Print this Article


අසූ වියට පා තබන හොරවල ආනන්ද හිමි

අසූ වියට පා තබන හොරවල ආනන්ද හිමි

2015 ජනවාරි 25 වන දිනට 80 වන වියට පා තබන හොරවල ආනන්ද හාමුදුරුවෝ ගුණවත්ය. සිල්වත්ය. උන්වහන්සේ දකුණුූ පළාතේ බෙන්තර වළල්ලාවිට කෝරළයේ හොරවල නම් ඉපැරණි ගම් පියසෙහි විසූ පල්ලේ ආරච්චිගේ ජේමිස් අප්පුහාමි සහ හොරවල විතානයේ පුංචි නෝනා ගුණවර්ධන යන දෙමාපියන්ට දාව 1935 ජනවාරි මස 25 වන දින මෙලොව ජනිත විය.

මූලික අධ්‍යාපනය ඉඳුරුවේ කටුකොළිහෙ ශී‍්‍ර සද්ධර්මෝදය පිරිවෙණෙන් ලැබූ අතර පුරාකෘත පුණ්‍ය මහිමයෙන් කළුතර ඤාණවිමලාභිධාන ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ ශිෂ්‍යරත්නයක් ලෙස 1947 ජනවාරි මස 31 දින හොරවල ආනන්ද සාමණේරයන් වහන්සේ නමින් පැවිදි විය.

තත් පිරිවෙණෙන්ම ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට උගතමනා බණ දහම් උගෙන විසි වයස් සම්පූර්ණ ව 1954 ජුනි 10 වන දින රාජ පුජිත මල්වතු මහා විහාරයේදී උපසම්පදා ශීලයෙහි පිහිටියේ මල්වතු පාර්ශ්වයේ ශී‍්‍රමත් මහානායක රඹුක්වැල්ලේ ශ්‍රී ධර්ම රක්ෂිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.

හොරවල ආනන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ දක්ෂ පිරිත් දේශකයන් වහන්සේ නමක් වන අතර පෞරාණික සිරිත් විරිත් අගයමින් ස්වකීය ආගමික සාමාජික ජාතික මෙහෙවර ඉටුකරනු ලබන අතර ගිහි පැවිදි සැමගේ ගෞරවයට පාත්‍රවෙමින් වැඩසිටින උන්වහන්සේ සරල සුගම අපිස් දිවියක් ගත කරනු ලබයි.

උන්වහන්සේගේ 80 වන ජන්ම දිනය නිමිති කරගෙන පින්කම් රැසක් ගල්පොත්ත පුරාණ විහාරධිපති උළුවිටකේ වජිරඤාණ හිමියන්ගේ සහ විහාරාධිකාරි මාබොටුවන චන්දානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුකිරීමට නියමිත අතර 2015 ජනවාරි මස 25 වන දින විශේෂ ගිලන්පස බුද්ධ පූජාවක් මහනුවර ශ්‍රී දළදා මන්දිරයේදී පැවැත්වීමටද සංවිධානය කර ඇත. ශීලවෘද්ධ , ගුණවෘද්ධ, තපෝවෘද්ධ, හොරවල ආනන්ද ලොකු හාමුදුරුවන් වහන්සේට උතුම්වු ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ශත වර්ෂාදී කාලයක් නිදුකින් නිරෝගීව ලෝ සසුන් වැඩ වසන්නට ශක්තිය හා ධෛර්ය ලැබේවා.