Print this Article


රහත් සිතට සමීප වෙමු -2 ඡන්ද සමාධි පධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය

රහත් සිතට සමීප වෙමු -2

ඡන්ද සමාධි පධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුකූල සිතිවිලි තම සිතින් නැගී එන ආකාරයට තම මනසිකාරය සකස් කරගැනීම එනම් ලොවෙහි සත්‍ය තත්ත්වය සිතෙන් අරමුණු වන තත්ත්වයකට පත්කර ගැනීම, වීම නැවත කිසි කලෙක මුලාවූ සිතිවිලි ඇති නොවන ස්වභාවයකට සිත පත්කර ගැනීම,අප බලාපොරොත්තුවන උතුම් නිර්වාණ අවබෝධයේ ප්‍රායෝගික පැතිකඩයි. මෙය ඉබේ පහළ වන්නක් නොව තමන් විසින් ඇතිකරගත යුත්තකි. මෙවැනි තත්ත්වයකට පත්වීම සඳහා සිදුකළ යුතු හා සිදුනොකළ යුතු වැඩපිළිවෙළක් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. භාවිතයට ගැනීමෙන් පමණක් ප්‍රතිඵල ලැබෙන මෙම උතුම් මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.

එසේම බුද්ධ දේශනාවේ සඳහන්ව ඇති මාර්ග සිතක් උපදවා ගැනීමට හේතුවන පරිවාර වන ධර්ම අතර යමක් සිදුකිරීමට පාදක වන ඡන්ද, චිත්ත, වීරිය, විමංසා යන ඍද්ධි පාද නමින් හඳුන්වන ධර්ම හතරක් ඇත. මෙම ධර්මයන් පරිපූර්ණව මාර්ග සිතෙහි වැඩෙන අතර ඵල සිතකදී සම්පූර්ණ වෙයි.අකුසලය අභිබවා නැගී සිටින, නැවත අකුසලයන් සිතක ඇතිවන ස්වභාවය පවා නැති කරන මෙම ධර්මයන් උපදවා ගැනීමට ඒ සඳහා වූ පූර්ව භාග ප්‍රතිපදාවට පිවිසිය යුතුය.

පළමු ඍද්ධිපාද ධර්මය ඡන්දයයි. එම ධර්මය සිතෙහි උපදවා ගැනීමට කළ යුත්තක් වේ නම් එය කළ යුතුය. අප බලාපොරොත්තු වන උතුම් සිද්ධිය නම් අකුසලය නැවත ඇති නොවන රහත් ඵලයයි. සසර පුරුදු කරන ලද අකුසලයටම නැවත කැමැත්තක් ඇති, කම්සැපයෙහි අතෘප්තිකර . සිත, නිවනෙහි හෝ කෙලෙස් ප්‍රහාණයෙහි කැමැත්තක් සහිතව නූපදින බැවින් සාමාන්‍ය පෘතග්ජනයාට ලොව අරමුණු වන කල්හි පීඩාකාරි කෙලෙස් උපදී. ලොව සැප සහගත ලෙසම දැනෙන විපරීත සඤ්ඤා උපදින බැවින් කම්සැපයෙහි ආදීනව හෝ ඒ පිළිබදව ඇති රතිය ප්‍රහාණය කිරීම පිළිබඳ හැඟීමක් හෝ ප්‍රහාණය කිරීමෙන් ලැබෙන ශාන්තභාවය පිළිබඳ හැඟීමක් උපදනවාය යන්න සිදු නොවන බව පැහැදිලිවේ.

නිවනට සිත නිබඳව නැඹුරු කරන ,ඇතිකර ගත යුතු මෙවැනි හැඟීම් උපදවා ගැනීමට කළ යුත්තේ කුමක්ද? යන්න විමසා බැලිය යුත්තකි. ඕනෑම දෙයක් පිළිබඳ කැමැත්තක් උපදින්නේ එයින් ලැබෙන ප්‍රතිලාභයන් ගැන දැන ගැනීමෙනි. සිතක එම කැමැත්ත වර්ධනය වන්නේ එම ප්‍රතිලාභයන් නැවත නැවත මෙනෙහි කිරීමෙනි. ප්‍රතිලාභයන් මෙනෙහි කිරීම මෙන්ම එය නොලබා සිටීමෙන් යම් පාඩුවක් හෝ හානියන් වේ නම් ඒවා දැනගැනීමෙන් හා මෙනෙහි කිරීමෙන්ද එය ලබාගැනීම කෙරෙන අධික කැමැත්තක් උපදවා ගත හැකි බව නොකිවමනාය.

නිර්වාණ ශාන්තියට පැමිණීමෙන් ලබාගත හැකි ශාන්ත උතුම් ස්වභාවය මෙන්ම එය සාක්ෂාත් නොකර වාසය කිරීමේ භයානකකම හොඳින් දැන, මෙනෙහි කිරීමෙන් ඒ පිළිබඳ කැමැත්ත උපදවා ගැනීමට ඕනෑම කෙනෙකුට හැකියාවක් ඇති බව මේ අනුව ඉතා පැහැදිලි වේ. මෙසේ නිවැරදිව තම සිත සකස් කර ගැනීම සඳහා මෙනෙහි කළ යුතුදේ මෙනෙහි කොට නිර්වාණය කෙරෙහි කැමැත්තක් උපදවා ගන්නා පුද්ගලයාට තම සිතෙහි කෙලෙස් සහිත සිතිවිලි උපදින සෑම වාරයකදීම එහි ඇති භයානකකම,අතෘප්තිකර ස්වභාවය, දරාසිටීමට ඇති අපහසු ස්වභාවය, දවන , තවන ගතිය නිරර්ථක ස්වභාවය,අරමුණු වී ඉන් මිදීමේ මෙන්ම අන් කවරදාවත් එවැනි සිතිවිලි ඇති නොවන අකාරයකට සිත සකස් කර ගැනීමේ ඇතුලාන්ත පෙලඹවීමක්, උත්සාහයක් එම සිතින්ම උපදී. එසේම කුසල ගවේෂණයෙහි සිත යොමුවේ. මෙවැනි ආකාරයට සිතෙහි ඇතිවන චේතනාවන්හි වෙනසක් සිදුනොකර අවසාන ඉලක්කය කරා ලඟා වීම අභව්‍ය කාරණයක් බව නුවණින් විමසා බලන්නකුට ප්‍රකටව පෙනේ. මෙසේ කටයුතු කරමින් විශාල අකුසලයේ සිට සියුම් සියුම් අකුසලයන් පවා දුරුකර ගන්නා මනසිකාරයක් සකස් කරගන්නාගේ සිත ක්‍රමාණකූලව සමීප වන්නේ රහතන් වහන්සේගේ සිතටයි.

මෙසේ අකුසල් දුරු කරමින් කුසල් වර්ධනය කරගනිමින් උතුම් අරමුණ කෙරෙහි සමීප වන පින්වන්තයකුට නිබඳව ඇතිවන කුකුසක් නම් මගේ සිතෙහි ඇතිවන මෙම කුසලය කොපමණකින් වර්ධනය කර ගෙන ඇතිද යන්නයි.අවසාන ඉලක්කය දක්වා ලඟාවීමට ප්‍රමාණවත්ද යන්නයි. එය මැන ගතහැකි, ප්‍රමාණකර පෙන්විය හැකි මිම්මක් නම් නැත. සිතින්ම දැන ගත යුත්තකි. එබැවින් අවශ්‍ය හැඟීමේ ප්‍රමාණය සන්සන්දනාත්මකව අනුමාන කර ගැනීම සඳහා බුදුපියාණන් වහන්සේ නොයෙක් විට විවිධ උපමා භාවිතා කළහ. ඒ ඒ උපමාවන් නිවැරදිව පිරික්සා කර බැලීමෙන් ඒ ඒ සිද්ධියට අදාළව කෙතරම් හැඟීමක් උපදවා ගත යුතුද යන්න අප හට වටහා ගත හැක.

නිවනට සිත යොමුවීමට හේතුවන ඒ පිළිබඳ විශාල කැමැත්තක්, නිබඳවම ප්‍රබලවම ඇති කර ගැනීමට සසර බිය දැන ගැනීම හේතුවේ. සසරට වැටීමේ භයානකත්වය නිබඳවම අරමුණු වන ආකාරයට තම සන්තානය සකස් කරගන්නා තැනැත්තා සසර නැවත නැවත ඉපදීමට හේතු වන කිසිවක් සිදු නොකරන බව ස්ථීර වශයෙන්ම පැහැදිලි වේ. එබැවින් එවැනි සිතිවිලි ඇති කරගැනීම සඳහා කටයුතු කළ යුතුවේ. එනම් පළමුව ජාති, ජරා, මරණ , ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස ආදි අනන්ත දුක් සසර නැවත නැවත ඉපදීමෙන් විඳින්නට සිදුවන බව අරමුණු විය යුතුය. එසේ අරමුණු වීම පමණක් නොව අරමුණු වන කල්හි අරමුණු වීමත් සමඟ ඇතිවන මිදීමේ හැඟීම නැතහොත් චේතනාව ප්‍රබල විය යුතුය. එසේම එම හැඟීම සසර ඇලීමට සිතෙහි ඇතිවන චේතනාවට වඩා ප්‍රබලවිය යුතුය. මන්දයත් සෑම විටකම ප්‍රතිවිරුද්ධ චේතනාවන් දෙකක් ආසන්න සිත්වල ඇතිවන කල්හි ක්‍රියාත්මක වන්නේ වඩා ප්‍රබල චේතනාව බැවිනි.

මෙම අවශ්‍යතාවය සපුරාලන, ජාති, ජරා, ව්‍යාධි ආදි සසර යාමෙන් විඳින්නට සිදුවන දුක් සිහිගැන්වෙන විට ඇතිවිය යුතු හැඟීමේ ප්‍රබලත්ව තෙරුම් ගැනීමට බුදුරජාණන් වහන්සේ දේශනා කළ උපමාවක්ම සලකා බැලීමෙන් හැකියාවක් ඇත. මහා පබ්බත සූත්‍රයේදී සඳහන් කර ඇති ආකාරයට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරා එක් කඳුකර ප්‍රදේශයකින් වඩිනා කල්හි, මහා ප්‍රපාතයක් දුටු එක් භික්ෂූන් වහන්සේ නමක්, මෙය ලොව ඇති විශාලතම ප්‍රපාතය දැයි විමසීය. මෙම පැනය සඳහා බුදුරජාණන් වහන්සේ ලබාදුන් පිළිතුර වූයේ නැත යන්නයි. ජාතිප්‍රපාතය , ජරා ප්‍රපාතය, ව්‍යාධි ප්‍රපාතය , මරණ ප්‍රපාතය ආදි වශයෙන් දුක්ඛ සත්‍යයෙහි දැක්වෙන සියලු කරණු එම මහා ප්‍රපාතයට වඩා ගැඹුරු භයානක ප්‍රපාතයන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මෙය හුදෙක් උපමාවක් පමණක් ලෙස නොගෙන මින් අප වටහා ගත යුතු ගැඹුරක් ඇත්තේය. බුද්ධ භාෂිතයෙහි ගැඹුරක් ඇත්තේමය. එනම් ජාති, ජරා, ව්‍යාධි ආදි සසර භය අරමුණු වන කල්හි නිවනට යොමුවු සිත් ඇත්තකු තුළ ඇති විය යුතු හැඟීමේ ප්‍රමාණය පිළිබඳ මිම්මක් මෙම උපමාවෙන් ගත හැක. යමෙකු විශාල ප්‍රපාතයක් අසලට ගිය විටෙකදී එහි වැටෙයිදෝ බියක් උපදී. නොවැටී ප්‍රවේශමෙන් සිටිය යුතු යැයි හැඟීමක් උපදී. මෙසේ ප්‍රපාතය අසලට ගිය අයකුට උපදින බියට වඩා බියක් ජාති, ජරා, ව්‍යාධි ආදී සසරට වැටුණහොත් ඉදිරියේදී විඳින්නට සිදුවන බව අරමුණ වන විට ඇතිවිය යුතුය. එසේ ඇති නොවන්නේ නම් ඇතිවන ආකාරයට සිත සකස් කර ගත යුතුය. ඒ සඳහා ජාති,ජරා, ව්‍යාධි, ,මරණ, ශෝක, පරිදේව, දුක්ක ,දෝමනස්ස, පි‍්‍රයේහි විප්පයෝග, අපි‍්‍රයෙහි සම්ප්‍රයෝග ආදි විඳින්නට සිදුවන දුක් පිළිබඳ නැවත නැවත මෙනෙහි කළ යුතුවේ. එසේ නැවත නැවත මෙනෙහි කරන්නාට ඉහත ආකාරයට බිය සහිත හැඟීම ඇති කරගත හැකිවීම පමණක් නොව එය ප්‍රබල කරගත හැකිද වේ. ප්‍රාපතයක් දුටුවිට ඇතිවන හැඟීමට වැඩි බිය සහගත ප්‍රබල හැඟීමක් යම් සන්තානයක ඇතිවන තරමට මෙනෙහි කළ අයකු නිරායාසයෙන් නිබඳව නිවන් මාර්ගයට යොමුවෙන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ. නිවනට නිරතුරුවම සිත යොමු නොවී අන් දේවල් සුව, සුබ සුන්දර ලෙස දැනෙන්නේ මෙම හැඟීම් ප්‍රබලව ඇති නොවීම නිසා බව නුවණින් විමසන්නකුට ඉතා පැහැදිලි වේ. ප්‍රපාතයට වැටෙන්නට තිබෙන සියලු අවදානම් තත්ත්වයන් ප්‍රපාතය අසල සිටින්නා සකස්කර ගන්නා සේ මෙම හැඟීම් තීව්‍ර කරගත් තැනැත්තා සසරට වැටීමට ඇති සියලු ඉඩකඩ අහුරන ආර්ය අෂ්ඨාංගික මාර්ගය අප්‍රමාදීවම වඩන්නෙ පරිපූර්ණවම, පිරිසුදුවම, ඤාණ සම්ප්‍රයුක්තවම තම ඇතුලාන්තයෙන්ම නැගෙන හැඟීමකිනි. එසේ සිත අවශ්‍ය ආකාරයට සකස් කර නොගෙන නිවන් අවබෝධ කරගැනීමට පුද්ගලයකු යොමු නොවන බව ඉතා පැහැදිලිය.

මෙසේ සියලු දුක් නැති කර ගැනීම සඳහා සිතෙහි කැමැත්ත වර්ධනය කර ගැනීම නිවන සඳහා වූ ඡන්දය වර්ධනය කර ගැනීමයි.ලොවෙහි දුක් කෙරෙහි කලකිරීම මෙන්ම නිවනෙහි සිත යොමුවීමෙන් ඇතිවන එම ඡන්දය හේතුවෙන්ම සිත කෙලෙසුන් කෙරෙහි ඈත්ව ඇතිවන යම් එකඟබවක් වේ නම්, සමාධිගත වීමක් වේ නම්, එය ඡන්ද සමාධි නම් වේ’. එසේ සමාධිය ඇතිවන තැනැත්තා උපන් අකුසල් දුරු කිරීම පිණිසත්, නූපන් අකුසල් ඇතිවීම වළකාලීම පිරිසත්, නූපන් කුසල් උපදවා ගැනීම පිණිසත් උපන් කුසල් දහම් වර්ධනය පිණිසත් ඡන්දය උපදවයි. වීර්යය යෙදෙයි. සිත දැඩිකොට ගනියි. එනම් ප්‍රධන් වීර්ය ඇතිකරගනියි. මෙය සඳහන් සංස්කාර යයි ධර්මයෙහි සඳහන් වෙයි.මෙසේ මෙම ඡන්දයත්, ඡන්ද සමාධියත්, පදහන් සංස්කාරයත්, සිදුවේද එය ඡන්ද සමාධිපධාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ’. යමෙකු මෙම ඍද්ධිපාදයන් වඩන්නේ මේ ජීවිතයේදීම ආස්‍රව ක්ෂය කිරීමෙන් අනාස්‍රව වු ඵල සමාධියත් ප්‍රඥාවත් ලැබ, දුක් කෙළවර කරන්නේ යයි කියනු ලැබේ. මෙසේ සෑම දෙයකටම මූලික වන සිත අවශ්‍ය ඉලක්කය කරා ලඟා වීමට යොමු කරවන තවත් බොහෝ ක්‍රමවේදයන් අප සතු උතුම් දහම තුළ අන්තර්ගත වේ.

මතු සම්බන්ධයි