UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

සදහම් දැනුම

ප්‍රශ්නය – බොහෝ බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේ වෙත ගෞරවාදරයෙන් බුද්ධ පූජාව අප්‍රමාණ භක්තියකින් සිදු කිරීමට ඉදිරිපත් වෙනවා. බුද්ධ පූජාව ශ්‍රාවකයෙකු විසින් පැවැත්විය යුතු ආකාරය, පිළිබඳ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි අවධියෙහි දීම එක්තරා ශ්‍රාවකයෙකුට දුන් අවවාදයෙන් වඩාත් පැහැදිලි වෙයි. මෙම සිදුවීම පිළිබඳ විස්තරයක් කරන්න.

පිළිතුර – බුදුරජාණන් වහන්සේගේ රූපශ්‍රීය කෙරෙහි ලොල් බවක් දැක්වූ වක්කලි ශ්‍රාවකයාණන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි සැමදා උන්වහන්සේගේ අභිමුඛයෙහි සිට තමා වෙතම බලා සිටිනු දුටු බුදුන් වහන්සේ “මා තෙ වක්කලි යො ධම්මං පස්සතිසො මං පස්සති සො ධම්මං පස්සති” යනුවෙන් යමෙකු ධර්මය දකී නම් ඔහු මා දකින්නේය. ඔහු මා දකින්නේ නම් ධර්මයද දකින්නේ ය යැයි වදාරා පිළිවෙත් ගරුක බව අවධාරණය කළහ.

තවද කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේ සිංහ සෙය්‍යාවෙන් වැඩසිටින අවස්ථාවෙහිදී අවට පරිසරයෙහි අකල්හි මල්පිපී බුදු සිරුරට මල් වගුරුවනු බලා ආනන්ද හිමියන්ට මෙසේ වදාළහ. ආනන්ද මෙබඳු පූජාවකින් තථාගතයන් වහන්සේට පූජා පැවැත්වීම ගරු කිරීමට නියම සුදුස්සෙක් කළා යැයි අගය කළ නොහැකිය. සිව්වණක් පිරිස නව ලොව්තුරා දහමට අනුගතව පිළිවෙත් සරුව කරන බුද්ධ පූජාවම උසස් යැයි වදාළහ.

මේ අනුව බුද්ධ පූජාව ආමිෂ හා ප්‍රතිපත්ති යනුවෙන් ආකාර දෙකකි. මෙයින් ප්‍රතිපත්ති පූජාවම බුදුන් වහන්සේ අගය කළහ.

ප්‍රශ්නය – බුද්ධ ධර්මය අනුව කර්මය පිළිබඳ සඳහන් කිරීමේදී “චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” යනුවෙන් දේශිත ධර්මය පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර – කම්ම යන වචනයේ තේරුම කිරීම යන්නයි. සිතාමතා කරන (චෙතයිත්වා) ඕනෑම කායික වාචසික මානසික ක්‍රියාවක් කර්ම ලෙස හැඳින්විය හැකිය. තුන්දොරින් සිතාමතා සිදුකරන ක්‍රියා වශයෙන් මේවා සැලකෙයි. සියලු මිනිස් ක්‍රියා (චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි) මහණෙනි, මම චේතනාවම කර්මය ලෙස කියමි. එසේ නම් චේතනා රහිත අසංචේතනික ක්‍රියා කර්ම නාමයෙන් ගත නොහැකිය.

බුදුන් වහන්සේ රහතන් වහන්සේ හා අන් සියලු දෙනාගේම චේතනාත්මක ක්‍රියා කර්ම නම් වෙයි. බුදුරජාණන් වහන්සේ හා රහතන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් මිදුන හෙයින් උන්වහන්සේලා කුසල් අකුසල දෙකම ඉක්මවූහ.

ප්‍රශ්නය – බෞද්ධ කර්ම පිළිබඳ විවිධ මතවාදයන්ගෙන් කිහිපයකි. මේ අතීත කර්මයක ඵල විඳිනා හෙයින් මිනිසාට වර්තමානය කැමැතිසේම හැඩගසා ගැනීමට වෙනස් කිරීමට සංශෝධන ඇතිකිරීමට පුළුවන්කමක් හෝ අයිතියක් නොලැබේ’. ලැබුණු හැටියට තෘප්ත විය යුතුය. පවත්නා සමාජ ක්‍රමය ප්‍රශ්න කිරීමෙන් කර්ම ( පින් හෝ පව්) රැස්වන නිසා පුද්ගලයෝ ක්‍රියා විරහිතව (කිසිවක් නොකර) සමාජයෙන් ඈත්වීම විශිෂ්ටතම ආගමික පිළිවෙතයි. මෙය සමාජ අභිවෘද්ධියට පටහැනි ධර්මතාවයකි. බෞද්ධ කර්ම සංකල්පය ඇසුරෙන් මෙම අදහස් සාවද්‍ය බව සනාථ කරන්න.

පිළිතුර – මෙම සාවද්‍ය මතවාද ප්‍රතික්ෂේප කිරීමට මත්තෙන් බෞද්ධ කර්ම සංකල්පය පැහැදිලි කෙරෙන විශේෂ තැන් කීපයක් හඳුනා ගනිමු.අංගුත්තර නිකායේ කම්ම නිදාන සූත්‍රයට අනුව කර්ම සමුදය සඳහා මූලික ගති 06 ක් පැවැතිය යුතුය. එනම් අකුසල් පක්ෂයට අයත් ලෝභ, ද්වේෂ, මෝහ යන තුන් තැන හා කුසල පක්ෂයට අයත් අලෝභ, අද්වේෂ,අමෝහ යන තුනයි.

ලෝභ, ද්වේෂ, මෝහ නිසා ලෝභ, ද්වේෂ මෝහයන්ම විනා අලෝභ,අද්වේෂ, අමෝහයන් නූපදී. ලෝභ,ද්වේෂ,මෝහ හේතුවෙන් සංසාරික වශයෙන් නිරය තිරිසන් පේ‍්‍රත අපායයන් හෝ අන් කිසිදා දුගතියක් විනා සුගතියක් නම් නොලැබේ යැයි එම සූත්‍රයේ සඳහන් වෙයි. මෙසේ සුගතිය හෝ දුගතිය තමන් විසින් සිදුකරන ලබන කර්ම මත රැඳේ. බාහිර බලවේග විසින් කෙරෙන පාලනයකින් තොරව තමාගේම වගකීම මත රැඳෙන බව පෙන්වයි.

ප්‍රශ්නය – අනුරාධපුර අටමස්ථානය නාමිකව සඳහන් කරන්න.

පිළිතුර – බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ලක්දිවට වැඩම කළ අවස්ථාවේදී අනුරාධපුරයට වැඩ අටමස්ථානයෙහි ධ්‍යාන සුවයෙන් වැඩහුන් බව පූජාවලියේ සඳහන් වෙයි.

අනුරාධපුර නුවරට වැඩ දකුණු මහ සෑය පිහිටි තැන මහමෙව්නා උයන මැද ශ්‍රී මහා බෝධිය පිහිටි තැන ලෝවාමහාපාය පිහිටි තැන පිරිත් ලා ගෙය පිහිටි තැන ජන්තාදර නම් පොකුණ පිහිටි තැන ථූපාරාමය පිහිටි තැන පතස් භූමියෙහි රුවන්මැලි මහා සෑය පිහිටි තැන මිහින්තලේ මහසල සෑය පිහිටි තැන යනු අටමස්ථානයයි. කලින් කළ අටමස්ථානයට අයත් වූ පූජනීය ස්ථාන වෙනස් වී ඇති බව සද්ධර්මාලංකාරයේ ඒ පිළිබඳව කර ඇති සටහනින් පැහැදිලි වේ. මහමෙව්නා උයනේ රජගෙට දකුණු දිගින් පිහිටි මාලක සීමාව උතුරෙන් පිහිටි ජන්තාඝර නම් පොකුණ, නැගෙනහිර වාසල් දොර, මහාබෝධි ස්ථානය, ලෝවාමහා ප්‍රාසාදය,ලහබත්ගෙය, චතුස්ශාලාව පිහිටි තැන, මහා භෝජන ශාලාව,රත්නමාලි චෛත්‍ය ස්ථානය, පූජාවලියෙහි අටමස්ථානය ලෙස සැලකූ ස්ථාන දෙවන වාර්තාවෙන් ඉවත්ව ගොස් වෙනත් ස්ථාන දෙකක් ඒ වෙනුවට ඇතුළත්ව ඇත. කෙසේ වෙතත් 1909 ජනවාරි 16 වන දින එවක ආණ්ඩුකාර ධුරය දැරූ එච්.ඒ. මැක්ලම් තුමා සහ අටමස්ථාන කොමිටිය මගින් අටමස්ථාන වශයෙන් පහත සඳහන් සිද්ධස්ථාන නම් කොට වර්තමාන පූජාභූමි වශයෙන් සඳහන් වන්නේද මෙම අටමස්ථානයයි.

01. ශ්‍රී මහා බෝධී ස්ථානය 02.රුවන්වැලි මහ සෑය 03. ලෝවාමහාපාය 04. අභයගිරි වෙහෙර 05. ථූපාරාමය, 06. ජේතවනාරාමය 07. ලංකාරාමය 08. මිරිසවැටිය

ප්‍රශ්නය – මේ පොසොන් මාසයයි. ශ්‍රී ලංකාවාසී අප විසින් ගෞරවනීයත්වයෙන් සිහිපත් කරන නාමයන් අතර, ඉට්ඨිය,උත්තිය, සම්බල, භද්දසාල, සුමණ සාමණේර සහ භණ්ඩුක උපාසක යන විශේෂ නාමයන් සාකච්ඡාවට බඳුන් වී තිබේ.මේ අය කවරෙක්ද?

පිළිතුර – අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කළේ තවත් තෙරවරුන් සිව් නමක් ඇතිවය. උන්වහන්සේ මෙසේ සුදුසු ගණ පූරණය සහිතව වැඩි බවක් පෙනීයයි. මධ්‍ය මණ්ඩලයෙන් බැහැර ප්‍රදේශවල පැවිදි උපසපන් කර්ම කිරීමේදී උපසපන් භික්ෂූන් පස්නමක් වත් සිටිය යුතු යැයි බුදුන් වහන්සේ අන් ශික්ෂා මඟින් ධර්ම ප්‍රචාරකයන් හට සහන සලසා දී ඇත. ඒ අනුව වේදිස ගිරියේ සිට මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම වීමේදී පැවිදි උපසම්පදා කර්මයක් කිරීමට සුදුසු තරමේ ගණ පූරණයක් සහිත භික්ෂූන් සමඟින් වැඩි බවක් පෙනීයයි. ඒ අනුව සම්පූර්ණ පිරිස මෙසේය. මිහිඳු මාහිමි, ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල,(මේ ලයිස්තුවෙන් ඉහත කාරණය පැහැදිලි වේ) මේ පිරිසට කිට්ටු නෑදැ දෙපළක් ද සම්බන්ධ වූහ. මිහිඳු හිමියන්ගේ නැඟණියන් වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණියගේ පුත් සුමන සාමණේරයන් වහන්සේ හා මෑණියන්ගේ සොහොයුරියගේ දියණියගේ පුත් භණ්ඩුක උපාසක තුමාද මෙම පිරිසට අයත්ය. එවිට සම්පූර්ණ පිරිස 07 දෙනෙකුගෙන් සමන්විත වූහ.

ප්‍රශ්නය – ධර්මානුකූලව කුසල් සිත් සියල්ල කොටස් හතරකට බෙදේ. ඒ කොටස් 04 නම් කරන්න.

පිළිතුර – කාමාවචර කුසල් සිත
රූපාවචර කුසල් සිත
අරූපාවචර කුසල් සිත
ලෝකෝත්තර කුසල් සිත

ප්‍රශ්නය – ධම්මපද ග්‍රන්ථයෙහි එන 20 වන වර්ගයේ දෙවන ගාථාවය. සරල සිංහල අර්ථය පැහැදිලි කර “සබ්බේ සංඛාරා අනිච්චාති” යන්නට පරිකථා විවරණය කරන්න.

පිළිතුර – “සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්දති දුක්ඛෙ
ඒස මග්ගො විශුද්ධියා “

ගාථා ධර්මයේ අන්තර්ගත අදහස මෙසේය. සියලු සංස්කාරයෝ අනිත්‍ය යැයි යම් කලෙක නුවණින් දකීද එකල දුකේ කළ කිරේ. මෙය නිවනට මඟ වේ.

”අනිච්චා වත සංඛාරා” සංස්කාර ධර්ම අනිත්‍ය ලක්ෂණයන් යුක්ත වන බැවින් දුකය. අනාත්ම ලක්ෂණයෙන් යුක්ත වන බැවින් අනාත්මය,අනිත්‍ය ලක්ෂණය නම් බිඳීයාමය. පිළිසිඳගත් මොහොතේ සිට දිරීම වෙනස්වීම ආදි වශයෙන් පරිහානිය කරා යොමුවීම දුක්ඛ ලක්ෂණය නම් පිළිසිඳගත් මොහොතේ සිට දිරීම,පෙලීම ආදිය නිසා ඇතිවන දුක් වේදනාවය. අනාත්ම ලක්ෂණය නම් තම කැමැත්ත අනුව මේ කිසිවක් නොපවත්නා බවය. කිසිවක් තමා යටතෙහි නොපැවැත් වෙන බවය. තමාට තම ශරීරයෙහි ආදිපත්‍යා නැති බවය.

ප්‍රශ්නය – පහත සඳහන් ධම්මපද ගාථාව ඉතා වැදගත් තොරතුරක් ඉදිරිපත් කරයි. පැහැදිලි කරන්න.

”ඉධ වස්සං වසිස්සාමි
ඉධහේමන්තගිම්හිසු
ඉති බාලො විචින්තෙති
අන්තරායාං න බුජ්ඣති”

පිළිතුර – හේමන්ත වස්සාන ගිම්හාන යැයි වර්ෂයේ ඍතු 03 කි. කුසීතව විසීම හැර සසර පැවැත්ම ගැන අඥාන පුද්ගලයෙකු පිළිබඳව කෙරෙන විස්තරයකි මේ. විනය පිටකයට අනුව හේමන්ත වස්සාන ගිම්හාන යනුවෙන් අවුරුද්දේ මාස 12 ඍතු තුනකට බෙදේ. මේ බුද්ධ කාලයේ මගධයේ නියමයයි. ඒ අනුව ඍතු 03 මෙසේය. ඉල්, උඳුවප්, දුරුතු, නවම් යන සිව්මස හේමන්ත කාලයයි. මැදින්, බක්, වෙසක් ,පොසොන් යන සිව්මස ගිම්හාන කාලයයි.ඇසළ, නිකිණි. බිනර වප් සිව්මස වස්සාන කාලයයි. හිම බහුල කාලය හේමන්තයයි. හිරුරැස් සැඩ පරුෂ කාලය ගිම්හානයයි.වැසි බහුල කාලය වස්සානයයි.

ප්‍රශ්නය – ආසව යන්නෙන් අදහස් කොට ඇත්තේ කුමණ ධර්මයක් දැයි පැහැදිලි කරන්න.

පිළිතුර –01.කාමාසව 02. භවාසව 03. දිට්ඨාසව 04. අවිජ්ජාසව

ප්‍රශ්නය – නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨිකයි. මේ කියමන ධර්මානුකූලව පැහැදිලි කරන්න.

පිළිතුර – දිට්ඨි නම් දැකීමයි. මනා දැකීම සන්දිට්ඨි නම් වෙයි. ඒ මනා දැකීමට සුදුසු වූ යමක් ඇද්ද ඒ සන්දිට්ඨිකය නවලෝකෝත්තර ශී‍්‍ර සද්ධර්මය භාවනා ප්‍රතිවේධ වශයෙන්ද දකිනු ලබන්නේ නම් සසර බිය නැවතී යයි. ඒ නිසාම වස්ත්‍රයට සුදුසු වූයේ වත්ථික වන්නාසේම මනා දැකීමට සුදුසු වූයේ සන්දිට්ඨික නම් වේ.

ප්‍රශ්නය – ආදරණීය ලෝකය පමණක් නොව ඇඳිවත පවා අහිමි වූ ඇය බුදුරජාණන් වහන්සේගේ කරුණා නෙතට ලක්වීමෙන් මෙහෙණි සස්නට ඇතුළත්ව රහත් බව ලබා විනයවාදී මෙහෙණින් අතුරෙහි අගතැන් ද ලැබුවාය. මේ තැනැත්තිය කවුද ?

රහත් මෙහෙණිය වීමට කලින් ඇයගේ ජීවන චරිතය පිළිබඳ කෙටි සටහනකික් පැහැදිලි කොට බුදුරජාණන් වහන්සේගේ කුමන ගුණයක් මෙයින් මතු වී පෙනේද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර – බුදුරජාණන් වහන්සේගේ කරුණා නෙතට යොමු වු ඇය පටාචාරා අසරණියයි. තම ස්වාමියාත් දරුදෙදෙනාත් දෙමාපියනුත් එකම සහෝදරයාත් එක දා මිය යාමෙන් සෙනෙහෙබර ලෝකය අහිමිවූ පටාචාරාවට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවට ලක් වීමෙන් සුව පත් වූවාය.

ප්‍රශ්නය – බුද්ධ චරිතයේ එන ඉතාමත් සංවේදී අවස්ථාවකි මේ.අවස්ථාව පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේ විසින් මෙම ප්‍රකාශය කවුරුන් උදෙසා කරන ලද්දක්ද?

අග්නිවෙස්න, මට මෙසේ අදහස් විය.අතීතයෙහි මහන බමුනන් විසින් විඳින ලද තියුණූ කටුක ඖපක්‍රමික දුකක් වේදනාවක් වී නම් මේ දුකම ඊට වඩා බරපතලය. වර්තමානයෙහි මහණ බමුණන් විඳින ඖපක්‍රමික තියුණු කටුක දුකක් වෙයි නම් මේ දුකම ඊට වඩා බරබතලය.

පිළිතුර – වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වූ දුෂ්කර ක්‍රියාවෙහි දුක් වේදනාවල තියුණු කටුක බව භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේගේම වචනවලින් සව්වකුට ප්‍රකාශ කොට ඇති අයුරුයි මේ.

ප්‍රශ්නය – ශක්‍ර පදවිය ලැබීමට පලමු මිනිස් බව ලැබූ බව සප්ත ව්‍රත සංයුත්තයේ එන සූත්‍රයක සඳහන් වෙයි. ඒ අනුව සප්ත ව්‍රත පද මොනවාද? සක් දෙව් පදවියේ ස්වරූපය කෙසේද ?

පිළිතුර – සප්ත ව්‍රත පද මෙසේය.
දිවිහිමියෙන් දෙමාපියන් පෝෂණය කිරීම
දිවිහිමියෙන් කුලදෙටුවන් පිදීම
දිවිහිමියෙන් මිහිරි වදන් කීම
දිවිහිමියෙන් කේළාම් බස්නොකීම
දිවිහිමියෙන් ත්‍යාගශීලි බවෙන් යුතුවීම
දිවිහිමියෙන් සත්‍යගරුක වීම
දිවිහිමියෙන් ක්‍රෝධ නොකරන්නෙකු වීම

තවද මෙම සූත්‍රයෙහිම එන පරිදි දිනක් මහාලී ලිච්ඡවී බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ සක්දෙවි රජ දුටුසේක්දැයි ඇසීය. එයට බුදුරජාණන් වහන්සේ පිළිතුර දෙයින් මහාලි මම ශක්‍රයාද දිටිමි. ශක්‍රයෙකු වීමට නිසි දහම්ද දනිමි යැයි වදාළේය.

සක් දෙවි රජ පෙර මිනිස් වූයේ මඝ නම් මාණවකයෙක් විය. මඝවා යැයි කියනුයේ එබැවිනි. මිනිස්ව සිටියදී මූලිකව දන් දුන් බැවින්ද පුරින්දද නම් විය. සකසා දන් දුන් බැවින් සක්ක යැයි කියනු ලැබේ. ආවාස හෙවත් නිවාස දන්දුන් බැවින් වාසව යැයිද අරුත් දහසක් මොහොතක සිතන බැවින් සහස්සක යැයිද කියනු ලැබේ. ශ්‍රකයාගේ භාර්යාව සුජා නම් අසුර කන්‍යාවකි. තව්තිසා දෙවියනට ආධිපත්‍යය දරන බැවින් දේවාන යැයිද කියනු ලැබේ. (මහාලී සත්ත්වත පද සූත්‍රසං:නි:)

ප්‍රශ්නය – හිමාලවාසි තවුස් පිරිසක් විසින් බුදුරදුන් ලොව පහලව සිටිතියි ඇසූ සිටුවරුන් තිදෙනෙක් බුදුන් වහන්සේ දැක බණ අසා සෝවාන් වූහ. මේ සිටුවරු තිදෙනා කවුද?

පිළිතුර – ඝෝෂිත සිටුවරයා ඝෝෂිතාරාමය, කුක්කුට සිටුවරයා කුක්කුටාරාමය, පාවාරික සිටුවරයා පාවාරිකම්භ වනය.

ප්‍රශ්නය – චීන ධම්මපද සිංහල පරිවර්තන ග්‍රන්තයකින් උපුටාගත් පාඨයකි මේ.

භාග්‍ය තාරක – “මම කියන්නේ නෑ ඔබේ දුව ලස්සන නෑ කියලා ඇය ඔබේ මිම්මේ හැටියට හරිම ලස්සනයි. ඒ වගේම මම කියන්නේ මම ලස්සන නෑ කියලා මම ලස්සනයි. මගේ මිම්මේ හැටියට” බුදුරජාණනන් වහන්සේ තමා අභියස සිටි බමුණාට පවසති.

”නෑ ස්වාමීනි ඔබ වහන්සේත් මගේ මිම්මේ හැටියට හරිම ලස්සනයි. ඒ නිසයි මගේ දුව ඔබ වහන්සේට යෝජනා කළේ. භාග්‍ය තාරක අපේක්ෂාවෙන් ආලෝකමත් වූ දෙනෙත් ඇතිව උන්වහන්සේ හමුවෙහි එසේ පවසන්නේ සිය රූබර දියණිය දෙසද අභිමානයෙන් බලමිනි. බ්‍රාහ්මණය ලස්සන ඔබ මනින්නේ පිට පෙනුමෙන් නොවේ. පිට පෙනුමෙන් මනින ලස්සන මායාවක් හරවත් දෙයක් නොවේ. බුදුරදහු ඔහුට පැහැදිලි කළහ.

ස්වාමීනි මට ඔය ධර්මයෙන් පලක් නෑ. මගේ දුව ලස්සනයි. ඔබ වහන්සේත් ලස්සනයි. ඔබ වහන්සේට මේ ලස්සන සුරූපී දියණිය ගැන ආසාවක් ඇතිවන්නේ නැද්ද ?

බුදු සිරිත හා බැදී පවත්නා මේ පුවත පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර – බුදුරජාණන් වහන්සේ කුරු රට කම්මාස්සධම්ම නම් නියම් ගමේ දී පිඬුසිඟා වඩින අතර මාගන්ධි බමුණා මුණ ගැසිණ. බුදුරදුන් ගැන පැහැද තම දියණිය විවාහ කරදීමට කළ සාකච්ඡාවකි මේ.

මාගන්ධි බමුණා බැමිණිය මේ බණ අසා අනාගාමි වූ අතර දියණිය බුදුහු තම රූසිරියාව අවමනට ලක් කළේ යැයි යන වෛරයෙන් වෙළි බුදුරදුන්ගෙන් පළිගැනීම සඳහා විවිධ උපක්‍රම යෙදීය.

ප්‍රශ්නය – පුරා පන්සාලිස් වසක් මුළුල්ලේ ඉටු කළ බුද්ධ සේවාවෙහි පරමාර්ථය පරමාදර්ශි ලෝකාර්ථ චරියාවයි. ඒ සඳහා උන්වහන්සේ වෙත භාවිත බහුලීකෘත කරුණා මෛත්‍රිය ඉන්ද්‍රඛීලයක් සේ අකම්ප්‍ය මහත්මා ශක්තියක් හේතු භූත විය. තවද තථාගතයන් වහන්සේට සැඟවිය යුතු නැති කරුණු 04 කුත් චෝදනා නොකළ හැකි කරුණු 03 කුත් ඇති බව උන්වහන්සේගේම අභීතසිංහ නාදයත් පෙළපොත්වල සඳහන් වේ. බුද්ධ චරිතයෙහි එන මේ තොරතුරු පිළිබඳ පැහැදිලි කරන්න.

පිළිතුර – සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකාය අරකේඛ්‍ය සූත්‍ර පාඨයකින් උපුටා ගත් මේ කරුණූ පැහැදිලි කිරීම වඩාත් උචිතය. මහණෙනි තථාගතයන් වහන්සේට සැඟවිය යුතු නොවන කරුණූ 04 නම් තථාගතයන් වහන්සේ පිරිසුදු කාය සමාචාරය ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා නොදනිවා කියා සැඟවිය යුතු කාය දුශ්චරිතයක් නැත. තථාගතයන් වහන්සේ පිරිසුදු වාග් සමාචාරය ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා නොදැන ගනීවා කියා සැඟවිය යුතු වාග් දුශ්චරිතයක් නැත. තථාගතයන් වහන්සේ පිරිසුදු මනෝ සමාචාරය ඇති සේක. මාගේ අසවල් දෙය අනිකා නොදනිවා කියා සැගවිය යුතු මානෝ දුශ්චරිතයක් නැත. තථාගතයන් වහන්සේ පිරිසුදු ආජීව ඇති සේක මාගේ අසවල් දෙය අනිකා නොදැන ගනිතීවා කියා සැඟවිය යුතු අපිරිසුදු ආජීවයක් නැත.

චෝදනා නොකළ කරුණු තුන නම්,

තථාගතයන් වහනසේ ස්වාක්ඛාත ධර්ම ඇති සේක. තථාගතයන් වහන්සේ ස්වාක්ඛාත ධර්ම ඇත්තෝ නොවෙතිය කියාද ? තථාගතයන් වහන්සේ නිබ්බාණගාමිණී පටිපදාව මැනවින් පනවන ලදී. තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට නිබ්බාණගාමිණි පටිපදා මැනවින් නොපනවන ලදී. සිය ගණන් ශ්‍රාවකයෝ ආශ්‍රව නැසීමෙන් ආශ්‍රව රහිත අර්හත්වය ලබා වාසය කරති. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ අර්හත්වය ලබා වාසය නොකරති යි කියා ද මේ තුන්කරුනෙන් කළ දෙවියෙකු මාරයෙකු බ්‍රහ්මයෙකු හෝ වෙනත් කිසිවෙකු මම නොදකිමි. එබැවින් මම ක්ෂේම ප්‍රාප්තව අභය ප්‍රාප්තව විශාරදව වාසය කරමි. මිහිපිට මිනිසෙකුට අකම්පිතව නොසැලී විශාරදව සිටීමට අවශ්‍ය ශ්‍රේෂ්ඨ මහත්මා ශක්තිය මෙහි අන්තර්ගතය.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි මස 25 වැනි දා බදාදා පූර්වභාග 10.54 ට ලබයි. 26 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 25 වැනිදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]