UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුදහම සහ පුද පූජා

බුදුදහම සහ පුද පූජා

මෙම ලිපියේ මුල් කොටස ඉල් පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළවිය.

ලක්දිව බෞද්ධ පුද පූජාවන්හි හින්දු ආභාසයද නොඅඩුව දක්නා ලැබේ. මෙරට බෞද්ධයෝ විෂ්ණු කතරගම ආදී හින්දු දෙවියන් අදහති. ඔවුනට පුද පූජා පවත්වති. විශේෂයෙන්ම තෙරුවනට උපහාර පිණිස බෞද්ධයන් විසින් කරනු ලබන සැරසිලි හා ඇතැම් පුද සිරිත් හින්දු ආභාෂය පිළිබිඹු කරයි. පාලි වංශකතාවන්හි අතීතයේ මෙරට පැවැත්වූ විවිධ බෞද්ධ පුද පූජා උත්සව ගැන තොරතුරු ද දක්නා ලැබේ’. ගිරිභණ්ඩ පූජා උත්සවය මහාවංශ කතුවරයාගේ වර්ණනාවට ලක්වූ එබඳු මහා පුජෝත්සවයකි. සම්භාව්‍ය සිංහල සාහිත්‍යයද පුද පූජා පිළිබඳව නිතර සඳහන් කරයි. පූජාවලිය පුද සිරිත්වල අනුසස් දැක්වීමේ උත්සාහයකි. අඩු වැඩි වශයෙන් සෑම පැරණි සිංහල සාහිත්‍ය කෘතියකම පාහේ පුද පූජාවන් වර්ණනා කොට තිබේ. මෙසේ පසුකාලීනව එක් අතෙකින් අටුවා ටීකාදිය ඔස්සේද, අනෙක් අතින් නිර්මාණ, සාහිත්‍යය ඔස්සේද, එසේම පොදුජන අපේක්ෂාවේ හා රාජානුග්‍රහය තුළින්ද පුද පූජා හා ඇතැම් විශ්වාස ඇදහිලි බෞද්ධ ලෝකයෙහි විවිධාකාරයෙන් ඉපිද වැඩී ගිය බව පෙනේ. මූලික පාලි සූත්‍රාන්තයන්ට අනුව පුද පූජා හා ඇදහිලි විශ්වාස ඍජුවම බුදු දහමෙහි අරමුණූ සාධනය නොකරන බව පැහැදිළි කරුණකි.

සසර දුක පිළිබඳ අවදිකම ඇතිකර ගැනීම දුකින් මිදී නිවන් සාදා ගැනීමටත් ඒවා කෙලින්ම ආදාළ වන්නේ නැත. එහෙත් බුදුසමය ඇදහිලි විශ්වාස පුද සිරිත් හෙළා දකින ධර්ම මාර්ගයකැයි ඉඳුරාම කිව නොහැකිය. මෙලොව පරලොව හා පින් පව් මෙන්ම ආගමික පුද සිරිත්ද ඍජුවම බැහැර කිරීමද බුදු දහම අනුව මිථ්‍යා දෘෂ්ටියකි. දස වස්තුක මිත්‍යාදෘෂ්ටියට අනුව බාහිර ආගමික පුද සිරිත්වලින් කිසිදු ප්‍රයෝජනයක් නැතැයි කීමද වැරදි දැක්මකි. ඒ අනුව ඒවායේද පලක් ඇතැයි සැලකීම සම්මා දිට්ඨි ගණයට වැටෙයි. නිබඳවම සමකාලීන සාමයික දෘෂ්ටි පිළිබඳවත් ඒ හා බැඳුනු විවිධ පිළිවෙත් පිළිබඳවත් වඩාත් ඉවසිලිමත් මධ්‍යස්ථ ආකල්පයක් දැරීම බුදු සමයේ ස්වභාවය වේ. බුදුරජාණන් වහන්සේ එබඳු දේට සපුරා එකඟ නොවූවාක් මෙන්ම ඒවායේ එල්බ ගැන්මක්ද නොකළහ. එහිලා මධ්‍යස්ථ වූහ. යාග, යාඥාදියෙහි නිරත වූ ආදි බමුණන් ගැන බුදුරදුන් විටෙක කතා කරනුයේ එක්තරා ගෞරවයකිනි. පෙළ දහම අනුව ඒ ආදි බමුණෝ නිෂ්කාමි වූහ. අපිස් ජීවිත ගත කළෝය.

සංවර වූ ඉඳුරන් ඇත්තෝ වූහ. ධන ධාන්‍යාදී ලෞකික දේට ගිජු නොවූහ. සිල්වත් වූහ. මහජනයා විසින් ඔවුනට නොමදව ගෞරව කරන ලදී. ඔවුන් විසින් යාග කරන ලද්දේ මහජනයාගෙන් ලැබුණූ සහල්, ගිතෙල් වස්ත්‍රාදියෙන්. ගවයන් මරා යාග කිරීමක් නොවීය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඒ දැහැමි පැවැත්මත් අහිංසක පූජා චාරිත්‍රාදියත් බමුණන් වෙතින් ඉවත් විය. ඔවුහු රජු සතුව තිබු මහ සම්පත් දැක එහි ගිජුව ඒවා ලබාගැනීමට යාග පූජාදිය කළෝය. අශ්වමේධාදී යාග කරන්නට රජ පොළඹවාගෙන ගාස්තුව ලෙස ධන ධාන්‍යාදියද ස්ත්‍රින්ද අශ්වයන්ද දෙනුන්ද වස්ත්‍ර පළඳනාදියද ලබාගත්හ. ගවයන්ද ලබා ගැණුනි. ඔවුහු දෙණුන් මරා යාග කළෝය.

මෙසේ මුලින් පැවැති දැහැමි අහිංසක යාග පූජාවන් ලාභාපේක්ෂාව ඇති බමුණන් විසින් දූෂණය කරන ලද්දේය.බොහෝ සම්පත් විනාශ කළ සතුන් මැරූ ගස්වැල් වැනසූ බුද්ධකාලීන බමුණන්ගේ යාග පූජාවන් බුදුරදුන් විසින් නිෂ්ඵල යැයි කියන ලදී. මේ අනුව මානව සංස්කෘතිය හා නන් අයුරින් බැඳී ඇති ආගමික පුදසිරිත්වල එල්බ ගැන්මක් හෝ ඒවා ඍජු විරෝධතාකල්පයෙකින් ප්‍රතික්ෂේප කිරීමක් බුදු දහමෙහි දක්නා නොලැබෙන බව කිව හැකිය. එහිලා දක්නා ලැබෙනුයේ උපේක්ෂා සහගත ආකල්පයකි.

 

ඉල් මස අව අටවක පෝය

 ඉල් මස අව අටවක පෝය නොවැම්බර් මස 14 වැනිදා සිකුරාදා පූර්වභාග 07.32 ට ලබයි. 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 10.04 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 14 වැනිදා සිකුරාදායි.

මීළඟ පෝය නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදා ය
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]