Print this Article


බෝපේ ශ්‍රී සුදර්ශනාරාමයේ සුධර්මා දහම් පාසල

බෝපේ ශ්‍රී සුදර්ශනාරාමයේ සුධර්මා දහම් පාසල


ප්‍රධානාචාර්ය බෝපේ ඉන්ද්‍රජෝති නා හිමි

විහාරාධිපති මාවත්ගම පඤ්ඤාරතන නා හිමි

ඉංගිරිය පාරේ කිලෝ මීටර් පහක පමණ දුරකින් බෝපේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය පිහිටා ඇත. එහි අරඹන ලද සුධර්මා දහම් පාසල ප්‍රදේශවාසී දූ දරුවන්ට කදිම දහම් පියසකි.

පාදුක්ක ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් වූ සුධර්මා දහම් පාසල 1960 ජනවාරි මස 21 වනදා ආරම්භ කෙරිණි.

මෙම උතුම් මෙහෙවරට අඩිතාලම දැමුමේ එවකට විහාරාධිපතිව වැඩ සිටි කෝට්ටේ සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මාවාගාචාර්ය කෝට්ටේ පාර්ශ්වයේ සංඝනායක වේවැල්පනාවේ පඤ්ඤාලෝක නා හිමියන්ය. කාලයාගේ ඇවෑමෙන් නා හිමියන්ගේ අපවත්වීමෙන් පසු දහම් පාසලේ ඉදිරි දියුණුවට ඇප කැප වූ වත්මන් ප්‍රධානාචාර්ය නාලන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති වේවැල්පනාවේ ශ්‍රී සුදර්ශනාරාමාධිපති ශාස්ත්‍රපති බෝපේ ඉන්ද්‍රජෝති නාහිමියන්ගේ සේවය විශිෂ්ටය.

ආරම්භයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200ක ගෙන් සහ ආචාර්ය මණ්ඩලය 15 දෙනකුගෙන් සුසැදි සුධර්මා දහම් පාසලෙහි වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 625 ක් වන අතර ආචාර්ය මණ්ඩලය 24 දෙනකුගෙන් සමන්විතය.

විවිධ කුසලතාවන්ගෙන් පරිපූර්ණ වු උපාධිධාරි ආචාර්ය මණ්ඩලයක සේවය දහම් පාසලට ලැබීම මහඟු භාග්‍යයකි.

සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍රාචාර්ය මාවත්ගම පඤ්ඤරතන නාහිමියෝ විහාරාධිපති ධුරය දරති. විශ්‍රාමලත් විදුහල්පති ජිනදාස විජේසිංහ මහතා දහම් පාසලේ උප ප්‍රධානචාර්ය ධූරයත් රූපා රතනශීලි පට්ටිආරච්චි මහත්මිය ප්‍රාථමික අංශයේ ප්‍රධානාචාර්ය ධුරයත් හොබවති.

පළමු ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණි දක්වාම දරු දැරියන්ට දහම් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදාවී ඇත.

සුවිශේෂී කලා කුසලතාවන්ගෙන් සුපෝෂිත වූ මෙම දහම් පාසලේ සිසුන් අද වන විට දිස්ත්‍රික්, සමස්ත ලංකා මට්ටමින් ලබා ඇති ජයග්‍රහණ බොහෝය.

කලකට ඉහත හංවැල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් ව තිබූ සුධර්මා දහම් පාසල දස වසරක අඛණ්ඩ කාලයක සිටම දහම් පාසල් 62 ක් අතුරින් ප්‍රථම ස්ථානය ලැබීය. පසුව පාදුක්ක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ පිහිටු වූ සුධර්මා දහම් පාසල මේ දක්වාම විවිධ වසරවලදී දහම් පාසල් අතර ප්‍රථම ස්ථානය ලැබීම තවත් සුවිශේෂී ජයග්‍රහණයකි. නිවාසාන්තර තරග වලින් සඟරා ආදිය ඉදිරිපත් කරමින් දූ දරුවන් ලැබු ජයග්‍රහණ බෙහෙවින් ඇගයිය යුතුය.

මේ වන විට 55 වසරක ඉතිහාසයක් ඇති බෝපේ ශ්‍රී සුදර්ශනාරාමයේ සුධර්මා දහම් පාසලේ දූ දරුවන්ට සිප් සතර හැදෑරීමට ඇත්තේ ධර්ම ශාලා ගොඩනැගිල්ලක් පමණකි.

එහෙත් ඔවුන්ගේ ගුණ නුවණත් ආචාර්ය මණ්ඩලයේ නිබඳ කැපවීමත් නිසා දහම් පාසලේ නාමය දිනෙන් දින බැබළෙනු නියතය.

උප ප්‍රධානාචාර්ය ඇතුළු ආචාර්ය මණ්ඩලය

ශිෂ්‍ය නායක නායිකාවන්ගෙන් කොටසක්


දහම් පාසල් සිසු සිසුවියන්ගෙන් කොටසක්