Print this Article


යහපාලනයකට මඟ පෙන්වන ලිච්ඡවී ධර්ම

යහපාලනයකට මඟ පෙන්වන ලිච්ඡවී ධර්ම

දේශපාලනයේ දී සමාජ සාධාරණත්වයට යුක්තියට හා සදාචාරයට හිමිවන්නේ ඉතා සුවිශේෂී ස්ථානයකි. මෙකී ගුණාංගයන්ගෙන් සමන්විත දේශපාලනය යහපත් පාලනය හෙවත් යහපාලනය වශයෙන් අර්ථකථනය කළ හැකි ය. බලලෝභී දූෂිත දේශපාලකයින් බහුල වූ විට යහපාලනය ක්‍රමයෙන් වියැකී යයි. එවිට දූෂණයෙන්, වංචාවෙන්, අයුක්තියෙන් හා විසමාචාරයන්ගෙන් පිරුණු දේශපාලන සංස්කෘතියක් බිහි වේ. එය පිරිහුණු රාජ්‍ය පාලනයකි. එවන් පිරිහුණු රාජ්‍ය පාලනයකට දීර්ඝ කාලයක් පැවතිය නොහැක. මහජන බලවේගයකින් එවැනි රාජ්‍ය පාලනයක් බිඳ වැටී නැවතත් සමාජ සාධාරණයත්වය හා සාදාචාරය රජයන රාජ්‍ය පාලනයක් බිහිවීම ස්වභාවික සංසිද්ධියකි. මෙය ඉතිහාසය පුරාම අපට කියාදුන් පාඩමකි.

ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය නම් වූ පොතට එවන් පාඩමක් අලුතින් එක් කරමින් සමස්ත ශ්‍රී ලංකාවාසී පොදු මහ ජනතාවගේ සිත් සතන් තුළ නැවුම් බලාපොරොත්තු දල්වමින් ද ඉකුත් ජනවාරි 08 වෙනි දින පවත්වන ලද ජනාධිපතිවරණයෙන් නව ජනාධිපතිවරයෙක් තේරී පත් වූහ. අභිනව ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙක් ද නව අමාත්‍ය මණ්ඩලයක්ද තෝරා පත්කරගන්නා ලදී. මෙම සියල්ල සිදු වූයේ යහපාලනය නම් වූ කාලීන සමාජ අවශ්‍යතාවයක් උදෙසා බහුතරයකගේ අවධානය යොමු වීමෙහි ප්‍රතිඵලයක් වශයෙනි. යහපාලනය නම් වූ අත්‍යුදාර දේශපාලන සංකල්පය කෙරෙහි මෙතරම් සමාජ අවධානයක් යොමු වූයේ අන් කවරදාටත් වඩා දේශපාලන පරිහානියක් රට තුළ ඇති වී තිබුණු බැවිනි. මෙවැනි සංකල්පයක් ඉදිරිපත් කොට ඉතා කෙටි කලකින් ඒ සඳහා බහුතර කැමැත්ත ලබාගත හැකි වූයේ එබැවිනි. යහපාලනය නම් වූ දේශපාලනික සත්ව්‍යායාමයට මහජන වරම හිමි වී තිබේ. දැන් සිදුකළ යුත්තේ එය ක්‍රියාත්මක කොට සමස්ත පොදු මහජනතාවගේ බලාපොරොත්තුව ඉටු කිරීමයි.

වංචාව, දූෂණය, ගසාකෑම, නාස්තිය, මිථ්‍යාව, මුලාව පිටු දැක සාධාරණය, යුක්තිය, සත්‍ය, හොඳ පමණක් සමාජයේ ප්‍රසාර්ථ කිරීමේ යහපාලනය නම් වූ මෛත්‍රී දර්ශනයක් ඉදිරිපත් කරමින් අභිනව ජනාධිපතිවරයා වශයෙන් තේරී පත් වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ඉකුත් ජනවාරි 09 වෙනි දින සිය ධූරයේ දිව්රුම් දෙමින් ප්‍රකාශකර සිටියේ ධර්මිෂ්ට රාජ්‍ය පාලනයක් උදෙසා කැපවන බවයි. එදිනම අභිනව අගමැතිවරයා වශයෙන් දිව්රුම් දුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ද, ප්‍රකාශකර සිටියේ මහාපරිනිබ්බාන සූත්‍රයේ ඉගැන්වෙන ලිච්ඡවි රජ දරුවන්ගේ සප්ත අපරිහානිය ධර්මවලට අනුව ක්‍රියා කරමින් යහපාලනයක් උදා කිරීමට තමන් ද කැප වී ක්‍රියා කරන බවයි. මෙය සමස්ත ශ්‍රී ලංකාවාසී බෞද්ධ පමණක් නොව අන්‍ය ආගම් අදහන ජනතාව ද අතිශයින්ම පී‍්‍රතියට පත්වන තත්ත්වයකි. රටේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් යන දෙදෙනාම ධර්මිෂ්ට පාලනයක් උදෙසා සිය අවධානය යොමු කොට තිබීම යහපාලනය නම් වූ අත්‍යුදාරාධ්‍යාශයෙහි පෙරමඟ සුබ නිමිති වන්නේමය. සමාජය සදාචාරාත්මක වශයෙන් ද ආර්ථික වශයෙන් ද පිරිහීයාම දේශපාලන පරිහානියකි. අයුක්තිය, අසාධාරණය, දූෂණය වැනි පාපී සමාජ ධර්ම බහුල වීම මෙම දේශපාලන පරිහානියේ මුඛ්‍ය හේතුවයි. එවන් දේශපාලන පරිහානියක මෑත කාලීන පාඩම් ද සමඟින් යහපාලනයක් කරා ගමන් කරන මේ මොහොතේ දේශපාලන පරිහානියේත් අපරිහානියේත් ලක්ෂණ සාකච්ඡා කිරීම ඉතා කාලෝචිත වූවකි. බුදුරජාණන් වහන්සේ විසින් මහා පරිනිබ්බාන සූත්‍රයේ දී අජාසත් රජුගේ අමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයාට හැඟෙන පරිදි අනඳ හිමියන්ට දේශනා කරන ලද වජ්ජීන්ගේ සප්ත අපරිහානිය ධර්ම මෙම කරුණෙහි ලා ඉතා සුවිශේෂී වේ. සප්ත අපරිහානීය ධර්මදේශනා කරමින් බුදුරජාණන් වහන්සේ මෙහිදී පෙන්වා දෙනු ලැබුවේ වජ්ජී රජ දරුවන් මෙම ධර්ම ආරක්ෂා කරන තුරු කිසිවෙකුටත් ඔවුන්ව විනාශ කළ නොහැකි බවයි. එමෙන්ම මෙම ධර්මයෙන් ආරක්ෂා කරන තාක් ඔවුනගේ අභිවෘද්ධියක් මිස පරිහානියක් අපේක්ෂා කළ නොහැකි බවද පෙන්වා දුන්හ. රාජ්‍ය පාලනයේ දී ශක්තිමත් හා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තන්ත්‍රයක් ගොඩනඟා ගැනීම සඳහා අතිශයින්ම වැදගත් වූ එකී සප්ත අපරිහානීය ධර්මයත් වත්මත් රාජ්‍ය පාලනයේ දී විශේෂයෙන් යහපාලන සංකල්පය කෙරෙහි වැදගත් වන්නේ කෙසේද යන්න විමසා බැලිය යුතු ය.

සප්ත අපරිහානීය ධර්මයන්ගෙන් පළමු අපරිහානීය ධර්මය ලෙස දැක්වෙන්නේ නිතර රැස් වී සාකච්ඡා කිරීමයි. නිතර රැස් වී සාකච්ඡා කිරීම රාජ්‍ය පාලනයේ දී ඉතා අත්‍යවශ්‍යම වූ කරුණකි. විශේෂයෙන්ම යහපාලනයක් ගොඩනැඟීමට නම් ස්ව මතයට වඩා පොදු මතයට ප්‍රමුඛත්වය දී ක්‍රියා කිරීම වැදගත් වේ. රාජ්‍ය පාලනයේ දී පැනනඟින ප්‍රශ්න ගැටලු අර්බුද විසඳා ගත හැක්කේ මෙසේ නිතර රැස් වී සාකච්ඡා කොට පොදු මතයට මුල් තැන දී ක්‍රියා කිරීමෙන් පමණි.

සමගිව රැස්ව සමගිව තීන්දු තීරණගෙන සමගිව විසිර යාම අපරිහානිය ධර්මයන්ගේ දෙවෙනි කරුණ යි. දේශපාලකයින් හා දේශපාලන පක්ෂ සමඟිව ක්‍රියා කිරීම අවශ්‍යයෙන්ම සිදුවිය යුතු එහෙත් ඉතා දුර්ලභ වූ සංසිද්ධියකි. බලකාමයෙන් හා අධිමානයෙන් අන්ධ වූ රාජ්‍ය පාලකයින් ආත්මාර්ථකාමී පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා උනුන් පරයා යමින් ක්‍රියා කරති. මෑතකාලීන දේශපාලන පසුබිම විමසීමේ දී මෙවැනි දේශපාලකයින් බහුල එමෙන්ම ඔවුන්ගේ මැරවැරකම්වලින් ආකුල වූ සමාජ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනු දැකිය හැකි විය. දේශපාලන පක්ෂ අතර වාදභේද, මතගැටුම්, විසංවාද බහුල වූවා පමණක් නොව ඒවා පුද්ගල ගැටුම් දක්වා දුරදිග ගොස් ඔවුනොවුන් ගහ මරා ගන්නා යුගයක් උදා වී තිබෙනු දක්නට ලැබුණි. විරුද්ධ මත දරන දේශපාලන පක්ෂ අතර මතගැටුම්, විසංවාද ඇතිවීම සාමාන්‍ය සංසිද්ධියකි. එහෙත් එකම පක්ෂයක් තුළ ක්‍රියා කරන දේශපාලකයින් අතර ද මතගැටුම්, විසංවාද ඇති වී ඒවා පුද්ගල ගැටුම් දක්වා දුරදිග යාම අසාමාන්‍ය වූ පරිහානිකර තත්ත්වයකි. පසුගිය දේශපාලන සමයෙහි අප රට තුළ එබඳු සිද්ධීන්ගෙන් ද බහුල වූ සමාජයක් බිහි වී තිබුණි. රටේ උත්තරීතර සභාව වන පාර්ලිමේන්තුව තුළ පවා එබඳු සිදුවීම් දක්නට ලැබීම මෙම පරිහානිකර තත්ත්වයේ උච්චතම අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. අතීත අමිහිරි අඳුරු අත්දැකීම් ද සමඟින් යහපාලනයක් උදෙසා පෙළ ගැසෙන මේ මොහොතේ සියලු දෙනා සමගිව පෙරමුණ ගෙන සිටිනු දක්නට ලැබීම සතුටට කරුණකි. එකිනෙකට විරුද්ධ මත දැරූ බොහෝ දේශපාලකයින් මෙන්ම දේශපාලන පක්ෂ ද අද එකට එක් වී සිටිති. විසංවාද වෙනුවට සංවාද බහුල වූ තත්ත්වයක් උදා වී තිබේ. බලකාමය, ආත්මාර්ථය වෙනුවට පොදු අරමුණක් උදෙසා සියලු දෙනාම සමඟිව රැස් ව සිටිති. ස්වමතය පසෙක ලා පොදු මතයට ප්‍රමුඛත්වය දෙමින් තීන්දු තීරණ ගන්නා ආකාරයක් ද දැකිය හැකිය. මෙය අපරිහානීයකර වූ තත්ත්වයක උදාවකි. එදා ලිච්ඡවි රජ දරුවන් අනුගමනය කළ මෙම අතිශ්‍රේෂ්ඨ වූ රාජ ධර්මය යම්තාක් අනුගමනය කරන්නේ ද ඒතාක් යහපාලනය නම් වූ සුගන්ධිත පුෂ්පය පර වී නොයනු ඇත.

ලිච්ඡවී රජ දරුවන් අනුගමනය කළ තුන්වෙනි අපරිහානීය ධර්මය නම් නීතිගරුක රාජ්‍ය පාලනයයි. මෙහි දී විශේෂයෙන්ම නව නීතිරීති පනවනවා වෙනුවට පවතින නීති රීතීන් ආරක්ෂා කරමින් කටයුතු කිරීම අවධාරණය කොට තිබේ. නො පැනවූවක් නො පනවතී, පැනවූවක් නො සිඳිති යනුවෙන් එය දක්වා තිබේ. රාජ්‍ය පාලනයේ දී පාලකයින් හා පාලිතයින් යන උභය පාර්ශවයම නීති ගරුකව ක්‍රියා කිරීම අවශ්‍යයෙන්ම සිදුවිය යුත්තකි. ඉහත කරුණ මෑත කාලීන දේශපාලනයට සම්බන්ධකොට විමසීමේ දී දක්නට ලැබුණේ හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ වූ තත්ත්වයකි. නීතිය රකිනවා වෙනුවට ඇතැම් දේශපාලකයින් නීතිය අතට ගෙන ක්‍රියා කරනු දක්නට ලැබුණී. බලය හා ධනය හමුවේ නීතිය වල්වැදී අවනීතිය රජ කරන යුගයක් උදාවෙමින් තිබුණි. රටේ පොදු යහපත වෙනුවෙන් යම් නීතියක් පැනවීමේ බලය රාජ්‍ය පාලකයින් සතුවන අතර එසේ නීති පැනවීමේ වරදක් ද නොමැත. එහෙත් මෑත කාලීන දේශපාලන ඉතිහාසය තුළ අප රටෙහි එබන්දක් සිදුවූයේ නම් ඒ ඉතා කලාතුරකිනි. බොහෝවිට සිදුවූයේ හුදු ආර්ථික ලාභ ප්‍රයෝජන තකා අණ පනත් සම්මත කරවා ගැනීමයි. එහෙත් එමඟින් ද සිදුවූයේ සමාජ ආර්ථික පරිහානියක් මිස වර්ධනයක් නොවේ. යහපාලනය වදනට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නම් පාලකයින් මුලින්ම නීති ගරුක විය යුතු ය. යහපාලනයක් ඇතිකිරීම උදෙසා දැනට රටේ පවතින නීති රීතින් හොඳටම ප්‍රමාණවත් ය. කළ යුත්තේ පවත්නා නීති රීති අකුරටම ක්‍රියාත්මක කිරීමයි.

ලිච්ඡවීන්ගේ සිව්වන අපරිහානීය ධර්මය නම් වැඩිහිටියන්ට ගරු බුහුමන්, පුද සත්කාර සිදුකිරීමයි. එය ඔවුන් අතුරෙහි යම් මහළු කෙනෙක් වෙත් නම් වජ්ජිහු ඔවුනට සත්කාර කරති, ගරු කරති, බුහුමන් කරති, පූජා කරති, ඔවුන්ගේ බස ඇසිය යුත්තක් යැයි සිතති යනුවෙන් දක්වා තිබේ. වැඩිහිටියා යනු බොහෝ අත්දැකීම්වලින් පරිපූර්ණ පුද්ගලයායි. වයසින් මෙන්ම උගත්කමින් ද ජීවන අත්දැකීම් වලින් ද සමාජමය ඤාණයෙන් ද පරිපූර්ණ වූ තැනැත්තා වැඩිහිටියෙකු ලෙස සලකනු ලැබේ. රාජ්‍ය පාලනයේ දී මෙවැනි උගත් වැඩිහිටියන්ගේ මඟපෙන්වීම අවශ්‍ය වූවකි. රටක සදාචාර සංවර්ධනයත් ආර්ථික සංවර්ධනයත් යන දෙකම ඇතිවන්නේ උගතුන් බුද්ධිමතුන් අතිනි. එහෙත් මෙතෙක් සිදුවූයේ උගතුන් බුද්ධිමතුන් බැහැරකොට නූගතුන් ළංකර ගැනීමයි. තමන්ගේ පැවැත්ම අරභයා ඕනෑම කෙනෙකු ඔහු දූෂිතයෙක්, වංචනිකයෙක්, අපරාධකාරයෙක්, නූගතෙක්, වුවද තමන්ගේ පිලට එක්කර ගැනීම සිරිතක්ව පැවතුනි. සුදුස්සා, අත්දැකීම් බහුල තැනැත්තා පසෙකට ඇද දමා අඳ බාල නූගතුන් ළංකර ගැනීමේත්, ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමේත් ප්‍රතිවිපාක අප ඇස් පනාපිටම දක්නට ලැබුණි. යහපාලනය කරා ගමන් කරන මෙවන් මොහොතක එකී අත්දැකීම් පාඩම්කොට ගෙන සුදුස්සාට සුදුසු තැන දී ක්‍රියා කිරීමට පාලකයින් වගබලා ගත යුතු ය. උගත් බුද්ධිමත් වැඩිහිටියන්ට සමාජයේ නිසි තැන ලබාදිය යුතු අතර සැමවිටම ඔවුන්ගේ අවවාද උපදෙස් මඟ පෙන්වීම් ලබාගෙන ක්‍රියා කළයුතු ය.

පසුගිය කාලය පුරාවටම සුරාව, සූදුව මෙන්ම සමාජ දුරාචාරයන්ගේ වැඩිවීමක් අප රට තුළ දක්නට ලැබුණි. යම් යම් දේශපාලකයින්ගේ අනුග්‍රහය ඇතිව මහාපරිමාණයෙන් මෙබඳු දුරාචාර ක්‍රියාත්මක වීම අතිශයින්ම ඛේදනීය තත්ත්වයක් විය. සදාචාරවත් සමාජයක කාන්තාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මවක්, සොහොයුරියක්, බිරිඳක්, කුල කාන්තාවක් වශයෙන් සදාචාරවත් සමාජයක් බිහිකිරීම උදෙසා ඇය ඉටුකරන මෙහෙය අපමණය. එබඳු භූමිකාවක් සතු කාන්තාව සමාජයේ නිහීන තත්ත්වයකට ඇද දැමීම නම් වූ මහා පාප කර්මයෙහි අයිතිකරුවන් වන්නේ එකී සමාජය පාලනය කරන රාජ්‍ය පාලකයින්ය. කාන්තා හිංසනය, ස්ත්‍රී දූෂණය වැනි සමාජ අපරාධයන්ගේ ද වර්ධනයක් පසුගිය කාලය තුළ දක්නට ලැබුණි. මෙම සියලු කරුණු සමාජ පරිහානියට සෘජුවම බලපාන සාධකයන්ය. එබැවින් සාදාචාරවත් සාධාරණ සමාජයක් ගොඩනැඟීමට නම් යහපාලනය තුළින් මෙකී සමාජ අපරාධවලට හා දුරාචාරයන්ට තිත තැබිය යුතු ය. කාන්තාවට සමාජයේ නිසි තැන හා ගෞරවය ලබා දිය යුතු ය. කාන්තාව ආරක්ෂා කළ යුතු ය. මෙය ලිච්ඡවින් අනුගමනය කළ පස්වෙනි අපරිහානීය ධර්මයයි. එනම් කුල ස්ත්‍රීන්, කුල දුහීතෲන් ආරක්ෂා කිරීමයි. ලිච්ඡවීන්ගේ හයවන හා හත්වන අපරිහානිය ධර්මය දෙකෙන්ම පෙන්වා දෙන්නේ ආගමික අංශය කෙරෙහි රාජ්‍ය පාලකයා කෙසේ පිළිපැදිය යුතු ද යන්නයි. ඒ අනුව හය වැන්නෙන් රාජ්‍ය පාලකයා ආගමික පුද පූජා චාරිත්‍ර විධි ආදිය මැනවින් නොපිරිහෙලා ඉටු කළ යුතු බවත් හත්වැන්නෙන් ආගමික නායකයින් මැනවින් ආරක්ෂා කළ යුතු බවත් පෙන්වා දී තිබේ. සදාචාරවත් රටක් සමාජයක් බිහිකරලීමේ ප්‍රධාන වගකිවයුත්තන් අතරට එරට ජීවත්වන ආගමික නායකයින් ද ඇතුළත් වේ. සදාචාරවත් මිනිසෙකු නිර්මාණය කිරීම නීතියෙන් පමණක් කළ නොහැක්කක් බව දැන් මැනවින් පසක් වී තිබේ. ඒ සඳහා ආගමික මඟ පෙන්වීමක් ද අවශ්‍යය. එම ආගමික මඟ පෙන්වීම සිදු කරනුයේ ආගමික නායකයින් විසිනි. මෙහිදී රාජ්‍ය පාලකයින් කළ යුත්තේ ආගම් හා ආගමික නායකයින් මැනවින් ආරක්ෂා කිරීමයි. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමයි. ආගමික නායකයින් විසින් ලබාදෙන උපදෙස් පිළිපැදීමයි. දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආ ආගමික පුද පූජා හා චාරිත්‍ර විධි එම ජාතියේ අනන්‍යතාවය හා ප්‍රෞඪත්වය විදහා පාන කැඩපතක් බඳුය. එබැවින් වගකිව යුතු රාජ්‍ය පාලකයින් එකී ආගමික පුද පූජා හා චාරිත්‍ර විධි නොපිරිහෙලා මැනවින් ඉටුකළ යුතු ය.

රටක රාජ්‍ය නායකයා ආගමික ඉගැන්වීම් වලින් හික්මුණු දැන උගත් පුද්ගලයකු විය යුතු ය. නිහතමානී අවංක සාධාරණ පුද්ගලයකු විය යුතු ය. අප රටෙහි වත්මන් රාජ්‍ය නායකයා සතුව ඉහත ගුණාංග ඇති බවට විශ්වාසය තැබිය හැකිය. “වෛරයෙන් වෛරය නොසන්සිඳේ, වෛරයට ආදේශ කළ යුත්තේ අවෛරයයි” ඔහු ඉදිරිපත් කළ මෛත්‍රී දර්ශනය එයයි. ඒ අනුව පලි ගැනීම, මෛත්‍රී පාලනයේ පිළිවෙත නොවිය යුතු ය. සංවේදී නායකත්වයක් ආගමික ශික්ෂණය තුළින් පෙන්වා දී තිබේ. අසංවේදී තත්ත්වයක් නායකත්වයෙන් පිළිබිඹු වුවහොත් එතැන යහපාලනයක් ඇතිවන්නේ ද නැත. එවිට නැවතත් උදාවන්නේ පරිහානිකර තත්ත්වයක්මය.