Print this Article


බෞද්ධ සදාචාර චින්තනය

බෞද්ධ සදාචාර චින්තනය

වත්මන් ජන සමාජය සහ ලෝක ප්‍රවණතාවයන් දෙස බලන විට, තව කෙතරම් කලකට මනුෂ්‍ය ශිෂ්ටාචාරය අප පෘථිවි තලය මත රඳා පවතී ද යන්න පවා අවිනිශ්චිතය. මනුෂ්‍ය ජනගහනය පෘථිවියට දැරීමට නොහැකි තරමට වර්ධනය වෙමින් පවතී. මනුෂ්‍යයා විසින්ම පෘථිවි තලය වස විස යොදා විනාශ කරමින් සිටී. පානීය ජලය පොළොවෙන් ලබාගත හැක්කේ තව සීමිත කාල සීමාවකට බවට ද අදහස් පළ වී ඇත. අසීමිත වන විනාශය දේශගුණික සමතුලිතාවට ද බලපානු ලබයි. ඕසෝන් ස්ථරය තුනී වීම සහ සමහර තැන් පළුදු වීම භයානක ප්‍රතිඵල ගෙනදිය හැකි බවට විද්‍යාඥයෝ කරුණු දක්වති.

මනුෂ්‍ය චිත්ත සන්තානයද ගිනි ගොඩක් බවට පත් වී ඇති බව ලෝක ප්‍රවෘත්ති වලින් පැහැදිලිය. භෞතික දියුණුව ඔස්සේ කම් සැප උදෙසාම පෙළඹෙන මිනිස් ප්‍රජාවක් ඒ හා බැඳී ගිය තවමත් සුව කිරීම උදෙසා නිසි ප්‍රතිකාර පවා සොයාගෙන නොමැති ඒඩ්ස් වැනි රෝග ලෝක දායාද බවට පත්ව ඇත. සමස්ත ලෝකය පුරාම ද්වේශය , ක්‍රෝධය ඉහ වහා ගොස් ඇත. මෙවැනි මානසික වාතාවරණයක සිට රටවල් අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් අප අප විසින්ම අපගේ ශිෂ්ටාචාරයේ අවසානය ළඟා කර නොගන්නේ ද?

මෙවන් වාතාවරණයක මෙයට වසර 2500 ගණනකට පෙර ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් අනු දැන වදාළ සදාචාර ගුණ ධර්ම බෙහෙවින් වැඩදායී වනු ඇත. බුදු දහම තුළ අනාත්මවාදයක් පිළිබඳව කරුණු දක්වන හෙයින් පුද්ගලයන් හැදීමක් ගැන කතා කරන්නේ කෙසේදැයි සමහරු ප්‍රශ්න කරති. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නමැති ස්කන්ධ පහක නිරන්තර වෙනස්වීම සහිත එකතුව “සත්වයා” ලෙස නාමිකව සඳහන් වන අතර එතැන පුද්ගලයෙක් හෝ ආත්මයක් පිළිබඳ සංකල්පයක් නොමැති බැව් බුදු දහම දක්වා සිටී.

එනමුදු පංචස්කන්ධයෙන් සකස්වුණු සම්මුති වශයෙන් පවතින්නාවූ පුද්ගලයෙකුගේ පැවැත්ම බුදුදහම පිළිගනී. එම පදනම මත බෞද්ධ සදාචාර චින්තනයට අදාළව බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම කරුණු සරලව මෙසේ පහත දක්වමු.

බෞද්ධ සදාචාර චින්තනයට අනුව “පුද්ගලයා” යනු සමස්ත සමාජයේ කොටසකි. සමස්තය යනු මිනිස් සමාජයම පමණක් නොව සතා සීපාවා, ගහ කොළ ඇතුළු විශ්ව ගුණාංග ඊට ඇතුළත් වේ. එබැවින් කෙනෙකුට පුද්ගලික මට්ටමෙන් සිතා ආත්මාර්ථකාමී විය නොහැක. මගේ පැවැත්ම රඳා පවතින්නේ මුළු මහත් විශ්වයම මතය. තමා ජීවත්වන ආහාරය සොයා ගැනීමට, තමාගේ ජීවිතයේ පැවැත්මට ගහ කොළ, සතා සීපාවා, ජලය, වාතය, හිරු එළිය ආදී සියල්ල අවශ්‍යය.

වර්තමානයේ සිදුවන්නේ මෙම පුළුල් හැඟීම තේරුම් නොගෙන පරිසරය තමාගේ පුද්ගලික යහපත උදෙසා විනාශ කිරීමයි. සමාජයේ සමඟ ඇති අන්‍යෝන්‍ය සබඳතා සැලකිල්ලට නොගෙන ආත්ම ලාභය උදෙසා වැරැදි ක්‍රියාවල යෙදීමයි. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි “අත්තානං උපමං කත්වා.....” යනුවෙන් තමන් උපමා කොට තමා කෙරෙහි ක්‍රියා කරන ආකාරයෙන් අන් අය කෙරෙහි ද ක්‍රියා කළ යුතු බැව් දක්වා සිටී. අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයේ දී මෙම සමාජ මිනුම් දණ්ඩ මැනවින් පැහැදිලි කර ඇත.

මෙම සූත්‍රය අප කවුරුත් දැනුවත් විය යුතු අපගේ ජීවිත වලට ප්‍රායෝගික ලෙස සමීප කරගත යුතු යහපත් සමාජ දර්ශනයකි. තමන් කිසියම් ක්‍රියාවක් කිරීමට පළමුව ද, කරන අවස්ථාවේ ද, කිරීමෙන් පසුව ද ප්‍රත්‍යාවේක්ෂණයෙහි යෙදීම කළ යුතු ය. නැතහොත් ඒ පිළිබඳව සිතා බැලිය යුතු ය. සිතා බලන්නේ කුමක් පිළිබඳව ද? තමා කරන්නට යන ක්‍රියාව තමාගේ සහ අනුන්ගේ යහපත පිණිස පවතීද යන්නය. එසේ තමන්ටත් අනුන්ටත් යහපත පිණිස පවතී නම් එය කළ යුතු ය. තමන්ටත් අනුන්ටත් අයහපත පිණිස පවතී නම් එය නොකළ යුතු ය. තමන්ට යහපත සැලැසී අනුන්ට අයහපතක් වේ නම් එය ද නොකළ යුතු ය. අනුන්ට යහපතක් සැලසී තමන්ට අයහපතක් වේ නම් එය ද නොකළ යුතු ය. මේ අනුව වඩාත් සුදුසු ක්‍රියාදාමය වන්නේ තමන්ටත්, අනුන්ටත් යහපතක් සිදුවන දේ හොඳින් සිතා බලා ක්‍රියාවට නැඟීමයි. කිසියම් තීන්දු තීරණ ගැනීමේ දී දුර දිග නොබලා කටයුතු කිරීමෙන් සිදුවන හානි ඉන් වළකාගත හැකි ය.

බුදු සමය අනුව පුද්ගලයා යනු සමස්තයක කොටසක් බැව් මුලදීත් අවධාරණය කළෙමු. “පරපටිබද්ධා මේ ජීවිකා” මාගේ මේ ජීවිතය අනුන් හා බැඳී පවතී යනුවෙන් සිතන්නට බුදුන් වහන්සේ තම ශ්‍රාවක භික්ෂූන්ට පවා අනුශාසනා කළ සේක.

හැම දෙයක්ම රඳා පවත්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතා ජාලයක් තුළය. මෙම පදනම යටතේ ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයෙකු තම පෞද්ගලික ජීවිතය, පවුල් ජීවිතය සහ සමාජ ජීවිතය යහ පැවැතුම් සහිතව ගත කිරීමට බුදුන් වහන්සේ ඉතා සරල ශික්ෂා පදපහා ක් වදාළහ. පංච ශීලය යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. 1. ප්‍රාණ ඝාතයෙන් වැළකීම (හිංසාවෙන් තොර වීම) 2. නොදුන් දෙය ගැනීමෙන් වැළකීම, 3. කාමයන් පිළිබඳ වැරදි හැසිරීමෙන් වැළකීම, 4. අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වැළකීම, 5. මත්පැන් පානය කිරීමෙන් වැළකීම එම ස්වභාවික රීතීන් පහය.මේ තුළින් තමාගේ සිත, කය, වචන පාලනය කර ගැනීමත් ඒ හේතුකොට සමාජයට, ස්වභාවික පරිසරයට හානියක් සිදු නොවීමත් අපේක්ෂා කෙරේ. මෙම වැරැදි තමා විසින් නොකරනු ලබන අතර අනුන් එසේ නොකිරීමට පොළඹවා ගැනීමට ද කටයුතු කළ යුතු ය. සමාජ හිතකාමී පුද්ගලයෙක් වන්නේ ඒ අනුවය. එවන් පුද්ගලයෙකු තුළ කරුණා, මෛත්‍රී මෘදු සිතිවිලි වර්ධනය වේ. ඔහු අනුන්ගේ සැපත දැක සතුටු වේ. සොරකම් නොකිරීම නිසා තමාගේ සහ සමාජයේ දේපළ පිළිබඳ ආරක්ෂාව සහතික වේ. කාමයෙහි වරදවා නොහැසිරීම නිසා පවුල් ජීවිත වාසනාවන්ත වේ.

බොරු නොකීම නිසා ගොඩනැගෙන අවංකභාවයේ ප්‍රතිරූපය සියලු කටයුතු සඳහා වැදගත් වේ. සමාජ පිළිගැනීමක් ඇතිවේ. මත්පැන් පානයෙන් ඈත් වීම ශරීර සෞඛ්‍යයට හිතකර වේ. සමාජ අවුල් තුනී වීමට ද හේතු වේ. මෙවන් පුද්ගලයෙකු සැම විටම නිවුණු සිතක් පවත්වාගෙන යයි. තරහ යෑම වැනි චිත්තවේග අඩුවේ.

මේ සියලු කරුණු හේතුකොට ශරීරයේ රසායනික සමතුලිතතාව ආරක්ෂා වේ. ඒ නිසාම මාරාන්තික බෝ නොවන රෝගවලින් ඔහු දුරස් වේ. මෙවන් සමාජ සංවරයක් ලෝකයේ ඕනෑම තැනක පවත්වාගෙන යා හැකිය. බොහෝ දුරට මේ කරුණු සිඟාලෝවාද සූත්‍රය, ව්‍යග්ඝජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය, මහා මංගල සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය ආදියෙන් වැඩිදුරටත් විස්තර වී ඇත.

එහෙත් මෙවන් ජනහිතකාමී සමාජ ස්ථාවරයක් ගොඩ නොනැඟෙන්නේ ඇයිද යනු ගැඹුරින් සලකා බැලිය යුතු කරුණකි. විශේෂයෙන් බටහිර රටවල මෙවන් සාරධර්ම පද්ධතියකට වුවමනා සංකල්පීය වර්ධනයක් නැත. භෞතික දියුණුව, කාම සම්භෝගය තුළ ඔවුහු ගිලී සිටිති. ආත්මවාදී දර්ශනයක් තුළ පෝෂණය වූවෝ වෙති. ඔවුන් තාක්ෂණික දියුණුව ද උපයෝගී කර ගන්නේ ද ඒ සඳහාමය. අන්තර්ජාලය මුළු ලොවම එක් මිටකට ගෙන සිටී. ඒ තුළ බහුලව ඇත්තේ අශෝභන දර්ශන, අශෝභන ක්‍රියාකාරකම් ආදියයි. යොවුන් පරපුර වහ වහා බැඳෙන්නේ ඒ සමඟය. සිත, කය, මනස උත්තේජනය වන්නේ ඒ අනුවය.

අසීමිත ලාභ අපේක්ෂාවන් පෙරදැරි කරගත් වාණිජ ලෝකය මේ අවාසනාවන්ත තත්ත්වය වඩාත් තීව්ර කරයි. ඇතැම් වෙළෙඳ දැන්වීම් නිර්මාණය කෙරෙන්නේ අසභ්‍ය වූ කාමශක්ති හැඟීම් උපයෝගී කරගනිමිනි. මේවා සමස්තයක් ලෙස පාලනය කිරීමට ජාත්‍යන්තර බලධාරීන් උනන්දුවිය යුතු ය. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් සංවර කිරීමට වුවමනා ආචාර ධර්ම පද්ධතීන් දැඩි ලෙස පවත්වාගෙන යා යුතුව ඇත.

තාක්ෂණ දියුණුවෙන් තරමක් ඈත්ව සොබාදහම හා බැඳී සිටින භූතානය වැනි රටවල ජනතාව සතුට උපරිමයෙන් භුක්ති විඳින බැව් ලෝකය පිළිගනී. මහච්ඡතාව වෙනුවට අල්පේච්ඡතාව භුක්ති විඳීම භූතාන සමාජ තලයේ බහුලව දක්නට ලැබේ. ඔවුන්ගේ සතුට රැඳී ඇත්තේ එවන් සමාජ හර පද්ධතීන් නිසා ය. එබැවින් බුදු දහමේ උතුම් ගුණාංග ඉස්මතු කර ගනිමින් සමාජය මෙහෙයවීමට සැලකිලිමත වීම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමු කරවීම ඉතා වැදගත් ය.