UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හඳුනා ගැනීමට දහම් කරුණු හතරක්

හඳුනා ගැනීමට දහම් කරුණු හතරක්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
න වණ්ණා රූපෙන නරෝ සුජානෝ
න විස්ස සෙ ඉත්තර දස්සනාය
සුසඤ්ඤතානංහි වියඤ්ජනේන
අසඤ්ඤතා ලෝක මිමං චරන්ති

පින්වත්නි,

සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයට අයත් සත්ත ජටිල සූත්‍රයේ ඉහත ගාථාව සඳහන්ව ඇත. අපේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කොසොල් මහ රජතුමාට සූත්‍රය දේශනා කර ඇත. ගාථාවේ සරළ අදහස කෙරෙහි පළමුව ඔබේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ශාරීරික වර්ණයෙන් හෝ රූපයෙන් මිනිසා හඳුනා ගැනීම අපහසුය. එසේ එක් වරක් දුටු පමණින් මිනිසා විශ්වාස කළ නොහැකිය. අයහපත් ගතිපැවතුම් ඇති මිනිස්සු යහපත් මිනිසුන්ගේ ස්වරූපයෙන් පෙනී සිටින බැවිනි.

දිනක් කොසොල් මහ රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවීම සඳහා සැවැත් නුවර පූර්වාරාම විහාරස්ථානයට ගියේය. එම අවස්ථාවේ බුදු රදුන් විහාරස්ථානය ඉදිරිපස විවේකයෙන් වැඩ සිටියේය. රජතුමා බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට සුවදුක් විචාරන්නට විය. එම අවස්ථාවේ ඉදිරිපස මාර්ගයෙහි ජටිල තාපසවරු පිරිසක් ගමන් කළහ. එවිට රජතුමා වහා මාර්ගය සමීපයට ගොස් උතුරු සළුව ඒකාංශකර එක් දණහිසක් බිම තබාගෙන ඔවුන්ට නමස්කාර කරමින් තමා කොසොල් මහරජ බව ප්‍රකාශ කර සිටියේය. තාපස පිරිස ගිය පසු නැවත බුදුරදුන් සමීපයට පැමිණි රජතුමා මහ මඟ ගිය එම තාපස පිරිස රහතන් වහන්සේලා හෝ රහත් මගට පිවිසි උසස් පිරිසක් බව ප්‍රකාශ කළේය. රජතුමාගේ එම ප්‍රකාශය නොපිළිගත් තථාගතයන් වහන්සේ පස්කම් සැපතින් මුලාවට පත්වූ ගිහියනට රහතන් වහන්සේලා හෝ රහත් මගට පිවිසි උතුමන් හඳුනාගත නොහැකි බව පෙන්වා දුන්හ. යම් කෙනෙකුගේ සිල්වත්කම ගුණවත්කම, පඤ්ඤාවන්ත කම නිවැරදිව අවබෝධ කරගැනීම සඳහා උපකාරි වන දහම් කරුණු හතරක් දේශනා කළහ.

01. සංවාසේන බෝ මහා රාජ සීලං වේදිතබ්බං

නුවණැති පුද්ගලයෙකුට මනා සිහි නුවණින් බොහෝ කාලයක් ඇසුරු කිරීම තුළින් කෙනෙකුගේ සිල්වත්කම දැනගත හැකිය.

02. සංවෝහාරෙන බෝ මහා රාජ සෝචෙය්‍යං වේදිතබ්බං

නැණවතෙකුට මනා සිහි නුවණින් දිගු කලක් කෙනෙකුගේ කතා ව්‍යවහාරයට අවධානය යොමු කිරීමෙන් ඔහුගේ පිරිසුදු බව දැනගත හැකිය.

03.ආපදාසුබෝ මහා රාජථාමෝ වේදිතබ්බෝ

පුද්ගලයෙකුට කරදර විපත් වලට මුහුණ දෙන ආකාරය සිහිනුවණින් බොහෝ කාලයක් විමර්ශනයට ලක් කිරීමෙන් ඔහුගේ ඥාන ශක්තිය, අභ්‍යන්තර ශක්තිය අවබෝධ කර ගත හැකිය.

04. සාකච්ඡාය බෝ මහා රාජ පඤ්ඤාවේදිතබ්බා

නැණවතෙකුට ඉතා දීර්ඝ කාලයක් කෙනෙකු සමග සිහිනුවණින් සාකච්ඡා කිරීමෙන් ඔහුගේ පඤ්ඤාව හෙවත් අවබෝධඤාණය හඳුනාගත හැකිය.

මෙම දහම් කරුණු ඇසු රජතුමා බුදුපියාණන් වහන්සේගේ එම දේශනාවන්ගේ සත්‍යතාව පිළිබඳ ප්‍රශංසා කළේය. එපමණක් නොව මහ මග ගිය තාපස පිරිස වෙස්වලාගත් තමාගේ චර පුරුෂයන් පිරිසක් බවද පසුව පිළිගත්තේය. එහිදි තවදුරටත් රජතුමාගේ අවධානය ධර්මය කෙරෙහි යොමු කිරීම සඳහා ඉහත ගාථාව හා තවත් ගාථාවක් බුදුපියාණන් වහන්සේ දේශනා කළහ. එම දෙකෙන්ම ප්‍රකාශ වන්නේ මිනිසුන් අවබෝධ කර ගැනීමේ අපහසුතාවයයි. රන් ආලේපිත මැටි වලින් සාදන ලද කුණ්ඩලාභරණ හා රන් ආලේපිත ලෝහමය කාසි වල ඇත්තේ මතුපිටින් ඔපයක් පමණි. එසේම අභ්‍යන්තරය කෙලෙස් වලින් දූෂිත වු බාහිර වශයෙන් විවිධ අයුරින් වෙස් වලාගත් පුද්ගලයෝ සමාජයේ අපමණ සිටිති. “අන්තෝ අසුද්ධා බහිසෝභමානා” එසේම තම අධ්‍යාත්මික ගුණවත්කම ප්‍රදර්ශනය වෙන්කරන උතුමන්ද බෙහෙවින් සිටිති. මෙවැනි විවිධ විෂම මිනිස් සමාජයේ බාහිර ස්වරූපයෙන් පමණක්ම පුද්ගලයෙකු හඳුනාගත නොහැක. එසේම එක් වරක් දුටු පමණින් පුද්ගලයෙකු විශ්වාස කිරීමද නොකළ යුතුය. එසේ කිරීම නිසා කරදර විපත්වලට පත්වූ පිරිස අපමණය. අපේ මානව මානවිකාවන් මේ නිසා තමන්ගේ වටිනා ජීවිත පවා නැති කරගන්නා අවස්ථා බෙහෙවින් ඇත. පහත් ගති පැවතුම් ඇති අධම පුද්ගලයන්ගේ ඇසුර මෙලොව පමණක් නොව සසර පුරා පසුතැවිලි වීමට හේතු වන නිසා ඔවුන් නිවැරදිව හඳුනාගෙන ජීවත්වීම ඔබගේ දෙලොව සැනසීමට හේතුවකි. එපමණක් නොව නිවැරදි උතුම් පුද්ගලයෙකුගේ මග පෙන්වීම සසර දුකින් නිදහස්ව උතුම් නිවන් සුව අවබෝධ කර ගැනීමට උපකාරි වන බව ධර්මයේ සඳහන් වේ.

සැමට තෙරුවන් සරණයි!

 

 මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු මස 19වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.48ට ලබයි. 20වැනි දා සිකුරාදා අපරභාග 03.06 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මාර්තු මස 20වැනි දා සිකුරාදාය.

මීළඟ පෝය
මාර්තු 27වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 20

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]