Print this Article


පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

අම්පිටියේ සිරිවිමල නා හිමි

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළේ අම්පිටිය නම් සුප්‍රසිද්ධ ගම්වරයේ පල්ලේගම විසූ ටී.බී. හේරත් හා එච්. එම්. කොයින් මැණිකේ යන දම්පතීන්ට දාව 1932 ජුනි 15 වන දින මෙලොව ජන්ම ලාභය ලැබූ පින්වත් කුමරුට සිය දෙමාපියන් විසින් මුතුබණ්ඩා හේරත් යන නම තබන ලදී.

එම යුගයේ දී අම්පිටියේ වෙස්ලියන් පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ එම කුමරු වයස අවුරුදු 12 දී අම්පිටිය ඓතිහාසික දිවුරුම් බෝධිමළු විහාරාධිපතිව වැඩ විසූ මාතලේ ධම්මවිසුද්ධි මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ඇසුර නිසා පැවිදි වීමට රුචිකත්වයක් දක්වන ලද බැවින් එවකට මාතලේ කූඹියන්ගොඩ මූල මහා විහාරාධිශ්වරව වැඩ විසූ මාතලේ සිරිධම්මිස්සර මහා ස්වාමින්ද්‍රයන් වහන්සේට භාරදෙන ලදී. අවශ්‍ය බණදහම් ප්‍රගුණ කළ මෙම කුමරු 1944 දී මාතලේ සිරිධම්මිස්සර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ප්‍රවෘජ්‍යාභූමියට පත්වූහ. එතැන් පටන් උන්වහන්සේ අම්පිටියේ සිරිවිමල යතිවරයන් ලෙස ප්‍රකට වූහ.

භික්ෂු අධ්‍යාපනය සඳහා අවශ්‍ය විද්‍යාස්ථාන නොතිබුු යුගයක එම අඩුව සපුරාලනු වස් මාතලේ කූඹියන්ගොඩ විජයනන්දනාරාමය නමින් ප්‍රකටව පැවැති මූල මහා විහාරයෙහි විද්‍යාශේකර නමින් පිරිවෙන ආරම්භ කර තිබුණි. එහි එවකට පරිවේණාධිපතින් වහන්සේ ලෙස කටයුතු කළ විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත මාතලේ ශාසන තිලකාභිධාන අනුනාහිමිපාණන් වහන්සේ වෙතින් භික්ෂු ජීවිතයකට අදාළ වත්පිළිවෙත් හා සිංහල, පාලි, සංස්කෘත ආදි විෂයන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කළහ.

1951 දී උප සම්පත්තිය හිමිකොට ගත්හ. ඉන් පසු කොළඹ මරදාන ශී‍්‍ර ලංකා විද්‍යාලයට ඇතුළත්ව රාජකීය පණ්ඩිත බද්දේගම විමල වංසාභිධාන අනුනා හිමිපාණන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කළහ. වර්ග පටිපාටියෙන් සමත්ව ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පවත්වනු ලබන ප්‍රාවීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන යන විභාගයන් ගෙන් සමත්ව රාජකීය පණ්ඩිත උපාධියෙන් පිදුම් ලදහ.

1961 දී ශී‍්‍ර ලංකා කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වී ශාස්ත්‍රපති යෝග්‍යතා විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව කාලිදාසයන්ගේ වික්‍රමෝර්වශී දෘෂ්‍ය කාව්‍ය අනුවාදය සහ විචාරය නමැති පර්යේෂණ ග්‍රන්ථය ඉදිරිපත් කර 1964 දී ශාස්ත්‍රපති උපාධිය සමත් වූහ.

රාජකීය පණ්ඩිත උපාධිය සමත් වීමෙන් පසු උන්වහන්සේ තුළ පැවති ශ්‍රමණ ප්‍රතිරූපය හා පාණ්ඩිත්වය පිළිබඳ පැහැදුනු බද්දේගම විමලවංස අනුනා හිමිපාණෝ තම විද්‍යාස්ථානයෙහිම ආචාර්යවරයෙකු ලෙස බඳවා ගත්හ. මෙසේ ඇරඹු ශාස්ත්‍රීය සේවා පුළුල් කළ උන්වහන්සේ 1958 දී ගම්පහ බෙම්මුල්ල, බණ්ඩාර බටවල විද්‍යාසාර පිරිවෙනෙහි පරිවේණාධිපතීන් වහන්සේ ලෙස පත්වීමක් ලැබූහ.

එහි සේවාවන් නිම කළ අම්පිටියේ සිරිවිමල මහා ස්වාමින් වහන්සේ කන්ද උඩුනුවර තෙළඹුගල නීග්‍රෝධඛෙත්ත විශ්වවිද්‍යාලයානුබද්ධ මහා පිරිවෙනෙහි ආචාර්යවරයෙකු ලෙසත්, පරිවේණාධිපතීන් වහන්සේ ලෙසත් වර්ෂ තිහකට අධික කාලයක් සේවය කරමින් මෙරට මහා විද්වතුන් බිහිකිරීමට ලබාදුන් දායකත්වය සදානුස්මරණීයය.

එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත කහවන්දල පඤ්ඤාවංශ මහා ස්වාමින් වහන්සේ සහ රාජකීය පණ්ඩිත විලපිටියේ ඤාණවංශ අනුනාහිමිපාණන් වහන්සේලාගේ ඇසුර නිසා තම භික්ෂු ජීවිතය වඩාත් ඔපවත් කර ගැනීමට සමත් වූහ.

ඓතිහාසික මාතලේ කෘතිය සම්පාදනය කිරීමෙහි පුරෝගාමියා වූ 1971-1976 කාලය තුළ මහ දිසාපති වූ සිරිල් ගමගේ මහතා විසින් පත්කළ විද්වත් මණ්ඩලයේ දොළොස් දෙනා අතරට සිරිවිමල ස්වාමින් වහන්සේ ඇතුළත් කළේ, උන්වහන්සේ තුළ පැවැති පාණ්ඩිත්‍යයට උපහාරයක් ලෙසය.

එමෙන්ම පිරිවෙන් සිසුන්ගේ පාලි විෂය දැනුම සංවර්ධනය කරනු වස් අප ස්වාමීන් වහන්සේ “පාලි පරිචය” නමින් ග්‍රන්ථයක්ද එළිදැක්වූහ.

මුන්වහන්සේ තුළ පැවැති සුවිශේෂී ලක්ෂණය වූයේ උගත් අධ්‍යාපනය මුල්කරගෙන පාලි සංස්කෘත, හින්දි, ද්‍රවිඩ හා ඉංගී‍්‍රසි භාෂාවන්ගෙන් ඉතා චතුර ලෙස දේශන පැවැත්වීමේ සහජ දක්ෂතාවයයි.

1983 දී අම්පිටිය ජෙම්සන් විවේකාශ්‍රමය අධිපතිත්වයට පත් අම්පිටියේ සිරිවිමල මහා ස්වාමින් වහන්සේ සියලු විහාරාරාමයන් ගෙන් සමන්විත මහා විහාරස්ථානයක් බවට පත්කොට ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානය නමින් විශ්ව කීර්තියට පත්කළහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූල මහා විහාරය වන්නේ මාතලේ කූඹියන්ගොඩ විජයනන්දනාරාමයයි.

එහි විහාරාධිපතිත්වය දැරූ රාජකීය පණ්ඩිත අම්පිටියේ විමලඤාණ මහා ස්වාමින් වහන්සේ 1992 දී අපවත් වීමෙන් පසු එහි විහාරාධිපතිත්වයට පත්වූයේ සිරිවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය.උන්වහන්සේ විහාරාධිපතිත්වයට පත්වීමෙන් පසු සකල විහාරාරාංගයන්ගෙන් සමන්විත මහා විහාරයක් බවට පත්කළා පමණක් නොව ලාංකීය පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අමිල සේවයක් ඉටුකරනු වස් විද්‍යාශේඛර නමින් පිරිවෙනක්ද නැවතත් ආරම්භ කොට සියදහස් ගණනක් පැවිදි සිසුන් සම්බුද්ධ ශාසනයට රටටත් ජාතියටත් දායාද කළහ.

අම්පිටියේ සිරිවිමල මහා ස්වාමින් වහන්සේගේ විහාරාධිපතිත්වයෙන් පවතින විහාරස්ථාන ලෙස මාතලේ කූඹියන්ගොඩ විද්‍යාශේඛර මූල මහා පිරිවෙන් විහාරස්ථානය

අම්පිටිය ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානය මාතලේ ශී‍්‍ර විජයතිලකාරාම බෝගහකොටුව පන්සල මාතලේ කලල්පිටිය ධර්මේශ්වරාරාමය

අනුරාධපුර ගල්නෑව, උස්ගල ශී‍්‍ර ආනන්දාරාමය වේ.

නේපාලය, බුරුමය, තායිලන්තය. කැනඩාව, ඇමරිකාව, එංගලන්තය. මැලේසියාව හා සිංගප්පූරුව ආදි රටවල ධර්ම දූත සේවයෙහි යෙදෙමින් සිදුකළ ආගමික සේවය වාග් විෂයාතික්‍රාන්තයය.

නා හිමිපාණන් වහන්සේගේ මග පෙන්වීම යටතේ බරණැස ජම්බුදීප විහාරය නමින් ලාංකික විහාරස්ථානයක් ඉදිකිරීම ලාංකික බෞද්ධ ජනතාව ලැබූ විජයග්‍රහණයකි.

1981 දී අධිකරණ බලතල සහිත ජෙට්ටානුවිජ්ජක ධුරයට පත්වූහ.

කලක් නිකායේ දිසාපාලක ධුරය දරමින් පාලක සංඝ සභිකයන් වහන්සේ නමක් ලෙස කටයුතු කළහ. එසේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික ධුරය දැරූ උන්වහන්සේ 2013 සිට අපවත් වන තුරුම මධ්‍යම පළාත් සංඝනායක ධුරයෙහි කටයුතු කළහ. මුන්වහන්සේ සිදුකළ ජාතික, ආගමික, ශාසනික අධ්‍යාපනික සේවයට ගරුකරමින් ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක මහා ස්වාමීන්ද්‍ර ප්‍රමුඛ කාරක මහා සංඝසභාව මගින් ශ්‍රී සුමිත්ත ඉන්දජෝති ධම්මිස්සර වංසාවතංස ශාසන කීර්ති ශී‍්‍ර යන ගෞරවනාම, සම්මුතිය සමර්පණය කළහ.

අම්පිටිය ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයෙහි වැඩ වෙසෙමින් සිටි උන්වහන්සේ රෝගාතුර වීමෙන් පසු කූඹියන්ගොඩ විද්‍යාශේඛර මූල මහා පිරිවෙන් විහාරස්ථානයට වැඩම කිරීමෙන් අනතුරුව ශිෂ්‍ය පිරිසගේ හා දායක කාරකාදීන්ගේ අපමණ වූ ගිලානෝපස්ථාන ලබමින් වැඩ සිට 2014 දෙසැම්බර් 31 වන දින පෙරවරුවෙහි අපවත් වී වදාළහ.

උන්වහන්සේගේ ගුණ සමරුව නිමිත්තෙන් කූඹියන්ගොඩ ශී‍්‍ර විද්‍යාශේඛර මූල මහා පිරිවෙන් විහාරස්ථානයේදී ඉකුත් 24 වනදා ඇරැඹුණු දහම් දෙසුම් මාලාවට අනුව මෙම 27 වනදා දොඩම්ගොඩ අස්සජි නාහිමි, 28 වනදා හෑගොඩ විපස්සි හිමි 29 වනදා කොටපොල අමරකිත්ති හිමි 30 වනදා තලල්ලේ චන්දකිත්ති හිමි ද දම් දෙසුම් පවත්වති. 31 වනදා ශතාධික සංඝගත දක්ෂිණාව පැවැත්වේ.


ඌරුමුත්තේ සුගතානන්ද නා හිමි

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශී‍්‍ර රෝහණ පාර්ශ්වයේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ත්‍රිංශත් වර්ගික විධායක කාරක මහා සංඝසභාව මගින් කොළඹ 06, වැල්ලවත්තේ ශ්‍රී සුගත විහාරය ප්‍රමුඛ තදනුබද්ධ විහාර ගණයේ ආධිපත්‍යය උසුලන දෙහිවල කරගම්පිටිය ශී‍්‍ර ශාස්ත්‍රානන්ද පිරිවෙන් සම්මාන පරිවේණාධිපති ශාස්ත්‍රාචාර්ය ඌරුමුත්තේ සුගතානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත “සද්ධර්ම කීර්ති ශ්‍රී සාරානන්ද” යන ගෞරව නාම සම්මුතිය ද සහිතව කොලඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබේ. උන්වහන්සේ පිළිගැනීමේ උපහාර උළෙල මාර්තු 01 වැනිදා පෙ.ව. 9.00 ට කොළඹ 06, වැල්ලවත්තේ ශ්‍රී සුගත විහාරයේදී පැවැත්විණි.

මාතර අකුරැස්සේ ඌරුමුත්ත ගම් පියසේ විසූ වික්‍රමසිංහ වලව් පතිරණගේ අනුලාවතී මහෝපාසිකා මාතාවගේ හා ලියනගේ පීටර් මහෝපාසක මහතාගේ පුත්‍රයෙකු ලෙස 1951 මාර්තු 01 වැනිදා ඌරුමුත්තේ සුගතානන්ද නාහිමි ජන්මලාභය ලැබීය.ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මාර/ඌරුමුත්තේ මහා විද්‍යාලයෙනි. පසුව මාතර දිසාවේ උපප්‍රධාන සංඝනායක හැව්ඕවිට සාරානන්ද නාහිමි, මාලිම්බඩ ගුණානන්ද නාහිමි සහ එළමල්දෙණියේ උපනන්ද නාහිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් ඓතිහාසික එළමල්දෙණිය රාජමහා විහාරස්ථානයේදී 1966 දෙසැම්බර් 22 වැනිදා ප්‍රව්‍රජ්‍යාභාවයට පත් විය. කොළඹ හුණුපිටිය ගංගාරාමස්ථ ශ්‍රී ඤාණේශ්වර මහ පිරිවෙනින් හා පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙනින් අධ්‍යාපනය ලැබු සුගතානන්ද නාහිමි රත්මලාන පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලයෙන් ගුරු පුහුණුවද ලැබීය.

සුගතානන්ද නාහිමි උපසම්පදාව ලැබුවේ 1972 ජුනි 22 වැනිදා මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේදීය. 1978 සිට දෙහිවල කරගම්පිටිය ශාස්ත්‍රානන්ද පිරිවෙන් ගුරුවරයෙකු ලෙස සේවයට බැඳුණු උන්වහන්සේ 1980 දී එහි පරිවේණාධිපති ලෙසද පත්වී 2011 දී විශ්‍රාම යන තෙක්ම එම තනතුරෙහි වගකීම් ඉටු කළහ.

1987 දී කොළඹ 06, වැල්ලවත්ත ධර්මරාම පාරේ අංක 01 දරන ස්ථානයේ ශ්‍රී සුගත විහාරය අභිනවයෙන් ආරම්භ කළ සුගතානන්ද නාහිමි 1995 දී කිරුළපන ස්වර්ණ පාරේ ස්වර්ණබෝධිරාජ විහාරයද, බම්බලපිටිය උපනන්ද බෞද්ධ මධ්‍යස්ථානය, ඉමදූව ඇල්ලලගොඩ සුගත බෞද්ධ මධ්‍යස්ථානය ද ගාල්ල ගිංතොට සුගත බෞද්ධ මධ්‍යස්ථානයද, මතුගම මෝල්කාව කපුගෙදර සුගත බෞද්ධ මධ්‍යස්ථානය ද යන විහාරස්ථාන ආරම්භ කිරීමෙහිලා පුරෝගාමි විය. 1996 දී වැල්ලවත්ත ශ්‍රී සුගත විහාරය කේන්ද්‍ර කරගෙන “ශ්‍රී ජිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානය” ආරම්භ කළහ. දැනට එහි ළමුන් 75 කටත් අධික පිරිසක් රැකවරණය ලබමින් වැල්ලවත්ත ඇරතියුසා, බම්බලපිටිය ඉසිපතන යන විද්‍යාලවල අධ්‍යාපනය ලබයි.

එදා මෙදා තුර මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ රැකවරණය ලබා විවිධ ක්ෂේත්‍රවල පුහුණුවීම් නිමකොට විසිර ගිය ළමුන් සංඛ්‍යාව සියය ඉක්මවයි. මාතර පිටබැද්දර ඓතිහාසික එළමල්දෙණිය රාජමහා විහාරය කේන්ද්‍ර කරගෙනද ප්‍රදේශවාසී සැදැහැතියන්ගේ ආගමික හා සාමාජික සේවාවන් වෙනුවෙන්ද උන්වහන්සේ කැපවී සිටිති. එසේම පසුගියදා උන්වහන්සේ දකුණූ කොළඹ සමූපකාර සමිිතියේ අධ්‍යක්ෂ තනතුරෙන් ද පිදුම ලැබූහ.

සුගතානන්ද නාහිමියන්ගේ පුරෝගාමිත්වයෙන් ගාල්ල ගිංතොට සුගත බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙන ආරම්භ කළ සෝමාදේවි වැඩිහිටි නිවාසයේ මව්පියවරු 12 දෙනෙක් මනාව රැකවරණය ලබති. වැල්ලවත්ත ශ්‍රී සුගත විහාරය කේන්ද්‍රකර ගනිමින් “ගව සම්පත සුරැකීමේ සංවිධානය ‘ පිහිටුවා ඇති සුගතානන්ද නාහිමි මේ වන විට මරණයට කැප වූ ගවයින් 100 කට අධික ප්‍රමාණයක් නිදහස් කොට තිබේ. 1995 දී තායිලන්තයෙන් ප්‍රාපලට් නමැති ගෞරව නාම සම්මුතියෙන් පිදුම් ලැබූ සුගතානන්ද නාහිමි ජපානය, සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව යන රටවල ධර්මදූත කාර්යයන්ටද සම්බන්ධ වී තිබේ.