Print this Article


සිතේ නිදහසට අවශ්‍ය චිත්ත විවේකය

සිතේ නිදහසට අවශ්‍ය චිත්ත විවේකය

ඔබත් ,මමත් මේ ජීවිතය තුළ හෝ මේ ගෞතම බුදු සසුන තුළ නො එසේනම් කවදා හෝ මේ සංසාර ගමනේ නිමාවක්, විමුක්තියක්, නිවනක් අපේක්ෂා කරන්නේ නම් දැනගත යුතු, ඉගෙනගත යුතු මූලික දහම වන්නේ යෝනිසෝමනසිකාරය හා අයෝනිසෝමනසිකාරය යි.

මේ සිතට දැනෙන මැවෙන දර්ශනය බොහෝ විට අකුසලයන් නොවේ. එය එක්තරා කර්මයක විපාකයක්. ඉන්ද්‍රිය අසංවරයෙන් ඉන්ද්‍රිය පිළිබඳ අනවබෝධයෙන් දකින අහන දේ අයෝනිසෝමනසිකාරය කිරීමෙන් අකුසල් රැස්්විය හැකියි.බුදුරජාණන් වහන්සේ ලස්සන අතීත සිදුවීමක් සමඟ කළ දේශනාවක් තිබෙනවා “කුම්ම” කියන සූත්‍රයේ. දිනක් සවස් කාලයේ ගංඟානම් ගඟ අයිනෙන් ඉහළ සිට පහළට ඉබ්බෙකුත්, පහළ සිට ඉහළට නරියෙකුත් ගමන් කරනවා. නරියා ඈතදීම දැක්කා හෙමින් හෙමින් එන ඉබ්බාව. ඉබ්බාත් ඈතදී ම දැක්කා ඉදිරියට එන නරියාව. ඉබ්බා කල්පනා කළා නරියා හිතාගෙන ඇති මගේ අවයව ටික කඩාගෙන කන්න. මම ඌට එබඳු අවස්ථාවක් දෙන්නේ නැහැ කියා අත්, පා, හිස අවයව පහම කටුව ඇතුළට ගත්තා. නරියා ඉබ්බා ළඟට ඇවිත් බොහෝම වෙලාවක් බලාගෙන හිටියා අතක් හෝ කකුළක් හෝ එළියට දැම්මොත් කඩාගෙන කනවා කියලා. ඒත් ඉබ්බා එහෙම ම හිටියා. බොහෝ වෙලාවක් නරියා බලාගෙන ඉඳලා බැරිතැන ඉබ්බා ළඟින් අයින් වෙලා ගියා. ඒ ඉබ්බා තමාගේ කටුව ඇතුළේ තමාගේ අවයව ටික සඟවා ගත්තා වගේ බුදුරජාණන් වහන්සේ අපට වදාළා මේ ඇස අවදි කරනවා කියන්නේ කන, නාසය, දිව, කය අවදි කරනවා කියන්නේ මාරයාට ගොදුරක් වුණා කියලා. බාහිරට එන්නේ නැතුව ඇතුළතදීම මනස සුරක්ෂිත කර ගන්න පුළුවන්නම් මාරයාට අරමුණක් ලැබෙන්නේ නැහැ. ඒ නිසයි ඉන්ද්‍රියන් ටික ඇතුළට සුරක්ෂිත කර ගන්න කියන්නේ. ඇයි? ඇසින් රූප දැක නිමිති ගන්න එපා. අනුනිමිති ගන්න එපා. නිමිති, අනු නිමිති ගත්තොත් වෙන්නේ මොකක් ද? ඇසේ, කනේ, නාසයෙන්, දිවෙන්, කයෙන් ගත් නිමිතියි අප අවට තිබෙන්නේ. ඔබ දැකපු අසපු දේවල් සියල්ලම ඇතුළේ තිබෙන්නේ. ඔබ දැකපු ඇසූ දේවල් සියල්ලම ඇතුළේ තිබෙනවා ගබඩා කරගෙන. ඕන දෙයක් ඒ සලකුණු ඔස්සේ හිතට ගන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේ වදාළා ඇසින් රූප දැක නිමිති, අනුනිමිති ගත්තොත් ඒ ගත් නිමිති, අනුනිමිති අපේ සිතේ මැවෙන්නේ. රූපයක් දකිනවිට මොකක්ද වෙන්නේ? අප ඒ පෙනුන සෙවනැලි මනසින්ම සජීවිව බලනවා. ඔබ උපකල්පනය කළ යම් රූපයක තිබුණේ පුංචි සිතුවමක් සටහනක් විතරයි. නමුත් කුසලය, අකුසලය කර්මය, ද්වේෂය හදා ගන්නේ ඒ ඡායාවේ දුන් වැරැදි උපකල්පනය නිසයි. ඒ නිමිති ගැනීමේ විපාක ඔබට පැහැදිලියි. හරියට දියේ ඇන්ද සෙවනැල්ල වගේ. සෙවනැල්ලේ දෝෂයන් තිබුණේ නැහැ. දෝෂය තිබුණේ ඒ සෙවනැල්ල දෙස බලාගෙන ඇතිකරගත් වැරැදි උපකල්පනයේ යි. දැන් අපත් ඒ ආකාරයෙන්ම ඒ වැරැදි උපකල්පනය කරනවා. හොඳට විමසා බලන්න එහෙම නොවේද කියා. දැන් අපට හමුවන්නේ “මගේ නිවස” නම් එය අරමුණු කොටගෙන මට සතුටු වෙන්නත්, අසතුටු වෙන්නත් පුළුවන්. හිනාවෙන්නත් පුළුවන්. අඬන්නත් පුළුවන්. දැන් නිමිත්තක් ඇතිකර ගත්තොත් ඒ නිමිත්ත සටහන වැරැදි උපකල්පනයක් සමඟ සජීවි බවකින් අප බලන්න යනවා. එතැන තමා දුක හට ගන්න, සසර ඇතිවෙන්න හේතුව සැකසෙන බාහිර ආධ්‍යාත්මික නිමිති. ඔය නිමිත්තකට අපට පෙනුණේ බාහිර අරමුණක්. බාහිර ලෝකයේ අරමුණක් අපට ලැබුණා. ඒ වගේමයි තමන් ගැන නිමිත්තක් සලකුණක් ලැබෙන්නේ. ආධ්‍යාත්මික බවක් බාහිරවත් මේ සිතියම මවා පෙන්වන තැන හොඳට හඳුනා ගන්න ඕන. ඒක තහවුරු වුණාට පස්සේ ඒ වැරැද්දෙන් මිදෙන්න කයෙහි කය අනුව, වේදනාවේ වේදනාව අනුව, සිතෙහි සිත අනුව බලන්නේ කොහොමද කියලා විමසන්න ඕන.

දැන් එතැනදී අපට දහමක් මතු වෙනවා මනසත්, ධර්මයත් නුවණින් දැනගෙන ඒ නිසා ඉපදෙන සංයෝජනය හඳුනා ගන්න ඕන කියා. දැන් සිතත් ඒ මනසත් මනසට අරමුණ වූ ධර්මයත් නිසා උපන් සංයෝජනය හඳුනා ගන්න ඕන. අපට නිතරම උපදින්නේ ඒ නිමිති සලකුණත් සමඟ කාමරාග, හෝ ව්‍යාපාද සංයෝජනයත් සමඟ ඇති දේයි. එය උපදිනවා කියන්නේ නාම ධර්මයන් ඉපදීමයි. අප එතැන රූපයක් හැටියට බාරගත් බවයි, සතුටු වූ බවයි, එහි ගුණ කියන බවයි, එය බැසගත් බවයි කියන්නේ. ඒ නිසා ඒ මනෝමය ධාතුන් සිතේ හටගත් දේ සමඟම ඇතුළතින් නිරුද්ධ කරන්න ගත්තාට එහෙම වෙන්නේ නැහැ. ඇයි ඒක නාම ධර්මයක් ලෙස නොවේ රූප ධර්මයක් ලෙස ගත් නිසයි. ඒ නිසා සිදුවෙනවා රූපයක් ලෙසම උපකල්පනය කරලා කය පිළිබඳව තිබෙන බැඳීමෙන් නිදහස් වෙන්න. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව සතිපට්ඨනාවේදී පළමු අංගය බවට පත්කර ගත්තේ. ඒ නිසා ඔබ එක පැත්තකින් මතක තබා ගන්න ඕන ඉන්ද්‍රිය අසංවර වීම නිසා මෙහෙම විපාකයක් තිබෙනවා. මේ විපාකයන් එනබව දැක සංවර වෙන්න ඕන. දැන් අපට තිබෙනවා සංවරයෙන් ප්‍රහාණය කළයුතු ආශ්‍රව. මනසත්, ධර්මයත් දැක, මනසින් දහම දැන නිමිති අනුනිමිති සටහන් ගන්න එපා. හැබැයි අප “නිවස” කියන දේ උපකල්පනය කරන විටම අප කළේ නැවත වතාවක් ඒ දේ තහවුරු කළා. ඒ වගේම මැරෙන වෙලාවේදී අපායට යන්න සසරට යන්න ඒ පුංචි සළකුණ උදව් වෙනවා. ඒක මහලොකු දෙයක් වෙන්න ඕන නැහැ. ඔය වගේ පුංචි සලකුණක් මැරෙන මොහොතේ චුති සිතට අරමුණක් වුණොත් ඒ නිවස පිළිබඳව කැමැත්ත, අකැමැත්ත, ලෝභය, ද්වේෂය නොයෙක් නොයෙක් දේ හට ගන්නවා. ඒවාගේ කිසියම් ආකාරයක කර්ම සංස්කාරයන් ඇති වෙන්න පුළුවන්. එතකොට භෞතික වස්තුව නොවේ අපව සසරට ගෙනියන්නේ. ඒ නිසා ඒ සලකුණත් පරිස්සමින්, සිහිනුවණින් කළයුතු වෙනවා. ආශ්‍රවය කියන ගතිය තමා මේ ඡායාව සෙවණැල්ල වගේ අසවල් දේ අසවල් දේ කියා ඉදිරියට එන්නේ. බොහෝ නිරායාසයෙන් එය උපකල්පනය කරනවා. ඒ දසුන හිතේ මැවෙන කොටම එය උපකල්පනය කරනවා. ඒ වගේ අප ආශ්‍රවයන් සසරේ පුරුදු ලෙස බලලා එය පේනකොටම පෙර පසු නැතුව ඉක්මණින් ඒ වැරැදි උපකල්පනයට යනවා. එවිටයි අපට පුද්ගල සංකල්ප හමුවෙන්නේ. මෙය තමා ආත්ම සංකල්පය, ආත්ම දෘෂ්ඨිය කියන්නේ. මේ ආත්ම සංකල්පයෙන් නිදහස් වෙන්නේ කොහොමද? එයට තිබෙන ක්‍රමය කුමක්ද? තථාගතයන් වහන්සේ අපට ඒ සඳහා ආරක්ෂිත ස්ථානයක් හදලා දුන්නා. ඒ තමා “චිත්ත විවේකය” උපදවා ගැනීම.

මනස නිදහස් නො වුණොත් සිත ඔබට නොයෙක් නොයෙක් විසූක දර්ශන ගෙනැල්ලා දෙයි. ඔබගේ ඉන්ද්‍රිය අසංවරයෙන් ගන්න නිමිති, අනුනිමිති බොහෝ දේ ඔබ ඉදිරියේ පෙන්්නාවි. දැන් බලන්න සිතට නිදහසක් තිබෙනවාද? කියා. සිතට කිසිදු නිදහසක්, චිත්ත විවේකයක් නැහැ. සිතට හැම තිස්සේම අරමුණු එනවා. පේන පේන අරමුණ උපකල්පය වෙනවා මේ අසවල් දෙ,් මේ අසවල් දේ කියලා. සිතට වැඩක් තිබෙනවා. නමුත් චිත්ත විවේකයක් නැහැ. චිත්ත විවේකය නැති නිසයි උපධි විවේකයක් නැත්තේ. චිත්ත විවේකය හදාගන්න නම් අප විසින් සිතට හදල දුන්න අසංවරය දුරු කරන්න ඕන. එහි ස්වභාවය යටපත් කර ගන්න තමා ‘සති නිමිත්ත’ බුදුරජාණන වහන්සේ වදාළේ. ඔබ නිහඬව සති නිමිත්ත පුරුදු කරන්න. නොයෙක් නොයෙක් දර්ශන සිතට ගලාගෙන එනවා. මේ ස්වභාවය තේරුම් අරගෙන මේ සිත නිදහසේ තිබුණොත් මේ මේ විදිහයි කියා දැනගන්න. විපාකයට සිත එනවා. විපාකයට සිත එනවිට ඒ අරමුණ සතුටින් බාර නොගෙන සිටින්න. එය අප භාරගත්තොත් ජරා, මරණ, සෝක, දුක හදන්න උපකාරයක් කර ගන්නවා.

අප දුක නැතිකර ගන්න කැමැතිනම් මුලින්ම අප තාවකාලිකව හෝ වේවා සති නිමිති අවාර්ජණය කර ගන්න ඕන. ඒ නිමිති පුුරුදු කිරීමේ ප්‍රයෝජනය අපට ඉතා වැදගත්. ඉන්ද්‍රිය සංවරයෙන් පමණයි ආශ්‍රව දුරු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ නිමිති සළකුණු හා ඒවාට උපකල්පනය කිරීමෙන් වැළකී ඉන්න පුළුවන්කමක් නැහැ. ඉන්ද්‍රිය සංවරය සඳහා සති නිමිත්ත දායාද කර ගෙන එය තමාගේ අත්දැකීමක් කර ගන්න. කෙබඳු තැනක සිත පිහිටා ගත්තාමද ඒ සංවරය සිදු වෙන්නේ කියා බලන්න.