Print this Article


නිවැරැදිව අවුරුදු සමරමු

නිවැරැදිව අවුරුදු සමරමු

බක් මාසය සිංහල බෞද්ධයන්ට බෙහෙවින් වැදගත් වන්නේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිදුකෙරෙන හෙයිනි. මේ කාලය අර්ථවත් හා ඵලදායක ලෙස ගත කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශය බුදුරජාණන් වහන්සේ ගේ දේශනා තුළින් සපයාගත හැකිය. එම ඉගැන්වීම් අතරින් අංගුත්තර නිකායේ කුල සූත්‍රයේ ඇතුළත් පුද්ගලයාගේ මෙන්ම පවුලේ දියුණුව පිණිස පවතින කරුණු හතරක් පිළිබඳ දැනුවත්වීම බෙහෙවින් වැදගත් වේ. විශේෂයෙන්ම අප අනුගමනය කරන අවුරුදු සිරිත් විරිත් වඩාත් ඵලදායක කරගැනීම උදෙසා බුදුරදුන්ගේ මෙම උපදෙස් බෙහෙවින් උපයෝගී වේ.

විනාශ වුණ දේ නැවත සොයා සපයා ගැනීම
(නට්ඨං ගවේසන්ති)

ලොව පවතින සියල්ල විනාශවීම (අනිත්‍ය) හා වෙනස්වීම (විපරිනාමි) ලක්ෂණ කොට පවතී. බෞද්ධයෙකුට මෙම සත්‍යය පහසුවෙන් අවබෝධ කරගත හැකිය. එම පසුබිම යටතේ යමක් විනාශ වූ විට වෙනස් වු විට නුවණැති බෞද්ධයා කලකිරීමට හෝ දුකට වේදනාවට පත් නොවෙයි. වෙනස්වන ලෝකයට සාපේක්ෂව තම පැවැත්ම ධර්මානුකූලව සකස් කරගනී. ගිහි ජීවිතය සංකීර්ණය. දෛනික කටයුතු උදෙසා විශාල භාණ්ඩ ප්‍රමාණයක් අවශ්‍ය වේ. විනාශ වන දේ වෙනුවට අලුතෙන් යමක් මිලදී ගැනීමට හෝ නිර්මාණය කරගැනීමට උනන්දුවක් නොවේ නම් එය පිරිහීමට හේතුවේ. තමන් සතු දෑ විනාශ වීමට බලපෑ හේතු සාධක මැනවින් දකිමින් ඒ වෙනුවට අලුතෙන් යමක් එක් රැස්කොට තැබීම නුවණැති ගිහි බෞද්ධයාගේ ලක්ෂණයයි. එසේ කිරීම ගිිහි ජීවිතයේ සුරක්ෂිතභාවය සඳහා උපයෝගි වේ. විනාශ වූ භෞතික දේ රැස් කිරීම පමණක් නොව බිඳී ගිය සද්පුරුෂ කළ්‍යාණමිත්‍ර බැඳීම්ද නැවත ඇතිකර ගැනීමට මෙම උපදෙස් භාවිතා කළ හැකිය. යම් යම් හේතු නිසා සිත් අමනාපකම් ඇතිකරගත් දෙමාපියන් සහෝදර, සහෝදරියන්, ගුරුවරුන්, වැඩිහිටියන් හා හිතවතුන් මෙන්ම තම දරුවන් හා ශිෂ්‍යයන් හමුවී තම වරදට සමාව ගෙන සිත් අමනාපකම් අමතක කොට අලුතෙන් ජීවිතය ආරම්භ කළ හැකිවේ. විනාශ වූ දෙය පිළිබඳ දුකට පත්වෙමින් තැවෙමින් කාලය ගත කිරීමට වඩා අලුත් බලාපොරොත්තුවක් ඇතිකරගනිමින් ක්‍රියාත්මක වීම වැදගත් වේ. අලුත් අවුරුද්ද මූලික කරගෙන විනාශ වූ දේ වෙනුවට අලුතෙන් යමක් මිලදී ගැනීමත් බිඳීගිය කළ්‍යාණ මිත්‍ර බැදීම් අලුත් කරගැනීමත් කළ හැකි නම් එය භෞතික මෙන්ම ආධ්‍යාත්මික දියුණුව පිණිස හේතුවේ. මෙසේ විනාශ වූ දේවල් සොයා සපයා ගැනීම මෙන්ම බිඳුණු සිත් සුවපත් කරගැනීමත් දියුණුව පිණිස හේතුවන පළමු උපදේශයයි.

දිරාපත් වෙන දේ නැවත අලුත්වැඩියා කරගැනීම (ජින්නං පටිසංකරොන්ති) අප භාවිතා කරන සෑම දෙයක්ම පැවැත්ම උදොස පිරිසුදු කිරීමත් අලුත්වැඩියා කිරීමත් ආරක්ෂා සහිතව තබා ගැනීමත් අවශ්‍ය වේ. නිතර නඩත්තු නොකරණ සෑම දෙයක්ම කඩිනමින් විනාශයට පත්වේ. මෙය මානව බැඳීම්වලටද සාධාරණය. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව වූයේ පරිහරණය කරන සෑම දෙයක්ම නිතර පිරිසුදු කරන ලෙසයි. මෙය ගිිහි පැවිදි දෙපක්ෂයටම පොදු උපදේශයකි. භික්ෂුව පරිහරණය කරන පාත්‍රය පස් තැනකින් සිදුරුවන තෙක් අලුත්වැඩියා කරමින් පරිහරණය කරන්නට උපදෙස් දී තිබේ. ධම්මපදයේ දැක්වෙන්නේ උත්සාහය නැති පුද්ගලයාගේ නිවස ඉක්මනින්ම විනාශ වන බවයි (අනුට්ඨාන මලාඝරා) වසරකට වරක් වත් අප පරිහරණය කරන නිවස භාණ්ඩ ඉඩකඩම් නිසිලෙස නඩත්තු කිරීම අවශ්‍ය වේ. කාර්යබහුල ජීවිතයක් ගත කරන ගිහියාට මේ සියල්ල නිතර කළ නොහැකි වුවත් වසරකට වරක් එළඹෙන අලුත් අවුරද්ද මූලික කරගෙන තම නිවස හා එහි අවට පරිසරය, පරිහරණය කරන භාණ්ඩ ගෘහඋපකරණ අලුත්වැඩියා කිරීම හා පවිත්‍ර කිරීම වැදගත් කාර්යයකි. සසර දුකින් නිදහස් වීමට අවශ්‍ය මූලික උපදෙස් සපයන බුදුසමය නිවන් දකින තෙක් සසර සැපවත් කරගැනීමටද අවශ්‍ය මග පෙන්වාදෙයි. මෙලොව ජීවිතය අසාර්ථක පුද්ගලයාට සසර දුකින් නිදහස් වීමක්ද අපේක්ෂා කළ නොහැකිය. මෙම උපදෙස් බුදුරජාණන් වහන්සේ ගිහි සමාජයට ඉදිරිපත් කළේ සසර සැපවත් කරගැනීම පිණිස හේතුවන නිසාය.

ආහාර පාන පිළිබඳ පාලනයක් ඇතිකර ගැනීම (පරිමිත පාන භෝජනා හොන්ති)

ආහාරපාන සම්බන්ධයෙන් අප අවධානය යොමුකළ යුත්තේ එය අපගේ සෞඛ්‍යයටත් ආර්ථික තත්ත්වයටත් බලපාන හෙයිනි. මෙම සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ “පරිමිත” යනුවෙන් දක්වන වචනයෙහි ගැඹුරු අරුතක් ඇත. පොදුවේ එයින් අදහස් කෙරෙන්නේ ප්‍රමාණවත් යන්නයි. සියල්ලෝම ආහාරය නිසා ජීවත් වෙති. මෙනිසා ආහාර පාන සම්බන්ධයෙන් බුදුදහමෙහි වැදගත් උපදෙස් රාශියක් දක්වා තිබේ. ඒ අතරින් නුවණින් යුක්තව ආහාරපාන අනුභව කිරීම එක් උපදේසකි. (පටිසංඛායොනිසො ආහාරම් ආහාරෙමි) අනුභව කිරීම සම්බන්ධයෙන් පමණක් නොව ආහාරද්‍රව්‍ය මිලදී ගැනීමේදීත්, පිළියෙල කිරීමේදීත් මෙය අනුගමනය කළ හැකිවේ.

තම සෞඛ්‍ය හා ආදායම් පිළිබද නොසැලකිලිමත්ව ප්‍රමාණයට වඩා ආහාර පාන පිළියෙල කර ඉවත දමන අයුරු විවිධ උත්සව අවස්ථා ගැන කල්පනා කිරීමෙන් වටහා ගත හැකිවේ. ආහාරයෙහි පමණ දැනීම (භෝජනෙ මත්තඤ්ඤුතා) වෙන කාලයටත් වඩා අවුරුදු දිනවලදී සිහිතබා ගැනීම වැදගත්. තම නිවසේදී මෙන්ම ඤාතීන්ගේ නිවෙස්වලදීද විවිධ රසවත් ආහාර පානවලින් සංග්‍රහ කෙරෙන කාලයකි. ආහාරයෙහි පමණ දැනීමේ අවබෝධය ඇතිවිට අහිතකර ආහාරවලින් සංග්‍රහ කිරීමෙනුත් ඒවා ආහාරයට ගැනීමෙනුත් වැළකිය හැකිවේ. එසේම ඥාතීන් බැලීමට යාමේදී බොහෝ දෙනෙකු විසිතුරු ආහාරපාන රැගෙන යාම පුරුද්දක්.

නමුත් ඒ වෙනුවට සෞඛ්‍යයට හිතකර ස්වාභාවික ආහාර පාන රැගෙන යාම විකල්පයක් ලෙස අනුගමනය කළ හැකිවේ. උත්සව කාලවලදී බොහෝ දෙනෙකු ආහාර පාන සඳහා අධික ලෙස වියදම් කිරීමත් පුුරුද්දක් කරගෙන තිබේ.

දීර්ඝ කාලයක් අනුභව කළ හැකි ආහාරපාන වැඩි ප්‍රමාණයක් එක් දිනකදී විනාශ කර දැමීම පරිසරයට කරන හානියක් මෙන්ම තම ආදායමට ද ඔරොත්තු නොදෙන්නකි. වෙළෙඳ දැන්වීම්වලින් මුලාවට පත් නොවී අනුකරණයෙන් තොරව උතුම්ම ලාභය වූ නිරෝගීකම රැකගනිමින් අධිපරිභෝජනයෙන් වැළකී අර්ථවත් අවුරුද්දක් සැමරීමට බුදුරදුන් වදාළ මෙම තුන්වන උපදේශය උපකාරි වේ.

සිල්වත් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට වගකීම් පැවරීම (සීලවන්තං ඉත්ථිවා පුරිසංවා ආධීපච්චේ ඨපෙන්ති)

සීලය යනු කායික වාචසික සංවරයයි. කය වචනය හා සම්බන්ධ වැරදි ක්‍රියාවලින් වැළකීමෙන් සිල්වත්කම සුරැකේ. එවැනි විනයගරුක සදාචාර සම්පන්න කාන්තාවකට හෝ පුරුෂයෙකුට නිවසේ හෝ ආයතනයෙහි ප්‍රධානත්වය හිමිවිය යුතුයි. නිවසක වගකීම් දරන මව, බිරිඳ මෙන්ම පියා හා ස්වාමියා දුශ්ශීල වීමෙන් එම නිවසට දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය. ලැබෙන ආදායම් සියල්ලම සුරාවට සූදුවට දුරාචාරයට හා නාස්තිය පිණිස යොදවන කාන්තාව මෙන්ම පුරුෂයාද පවුලක මෙන්ම ආයතනගතව වගකීම් දැරීමට සුදුසු නොවේ. උත්සව සමයේ විනෝදවීම පොදු ලක්ෂණයකි.

එහෙත් තම ධනය සුරාවට හා සූදුවට වැය කරමින් ලබන විනෝදාස්වාදය බුදුසමයෙන් අනුමත නොකරයි.ඇතැම් දෙනෙකු අවුරුද කාලයේ බීමත්ව හැසිරෙනු දක්නට ලැබේ. මෙනිසා පවුලේ සාමය බිඳවැටෙන අතරම විවිධ සමාජ අර්බුද ඇතිවීමට එය හේතුවක් වේ.

අවුරුදු දිනවල තැබෑරුම් අසල දක්නට ලැබෙන දිගු පෝලිම්වලින් පෙන්වන්නේ ධන විනාශයේ දොරටුවයි. මහන්සියෙන් උපයාගත් ධනය සුරාවට හා සූදුවට මෙන්ම දුරාචාරය සඳහා වැය කිරීමෙන් සිදුවන්නේ ධනයෙන් පමණක් නොව සෞඛ්‍යයෙන්ද පිරිහීමට පත් වීමයි. බුදුදහම පිළිපදින සැබෑ බෞද්ධයා තමන් සුරාවෙන් හා සූදුවෙන් වළකින අතරම අන් අයට එවැනි දෑ සඳහා අනුබල දීමෙන්ද වැළකෙයි. එවැනි පුද්ගලයා සද්පුරුෂයෙකු ලෙස සලකනු ලැබේ. විශේෂයෙන්ම අවුරුදු සමයෙහි අපට බහුලව දක්නට ලැබෙන්නේ එවැනි සද්පුරුෂයන් නොවේ. සිල්වත් වීමෙන් ධනයත් සෞඛ්‍යයත් සුරක්ෂිත වේ. එබැවින් අවුරුදු සැමරීම පිණිස මත්පැනින් සන්තර්පනය වීම මෙන්ම එයින් සංග්‍රහ කිරීමද අර්ථශූන්‍ය වේ. මෙම පසුබිම තුළ ආදර්ශවත් මවක, පියෙකු මෙන්ම ස්වාමියෙකු හා බිරිඳක් වශයෙන්ද, සමාජ ආයතනයක් පාලනය කරන ආයතනාධිපතියෙකු හා ආයතනාධිපතිනියක වශයෙන්ද ඔබ ආදර්ශමත් වීමත් සදාචාර සම්පන්න වීමත් වැදගත් වේ.

එම වැදගත්කම තවදුරටත් අර්ථවත් කරගැනීමට නම් මෙම අවුරුදු සමයෙහි තම ආත්ම ගෞරවයට හානි නොවන සේ ක්‍රියා කිරීමට බුදුරදුන්ගේ මෙම අවසන් උපදෙස් උපකාරි වේ. මෙම උපදෙස් හතර සමාලෝචනය කරමින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ යම් කිසි පවුලක් ධනයෙන් ආඪ්‍යව චිරස්ථායිව පවතී නම්, ඒ මෙම කරුණු හතරම හෝ එයින් එකක් අනුගමනය කිරීමේ හේතුවෙන් සිදුවන බවයි. යම් පවුලක් ධනයෙන් පිරිහි චිරස්ථායි නොවන්නේ නම් ඒ මෙම යහපත් පුරුදු අනුගමනය නොකිරීම හේතුවෙන් යැයිද පෙන්වා දුන්නහ. තම ධනයත් කාලයත්, උපයෝගී කරගනිමින් අර්ථවත් ලෙස අවුරුදු සැමරීමට මෙම උපදෙස් හතර බෞද්ධ ජීවිතයකට බෙහෙවින් වැදගත් වේ.