අවමංගල්‍යයකදී අප කුමක් කළ යුතු ද?
ශාස්ත්‍රපති
දොඩම්පහළ
ශ්‍රී රාහුල හිමි
අපගේ ඥාතියෙකු මිය ගිය විට අප හඬා වැලපෙන්නේ ඇයි? දින ගණන් සති ගණන්
නිවසේ ආහාර පිසීමේ මෙන්ම අනෙකුත් සියලු කටයුතුවල කඩා වැටීමක් ඇති වන්නේ
ඇයි? මෙලොව උප්පත්තිය ලබන අප දිනක් දෙකක් හෝ ඊට වැඩි කලක් දිවි ගෙවා
මිය යන්නවුන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙසේ දිවි ගෙවනු ලබන එම
පුද්ගලයන් තමන් දිවි ගෙවනු ලබන කාලය තුළ ඥාතීන් රැසකට හිමිකම් කියනවා.
එසේ යම් කාලයක් තුළ ඥාාතින් රැසක් බිහි කරනවා. එම නිසා ඔවුන්ගේ එම සේවය
ඇගැයීමට ලක් කරමින් ඔවුන්ට ගෞරවනීය සමුදීමක් අවශ්‍ය වන බව බුදුරජාණන්
වහන්සේගේ දේශනාව වුණා. යම් අයෙකුගේ මෙලොව උප්පත්තිය කාන්තාවකට මාතෘත්වය
උරුම කරදීමක්. තවත් අතෙකින් සහෝදර සහෝදරියන් බිහි කිරීමක්. මේ ආකාරයෙන්
මෙලොවට බිහිව ඥාති පිරිසක් බිහි කර මෙලොව හැර යන එම තැනැත්තාට අප
ගෞරවනීය සමුදීමක් ලබා දෙන්නේ කෙසේද?
මිය ගිය තැනැත්තාට නිවන් සුවය පිණිස ආගමික වතාවත් සිදු කිරීමයි මෙහිදී
මුල් තැනක් ගන්නේ. අප පසුගිය ලිපියෙන් දැනුම් දුන්නා සේ බුදුරජාණන්
වහන්සේ ලබා දුන් පාංශුකූලය අදටත් අපට ලබා දෙන්නට හැකියාවක් නැහැ.
බුදු දහමට අනුව අප යම් අයෙක් මිය ගිය පසු කරන්නේ කුමක්ද? මේ සම්බන්ධව
අප කළ යුතු අංග දෙකක් තිබෙනවා. ඉන් පළමු වැන්න ප්‍රායෝගිකව අප
අවමංගල්‍යය නිවසක ස්වරූපය නිවස තුළ ඇති කිරීමයි. දෙවැන්න ආගමික කටයුතු
සිදු කිරීමට සැලසුම් කිරීම හා ආගමික කටයුතු සිදු කිරීමයි.
මේ ලිපියේ අරමුණ වන්නේ ප්‍රායෝගිකව අප කුමක් කළ යුතුද යන්න ගැන සොයා
බැලීමයි.
අප නිවසේ යම් පුද්ගලයෙක් මිය ගිය විට පළමුව සිදු කරන්නේ මිය ගිය
තැනැත්තාගේ ඇස් වැසීමයි. එසේම මුඛය විවර නොවී වැසෙන සේ රෙදි පටියකින්
හිසේ සිට නිකට දක්වා ගැට ගසනවා. දෙඅත් එක් කර මහපටැඟිලි දෙක එක් කර බැඳ
තබනවා. එමෙන්ම දෙපාවල මහපටැඟිලිද එසේම බැඳ තබනවා. මොනවද අප මෙයින්
බලාපොරොත්තු වන්නේ.
ඇස් ඇරීම තුළ ඔහු මෙලොව ආසාවෙන් මිය ගිය අයෙක් බව අපේ විශ්වාසයක්
පැවතුණා. එම විශ්වාසයට මිනිසුන් බය වුණා. එම නිසා මිය ගිය වහාම ඇස්
වසන්නට අතීතයේ සිටම පුරුද්දක් ඇති වුණා. නමුත් මෙහි විද්‍යානුකූල
පසුබිම ගැනයි අප අවබෝධයෙන් බැලිය යුත්තේ. ඇස්, මුඛය වැනි ශරීරයේ සියුම්
ඉන්ද්‍රියන් හරහා විෂ බීජ ඉක්මනින් පැතිර යාමට බොහෝ ඉඩකඩ තිබෙනවා. එම
නිසා එම ඉන්ද්‍රියයන් විවර වීම වැළැක්වීමයි. මෙහිදී සිදු කරන්නේ. එසේම
දේහය අවසන් ගෞරව සඳහා නැරඹීමට පි‍්‍රයතාවක්ද එමඟින් ලැබෙනවා. එසේම මිය
ගිය අයෙකුගේ සිරුර දර දඬු වන නිසා ඉක්මනින්ම අවසන් ගෞරවය සඳහා දේහය
සකස් කළ යුතු ආකාරයට අත් පා සකස් කළ යුතු වනවා.
අප සැබෑ බෞද්ධයන් ලෙසින් මේ සම්බන්ධව හොඳ අවබෝධයක් තිබිය යුතු වනවා.
අනෙක් සියලු ආගම්හි කුඩා දරුවන් පවා අවමංගල්‍ය චාරිත්‍ර සම්බන්ධව මනා
වැටහීමක් තිබෙනවා.නිවසකදී මරණය සිදුවුවහොත් මරණ පරික්ෂකවරයකු කැඳවීම
වැනි නීතිමය තත්වයන් ගැනත් අපට අවබෝධයක් ලබා ගැනීමට සිදු වනවා. එසේ
නොවුවහොත් ඔබට නීති ප්‍රශ්න රැසකට මුහුණ පාන්නට සිදුවනවා. ඔබ කොපමණ
ආදරය කළ මව, පියා වුවද සහෝදරයා සහෝදරිය වුවද , ස්වාමිපුරුෂයා ,භාර්යාව
වුවද අප එම නීතිමය කරුණු දෙස අවධානය යොමු කළ යුතුවනවා.
අතීතයේ පටන් නිවෙසක යම් අයෙක් මිය ගිය විට එම තැනැත්තා තමන් දන්නා
අඳුනන අයෙක් නොවුවත් තම ගම් පියසේ නම් එම නිවසට ගොස් අවසන් ගෞරව
දැක්වීමේ සිරිතක් අප රටේ තවමත් තිබෙනවා. තමන් සමඟ උරණව සිටින අයෙකු
වුවත් මිය ගිය පසුව ඒ සියල්ල පසෙක තබා අවසන් ගෞරව දැක්වීමට සිංහල
බෞද්ධයන් වශයෙන් අප කටයුතු කරනවා. මේ නිසා අවමංගල්‍යයක් සිදුවූ නිවසකට
බොහෝ විට ගම්මානයේම පිරිස් පැමිණෙනවා. එමෙන්ම දුර බැහැර සිටින ඥාති
පිරිස් හිතවතුන්ද පැමිණෙනවා. ඒ සඳහා අවමංල්‍යය නිවසේ පසුබිම සකස්
කරන්නේ කෙසේද ?
අතීතයේ සිටම නිවසේ ඇති සියලු සැප පහසුකම් උදෙසා සිත යොමුවන සියලු භාණ්ඩ
පසෙක තැබීම කරගෙන එනු ලබනවා. නිවසේ ඇති සේයාරූ අනෙක් පසට හරවනවා. තම
ශෝකය උපරිම ලෙසින් පල කිරීමයි එහි අර්ථය වන්නේ. ජාතක කතා පොත වැනි දේ
කියවීම අතීතයේ අවමංගල්‍යයක් නිවසක අනිවාර්යය වුවත් වර්තමානයේ එම ස්ථානය
‘කැරම් බෝඩ්’ එකට මෙන්ම කාඩ් කුට්ටමට හිමිව තිබෙනවා.
නිවසේ ඉදිරිපස තාවකාලික මඩුවක් සකස් කරනවා. දින කිහිපයක් සඳහා නිවස
සූදානම් කිරීමක් මෙහිදී සිදු කරන්නේ. රාත්‍රි නිවසේ සිටින පිරිස් සඳහා
ආහාර පාන ලබා දීම වැනි දේ දෙස බලන විට යම් ආකාරයක උත්සව සිරියක්ද මේ
අවමංල්‍යය නිවසක තිබෙන බව කනගාටුවෙන් වුවත් කිව යුතු වනවා. මේ ගැන අප
විවෘතව කතා කළ යුතු වෙනවා. එසේ විවෘතව කතා නොකිරීම නිසයි සිංහල
බෞද්ධයන් වැරැදි මතයන්හි එල්බ ගෙන මිථ්‍යා මත පස්සේ යන්නෙත් අර්ථ
ශූන්‍ය කර්යයන්හි නිරත වන්නේත්.
අවමංගල්‍යය නිවසක ප්‍රායෝගිකව කළ යුතු නිවැරැදි දේ මොනවාද ? අවමංගල්‍යය
දේහය ඉදිරියෙන් දේහය නිවසින් එළියට ගන්නා තෙක්ම පහනක් දැල්විය
යුතුවනවා. එය බුදුදහම අනුමත කර තිබෙනවා. ගිනිදැල්ල හරහා මෘත දේහයෙන්
පිට කරන සියලු විෂ බීජ කිළි සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. එම නිසා පහන
දැල්වීම අවශ්‍යයි.
ජීවත්ව සිටිද්දී අප නිදා ගන්නා විට බස්නාහිර පැත්තට හිස පිහිටන සේ නිදා
ගන්නේ නැහැ. මිය ගියාට පසුව බස්නාහිරටයි, දේහයේ හිස යොමු කරන්නේ. ඒ
හිරු බැස යන්නේ හිරුගේ දිනක සේවය නිමාවන්නේ බස්නාහිරින් බව අප සිත්හි
තබාගෙනයි, ඒ විශ්වාසය ඒ අයුරින්ම තබා ගත්තාට වරදක් නැහැ.
නමුත් අප හැම විටම බෞද්ධ සංස්කෘතිය බුද දහම හා සංයෝගයෙන් ප්‍රායෝගිකව
දිවිය ගැන අවධානය යොමු කළ යුතු වෙනවා. යම් අයකු මියගොස් පැය 24 ක්
ඇතුළත අවසන් කටයුතු කරන්නට හැකිනම් එය මිය ගිය තැනැත්තාට මෙන්ම ජීවත්ව
සිටින අයටත් කරනු ලබන මහත් වූ සේවයක්. නමුත් වර්තමාන බෞද්ධ සමාජය මේ
සඳහා එකඟ වෙයිද? යන ප්‍රශ්නයයි අප තුළ තිබෙන්නේ. බෞද්ධයන් වන අප
අනිත්‍ය සම්බන්ධව හොඳාකාරවම ඉගෙන ගෙන තිබෙනවා. ඒ සම්බන්ධව අවබෝධයක්
තිබෙනවා. එමෙන්ම මිය ගිය අයකුගේ දේහයක් දින කිහිපයක් නිවසේ තබාගෙන නිවස
අපිරිසුදු කරන්නටත් ජරාජීර්ණ වී යන මෘතදේහය නිවසේ තබාගෙන දින ගණනක්
සිටීම කළ යුතුද?
අපිත් එක්ක එකට හිටපු මල්ලි , නංගී, අයිය,අක්ක කොහොමද එකපාරටම කනත්තට
ගිහින් දාන්නෙ. අපිව හදල වඩපු අම්ම තාත්තා එහෙම කනත්තට ගිහින් දාන්න
පුළුවන්ද? අපේ අයිය ඉන්නෙ රට එයා එනකල් තියාගන්න ඕන” මේ අපිට ඇතිවන
ප්‍රශ්න.
මිය ගිය තැනැත්තාට දේපළ යාන වාහන වැඩක් තියෙනවද? රන් අබරණ වැඩක්
තියෙනවද? ඒ සියල්ල අවශ්‍ය වන්නේ ජීවත්ව සිටින විටයි. එම නිසා ජීවත්ව
සිටිනකල් තමන්ට හැකි සියලු දේ ඉටු කරනවානම් මිය ගියාට පසුව අප කාටවත්
දුක්වීමට අවශ්‍ය වන්නේ නැහැ. අපට පුළුවන් හැම දේම කළා’ යන සිතින් යුතුව
අවසන් කටයුතු කරන්න පුළුවන්.
මියගිය පසු පැය 24 න් අවසන් කටයුතු කරනා ලෙසින් පළමු ආදර්ශය ලබා දුන්නේ
බඹරැන්දේ සිරි සීවලී හාමුදුරුවෝ. ඒ 1985 අපේ‍්‍රල් මාසෙ 24 වැනිදා.
උන්වහන්සේගේ ඉල්ලීම පරිදි දේහය වෛද්‍ය විද්‍යාලයට ලබා දුන්නා. එමෙන්ම
රේරුකානේ චන්දවිමල මහ නා හිමියන්ගේ යහන පිටින්ම දේහය සොහොනට ඇතුළු කළා.
ඒ උන්වහන්සේගේ ඉල්ලීම පිටයි. වල්පොළ රාහුල හිමියන්ගේ ආදාහන කටයුතු පැය
24 ක් ඇතුළත සිදු කළා. කාක්කපල්ලියේ අනුරුද්ධ හිමියන්ගේ ආදාහන කටයුතු
සාමාන්‍ය ආදාහනාගාරයක සිදු කළේ පැය 24 ක් ඇතුළතයි.මෑතකදී හාරිස්පත්තුවේ
අරියවංශාලංකාර හිමියන්ගේ දේහය යක්කල වෛද්‍ය විද්‍යාලයට බාර දුන්නේ පැය
24 ක් ඇතුළතයි.
අපට මේ ආදර්ශ ගන්න බැරි ඇයි?
නිවසේ දැඩි අසාධ්‍ය තත්ත්වයකින් මරණාසන්නව යම් අයකු සිටියහොත් ඒ නිවස
හරිම නිස්කලංකයි. හයියෙන් කතා කරන්නෙත් නෑ. ඒ තැනැත්තා මිය ගිය විගස
නිවසේ පරිසරය සම්පූර්ණයෙන් වෙනස් වනවා. හැමෝම කඩිරැලක් වගේ දුවනවා.
කොඩිවැල් එල්ලනවා මඩු ගහනවා. වත්ත පිටිය සුද්ද කරනවා. සමහර වෙලාවට ඒ
තැනැත්තා මියගොස් සිටින්නේ වත්තේ පිටිය සුද්ද නොකිරීම නිසා ඩෙංගු
වැළදීමෙන් නිසා වන්නට පුළුවන්. නමුත් වත්ත පිටිය සුද්ද කරන්නේ මිය
ගියාට පසුවයි. මේ නිසයි අප සැම විටම කියන්නේ පළමුව කළ යුතු දේ පසුව
කිරීමෙන් පසුතැවීමක් ඇති වන බව.
ඇතැම් රටවල යම් අයකු මිය ගිය පසු නිවසට පවා රැගෙන එන්නේ නැහැ. ඒ සඳහා
වෙනම ශාලාවක් තිබෙනවා. තායිලන්තයේ ඒ සඳහා විහාරස්ථ ධර්ම ශාලාව භාවිතා
කරනවා. බටහිර රටවල පල්ලි ආශි‍්‍රතවයි සුසාන භූමි තියෙන්නේ. අපේ රටේත්
ඇතැම් පල්ලි දෙස බලන්න සුසාන භූමි ඒ අසලමයි. බටහිර රටවල භූමදාන කටයුතු
සඳහා දින කිහිපයක් ගත වුණා. ඒ සඳහා දේහය දින කිහිපයක් කල් තබා ගැනීමට
අවශ්‍ය වූ නිසයි කල් තබා ගත්තේ. අප විසින් ඒ වැරැදි ක්‍රියාදාමය
අනුගමනය කරන්නේ ඇයි” මඳක් සිතා බලන්න. අපට ඇයි මේ සරල දිවි පෙවෙතට
හුරුවන්න බැරි. අපේ ඇස් වැනි ඉන්ද්‍රියයන් දන් දෙන්න අපට පුළුවන්.
පැය 24 ක් ඇතුළත අවසන් කටයුතු කරන්න ගමේ සැවොම එකතු කරගන්න පුළුවන්. අද
තත්ත්වය වෙනස් වෙලා තිබුණත් ඉස්සර කාලේ ගමේ අයෙක් මිය ගියහම භූමදාන කරන
වළ හාරන්නෙත් ගමේ අය. සෑය සාදන්නෙත් ගමේ අය. ගමේ සියලු දෙනා ඒ තරමට
සමීපයි. ඒ සමීපතාවය වගේම මිත්‍රශීලි බව මෙන්ම පි‍්‍රයශීලිතාවයක් අවශ්‍ය
වුණා. ඒ නිසා තමයි අපේ පැරැණි අය කියන්නේ වළ කපා ගන්නවත් මිනිස්සු එක්ක
හොඳින් හිටපන් . කියලා අපිට හැකියාව තියෙනවනම් ගමේ අයගේ දේහය වළ දමන්න.
ගමේ වඩුමඩුවෙන්ම ඒ සඳහා බහාලන පෙට්ටියත් හදා ගන්න ඒකත් ගමට කරන ලොකු
සේවයක් වෙනවා. නමුත් අපි මේ වගේ අලුත්වීම්වලට එතරම් කැමැත්තක් නැහැ.
පන්සලේ හාමුදුරුවෝ අපවත් වුණහම අවමංගල්‍යය කමිටු හදනවා. බෞද්ධයන්
හැටියට අප ලැජ්ජා විය යුතුයි. මේ සම්බන්ධව අවුරුදු 30 ක් 40 ක් විතර
තමන්ගේ ආගමික වැඩකටයුතුවලට උපදෙස් දුන්න අවමංගල්‍ය නිවෙස්වල පාංශුකුලෙට
දානයට සහභාගි වුණූ හාමුදුරුවන්ගේ අවසන් කටයුතු කරන්න අවමංගල කමිටු
මොකටද “ ඒකටත් හතර පේරුවෙන් මුදල් එකතු කරන්න ඕනද?
දායක සභාවල විහාරස්ථ සංවර්ධන කමිටුවලින් හාමුදුරුවන්ගේ මුහුණු දාල කවි
කොළ පෝස්ටර් පළ කරන්න ඕනද? පරිසර විනාශ කරන ඉටිකොල ගහන්න ඕනද?
ඒ විනාශ කරන මුදලින් ගමට යන පාර අලුත්වැඩියා කරන්න පුළුවන්. ගවයෙක්
නිදහස් කරලා ස්වාමින් වහන්සේට එහි පින් අනුමෝදන් කරවන්න පුළුවන්.
දුප්පත් අයෙකුට කුඩා නිවසක් තනා දෙන්න පුළුවන්. කවිකොළ බෙදන අයට
ස්වාමින් වහන්සේ නමින් සිටුවන්න පැළ බෙදා දෙන්න පුළුවන්. ස්වාමින්
වහන්සේ නමින් එම පැළ ටිකට පොහොර දමා සාත්තු කරන්න පුළුවන්. එහි ඵලදාව
ලබන්න පුළුවන්. අපට අලුත් වෙන්න පුළුවන්. ඒත් අප අලුත්වීමකට උනන්දු
වන්නේ නැහැ.
බුදු දහම සෑමවිටම බලාපොරොත්තු වෙන්නේ ජන ජීවිතයේ අලුත්වීමක්. ඒත් ඒ
අලුත්වීම සංවර මෙන්ම චාම් විය යුතු වෙනවා.
සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර |