UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

සදහම් දැනුම

ප්‍රශ්නය – මහලු කාලය හා මරණය අසිරිමත් එකක් වනු දැක්ම සඳහා අවශ්‍ය කරුණු දශයක් ‘ජනසන්ධ’ ජාතක දේශනා වෙහිදී බෝසත්හු වදාළහ. ඒ මොනවාද?

පිළිතුර – අලද්ධා චිත්තං තප්පති, පුබ්බේ අස මුදානිතං

ඉති පච්චානු තප්පති

ධනය රැස්කළ හැකි තරුණ කාලයෙහි දී ධනය සඳහා උනන්දු නොවී මහලු කල අපතේ ගිය තාරුණ්‍ය දෙස බලා පසුතැවිල්ලට පත්වන්නේය.

සක්‍ය රූපං පුරෙ සන්තං
මයා සිප්පං න සක්ඛිතං
කිච්චා වුත්ත අප්ප සිප්පස්ස ඉති පච්චානු තප්පති

උගතමනා කල ශිල්ප ඉගෙන නොගෙන මහලු කල අතීතය දෙස බලා උගත යුතු බාල කාලය අපතේ හැරීම මෙන්ම මා විසින් ශිල්ප නූගත්තා සේම ශිල්ප නොදත් මට ජීවත්වීමද අපහසුතාවය මහලු කල දැනීමෙන් වඩාත් පසුතැවිල්ලට පත්වන්නේය.

කූටවේදීපුරෙ ආසිං පිසුණෙ විට්ඨිමංසිකො
චණොඩාච ඵරුසොවාසිං ඉති පච්චානු තප්පති

පෙර මම කපටිකම් කළෙමි. කේළාම් කියන්නෙක් වීමි. අල්ලසට ඇබ්බැහි වූයෙක්මි, නපුරු සිත් ඇත්තෙක් වූයෙමි. මගේ අතීතය මෙසේ වූයේ යයි වර්තමානය මහලු වියෙහි දී බලවත් සේ දුකකට පත්වන්නේය.

පාණාතිපාතී පුරේ ආසං ලද්දෝවාපි අනාරියො
භූතානං නා පවායිස්සං ඉති පච්චානු තප්පති

මගේ අතීතය ප්‍රාණ වධය කෙරෙමින් නපුරු දිවි මඟකට ගියෙමි. මෙත් සිතින් බැහැරව පාපකාරි දිවියකම ගතකළ මගේ අතීතය මට වධයක් වන්නේ යැයි මහලු කල ඔහු සිතයි.

බහුසු වත සාන්තීසු ආනාපාදාසු ඉත්ථිසු
පදෙරං අසෙවිස්සං ඉති පච්චානු තප්පති

පරදාර ගමනය මගේ එක් දුරාචාරයකි. අස්වාමික ස්ත්‍රින් සොයමින් පරදාර සේවනය කළෙමි. අතීතය මට අමිහිරිය. මහලු වියට පත් මම පසුතැවිලි වෙමි.

බහුම්පි වත සන්තම්හි අන්නපානෙ උපට්ඨිතෙ
න පුබ්බේ අදදිං දානං ඉති පච්චානු තප්පති

බොහෝ වත්කම් ඇතිව සිටි මම දන් නොදුන්නෙමි. අතීතයෙහි නුදුන් දේ ගැන සිත සිතා පසුතැවිලි වෙමි.

යො මාතරං පිතරංවා ජින්ණකං ගතයෙබ්බනං
පහුසන්තො න පොසිස්සං ඉති පච්චානු තප්පති

මම පෙර කාය හා ධන බලය ඇතිව සිටියදී මහලු වී දුබලව විසු මාපියන් පෝෂණය නොකළෙමිය. මාපිය උපස්ථානය නොකොට පසුතැවිලි වන්නේය.

ආචරිය මනුස්සත්ථාරං සබ්බ කාම රසාහරං
චිතරං අතිමඤ්ඤිස්සං ඉති පච්චානු තප්පති

මාගේ ආචාර්ය වූ ද අනුසාසක වූද කැමැති සියලු රසයන් ගෙන දී මා පෝෂණය කළ වූද මාගේ පියාණන්ට මම අකීකරු වීමියි. එසේ කළ තැනැත්තේ පසු කාලයේදි තැවෙන්නේය.

සමණො බ්‍රාහ්මණො චාපි සීලවන්තෙ බහුස්සුතෙ
න පුබ්බේ පයිරුපාසිස්සං ඉති පච්චානු තප්පති

උගත් සිල්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මම පෙර ඇසුරු නොකළෙමියි එසේ නොකළ තැනැත්තේ පසු කාලයේදී තැවෙන්නේය.

සාධූ හොති තපො චිණ්ණො සන්තොච පයිරුපාසිනො
නච පුබ්බේ තපො චිණ්ණො ඉති පච්චානු තප්පති

සුචරිතයෙහි හැසිරිය යුතු අවස්ථාවෙහිදී හැසුරුණේ නම් ඉතා යහපත්ය. සද්පුරුෂයන් සේවනය කරන ලද්දේ නම් ඉතා යහපත්ය. මා ඒ එකකුත් නොකරන ලද්දේ යැයි ප්‍රමාද වූ තැනැත්තේ මරණාසන්නයෙහිදී පසු තැවෙන්නේය. යමෙක් මේ කරුණු දශය නුවණින් සලකා දිවියෙන් සපුරාලන ලද්දේද, මිනිසෙකු විසින් සම්පූර්ණ කරගත්තා වූ ඔහුගේ මහලු කාලය මරණ මොහොත අසිරිමත් එකක් වන්නේය.

ප්‍රශ්නය – මරණින් මතු ජීවිතය ශෝක නොකිරීමට තමා සතු විය යුතු කරුණු හතර බුදුරජාණන් වහන්සේ ආලවක සූත්‍රයෙහි දී දේශනා කොට වදාළහ. ඒ මොනවාද?

පිළිතුර– යස්සේ තෙ චතුරො ධම්මා සද්ධස්ස සර මෙසිනො සච්චං ධම්මො යිතී චාගො සචෙ පෙච්ච නසොචති.

සැදැහැවත් ගෘහස්ථයෙකු තුළ සත්‍යය ධර්මය හා පරිත්‍යාගය මේ කරුණු සතර ඇත්නම් මරණින් මතු දිවිය පිළිබඳව ශෝක කිරීමක් සිදු නොවන්නේය.

ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ වරෙක කොසොල් මහ රජතුමන්ට දුන් අවවාදයකි මේ.

තස්මා කරෙය්‍ය කල්‍යාණං
ණිචයං සම්පරායිකං
වූඤ්ඤානි පරලොකස්මිං
පතිට්ඨා හොන්ති පාණිනං

මතුවට පිහිට වන්නේ (පරලොවට) පින් නිසා පින් රැස්කළ යුතුය. මරණය දක්වා පිහිටවන්නා වූ භෞතික වස්තූන් සියල්ල මරණයෙන් අවසන් වන්නේය. මරණින් මතු පිහිට වන දෑ සෑම මිනිසකු විසින් ජීවත්ව සිටියදී සපුරා ගත යුත්තේය. මේ බුදු වදනට උපයුක්ත වු දේශනය පැහැදිලි කරන්න.

පිළිතුර – මරණය තෙක් ගෙන යා හැකි වස්තුව නම් ධන ධාන්‍ය රන් රිදී ආදි භෞතික වස්තුවද දැසි දස් කම්කරු ආදි තමා නිසා ජීවත් වන්නෝ මරණින් ඔබ්බට නොයා සොහොන් පිටිය දක්වා ගමන් කරයි.

ධඤ්ඤං ධනං රජතං ජාතරූපං
පරිග්ගහඤ්වාපි යද්ත්ථි කිංචි
දසා කම්මකරා පෙස්සා යෙවස්ස අනුජීවිතො
සබ්බංචාදාය ගන්තබ්බං සබ්බං නිකම්පිපගාමියං

ජීවිත්ව සිටියදී කය වචනය සිත මෙහෙයවා යමක් කෙරේද,

එය සත්‍ය වශයෙන්ම ඔහු සන්තකය එයම වෙයි.

මරණින් මතු ඔහු පිටුපස යන සෙවණැල්ල සේ ඒ කර්මය සසර පුරා ගමන් කරන්නේය.

යංච කාරොති කායෙන වාචාය උදචෙතසා
තඤ්හි තස්ස සකංහොති තඤ්ච ආදාය ගච්ඡති
තඤඛස්ස අනුහං හොති ඡායාව අනපායිති

ප්‍රශ්නය – කාන්තාවගේ විසාරදත්වය පිළිබඳව විසාරද වාස සූත්‍රයෙහි එන කරුණු පැහැදිලි කරන්න.

පිළිතුර – කරුණු පසකින් කාන්තාව විසාරද බව ලබයි. කවර පසකින්ද

1. ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි.

2.අන් සතු දෙය ගැනීමෙන් වැළකුණේ වෙයි.

3.කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි.

4.මුසා බසින් වැළකුණේ වෙයි

5. රහමෙර පානයෙන් වැළකුණේ වෙයි.

බෞද්ධ කලා ශිල්ප

ප්‍රශ්නය – ඇලීමකින් තොරව රතියෙන් තොරව ආත්මාර්ථ කාමිත්වයෙන් තොරව සුන්දර වස්තුවකින් ආස්වාදය, ලැබීමට කලා රස, වින්දනයට,ඇගැයීමට බෞද්ධ ගිහියාට බාධකයක් නොවේ’. බෞද්ධ කලා, ශිල්ප පිළිබඳ වියත් මතයයි මේ. ඔබේ අදහසත් එක්කරමින් පැහැදිලි කරන්න.

පිළිතුර – සිදුහත් බෝසතාණන් වහන්සේ බවුන් වැඩීමට උරුවේලාව තෝරා ගත්තේද එහි සුන්දරත්වය නිසාම බව උන්වහන්සේ ගේ වචනයෙන්ම මෙසේ ප්‍රකාශ වෙයි. “මගධ රට පිළිවෙලින් සැරිසරනුයේ උරුවෙලෙහි සේනානි නියම් ගමට පැමිණියෙමි. ඒ දුටු මට මෙසේ සිතුණි. මේ භුමි භාගය රමණීයය. වනලැහැබ සිත් සතුටු කරන්නේය. සුදු වැලිතලා ඇති මනා කොට ඇති රමණීය ඔයද ගලයි. හාත්පසින් ගොදුරු බිම්ද වෙයි. වීර්ය කරනු කැමති කුල පුත්‍රයෙකු ට භාවනා වැඩීමට මේ ඉතාම මැනවි. මම මෙතැන නැවතී පධන් වීර්ය වඩමි.

බුදුන් වහන්සේගේ ඇගැයීමට ලක් වූ සොබා දහම බොදුනුවන්ගේද ස්වභාව ධර්මයේ සුන්දර වස්තුන් මිනිස් සිතට ආශ්වාදයක් ගෙන දෙන්නට ඇත. එයින් ජනිත වූ චමත්කාරජනක සිතුවිලි නිසා කවි කියවෙන්නට ඇත. ගී ගැයෙන්නට ඇත . මෙසේම තෙලිතුඩින් සිතුවම් ද, මැටියෙන් ප්‍රතිමාද ආදි වශයෙන් විවිධ කලාවන් ජනිත වන්නට ඇත්තේ මේ අයුරින් විය යුතුය. බුදුරජාණන් වහන්සේත් කෙලෙස් ප්‍රහීණ කළ රහතන් වහන්සේත් ස්වභාව ධර්මයේ සුන්දරත්වය දැක ප්‍රබෝධයට ලක් වූ බව උන්වහන්සේගේ උදානයන්ගෙන් පැහැදිලි වේ. ස්වභාවධර්මයේ සෞන්දර්යය ආශ්වාදනය කළ උන්වහන්සේ එකී පරිසරයන් චිත්ත සංවර්ධනයට උදව් කර ගත්හ.

පසුකාලීන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විහාර ආරාම සඳහා තෝරාගත්තේ ස්වභාවික සෞන්දර්යයෙන් අගතැන්පත් පර්වත වනපෙත් ආදියයි. දඹදිව සුප්‍රකට අජන්තා විල්ලෝරා භාග් වැනි ලෙන් විහාර පිහිටි ස්ථානත් ලක්දිවට පැමිණි මහින්ද මහරහතන් ඇතුළු භික්ෂූ පිරිස වාසස්ථාන වශයෙන් තෝරා ගත් මිහින්තලේ ඉසුරුමුණිය, වෙස්සගිරිය, හා සිතුල්පව්ව, වැනි ස්ථානත් ගැන විමසීමෙන් මේ බව තහවුරු වේ.

සුන්දර දේවල් උපයෝගී කර ගනිමින් විනෝදාශ්වාදයක්ද ලබමින් බෞද්ධයා ඈත අතීතයේ සිටම කුසල් දහම් කිරීමට පුරුදුව සිටී. මෙසේ ධාර්මික විනෝදාස්වාදය සමග කුසල් රැස් කර ගැනීම සඳහා සැකසුණු නැටුම්, ගැයුම්, වැයුම් සහිත පෙරහර බුද්ධ පූජා පිරිත් පින්කම් ආදි ආගමික උත්සව පැවැත්වීම බෞද්ධයන්ට නුහුරු දෙයක් නොවේ. මේ අයුරින් බෞද්ධයා කලාව යොදාගෙන ඇත්තේ තෙරුවන් පිදීමටය.

 

ඉල් මස අව අටවක පෝය

 ඉල් මස අව අටවක පෝය නොවැම්බර් මස 14 වැනිදා සිකුරාදා පූර්වභාග 07.32 ට ලබයි. 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වැනිදා සිකුරාදායි.

මීළඟ පෝය නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදා ය
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]