Print this Article


දෙවියන්ට වදාළ සම්බුදු බණ 12 බුදු සමිඳු සරණ ගියේනම් සතර අපායෙන් නිදහස්

දෙවියන්ට වදාළ සම්බුදු බණ 12

බුදු සමිඳු සරණ ගියේනම් සතර අපායෙන් නිදහස්

දක්ෂ රියදුරෙක් විසින් ඉතා හොඳින් හීලෑ කරපු අශ්වයන් වගේ. යම් කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියයන් හොඳට දමනය කරගත්තා නම්, මාන්නය ප්‍රහීණ කළ සියලු කෙලෙස් දුරුකළ අකම්පිත සිත් ඇති ඒ රහතන් වහන්සේලාට දෙවිවරු පවා ඉතාමත් කැමැතියි.නික්ලේෂි උතුමන් ගැන කියවෙන මේ මිහිරි ගාථා රත්නය බුදුරජාණන් වහන්සේ විසිනුයි දේශනා කොට වදාළේ. මේ ලෝකයේ ජීවත්වෙන කෙලෙස් සහිත සත්ත්වයන් අතර උතුම් රහතන් වහන්සේලා කෙලෙස් බන්ධනවලින් නිදහස් වෙලයි වැඩ සිටියේ. කෙලෙස් බන්ධන සියල්ලෙන් නිදහස් වූ රහතන් වහන්සේලා පන්සිය නමක් පමණ පිරිවරාගෙන අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දිනවල කපිලවස්තු මහා වනයේ වැඩ සිටියා.

කපිලවස්තු රාජධානිය කියන්නේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේගේ ජන්මභූමිය යි. මේ කපිල වස්තුවටත්, කෝලීය දේශයටත් අතරිනුයි රෝහිණී කියන නදිය ගලා බසින්නේ. ඒ නදිය හරස්කොට ඇල පාරවල් දෙකකින් මේ කපිල වස්තුවේ ශාක්‍යයනුත්, කෝලීය වැසියනුත් ගොවිතැන් සඳහා ජලය ලබා ගත්තා. එහෙත් පොසොන් මාසේ පෑවිල්ලට හසු වූ නදී දිය බොහෝ සෙයින් අඩුවුණා. දෙපිරිසකට ප්‍රමාණවත් පරිදි ජලය තිබුණේ නැහැ.

මේ රෝහිණී නදියේ ජලය බෙදා ගැනීමට ගොස් මුලින්ම බහින්බස් වීම් ඇතිවුණා. අතින් පයින් පින් දඬු මුඟුරුවලින් පහරදීම් ඇතිවුණා ප්‍රශ්නය දුරදිග ගියා. අවසානයේ රෝහිණී නදියේ ජලය හේතුවෙන් ශාක්‍ය රජවරුන්, කෝලීය රජවරුන් දරුණු යුද්ධයකට සැරසුණා. කාරුණික වූ සම්බුදු නෙතින් මේ සිදුවීම් දුටු බුදුරජාණන් වහන්සේ සෘද්ධි බලයෙන් රෝහිණී නදී තෙරට වැඩම කොට වදාළා. ශාක්‍ය, කෝලීය සේනාවන් අවි දරාගෙන යුධ වැදීමට සූදානම් වෙද්දී අහස් තලයේ පළගක් බැඳගෙන ෂඩ් වර්ණ රශ්මි මාලා විහිදුවමින් වැඩ සිටින භාග්‍යවතුන් වහන්සේ දුටුවා. ශාක්‍යයන්ගේ මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ දකිද්දී සියලු දෙනාම ආයුධ අතහැරියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. අපගේ බුදුරජාණන් වහන්සේ ඒ රජවරුන්ගෙන් මෙසේ ප්‍රශ්න කළා.

'මහරජවරුණි, කුමක් හේතුකොටගෙනද මේ යුධ වැඳීමට සැරසෙන්නේ'

'රෝහිණී නදිය ජලය හේතු කරගෙනයි ස්වාමිනි'

'මහරජ ජලය යනු මහා වටිනාකමකින් යුතු දෙයක්ද?'

'ස්වාමිනී, ජලය අල්ප වටිනාකමක් ඇති දෙයකි.'

'මහරජ, ක්ෂත්‍රියවරු වනාහී අල්ප වටිනාකමේ ඇති පිරිසක්ද?'

නැත ස්වාමිනි, ක්ෂත්‍රියවරුන්ගේ වටිනාකම අනර්ඝ වේ. ඉතින් මහරජවරුනි, එසේනම් අයුක්තියක් නොව මේ සිදුවන්නට යන්නේ. අල්ප වටිනාකමක් ඇති ජලය නිසා අනර්ඝ වටිනාකමක් ඇති ක්ෂත්‍රියයන් නොවේද මේ නසන්නට යන්නේ?මෙසේ කරුණු පහදා දේදදී සියලු ශාක්‍ය, කෝලිය ජනපදවාසීන් සංසිඳීමට පත්වුණා. කලහය අවසන් කළ බුදුරජාණන් වහන්සේ ඒ් රැස් වූ පිරිසට ‘ථන්දන ජාතකය’ ඇසුරින් දහම් දෙසා වදාළා. එමෙන්ම පඨවි උද්‍රියන ජාතකය, ලටුකික ජාතකය හා වට්ටක ජාතිකය දේශනා කොට රුක්ඛධම්ම ජාතකය ඇසුරින් සමඟිය අගය පහදා දී වදාළා. අනතුරුව අන්තදණ්ඩ සූත්‍රය දේශනා කොට වදාළා.

ඒ ධර්ම දේශනාව අවසන් වෙද්දී රජවරු සියලුදෙනාගේ සිත පැහැදුණා. අහෝ! ශාස්තෘන් වහන්සේ මෙහි නො වැඩියා නම් අද මහා ලේ වැගිරීමක් සිදුවන්නට තිබුණා නොවේද? කියමින් සම්බුදු රජාණන් වහන්සේට ප්‍රශංසා කළා. ඒ මොහොතේදී ඒ ශාක්‍ය, කෝලිය රජවරු කතිකාකොට ශාක්‍ය කුමාරවරු දෙසිය පනස් දෙනෙකුත්, කෝලිය කුමාරවරු දෙසිය පනස් දෙනෙකුත් බැගින් පන්සියයක් තරුණ කුමාරවරු බුදුරජාණන් වහන්සේට පූජා කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ පන්සියයක් පිරිස පැවිදි කරවාගෙන ඒ අයත් සමඟම විහාරය වෙත වැඩම කොට වදාළා.ඒ පන්සියයක් භික්ෂූන් වහන්සේලා සිය සෘජු කැමැත්තක් නොමැතිව පැවිදි වූ නිසාවෙන් නොබෝ දිනකින්ම උකටලී වුණා. ඒ බව දැනගත් මහා කාරුණික අපගේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ආනුභාවයෙන්ම ඒ පන්සියයක් පිරිසත් රැගෙන මනස්කාන්ත වූ කොවුල් විලට වැඩම කොට වදාළා.

එහිදී ඒ පිරිසට කුණාල ජාතකය ඇසුරින් ධර්ම දේශනා කරද්දී කාමයන්ගේ ආදීනව වැටහුණු ඒ පිරිස සෝවාන්ඵලයට පත්වුණා.නොබෝ දිනකින්ම අනුත්තර පිරිසදම්මසාරථි වූ බුදුරජාණන් වහන්සේ ඒ පන්සියයක් වූ මහත් භික්ෂු පිරිස උතුම් අරහත්වයේ හික්මවාලනු ලැබුවා. එදින කපිලවස්තු මහා වනයේ ඒ පන්සියක් වූ රහන් වහන්සේලා සමඟයි අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. රහතන් වහන්සේලා බැහැ දැකීමට දෙවිවරු අතිශයින්ම කැමතියිනේ. ඉතින් තරු පිරිවරා පුන්සඳ මඩළ මෙන් කපිලවස්තු මහාවනයේ ශ්‍රාවක රහතුන් පිරිවැරූ සම්බුදු රජාණන් වහන්සේ වැඩ සිටිනා අයුරු දැක ගැනීමට දස දහසක් ලෝක ධාතුවලින් බොහෝ දෙවිවරු ඒ කපිලවස්තු වනය වෙත පැමිණුනා.

භූමස්ථ දෙවිවරු බොහෝ දෙනෙක් පිරිවර සමඟ බැබළෙමින් පැමිණ සිටියා. චාතුම්මහාරාජික, තාවතිංස, යාම, තුසිත, නිම්මාණරතී, පරනිම්මිතවසවර්තී නම් වූ කාමාවචර දිව්‍ය ලෝකවල දෙවිවරුන් පැමිණ සිටියා. බ්‍රහ්මකායික දෙවිවරුත් බොහෝ දෙනෙක් ඒ අතර පැමිණ සිටියා. මේ සුවිශාල දිව්‍ය පිරිස අතරේ සුද්ධාවාස බඹලොවින් පැමිණි බ්‍රහ්මරාජයෝත් සිටියා. සුද්ධාවාස බ්‍රහ්මලෝක කියන්නේ අවිහ, අතප්ප, සුද්ද, සුදස්සී හා අකනිට්ඨ කියන අනාගාමි උතුමන් පමණක් උපත ලබන බ්‍රහ්මලෝක වලටයි. ඉතින් ඒ සුද්ධාවාස බඹලොවින් පැමිණි බ්‍රහ්මරාජයෝ හතර දෙනෙකුට මෙන්න මේ අදහස ඇතිවුණා.

මේ භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත්පුර අසල මහාවනයේ හැමදෙනාම රහත් බවට පැමිණි පන්සියයක් භික්ෂූන් වහන්සේ සමඟ වැඩ සිටිනවා. දස දහසක් සක්වලිනුත්, බොහෝ දෙවිවරු භාග්‍යවතුන් වහන්සේත්, භික්ෂු සංඝයා වහන්සේත් බැහැදැකීමට පැමිණ සිටිනවා.

ඉතින් අපත් භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට යමු. ගිහින් අප වෙන වෙනම භාග්‍යවතුන් වහන්සේ ළඟ ගාථාවන් කියමු.ඊට පස්සේ ඒ දෙවිවරු බලවත් මිනිසෙක් හැකිලූ අතක් දිගහරිනවා වගේ දිග්කරපු අතක් හකුල ගන්නවා වගේ සද්ධාවාස දෙවියන් කෙරෙන් අතුරුදන් වෙලා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. ඉතින් ඒ දෙවිවරු භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිට ගත්තා. පැත්තකින් සිටගත් එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මේ ගාථාව පැවසුවා.

මේ මහාවනයේ මහ රැස්වීමක්. දෙවිවරුන් රැස්වෙලා ඉන්නවා. අපරාජිත සඟරුවන බැහැ දකින්න අපත් මේ දම් සභාවට ආවා.

ඊටපස්සේ තව දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.

එතැන සිටින භික්ෂුන් වහන්සේලා තමන්ගේ සිත් සමාධිගත කරගත්තා. සෘජු කර ගත්තා. උන්වහන්සේලා ප්‍රඥාවන්තයි. රැහැන්පට අල්ලාගෙන අශ්වයන් හික්මවාගෙන යන දක්ෂ රියැදුරන් වගෙයි තම ඉඳුරන් රැකගෙන ඉන්නේ.අනෙක් දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.උන්වහන්සේලාට කෙලෙස් මුල් නැහැ. අවිද්‍යා ආවරණ නැහැ. කෙලෙස් නමැති කණුව උදුරා දාලා තෘෂ්ණා රහිතවයි ඉන්නේ. සදහම් ඇස් ඇති බුදු සමිඳුන් විසින් මනාකොට දමනය කරන ලද උන්වහනසේලා පිරිසුදු නිමල හැසිරීමෙන් යුක්තයි.එවිට ඊළඟ දෙවියාත් භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාව පැවසුවා.යම්කිසි කෙනෙක් බුදු සමිඳුන් සරණ ගියානම්, ඒ උදවිය අපායට යන්නේ නැහැ. මිනිස් සිරුර අතහැරියට පස්සේ ඒ උදවියගෙන් දෙව්ලොව පිරෙනවා.දෙවියන් පවා අතිශයින්ම පි‍්‍රයකළ ඒ උතුම් බුදුරජාණන් වහන්සේත්, උතුම් ශ්‍රී සද්ධර්මයත්, උතුම් වූ ශ්‍රාවක සඟ රුවනත් අපත් අපගේ දිවියේ එකම සරණ කර ගනිමු.

නයනා නිල්මිණි


දෙවියන්ට වදාළ සම්බුදු බණ 11 - භව බන්ධන සිඳ දැම්මේ ඔබ වහන්සේගේ ශාසනය නිසාමයි