාත්මකව වර්ධනය වන තරමට ගුණාත්මකව ඉහළ තලයකට නොපැමිණි විට යටකී දුර්වලතා වර්ධනය වෙයි. වර්තමානයෙහි බොහෝ ආයතන හා සංවිධාන අසාර්ථක වී ඇත්තේ මෙම හේතුව නිසාවෙනි. අපේ පැරැණි කට වහරේ දක්නට ඇති කථාව දෝලාවෙන් ගමන පයින් හා කටින් බතල කොල සිටුවීම වැනි උපහැරණ ගොඩනැඟී ඇත්තේ එබඳු ක්‍රියා කලාපයන් නිසාය. දෙබිඩි ජීවිත සමාජ විශ්වාස කඩා විසුරුවා ඇත. බලය නැති කල සර්ව සාධාරණත්වය දකින්නෝ ලද අවස්ථාවේ සියල්ල කනපිට පෙරළති. බුදුරජාණන් වහන්සේ සිව්වණක් පිරිස අමතා දේශනා කොට ඇත්තේ දේශනයත් පිළිවෙතත් අතර වෙනසක් නොවිය යුතු බවයි.

නායකත්ව ලක්ෂණ අතර බුද්ධ චරිතයෙන් ප්‍රකට තවත් ගුණාංගයක් වන්නේ පරිත්‍යාගශීලිත්වයයි. දසරාජ ධර්මයෙහි විශේෂ කොටත් අනෙක් තැන්හි දානය ලෙසත් දක්වා ඇත්තේ මෙම පරිත්‍යාගශීලි ගුණයයි. සමාජය අප වෙනුවෙන් විශාල ආයෝජනයක් කර ඇත. ඒ වෙනුවෙන් අප සමාජයට යම් ප්‍රදානයක් කළ යුතුය. විශේෂයෙන් සමාජ නායකයින් වශයෙන් අප ඒ සඳහා ඇප කැප විය යුතුය. නායකයකු තම අවශ්‍යතා උරුමයන් හිමිකම් යම් ප්‍රමාණයකට පරිත්‍යාග කළ යුතුමය. ඇතැම්විට ජීවිත පරිත්‍යාගය වුවද කළ යුතු බව සස ජාතකය, ස්වර්ණමිග ජාතකය අපට සිහිපත් කර දෙයි. කාලය, ශ්‍රමය, බුද්ධිය, ධර්මය, සෞඛ්‍ය, දැනුම සමාජය වෙනුවෙන් පරිත්‍යාග කිරීමෙන් සමාජය නගාසිටුවිය හැක.අද වගකීම් දරන්නන් අපේක්ෂා කරන්නේ තමාගෙන් සමාජයට නොව සමාජයෙන් තමන්ට යන්න පිළිබඳවය. බුදුරජාණන් වහන්සේ දවස කොටස් පහකට බෙදා ඉන් පැය දෙකක් හැර ඉතිරි සියලුම කාලය ගත කළේ දෙවියන් සහිත ලෝක සත්වයාගේ සුබසිද්ධිය අරමුණු කරගෙනය. තුරිත චාරිකා අතුරිත චාරිකා යනුවෙන් ආරාධානා ඇතිව හෝ නොමැතිව එම සේවයෙහි යෙදුනහ.අංගුලිමාල සොයා යාම, සුනීත සෝපාක වෙත යාම පරාර්ථ චර්යාවේ පැතිකඩ වෙයි. චරථ භික්ඛවෙ චාරිකං බහු ජන හිතාය බහුජන සුඛාය යනාදී දේශනාවෙන්ද එම වැඩ පිළිවෙළ අපට පැහැදිලිය.

ඕනෑම සමාජයක විවිධ අකටයුතු අසාධාරණ ක්‍රියා සිදුවිය හැක.නොයෙක් ආකල්ප සමාජගතව තිබේ. ඒ නිසා සමාජ බෙදීම්ද හට ගනී. එවැනි අවස්ථාවලදී බුද්ධිමත් නායකයන් සමාජ සංශෝධන ක්‍රියාවලියකට වුවද යා යුතුය. හේතුව එම සමාජ අසාධාරණය නිවැරැදි කිරීමට සමාජ මතයක් ගොඩනැඟීමට නායකයකු බැඳී සිටින හෙයිනි. අනෙක එවැන්නක් ඓතිහාසික සංසිද්ධියක්ද වනු ඇත. බුදුරජාණන් වහන්සේ වැඩ විසූ දඹදිව සමාජය වෛදික නීතිවලින් විශාල පීඩාවකට පත්ව සිටි අතර කුල භේදය, කාන්තා හිංසනය, සත්ව ඝාතන, බිලිපූජා ආදියෙන් ව්‍යසනයට පත් එම සමාජය ප්‍රතිසංස්ක-රණයකට ලක් විය යුතුව පැවතුණි.උන්වහන්සේ එම ඓතිහාසික සමාජ සංශෝධන ක්‍රියාවලිය ක්‍රියාවට නැන්වූහ. කුල බේදය ඉවත්ව සැමට සමාන අයිතිවාසිකම් ලැබෙන්නට විය. කාන්තා නිදහස තහවුරු විය.ආගමික ක්‍රියාවල හැමට යෙදීමට අවස්ථාව උදා විය. එදා දඹදිව සමාජයේ ඇතිවූ පරිවර්තනය අද ද ඇගයෙනු පෙනේ. බුදුසිරිත තුළ පැවති එම ශ්‍රේෂ්ඨ ලක්ෂණය අභීත නායකත්වයකි.

සමාජයක ඇති බහුවාර්ගික බහුජාතික බව දඹදිව සමාජ පරිසරයෙහි මොනවට දිස් විය.ආගමික කොට්ඨාස හැට දෙකක් එකල විසූ බව දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි දක්නට ඇත.ආගමික සහජීවනය ආගමික සංහිඳියාව අගය කළ බුදුරජාණන් වහන්සේ ඔවුන් සමඟ සුහඳ සංවාදවල නිරත වූහ.

සච්චක උපාලි ගෘහපති පුත්‍ර සමාගමය නිදසුන්ය.ඇතැම්විට අන්‍ය ආගමික ආරාම අසපුවලට ගමන් කළහ.

සකුලුදායි පිරිවැජියාගේ ආරාමයට වැඩම කළ අවස්ථාව හා ගයා ශිර්ෂයෙහි උරුවෙල් කාශ්‍යපයන්ගේ ආරාමයට වැඩමවීම නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය. එම සහජීවන කාර්යෙහිදි තම මතවාදය සංස්ථාපනයට අවකාශ ගත් අතර දුරුමත විදාහරණයට පසුබට නොවූහ. වර්තමාන සමාජ ගැටලුවක් වූ ආගමක අනවබෝධයන්ට ඉන් පිටුබලයක් උදා කර ගත හැකි වෙයි.

නායකත්ව වගකීම් දරද්දි විවිධ චෝදනා අපවාද එල්ලවීම ස්වභාවිකය. වැඩ කරන විට විරුද්ධවාදින් බහුල වෙයි. ඒවාට ඉවසීමත් නොබියව මුහුණදීමත් බියේ පලා නොයාමත් සාර්ථක නායකයෙකු සතු ගුණාංගයකි.එය කළ හැක්කේ පිරිසිදු විනිවිද පෙනෙන ක්‍රියාමාර්ග ඇත්තෙකුට පමණි. බුදු සිරිත තුළ මොනවට පැවැති එම ක්‍රියපිළිවෙත තාදි ගුණය නමින් විශද විය. බුදුපියාණන් වහන්සේ අන්‍ය තිර්ථකයන්ගේ ප්‍රකෝපකාරි අමූලික චෝදනා හමුවෙහි නොසැලි සිටියේ

‘සේලෝ යථා ඒකා ඝණො වාතෙන සමීරති

ඒවං නින්දා පසංසාසු න සමිංජන්ති පණ්ඩිතා” යන තම ප්‍රකාශය සනාථ කරමිනි. ලාභ අලාභ, යස අයස ,නින්දා ප්‍රශංසා, සැප දුක් යන අට ලෝ දහම නියතියකි. කීර්ති ගුණ ඝෝෂා සොයා යන නායකයින් පිරිහී ඇද වැටෙනු ඇත. ඒවා සොයා යායුතු නැත. නිරායාශයෙන්ම ඒවා ලැබෙන්නේමය.

අප ශාන්තිනායකයාණන් වහන්සේ තුළ පැවති අගය කළ යුතු ගුණාංගයකි ස්ථානෝචිත ප්‍රඥාව. අවස්ථානුකූලව එළඹෙන තත්වයන් තෙරුම් ගෙන කටයුතු නොකිරීමෙන් බොහෝ නායකයින් අසාර්ථකත්වයට පත්වූ අවස්ථා ඇත. එමෙන්ම විශාල අර්බුද අවස්ථා සුළු ක්‍රියාමාර්ග මඟින් විසඳාගත් අය සිටිති.අනාගතය දැකිය හැකි වීමද අවශ්‍යය. නායකයා දකින්නේ දැන් නොව හෙට යන කියමන මෙහිලා වැදගත්ය. බුදුහිමියන් අනාගතයෙහි ශාසනයෙහි ඇති වන තත්වයන් සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. ධර්ම විනය දෙක මගේ ඇවෑමෙන් ශාස්තෘවරයා වන බවට කළ දේශනාව අනාගතයෙහි බුද්ධ ශාසනය පෞද්ගලික බූදලයක් නොවනු පිණිස ගන්නා ලද කදිම තීන්දුවකි.

මධ්‍යස්ථ බව සමාජ සාධාරණය ඉටු කරන්නකි. චන්ද, දෝස, භය, මෝහ යන සතර අගතිය සමාජ විනාශයට පරිහානියට හේතුවෙයි. පිරිසකට නායකත්වය දෙන්නා අගතිගාමී වූ විට පැත්තකට වාසි හෝ අවාසි වන ලෙස ක්‍රියා කිරීම නිසා විශාල පිරිසක් අහිමි කරගනී. එවිට විරුද්ධවාදීන් පිරිසක් නිර්මාණයවීම තමාගේ පැවැත්මට හිතකර නොවේ. එනිසා හැකි හැම විටම උපරිමයෙන් මධ්‍යස්ථව ක්‍රියා කරනු වටී. බුදුපියාණන් වහන්සේ සැම දෙනා කෙරෙහි මැදිහත්ව ක්‍රියා කළහ. විරුද්ධවාදීකම් කළ දෙව්දතුන්ටත් තම රහල් පුතණුවන්ටත් සම මෙත පෑ අයුරු ඉතා ප්‍රකටය. විශේෂයෙන් විරුද්ධවාදීන් දිනා ගැනීමෙහි දක්ෂ වූවෙකුට විශාල වැඩ කොටසක් කළ හැකිය. තථාගතයන් වහන්සේ උදාර නායකයකු ලෙස අනුගමනය කළ සුවිශේෂි ගුණාංග තුනකි. පුබ්ප භාසී, පුබ්බ භාසී පුබ්බකාරි යනු එම කරුණු තුනයි. හැමට පළමුව කථා කිරීම, පළමුව සිනාසීම, පළමුව ක්‍රියාකිරීම සමාජ සුධාරකයකුගේ ලක්ෂණයක් විය යුතුය. තමන් වෙත ආ පුද්ගලයාගේ අවධානය දිනාගැනීමට එය උදව් වේ. නායකයා පළමුව කටයුතු කිරීම තුළින් අනුගාමිකයෝ වඩාත් උනන්දු වෙති.

සිගාලෝවාද සූත්‍රයෙහිදී ගුරු ශිෂ්‍ය සබඳතා දක්වන තැනදී තම ශිෂ්‍යයා අන් අයට හඳුන්වා දීම අගයකොට ඇත. හැම කෙනෙකුම තමන් අගයනු දැකීමට කැමැතිය. මනෝවිද්‍යාවෙහිදි එය අභිපේ‍්‍රරණ ක්‍රමයක් ලෙස අගය කරයි. දෙමාපියන් වුවත් තම දරුවන් නිතර නිතර අගයකිරීම තුළින් දරුවන්ගේ පෞරුෂ වර්ධනය වන බව පෙන්වා දී ඇත. බුදුරජාණන් වහන්සේ තම ශිෂ්‍ය පිරිස නිතර අගය කළහ. සමහර අවස්ථාවන්හිදී සැරියුත් හිමියන් අමතා තමන් වහන්සේට තරමක වෙහෙසක් ඇති නිසා එම ධර්ම දේශනාව ඉදිරියට කරගෙන යන ලෙස දන්වති. එම ධර්ම දේශනාව අවසානයෙහි බුදුහිමියන් සාධුකාර පවත්වා මම එම ධර්ම දේශනාව දේශනා කළේ නම් දේශනා කරනුයේද එම කරුණම බව භික්ෂූන් ඉදිරියේ ප්‍රශංසාත්මකව දේශනා කොට ඇත. එමෙන්ම ඒ ඒ කරුණෙහි දක්ෂතා දැක්වූවන්ට සුදුසුකම් අනුව තනතුරු වගකීම් පවරා ඇති අයුරු ඒතදග්ගපාලියෙන් ප්‍රකටය. අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා එසේ ඇගැයීමට ලක් කළ අතර හඳුන්වාදීමක්ද කර ඇත.

බොහෝ නායකයක්ට තමාගේ අනුගාමිකයන්ව නිසිලෙස හඳුනා ගැනීමට නොහැක. ඔවුන්ගේ දක්ෂතා හැකිය. අවශ්‍යතා හඳුනාගත් විට ඔවුන් වෙත සමීපවීම පහසුය.එසේනොවන තැන නායකයා කෙරෙහි අනුගාමිකයෝ කළකිරෙති. එවිට කොතරම් ජනපි‍්‍රය නායකයකු වුවද සමාජය ප්‍රතික්ෂේප කරනු ඇත. ඒනිසා නායකයකුට හොඳ ඉවක් තිබිය යුතුමය. සමාජය අධ්‍යයනය කිරීමෙන් අවශ්‍යතා තේරුම් ගැනීමෙන් එම කාර්ය කළ හැකිය. බුදුපියාණන් වහන්සේ තමන් වෙත පැමිණෙන්නන්ගේ අභිලාශයන් හොඳින් දන්නා සේක. ඒ ඒ අයගේ මානසික තත්වයන් අනුව දාන තථා ආදි අනුපිළිවෙළ තථායෙන් දහම් දෙසා ඔවුන් සුවපත් කොට ඇත. කුස ගිනි නිවා දහම් දෙසු පුවත ඉතා ප්‍රකටය.

ගුරුමුෂ්ටිය නොතබා තමන් දත් දේ සියල්ල දේශනා කිරීමද බුද්ධ චරිතයෙහි කැපීපෙනෙන ලක්ෂණයකි.ඕනෑම පුද්ගලයෙකුට අවශ්‍ය නම් ප්‍රතිපත්ති මාර්ගයෙහි ගමන්කොට විමුක්තිය ලබා ගත හැකි බව දේශනා කොට ඇත. තමා අභිභවා යතැයි සිතා බොහෝ නායකයන් අනුගාමිකයන්ට තමන් දන්නා සියල්ල නොදෙති. එවිට සිදුවන්නේ අනුගාමිකයින් බිහි නොවී එතනින් පසු ආයතන සංවිධාන බිඳ වැටීමයි. ලෝක නාථයන් වහන්සේ වරක් මාරයාට ප්‍රකාශ කළේ ,තම ශ්‍රාවක,ශ්‍රාවිකා පිරිස ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපන්න වනතුරු තමන් වහන්සේ පිරිනිවන් නොපාන බවයි. ඉන් පැහැදිලි වන්නේ තම ශ්‍රාවක පිරිස අනාගත අභියෝගන්ට මුහුණ දීමට බල ගැන්වීමෙහිලා උන්වහන්සේ තුළ පැවැති අභිලාශයයි. එය ආදර්ශමත් නායකත්ව ලක්ෂණයකි.අවසන් මොහොත දක්වාම තම ශ්‍රාවක පිරිස බලගැන්වීමෙහි නිරත වූ බුදුන්වහන්සේ ආනන්ද හිමියන් ලවා භික්ෂූන් වහන්සේ ඒකරාශිකොට ගෙන දේශනා කළේද තමන්ට යමක් පිළිබඳව කුකුසක් ගැටලුවක් සැකයක් ඇත්නම් තමන් වහන්සේගෙන් විමසා දැනගන්නා ලෙසයි. තමන්ට ඍජුව එය ඇසිය නොහැකි නම් යහලුවකුගේ මාර්ගයෙන් හෝ එය විමසා සැක හැරගන්නා ලෙසයි. හොඳ නායකයකු පරිසරය හා ඒකාත්මික විය යුතුය. ස්වභාව සෞන්දර්ය කාමියකු විය යුතුය. පරිසරය සතා සිව්පාවා ,ගස්වැල් ,ඇළ දොළ ගංගා ඈ නෙක කෙරෙහි ආදරය ඇත්තෙකු විශිෂ්ට නායකයෙකි. බුදුරජාණන් වහන්සේ සමස්ත සමාජයම, පරිසරයම එකට ඒකාබද්ධ කොට සලකා ක්‍රියා කළහ.උන්වහන්සේගේ මෛත්‍රි සංකල්පය හොඳින් අධ්‍යයනය කරන්නෙකුට එය දැක ගත හැකිය.ජීව අජීව ලෝකය කෙරෙහි තානුකම්පීවීම සුවිශේෂී ය. ගසක් යට ඉපදී ගසක් යට බුදුවී ගසක් යට පිරිනිවන් පෑ බුදුන්වහන්සේ වැඩි කාලයක් ගත කර ඇත්තේ සොබාදහම සමඟය.

සමාජ නායකයකු ලෙස භික්ෂූන්වහන්සේලා ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න උන්වහන්සේ අවධාරණය කළහ. මහජනයාට බරක් නොවී තම අවම අවශ්‍යතා පමණක් ඉටුකරගැනීමෙහිලා භික්ෂූන් මෙහෙයවූ බුදුපියාණනන් බඹරුන් මල් නොතලා රොන් ගන්නා අයුරු සිතට නන්වා ඇත. පරපටි බද්ධ ජීවිතය මතකයට නන්වමින් දසධම්ම සූත්‍රය දේශිතය. සමාජයට මග පෙන්වන්නා ආදර්ශයෙන් පිරි ජීවිතයකට හිමිකම් කිව යුතු බව දේශනා කොට තිබේ. භික්ෂුව පරමාදර්ශි ජීවිතයක් ගත කළ යුතුවේ. එයට හේතුව සමාජය ඔහු අනුගමනය කිරීමට සැදී පැහැදී සිටීමයි.

පැරැණි සමාජය අනුගමනය කළේ භික්ෂු චරිතයයි. උන්වහන්සේගේ සරල පැවැත්ම ගිහියාද පුරුදු විය. චාම් ජීවිතය, ,අල්පේච්ඡ බව, පරිත්‍යාගී ගුණය, මෛත්‍රී චින්තනය එහි ප්‍රතිඵලය දැහැමි ජීවත්වීමට හුරුවු ගැමියා පරිසර හිතකාමියකුද විය. ගමයි, පන්සලයි, වැවයි , දාගැබයි යන තේමා පාඨය තම ජීවිතයට බද්ධ කළේ මහා සංඝරත්නය වෙති. මේ රට වසර දෙදහස් හයසියයකට වඩා කාලයක් බෞද්ධ උරුමයට යටත්ව පවතී. රාජ්‍ය වර්ෂ 1505 දක්වාම භික්ෂුවගේ නායකත්වය ආදර්ශයට ගෙන ක්‍රියා කළ මෙරට ජනතාව ඉතා ආදර්ශමත් ගුණගරුක පිරිසක් වූහ. එතැනින් පළුදුවූ එම සිංහල ජන ජිවිතය අඩපණව පැවැති අතර 1815 මාර්තු වෙනදා අත්සන් කළ උඩරට ගිවිසුමෙන් පසු එය සහමුලින්ම විනාශ විය. මීට වසර 200 කට පෙරාතුව සිදුවූ එම ඓතිහාසික වරද නිවැරැදි කර භික්ෂු නායකත්වය ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ ස්ථාපිත කිරීමට දැන් කාලය පැමිණ ඇත. ආත්මාර්ථ පරාර්ථ සාධනයට ඉවහල් වන සමාජ නායකත්වයක් බුදුදහම අපේක්ෂා කළ බව මනාව වැටහෙයි.

මතු සම්බන්ධයි