UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය
දස කුසල කර්මයන්ගෙන් පළමුවැන්න දානයයි. දසපාරමිතා –සතර සංග්‍රහ වස්තු දාන – ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වලින්ද, පළමුවැන්නයි. දාානය. දානයෙන් ආරම්භවන දහම් මග ත්‍රිවිධ ප්‍රභේද වශයෙන් ධර්මයෙහි සඳහන් වෙයි. පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර
බෝසත් පිළිවෙතෙහි ආරම්භය වූ දානය ධර්මදාන හා ආමිසදාන වශයෙන් ප්‍රභේද ගත වෙයි. බුදුරදුන් වදාළ තුන් පිටකයෙන් එක් ගාථාවක්වත් පුහුණුකොට සසර දුකින් මුදවමියි යන කරුණාවෙන් දහම් කියා දීමද, අනුන් ලවා බණ කියවා දීම හා ලියා දීමද ධර්ම දාන නම් වෙයි. භික්ෂූන් වහන්සේලා වෙත සිවු පස දානයද යාචකාදීන්ට වස්ත්‍රාභරණ ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමද ආමිස දාන නම් වෙයි. ආමිස දානය දශ විධ වූ දාන වස්තු වශයෙන් අටුවා ග්‍රන්ථවල විචිත්‍රව සඳහන් වෙයි.

අන්නංපානං ඝරං වත්ථං
යානං මාලා විලෙපනං
සෙය්යා වස්ථච දීපෙය්‍යං
දාන වස්තු ඉමෙ දස

ආහාර දාන නම් ඇල්හාල් ආදී වූ සප්ත විධ ධාන්‍යයන් ගෙන් කළ ආහාර දානයයි.

මීපැණි මුද්‍රිකාදී පාන වර්ග විවිධ වූ වස්ත්‍ර –ඉදොලි දොලි කූනම් ආදී යානවාහන ගෙතු නොගෙතූ දෑසමන් ආදී පුෂ්පමාලා දානයන්ද කස්තුරි කපුරු සුවඳවත් ද්‍රව්‍ය දානය සඳුන් කසා ගොරද, කොකුම් ආදී විලේපන දානයද ආසන දානයද පහන්වැටි පහන්තෙල් දානයද ආදිය දශවිධ වූ දාන දහම් පොත පතෙහි සඳහන් වෙයි.

මෙම ආහාරාදී දානවස්තූන්ගේ යහපත් වූ මනා නුවණ පෙර දැරිකොට ඇති යම් දීමෙක් වේද එම දීම අග්‍ර දානය වශයෙන් බුදුවරු මෙසේ පසස්නා ලදහ.

අන්නාදි දාන වස්තූනං
චාගො සුබුද්ධි පුබ්බකො
යො තං දානන්ති දීපෙති
බුද්ධො දානග්ග දායිනො

ප්‍රශ්නය
බුදු දහමට අනුව දානය පවත්වන දායකවරුන් වශයෙන් දානදාසය –දාන සහායක දානපති වශයෙන් තිදෙනෙකු ගැන කියවෙයි. අප ජීවමාන ලෝකයෙහි සමාජගත මේ තිදෙනා හඳුනාගැනීම සඳහා දහම් මග පැහැදිලි කරන්න.

පිළිතුර
තමන් මිහිරි දෙය වළඳා අමිහිරි දෙය අනුන් සඳහා දෙන වස්තුව කෙරෙහි නිරතුරුව ලෝභසිත් ඇතිව වස්තුව කෙරෙහි දාසභාවයෙන් යුතුව වෙසෙන්නා “දානදාස” නම් වෙයි. මිහිරි අමිහිරි බව නොසලකා තමා අනුභව කරන පරිදි තම සන්තකය සහායක යහළුවෙකු සේ සලකා දන් දෙන තැනැත්තා දාන සහායක නම්වෙයි. අපහසුතාවයන් කෙතෙක් ලැබුණත් අනුන්ගේ යහපත උදෙසා පරිත්‍යාග ශීලි තැනැත්තා දානපති නම් වෙයි. දානපති තැනැත්තා බුදු දහමට අනුව වඩාත් ඇගයුම් කරනු ලබන්නේ මෙත් සිතින් සාධාරණව දන්වැට පවත්වමින් පූර්ව චේතනා මුංචන චේතනා අපර චේතනා යනුවෙන්

පුබ්බේව දානා සුමනො
දදං චිත්තං පසාදයං
දත්වා අත්තමනො හොති
එසා යඤ්ඤස්ස සම්පදා ති

මෙසේ තුන් සිත පහදවා දන්දීමෙන් දානමය කුසලය සපුරාලන බව බුදුදහම අවධාරණය කරයි.

ප්‍රශ්නය
මෙම සූත්‍ර පාඨය කෙරෙහි අවධානය යොමු කරන්න

සක්කස්ස භික්ඛවෙ දෙවානමින්දස්ස පුබ්බේ මනුස්ස භූතස්ස සත්ත වතපදානී, සමත්තානි සමාදින්නානි අහෙසුං යෙසං සමාදින්න ත්තා සක්කො සක්කත්තං අජ්ඣගා

(සං.නි. සක්ක සංයුත්ත)

එම සූත්‍ර පාඨයෙහි සිංහල අනුවාදයට අනුව දෙවියන්ට දේව වූ සක්‍රයා දෙවියන් අතර බුහුමනට ලක්වූයේ ‘සත්තවතපදානි පිළිවෙත් “සතක්” පිරීම හේතුවෙනි. “පුබ්බේ මනුස්ස භූතස්ස” පෙර මිනිස්බව ලැබූ ශක්‍රයා” දේවාතිදේව ශක්‍ර” බවට පත්වූ මෙම සක්විති වත වර්තමානික ජීවමාන ප්‍රතිපදාවකි. මෙම සක්විති වත යනු මොනවාද?

පිළිතුරු
මිනිසත් බවින් සක්විති පදවිය දක්වා අනුගමනය කළ යුතු සක්විති වත් මෙසේය.

1.දිවිතිබෙන තුරා මව්පිය පෝෂණය කිරීම

2. දිවිහිමියෙන් (යාවජීවං) කුලදෙටුවන් පුදන්නෙමි

3.දිවි තිබෙන තුරා මිහිරි වචනය භාවිතා කරමි

4.දිවිහිමියෙන් කේළම් කීමෙන් වළකිමි

5.දිවිහිමියෙන් මසුරු බවින් මිදී. පරිත්‍යාගශීලි වීම

6. දිවිහිමියෙන් දීමෙහි ඇලුනෙමි වෙමි

7. දිවිහිමියෙන් සත්‍යගරුක වීමි

මෙම සක්විති වත් පිරූ මිනිසා සක්විති බවට පත්ව දෙවියන්ටද එම පිළිවෙත්හි පිහිටන්නා අනුශාසනා කළහ. තව්තිසා වැසි දෙවියො තං වෙ දෙවා තාවතිංසා ආහු සප්පුරිසො ඉතීති යනුවෙන්. මෙම පුර්සෝත්තමයා සැබැවින්ම සත්පුරුෂයෙක් යැයි පසස්නා ලදහ.

ප්‍රශ්නය
මිනිසා තුළ අනිවාර්යයෙන්ම පැවැතිය යුතු සද්ගුණයන් අතර අජ්ජව මජ්ජව සොවචස්සතා කළ්‍යාණ මිත්තතා ප්‍රධාන වෙයි. මෙම සද්ගුණයන් පැහැදිලි කරන්න.

පිළිතුර
අජ්ජව හෙවත් ඍජුකම නම් නොපැකිල තීරණ ගැනීමේ ශක්තියයි. මජ්ජව හෙවත් මෘදුකම නම් යමක යථාර්ථය අවබෝධ වූ විට එය පිළිගෙන කාරුණික වීමේ මහාත්ම ගුණයයි. පුද්ගල ජීවිතය විනාශ කරන එක් කරුණක් නම් අකීකරුකමයි. එහි යහපත් පැවැත්ම සුසික්ඛිත බවයි .පාප මිත්‍ර සේවනයෙන් වෙන්වීමත් යහගුණයෙන් පිරි ‘පණ්ඩිතානංච සේවනා” උගතුන් බුද්ධිමතුන් ඇසුර කළ්‍යාණ මිත්‍ර සේවනයයි.

ප්‍රශ්නය
බුදු දහමෙහි “සෙය්‍යා යනුවෙන් සඳහන් වන්නේ ‘යහන්ගතවීමයි” හෙවත් නිදා ගැනීමයි. යහන්ගත වීම පිළිබඳව එක්තරා ක්‍රම වේදයක් බෞද්ධ ආචාර ධර්ම ඇතුළත් වේයි. එම ක්‍රමවේදය කුමක්ද?

පිළිතුර
පෙතසෙය්‍යා (පිශාචයෙක් යහන්ගත වීම

කාමයෝගී සෙය්‍යා – කාමාශක්ති තැනැත්තෙකු සයනය

සීහ සෙය්‍යා – සිංහයෙකු යහන්ගතවීම

තථාගත සෙය්‍ය– තථාගතයන් වහන්සේ සැතපෙන ආකාරය

මේවා අතරෙන් සිංහ සෙය්‍යය සහ තථාගත සෙය්‍යාව විශේෂවෙයි. සිංහයා දකුනැළයට බරව සයනය කරයි. හේ අවදිව උඩු කය ඍජුව තබාගෙන සියලු ශරීර අවයවයන් විමසා බලයි.

තම ශරීරවයන් විසිරීමක් වේ නම් ඔහු අසතුටට පත්වෙයි. තථාගත සෙය්‍යය නම් තථාගතයන් වහන්සේ ප්‍රථම,ද්විතීය , තෘතීය, චතුර්ථ ධ්‍යානවල පිහිටා සැතැපීමයි.

ප්‍රශ්නය
බුදු දහමට අනුව මදයෙන් මත්වීම සදාචාරයට මෙන්ම දෙලොවටම අහිතකර ක්‍රියාවකි. එවැනි මදයන් (මත්වීම) තුනක් පිළිබඳව දේශනා පාලියෙහි දක්නට ලැබේ. ඒ මොනවාද?

පිළිතුර
දී.නි. සංගීති සූත්‍රය

බුදු දහමට අනුව මත්වීම, උඩඟුකම (අහංකාරකම) ආදී මිනිස්ගති එක හා සමානව විවරණය වෙයි. ඒ අනුව

1.ආරෝග්‍ය මදය

නිරෝගී බව නිසා උපදනා මදය

යෞවන මදය

තරුණකම නිසා උපදනා මදය

ජීවිත මදය

බොහෝකල් ජීවත්වීම හා ඒ පිළිබඳ කැමැත්ත ආදී තම දිවි පැවැත්ම නිසා උපදනා උඩඟුකම .

 

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 04.39 ට ලබයි. 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 06 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14

Full Moonඅමාවක

දෙසැම්බර් 21


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]