Print this Article


හුරු පුරුදුවීම් ගැන සිතා බලමු

හුරු පුරුදුවීම් ගැන සිතා බලමු

ආගම හා සංස්කෘතිය අතරත සාකච්ඡා කිරීමේදී ඉතාම වැදගත් අංග කිහිපයක් ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම අප තුළ තිබෙන සංස්කෘතික චාරිත්‍ර සමහරක් තවදුරටත් තිබිය යුතු බවට පිළිගත හැකි වගේම ඇතැම් කරුණු කාරණා පුනරාවලෝකනය කර සමාලෝචනය කර බැලූවිට සත්‍ය වශයෙන්ම තවදුරටත් පවත්වාගෙන යා යුතුද ? කියන ප්‍රශ්නය පැන නැඟෙනවා. උදාහරණයක් වශයෙන් තොරණ ඉතාමත් වටිනාකමක් තිබෙන ඉතාම ජනපි‍්‍රය ආගමික අංගයක්. බෞද්ධ තොරණවල බුදුපියාණන් වහන්සේගේ කථාපුවත් ඇතුළත් වෙනවා.

එනිසාම එය නැරඹීමට යන නව යෞවනයන් හා වැඩිහිටි පිරිස් ළමා ළපටින් පවා ආගමික මිශි‍්‍රත භාවයක් සහිත තෘප්තියක් ලැබීම වරදක් නොවේ. වෙසක් පොහොය දවස හා අනුරාධපුර පැත්තට අදාළ වන පොසොන් පොහොය දවස තොරණ බලා වෙසක් කූඩු හදන දවසක් වුවත් එම ක්‍රියාවන් අගය කරමින් වටිනාකමක් ලබාදෙන ගමන්ම සලකා බැලිය යුතු කරුණක් තියෙනවා. තොරණ සෑදීම සඳහා වැඩිවශයෙන් පුවක් ගස් භාවිතා කරන නිසා වැඩි වශයෙන් පුවක් ගස් ප්‍රමාණයක් කැපීමට සිදුවෙයි. පුවක් බෙහෙත් සෑදීමටත්, විදේශ විනිමය උපයා ගැනීමටත් හැකි අපනයන භෝගයක් වන්නා සේම පුවක් භාවිතා කරමින් සුවඳ විළවුන් වැනි බොහෝ දේ නිෂ්පාදනය කරනු ලබයි.

පුවක් ගස් පලා ගනු ලබන පුවක් පටි බෙහෙවින් සවිමත් පටි විශේෂයකි. එයින් නොයෙක් නිර්මාණ කළ හැකිය. චීනය, ජපානය, හොංකොං වැනි රටවල උණ බට යොදාගෙන අලංකාරවත් වටිනා භාණ්ඩ නිර්මාණය කරනු ලබයි. පුවක් පටිවලින් එවැනි නිර්මාණ කළ හැකියි. පුවක් ගහ වශයෙනුත්, පුවක් ගෙඩි වශයෙනුත් ඉහළ වටිනාකමක් තියෙනවා. එක සාමාන්‍ය තොරණක් බැඳීම සඳහා පුවක් ගස් සියයක් පමණ භාවිතා කරනු ලබයි. එක වෙසක් පොහොය දවසකට සාමාන්‍යයෙන් තොරණ පන්සියයක් පමණ ගැහැව්වොත් පුවක් ගස් සියයක් එක තොරණක් සඳහා කපනු ලැබුවහොත් පුවක් ගස් පනස්දහසක් කැපිය යුතුයි. මෙය තොරණ පන්සියයක ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් අප රට පුරාම ඉදිවන නිසා මෙය පාඩුවට ගණන් බැලීමක්. වෙසක් කාලයේදි පුවක් ගස් කපනු ලබන්නේ තොරණ සෑදීම සඳහා පමණක් නොවේ. පනස් දහසකට අසාන්න පුවක් ගස් ප්‍රමාණයක් තොරණ සෑදීම සඳහා කපනු ලබනවා නම් ඒ හා සමාන පුවක් ගස් ප්‍රමාණයක් පොසොන් පොහොයට කපනු ලබයි. අවුරුද්දකට පුවක් ගස් ලක්ෂයක් කැපෙන විට ඵලදාව වශයෙන් කොතරම් පුවක් ප්‍රමාණයක් අහිමි වෙනවාද? යන්න අධ්‍යයන කර බැලිමේදි වෙසක් හා පොසොන් සමඟ පුවක් ඵලදාව විශාල වශයෙන් විදේශ විනිමය ප්‍රමාණයක් රටට අහිමි වෙයි. එනිසා සංස්කෘතික වශයෙන් තොරණ ඉතාම වැදගත් වුවත්, යකඩ පලංචියක නිර්මාණය කළ හැකි තොරණක් පුවක් ගසකින් ගැසු විට සිදුවන විනාශය පිළිබඳව නැවත සිතිය යුතුයි.

සංස්කෘතියක් වශයෙන් පොල් ගසත් සමඟ අප බැඳී සිටී. තේ,පොල්, රබර් එකල අපනයන භෝග වශයෙන් පැවතුණත් වර්තමානය වන විට එය වෙනස් මුහුණුවරක් ගෙන තිබුණත් තේ, රබර් විනාශ කිරීමේ වුවමනාවක් කිසිවකුටවත් අවශ්‍ය නොවුනේ සියලුම දෙනාට එය අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වූ නිසා. නමුත් පොල් ඵලදාව විනාශ කිරීමේ කුමන්ත්‍රණකාරි ආක්‍රමණිකයන්ට විවිධ ක්‍රම යොදන අවස්ථාවලදි ඒ සඳහා උපක්‍රම යොදාගෙන යන අවස්ථාවලදී සංස්කෘතික චාරිත්‍රයක් ආකාරයට අප පොල් ගහටත් වටිනාකමක් ඇති තත්ත්වයට සංස්කෘතික වශයෙන් පත්කරල තියෙනවා. උදාහරණයක් වශයෙන් පොල් ගසක අමු අත්තක් කැපුවොත් මාස ගණනාවකින් ඵලදාව බාල වෙනවා. ගොබයක් කැපුවොත් අවුරුද්දකින් බාල වෙනවා. පුවක් මලක් කැපුවොන් ගෙඩි සිය ගණනක් ඒ අවස්ථාවේදීම නැතිවෙනවා. සාංඝික දානයකදි වුණත් මළ ගෙදරකදි වුණත් ගොක් කොළ සැරසිලි කරපු විට එම ගොබය කපන පොල් ගසේ ඵලදාව අවුරුද්දකින් අහිමි වෙනවා. පිරිත් මණ්ඩපයක් තුළ පැන් කලයත් තැන්පත් කරල ඒ පැන් බීමට දෙනු ලබන්නේ ඉතාමත් පිරිසුදු ආකාරයට පෙරීමකින් පසු සුදුරෙද්දකින්ද වසමිනුයි. එය වැසීමෙන් පුවක් මලක් රෙද්ද ඉරාගෙන යාමට දැමීම නිසා පුවක් මල වතුරට සේදෙයි. ඒත් සමඟම එම පොල් මලේ ගෙඩි සියයක් පමණ තිබෙනවා. පොල් ගෙඩි සියයක් පමණ විනාශ කරගෙන කරනු ලබන මෙම ක්‍රියාවන් විශාල සංස්කෘතික වටිනාකමක් ඇති ක්‍රමවේදයන් හැටියට වඩා ජාතික ධනය නාස්ති කිරිමේ ක්‍රමවේදයක් හැටියට දකියි. ගොක්කොළ රැහැන් ඇදීම තුළින් අලංකාරවත් ලෙස කලාත්මක වටිනාකමක් සංස්කෘතික වටිනාකමක් තිබුණත් ඉතාම පැහැදිලිව එම සංස්කෘතික වටිනාකමත් සමඟ විනාශ වී යනු ලබන්නේ කප්රුක නමින් අප විසින් හඳුන්වනු ලබන පොල් ගසයි. පොල්මල ගොක්කොළ අපගේ සංස්කෘතියට නැතුවට එය පාවිච්චි කිරීම තුළින් විශාල ආර්ථික හානියක් නොකර එවැනි ක්‍රියාවන් කළ හැකි වෙනත් ක්‍රම අප සතුව පවතිනවා. ආර්ථික වටිනාකමක් නොමැති ශාක යොදාගෙන එවැනි සැරසිලි කරගත හැකියි. සාමාන්‍යයෙන් මේ අපනයන භෝග අතරට ලංකාවේ මිනිසුන් වැඩි වශයෙන්ම ආහාරයට ගනු ලබන්නේ සහ වැඩිපුරම භාවිතයට පොල් ලබාගනී. පොල් ගෙඩියක මිල රු. 60 ක් තරමට මිල ඉහළට දමන්නේ ඉඩම් කට්ටිකර පොල්ගස් කැපීම නිසා හා දෛනිකව විශාල වශයෙන් පොල් නාස්ති කරන සංස්කෘතියක් අප සතුව තිබෙන නිසයි. පොල් තෙල් ඉතාම ශ්‍රද්ධාවෙන් බුදු පුදට යොදා ගනු ලබයි. එම පොල්තෙල් තුළින් අසූහාර දහසක් පහන් පූජා කරන විට අසූහාර දහසක් පහන් තුළට තෙල් දැමිය යුතුයි. විහාරස්ථානවල බෝධින් වහන්සේ අසල පොල්තෙල් වැක්කිරීම නිසා එම ස්ථානවල අපවිත්‍ර වුණ අවස්ථා ඕනෑතරම් දැකිය හැකි අවස්ථා තියෙනවා.

මෙම කරුණු කාරණා තුනම සංස්කෘතික වශයෙන් අගය කළ හැකියි කියලා කියන්න බැහැ.

ඉන්දියාවේ කිරි පූජාව වගේම ලංකාව තුළ වර්තමානයේදීත් නවග්‍රහ පූජාව කරන විට නවග්‍රහ පිළිම කිරිවලින්, තලතෙල්වලින් නාවනවා. ඉන්දියාවේ විශාල වශයෙන් නානුමුර පූජා පවත්වනවා. නානුමුර පූජාවේදි පිළිම වතුරෙනුත් නාවනවා. තැඹිලි වතුරෙනුත් නාවනවා, කිරිවලිනුත් නාවනවා. කෝටි ගණනක් වටිනා කිරි කානු දිගේ ගලාගෙන යනු ලබන්නේ ළමුන්ට බීමට කිරි කඳුළක් නෙමැති කාලෙක. දහස් ගණන් වියදම් කරමින් පිටිකිරි ආනයනික , පිටි වර්ග දහස් ගණන් මිලදීගන්න ජාතියක් වශයෙන් කිරිවලින් ගල් පිළිම නාවනු ලබනවා. ඉන්දියාවේ බහුල වශයෙන් සිදුකෙරුණත් ලංකාව තුළත් මෙම ක්‍රමය ඉඳ හිටවත් සිදුවෙමින් පවතිනවා.

පුවක්, පොල්තෙල් සහ කිරි වශයෙන් මෙම සංස්කෘතික අංගයක් හැටියට පාවිච්චි කිරිමට ගනු ලබන මෙම කාරණාව අප ස්වයං විවේචනයෙන් දැකිය හැකියි. කවුරු කොහොම කළද යහපත් දෙයක් නම්, යහපත් ආකාරයෙන් අගය කළ යුතුයි. කතෝලික පල්ලි තුළ පොල්වලින් ගසන ලද පොල් තොරණ තුළ පාවිච්චි කරන ලද පොල් තොරණවල අවසාන වුණ ගමන් පොල් පාවිච්චියට ගන්නවා අපට දකින්න ලැබෙනවා. පොල් ලෙලි තොරණ ඉවර වුණ ගමන් පාවිච්චියට ගනු ලබනවා. පොල් පිති තුළින් අන්නාසි, තුළින් ප්ලාස්ටික් බෝතල්වලින් සහ වෙනත් අපද්‍රව්‍ය යොදාගෙන අලංකාර නිර්මාණ කරනු ලබනවා. නිර්මාණශීලිභාවය වගේම නාස්තියක් නොවන අපරාධයක් නොවන නිෂ්පාදන නිර්මාණ වශයෙන් තියෙනවා. බෞද්ධ සම්ප්‍රදායේ ශ්‍රී ලාංකික සංස්කෘතියෙහි අගය කළ යුතු හැකි යම් යම් වැරැදි සම්ප්‍රදායන් රැසක් තියෙන බව සඳහන් කළ යුතුයි. ඒවා තවදුරටත් ස්වයං විවේචනයෙන් දැකීම තුළින් පුවක් ගස් වෙනුවට එස්ලෝන් බට හෝ යකඩ පයිප්ප පාවිච්චි කළ හැකියි. ඒ වෙනුවට පොල්මල මණ්ඩපය තුළ පුවක්මල්, පොල්මල් එල්ලිය යුතුම බවට නියමයක් නැහැ. ඒ වෙනුවට රෙදි සහ කඩදාසි පාවිච්චි කරමින් නිර්මාණ කළ හැකියි. පහන් පත්තු කිරීමට අවශ්‍යය නම් අසූහාරදහසක් පහන් වෙනුවට පහන් කිහිපයක් පමණක් පාවිච්චි කළ හැකියි. විකල්ප ක්‍රම මඟින් නාස්තිකර හුරු පුරුදු වීම් නවතා දැමීම යහපත් බවට විශේෂයෙන්ම යෝජනා කළ හැකියි.