ඇත්ත ඇති සැටියෙන් දකින ධාතු මනසිකාරය
වල්පොල ගෝතම හිමි
නිරීක්ෂකයා වූ තමන් බාහිර ලෝකයේ සතරමහ ධාතුන්ගෙන් සකස් වූ දේවල් දෙස
බලනවිට ඒ සකස් වූ බාහිර ලෝකයේ ස්වභාවයම නේද නිරීක්ෂක වූ තමා තුළත්
තිබෙන්නේ කියා තේරුම් ගත්විට ඒකත්, මේකත් දෙකම එක් ආකාරයකට දකින්න
පුළුවන්කමක් ඇතිවෙනවා.
තථාගතයන් වහන්සේ මේ ධර්මයෙන් බලාපොරොත්තු වුණේ තම ශ්‍රාවකයාට
අනවබෝධයෙන් ඇතිවන උපාදානය (බැඳීම) බිඳ දැමීමට යි. ඒ උපාදානය නිසා තම
ශ්‍රාවකයා දුක උරුම කරගෙන සිටින බව උන්වහන්සේ දුටුවා. මේ හැම දෙයක්ම
දුක ඇතිකරන ස්වභාවය නම්, අප උපාදාන කරගෙන තිබෙන්නේ දුකයි. දුක උපාදානය
කර ගෙන සිටිනතාක් කවදාවත් බැඳුන දේ තුළින් ඇත්ත දකින්න බැහැ. ඇත්ත
දුටුවිට ඒ කෙරෙහි තිබුණ බැඳීම නැතිවෙනවා. එයින් නිදහස් වෙනවා. දුකට
තිබෙන බැඳීම අතහැරියානම් ඔහු එදාට නිදහස් වෙන්නේ දුකෙන්. දුකෙන් නිදහස්
වීමට මේ ඇත්ත දැනගත යුතුම යි.
බුද්ධ කාලයේ අමු සොහොන් සුලභව තිබූ කාලයක්. එදා අමු සොහොන් භාවිතා කරලා
එදා වැඩසිටි ස්වාමින් වහන්සේලා අමු සොහොන් වලට ගිහින් ඒවා තිබුණ ශරීර
බලමින්, ඒ ශරීරය වෙනස්වන ආකාරය දකිමින් භාවනා මනසිකාරය කළා. යම්කිසි
කෙනෙක් බාහිර ලෝකයේ ධාතු දකින්න කොතරම් උත්සාහ කළත් ඔහු තමා කෙරෙහි
ආත්ම සංඥාව තියාගෙන ආත්මය මම විසින් බාහිර අනිත්‍ය දකිනවා කියා සිතන
තාක් බාහිර අනිත්‍ය දැක්කාට තමන් නිත්‍යයි කියා සිතන තාක් ඔහුට ධාතු
මනසිකාරය වැඩෙන්නේ නැහැ. බාහිර දේ දකින කොට අභ්‍යන්තරව තමා කෙරෙහි ආත්ම
සංඥාව පවතිනවා. බාහිර යම්කිසි දෙයක අනිත්‍යයක් නො තේරෙන්න නො තේරෙන්න
ඔහු තමා කෙරෙහි මහත් උද්දාමයකින් “මට තේරෙනවා මට වැටහෙනවා” කියා සිතන්න
සිතන්න ඔහු තමා කෙරෙහි ආත්ම සංඥාවක් තුළ හිර වී ඉන්නවා. ධාතු මනසිකාරය
නිවැරැදිව කරනවානම් නිරීක්ෂකයා හා නිරීක්ෂණය කරන බාහිර ලෝකය කියන දෙක
එකක් කර ගන්න ඕන.
නිරීක්ෂකයා වූ තමන් බාහිර ලෝකයේ සතරමහ ධාතුන්ගෙන් සකස් වූ දේවල් දෙස
බලනවිට ඒ සකස් වූ බාහිර ලෝකයේ ස්වභාවයම නේද නිරීක්ෂක වූ තමා තුළත්
තිබෙන්නේ කියා තේරුම් ගත්විට ඒකත්, මේකත් දෙකම එක් ආකාරයකට දකින්න
පුළුවන්කමක් ඇතිවෙනවා. යම් කෙනෙකුට පුළුවන් වෙන්න ඕන මේ දෙකම එකම
ස්වභාවයෙන් යුක්ත දෙයක් කියා දකින්න. නැත්නම් බාහිර දේ පිළිකුල් කර
එයින් ඈත් වෙනවා. ඒක පිළිකුල් කර එයින් ඈත්වෙන්නේ තමා ගැන අවබෝධයක්
නැතුව යි. එනිසා අප තමා කෙරෙහිත්, තමාගෙන් බාහිර ලෝකය කෙරෙහිත් සංඥාව
ඇතිකරගෙන ටිකෙන් ටික මේ ධාතු ධාතු ලෙස දකින්න උත්සාහ කරමු.
මේ ලෝකයේ යම්කිසි භාණ්ඩයක් තුළ පඨවි ධාතුව දැඩිව තිබෙන දෙයක්නම් උදා–
මැටි භාජනයක් නම්, ඒ මැටි භාජනයේ පඨවි ධාතුව දැඩි බවට තිබෙනවා. සමහරවිට
එහි ආපෝ, වායෝ, තේජෝ ධාතුත් තිබෙනවා. මේ මැටි භාජනයේ ආපෝ ගතිය නිසා
අවශ්‍ය හැඩය ගන්න දියාරු වුණේ. වායෝ ගතිය නිසා හැඩ කරමින් නම්‍යශීලිබව
ඇතිකර ගත්තේ. තේජෝ ගතිය නිසයි භාජනය අවශ්‍ය විදිහට වේලුනේ. මේ ටික
සියල්ලම තිබුණ නිසායි භාජනයක් වුණේ. අප සිතමු මේ මැටි ටිකෙන් ලස්සන
මැටි මල් බඳුනක් නිර්මාණය කළා කියා. අප මේ මල් බඳුනට මිලක් නියම කර
මෙයට වටිනාකමක් දෙනවා. මැටි භාජනයට වටිනාකම දෙනවා වගේම මේ මැටි භාජනය
පරිස්සම් කරන්නත් අප උත්සාහ කරනවා. මේ මැටි මල් බඳුන මේ තත්ත්වයට
පත්වෙන්න කලින් තිබුණේ මැටි ටිකක්. මේ මැටි ගුලිය තමා මල් වාස් එකක්
බවට පත්වුණේ. අද අපට මල්වාස් එකත් මැටි ගුලිය තුළත් එකම ස්වභාවයෙන්
යුක්ත දේයි. එසේනම් මල් වාස්එකට දුන්න වටිනාකම අප කෙසේවත් පෙර තිබු
මැටි ගුලියට දෙන්නේ නැහැ. මල් බඳුනක් හරි උලු කැටයක් හරි වෙනයම් අවශ්‍ය
දෙයක් හරි අර මැටිවලින් හදාගන්න පුළුවන්. එහෙත් මැටි ගුලියත් මීට පෙර
පස් ටිකක් බවට පත්වෙලයි තිබුණේ. මේ පස්වලට ජලය කවළං කර අනා ගත් විට
මැටි බවට පත්වුණා. එසේනම් මල්වාස් එකට දුන්න වටිනාකම මැටිවලට නො දුන්නා
වගේම මැටිවලට දෙන වටිනාකම අර පස්වලට දෙන්නේ නැහැ. නමුත් ඒ පස්වලටම තමා
ජලය කවලම්වෙලා මැටි බවට පත්වුණේ. හැබැයි පස්වලට නැති වටිනාකමක් මැටිවලට
තිබෙනවා. මැටි වලට නැති වටිනාකමක් ඒ මැට්ටෙන්ම හැදුන මල් බඳුනට
තිබෙනවා. මැටිවලට නැති ආරක්ෂාවක් අප මල් බඳුනට දුන්නා. මේ සියල්ලේම
තිබෙන්නේ එකම දේ. එක එක උත්සාහයන් එක්ක ඒකේ හැඩය වෙනස් කරපු දෙයයි
වුණේ. එහෙනම් මල් බඳුනක් වුණේ පොළොවේ තිබෙන පස් ටිකක් කියන සංඥාව අපට
මේ කාරණාවෙන් ඇතිකර ගන්න පුළුවන්නම් ඒ විදිහට ස්වභාවධර්ම විසින්
නිර්මාණය කළ දෙයක් ගැන වුවත් විමසා බලන්න පුළුවන්.
ඔබ හිතන්න ඔබ වාඩිවෙලා ඉන්න පුටුව ලීයෙන් හදලා හොඳට වැඩදමා තිබෙන
පටුවක්. මේ ලී පුටුවට අමුද්‍රව්‍ය ලෙස භාවිතා කර තිබෙන්නේ කොස් ලීයක්
කියා. මේ කොස් ලීය පාවිච්චි කර ලස්සන පුටුවක් බවට පත්කරලා තිබෙනවා. මේ
පුටුවට හොඳ වටිනාකමක් ලැබෙනවා. පටුවක් බවට පත්වෙන්න කලින් ලී බවට
පත්වෙලා තිබෙද්දී අප ඒකට පුටුව තරම් වටිනාකමක් දුන්නේ නැහැ. කාගේ හරි
කායික ක්‍රියාවක ප්‍රතිඵලයක් තමා ඒ ලීය පුටුවක් බවට පත්වුණේ. මේ ලෑලි
වලට පෙර එය ගහක් වෙලා තිබෙද්දී ලෑලිවලට තිබෙන වටිනාකමත් ආරක්ෂාවත් අප
ගහට දුන්නේ නැහැ. ගහට වඩා වටිනාකමක් ලෑලිවලටත්, ලෑලිවලට වඩා වටිනාකමක්
පුටුවටත්, අප දුන්නා. මේ පුටුව බවට පත්වුණේ ලෑලි. ලෑලි බවට පත්වුණේ
කොස්ගහ. කොස්ගහ බවට පත්වුණේ යම් දිනක කොස් ඇටයක් රෝපණය කිරීම යි. මේ
කොස් ඇටය තුළ තිබුණේ පඨවි ධාතුන්ගෙන් සකස් වූ දේ. ආපෝ, තේජෝ, වායෝ
ධාතුන්ගෙන් සකස් වූ දේ. අප කොස් ඇටය ගලක් උඩ තියා වේලිලා, කරවෙලා
විනාශවෙන්න දුන්නානම් මෙසේ ගසක් රෝපණය වෙන්නේ නැහැ. කොස් ඇටය තුළ
තිබෙන්නෙත් පස්ම තමා. මේ කොස් ඇයට හොඳ සරු පොළොවකට දැම්මට පස්සේ පොළොවේ
තිබෙන ප්‍රාණවත් දේ කොස් ඇටය වැඩෙන්න උදව් දෙන්න පුළුවන්. පඨවි රසයෙන්
ජීවය දෙනවා. මේ රසය කියන්නෙත් පස්ම තමා. ගලක් උඩ නැති විදිහට පෝෂණයක්
මේ පස්වල තිබුණා. ඒ පස්වල පෝෂණය අරගෙන මේ කොස් ඇටය පසුත් සමඟ වැඩෙන්න
පටන් ගන්නවා. හැබැයි මේකට ජලයත් ඕන. මේ පස්වලින් සකස් වූ පොළොවට ජලය
නැත්නම් අප කියනවා කර පොළොවක් කියා. නම්‍යශීලි සාරවත් පොළොවක් බවට
පත්වෙන්න නම් මේ කර පොළොවේ තිබෙන පස්වලට ජලය එකතු වෙන්නම ඕන. ජලය එකතු
වුණාම අර කොස් ඇටයට අවශ්‍ය පෘථිවි රසය දෙන්න ජලය උදව් කරනවා. වායෝ
ධාතුව කියන සුළඟත්, තේජෝ ධාතුව කියන සූර්යාගේ රශ්මියත් කොස්ඇට වැඩෙන්න
උදව් වෙනවා. එසේ තිබෙන ගස් හොඳින් වැඩෙනවා. ඒ වාතය විසින් පොළොවේ තිබෙන
පෘථිවි රසය ඉහළට ගෙනයන්න උදව් වෙනවා. තේජෝ ධාතුවෙන් උණුසුමත් ගසට උදව්
වෙනවා. පොළොවයි, ජලයයි, වාතයයි, සූර්ය එළියයි කියන හතරෙන් කොස් ඇටය
වැඩුණේ. මේ සතරෙන් එකක් හරි අඩු වුණානම් කොස් ඇටය වැඩෙන්නේ නැහැ.
එහෙනම් පොළොව පඨවි, - ජලය ආපෝ, -සුළඟ වායෝ, -සූර්ය එළිය තේජෝ. මේ හතර
එකතු වෙලා කොස් ඇටය කොස් ගහක් බවට පත්කළා. මේ කොස් ගහ කියන්නේ තනිකර
එතැන තිබූ පෘථිවි රසය ජලය විසින් උරාදීලා ඒ පඨිවි රසයම ගහක් බවට පත්
කළා. එහෙනම් අප ඒ ගසට කොස් කියා නමක් දැම්මාට මේකේ තිබෙන්නේ පස්ම තමා.
ඔබ හිතන්න අප පස්වලට වතුර කළවන් කරලා මැටි කියා නමක් දැම්මාට මැටිවලට
අලුත් හැඩයක් දුන්නාම මල් බඳුන, උලු කැටය කියන දේ නිර්මාණය වෙනවා. මේක
මල් බඳුනක් වෙන්න කලින් මැටි වුණා. මැටි වෙන්න කලින් පස් වුණා. එහෙනම්
පස්ම තමා එක එක නම්වලින් වෙනස් වෙවී වෙනස් වෙවී ඇවිත් තිබෙන්නේ. ඒ වගේ
පස් ටිකම තමා කොස් ගහ කියා හැදිලා තිබෙන්නේ. ඒ පෘථිවි රසය උරාගෙන හැදුන
කොස්ගහේ ලෑලිටික කොස් ලෑලි වුවත් පස්ම තමා. මේ ලෑල්ලෙන් අප පුටුවක්
හැදුවත් එයට නමක් දැම්මත්, අර පස් පස්ම තමා. එසේනම් මේ ලෝකයේ අප
අමුද්‍රව්‍ය ලෙස අරගන්නේ බොහෝ දේ පොළොවම ඇසුරු කරගෙන ගත් දෙයින් තනාගත්
භාණ්ඩ යි. ඒවායේ හැඩ ඒ වර්ණ එක එක අමුද්‍රව්‍ය එකතු කරලා එක එක ස්වභාවය
වෙනස් කරලා තිබන්නේ. ස්වභාවය වෙනස් වූ පස්වල උපකාරය ගත්ත නිසයි ඇත්තටම
මේ සියල්ල පොළොවට එකතු වූ දාට නැවත ඒවා පොළොවේ පස් බවටම පත් වෙනවා.
මේ සියලු දේ කෙරෙහි පස් සංඥාවෙන් බලනවිට බාහිර ලෝකයේ යම්කිසි දෙයක්ද
තමාගේ ශරීරයෙත් එසේමයි කියා බලමින් එකින් එක විමසන විට ඒ නිරීක්ෂකයා
කියන තමා තුළ තිබෙන දේවලුත්, බාහිර ලෝකයේ තිබෙන සියලුම දේත්, පස්
සංඥාවෙන් බලන්න පුළුවන්. ඒ පස් සංඥාවෙන් බලන්න පුළුවන් වුණොත් බාහිර
ලෝකයත් සමඟ තිබෙන ඇලීම් ගැටීම්වලට පිළිතුරක් මේ ඔස්සේ සලසාගන්න
පුළුවනි. පඨවි පඨවි ලෙසත්, අපෝ අපෝ ලෙසත්, තේජෝ තේජෝ ලෙසත්, වායෝ වායෝ
ලෙසත් දකිමින් මේ ධාතු පිළිබඳව නිවැරැදි අවබෝධයක් ඇතිකර ගන්න, මේ ධර්මය
දකින්න ඔබට නුවණ පහළ වේවා!
නයනා නිල්මිණි |