Print this Article


දරුවන් ආගමික ස්ථානයට සම්බන්ධ කළ යුතුයි

දරුවන් ආගමික ස්ථානයට සම්බන්ධ කළ යුතුයි

වසර සිය ගණනක් අපේ රටේ රාජ්‍යත්වයේ සංකේතය වුණේ ඓතිහාසික අතිපූජනීය දළදා වහන්සේ.

ආගම දහම මුල් කරගත් සමාජයක් බිහිවුණේ ඒ අනුවයි. ඉවසීම, කරුණාව, දයාව වැනි මානුෂික ගුණාංග මූලික කරගත් සමාජයක්, ආර්ථිකයක් අප හදාගන්නේ ඒ අනුවයි. ගමනක් බිමනක් ගියත් වෙළෙඳාමක් කළත් සැමවිටම අනෙක් අය ගැන සොයා බලා වැඩ කටයුතු කිරීමට ලක්වාසී ජනතාව පුරුදු පුහුණුූ වුණා.

සතා සිවුපාවාට පවා ආදරය කරන්න ජනතාව පුරුදු පුහුණුූ වුණේ ධාර්මික ප්‍රතිපත්තීන්ට එසේ මුල් තැනක් ලබාදුන් නිසයි. පාසලේ විදුහල්පතිවරයා නැත්නම් ඉස්කෝලේ මහත්තයා ,වෙදමහත්තයා,ආරච්චි මහත්තයා මුල් කරගත් අපේ සමාජය පන්සල ඇසුරු කරගෙනයි එදා සියලු වැඩ කටයුතු කළේ.

ඒ සංස්කෘතිය කාලයාගේ ඇවෑමෙන් සම්පූර්ණයෙන් නැතිවෙලා ගිහින්. ඉස්කෝලේ මහත්තයට, පන්සලේ හාමුදුරුවන්ට එදා ලබල දීපු තැන අද ඇතැම්විට පරිගණකයට රූපවාහිනියට ගිහින්.

අද තරුණ පරපුරේ දූ දරුවන් ආගම දහමින් ඈත්වෙලා . මේ නිසා ගුණ ධර්ම හැදියාව අපේම සංස්කෘතිය සෝදාපාළුවට ලක්වෙලා. අපේ අයගේ දැන් වීරයො රූපවාහිනියේ ඉන්න කාඩ්බෝඩ් වීරයො පමණයි.

රූපවාහිනිය ඉතාම හොඳ තාක්ෂණික භාණ්ඩයක්, අධ්‍යාපනයට වගේම හැදියාව ඉහළ නංවාගන්න පුළුවන් උපකරණයක්. ඒ වුණත් අපේ සමාජයට වෙලා තියෙන්නේ නුසුදුසු දේ ළං කර ගැනීමත් සුදුසු නැත්නම් හොඳ දේ ඈත් කිරීමත් යන වැරැදි මතය එල්ලා ගැනීමත්.

බුද්ධ කාලීන භාරතයේ මිථ්‍යා දෘෂ්ටීන්හි එල්ලී සිටි අය ගැනත් ඔවුන් කළ කීදේත් අප අසා තිබෙනවා. අද අපේ රටේ වැඩි දෙනෙක් මිථ්‍යා දෘෂ්ටීන්හි එල්ලී තිබෙන්නේ ඔවුන්ට ලැබෙන ආදර්ශ වැරැදි මාර්ගයන්ට යොමු කරවන ඒවා වන නිසයි. රූපවාහිනි මාධ්‍ය මෙන්ම ගුවන් විදුලි මාධ්‍යයත් අප යොදා ගන්නේ දැනුම වර්ධනයට. විනෝදාස්වාදයටත් වඩා අනිසි ලෙස විනෝද වීමටත් එමඟින් අයුතු කටයුතු කරගැනීමටත් බව ඇතැම්විට අපට පෙනෙනවා.

වර්තමානයේ රූපවාහිනි නාලිකා 15 ක් පමණ අපගේ දර්ශනයට යොමු කර තිබෙනවා. අන්තර්ජාලය අරගෙන බලන්න. එමඟින්ලෝකයේ ඕනෑම දෙයක් පහසුවෙන් දැනගන්න අපිට හැකියාව තිබෙනවා. නමුත් වර්තමානයේ “ෆේස්බුක්” ඔස්සේ රැවටී තරුණියන් කී දෙනෙක් දිවි නැති කර ගත්තාද?

අප කුල්ල සහ නෑඹිලිය දෙකෙහි වෙනසද වටහා ගත යුතුවනවා.

කුල්ල සෑමවිටම නුසුදසු දේ ඉවත් කර (දහයියා වැනි දේ) හොඳ දේ සුරැකිව තබා ගන්නවා.

නෑඹිලිය හොඳ දේ ඉවත් කර ගල්වැලි ආදි නුසුදුසු දේ තමන් සතු කර ගන්නවා.

අප බොහෝ දෙනෙක් තෝරා ගෙන ඇත්තේ නෑඹිලියේ ක්‍රියාකාරිත්වයයි. කුල්ලේ ක්‍රියාකාරිත්වය දෙස බලා හොඳ දේ පමණක් අපට ළංකර ගැනීමට කටයුතු කළහොත් අපේ රට යළි ධර්මද්වීපයක් කිරීම අපහසු නැහැ.

එමෙන්ම අපේ රටේ පාලනයට සුදුසු පුද්ගලයන් යොදා ගැනීම ඉතාම වැදගත්. මේ නිසා රටේ පාලකයන් ලෙස පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ යමක් කමක් ඇති, හැඟීමක් ඇති එමෙන්ම අධ්‍යාපන සුදුසුකම් ඇති අයයි.

අපේ රට සංවර්ධනය වුණේ එවන් නායකයන් රට කරපු නිසයි. යළිත් එවන් රටක් ඇති කළ යුතුවනවා.

පන්සල, පල්ලිය, කෝවිල මේ හැම ආගමික ස්ථානයක්ම මුල්කර ගත් සමාජයක් අප යළි ඇති කළ යුතුවනවා. මෙය පහසු කාර්යයක් නෙමෙයි. නමුත් කෙසේ හෝ ඒ සමාජය යළි බිහි කළ යුතුවනවා. බුදු දහම මෙන්ම භික්ෂූන් වහන්සේ අනුමත නොකළත් එල්ලුම්ගහ යළි ක්‍රියාත්මක කළ යුතු තත්ත්වයකට ගෙන ආ යුතුයි. රටේ අපරාධ වර්ධනය වන්නේ හිරි ඔතප් (ලැජ්ජා , බය) නොමැති වීම නිසයි.

අපේ රටේ මෙන් දන්සල් සංස්කෘතියක් ලෝකයේ වෙනත් රටක දක්නට නැහැ. වෙසක්, පොසොන් කාලයට විදේශිකයෝ බොහොම උනන්දුවෙන් ඒ ගැන හොයනව, බලනවා, පින්තූර ගන්නවා. වීඩියෝ කරනවා. ඒ අයට මහා පුදුමයක්. මේ අයුරෙන් දන්සල් දෙන්නෙ කොහොමද කියලා.

බුදුදහමෙන් බෞද්ධ සංස්කෘතියෙන් ධාර්මික ප්‍රතිපත්ති ඔස්සේ ගම රට සංවර්ධනය කරා ගෙන යා යුතුවනවා.

රාජ්‍ය ප්‍රතිපත්ති, රාජ්‍ය දඬුවම් ක්‍රමවේදයට ආගම දහම පටලවාගත යුතු නැහැ. බුදුරජාණන් වහන්සේ කිසිවිටක බුදුදහම රාජ්‍ය පාලනය හා ඈඳා ගත යුතුයැයි වදාරා නැහැ.

උන්වහන්සේ එසේ ක්‍රියා කළෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ විසින් සිදු කළේ දස සක්විති වත්, දස රාජධර්ම වැනි රාජ්‍ය පාලකයකු විසින් ක්‍රියා කළ යුතු ධර්මතා හඳුන්වා දීමයි.

සතර සංග්‍රහ වස්තු වැනි රාජ්‍ය පාලනයට මෙන්ම සමාජ පාලනයට ඉවහල් වන ධර්මතා උන්වහන්සේ විසින් දේශනා කර වදාළා. එමඟින් උන්වහන්සේ බලාපොරොත්තු වූයේ සාමය අගයන ජනතාව නිවැරැදි මාර්ගයට යොමු කරන රාජ්‍ය පාලනයක් තිබීම වගේම මානුෂික හැඟීම ඇති සැමවිටම අනන්‍යයන් ගැන සිතා මතා බලා කටයුතු කරන ජනසමාජයක් බිහි කිරීමය.

අපේ රටේත් ඒ සංස්කෘතිය ඇතිවී තිබුණා. පාරේ මිය ගිය සතකු දුටුවත් අසරණ වූ සතකු දුටුවත් කම්පා වී ඒ දෙස සොයා බලා කටයුතු කළ ලක්වාසීන් අද මහ මඟ මිනිසකු වැටී සිටියත් නොබලා යන තත්ත්වයකට පත් වෙලා.

ගැබිනි මවකට අසුනක් නොදෙන තරමට සමාජය පිරිහිලා තමන් හදා වඩා කවා පොවා ලොකු මහත් කළ මාපියන් මහ මඟ දමා යාමට තරම් කුරිරු වෙලා, අධ්‍යාපනය ලබාදී ගුණ දහම් ලබා නොදීමයි. මීට හේතුව වී ඇත්තේ. විෂයන් සියල්ලටම ඉහළින්ම සම්මාන ගන්නා ඇතැම් දරුවකු මවට පියාට කතා කිරීමටවත් දන්නේ නැත්නම් එතැන යහගුණ පිරි සමාජයක් බිහිවන්නේ නැහැ.

මේ නිසා අප හෙට නොව අදම කළ යුතු වන්නේ අපගේ දරුවන් පන්සලට , පල්ලියට හෝ තම ආගමික ස්ථානය හා ඉක්මනින් සම්බන්ධ කිරීමයි.

එසේ නොකළහොත් අනාගත සමාජය ක්‍රියා කරන ආකාරය ගැන අපට සිතා ගැනීමටවත් බැරි වන බව දැනටමත් පසක් වී හමාරයි.

සාකච්ඡා කළේ - තාරක වික්‍රමසේකර