Print this Article


ගැටුම් පැන නැඟීම වැළැක්වීමට නම්...

ගැටුම් පැන නැඟීම වැළැක්වීමට නම්...

සිත සහ කය ඇති තැනැත්තා සත්ත්වයා නමින් හැඳින්වේ. ලෝකයෙහි විවිධ සත්ත්වයෝ වෙසෙති. ඒ ඒ සත්ත්වයන්ගේ ස්වභාවයන් අනුව ලෝකවාසී සත්ත්වයෝ කොටස් වෙති. ඒ කොටස් ධර්මයෙහි හඳුන්වන්නේ නිකාය වශයෙනි. මනුෂ්‍ය නිකාය, දේව නිකාය, අසුර නිකාය වශයෙන් දක්වා ඇත්තේ ඒ කොටස් ය.

ලොව වසන සෑම සත්ත්වයෙක් ම තමන්ගේ රූප කාය හා සම්බන්ධ ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගනියි. රූපයක් තිබූ පමණින් ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක වන්නේ නැත. ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය ඇතිවනුයේ ඒ ඉන්ද්‍රිය බද්ධ විඤ්ඤාණය ක්‍රියාත්මක වුවහොත් පමණි. ‘විඤ්ඤාණය’ යනු ඉන්ද්‍රිය ගෝචර අරමුණු හඳුනා ගන්නා ස්වභාවය යි. තවත් ලෙසකින් පවසතොත් ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක වන්නේ විඤ්ඤාණය ඇතිතාක් පමණි. නිදසුනක් ලෙස මළ මිනියට ද ඇස, කන, නාසය, දිව ආදී ඉන්ද්‍රියන් ඇත. නමුත් ඒවායෙහි ක්‍රියාකාරීත්වයක් නැත. විඤ්ඤාණය ඒ ඉන්ද්‍රියයන් හා බද්ධ නොවීම එයට හේතුවයි. වෙනත් ලෙසකින් පවසතොත් නාමය රූපයෙන් ඉවත් ව යාමයි.

සංසාරික පැවැත්මක් ඇති සත්ත්වයා භවයෙන් භවයට ගමන් කරද්දී ග්‍රහණය කර ගන්නා ලද අරමුණු මතකයන්හි තබා ගනී. ඒවා සංවත්තනික විඤ්ඤාණයෙහි තැන්පත් ව පවතී. එසේ තැන්පත් කර ගන්නා ලද අරමුණු වර්තමානයේ අත්දැකීම් සමඟ සංසන්දනය කොට විවිධ සිතිවිලි ගොඩනගා ගනියි. ඒ සිතිවිලි අතීත අනාගත වර්තමාන යන කාලත්‍රය ම උපකාර කොට පවතී.

බුදුසමයට අනුව සත්ත්ව සන්තානයෙහි කෙලෙස් ක්‍රියාත්මක වන අදියර තුනකි. ඒවා අනුසය, පරියුට්ඨාන, විතික්කම වශයෙන් දක්වා ඇත. අනුසය යනු සත්ත්වයන්ගේ චිත්ත අභ්‍යන්තරයේ කෙලෙස් තැන්පත් ව පවතින අවස්ථාවයි. ඒසේ තැන්පත් ව පවතින්නා වූ අනුසය කෙලෙස් හතක් ධර්මයෙහි සඳහන් වේ. රාගානුසය හෙවත් පඤ්චකාමයන්ට ඇති ආශාව, පටිඝානුසය හෙවත් තරහව, දිට්ඨානුසය හෙවත් තමන්ගේ උස් පහත් සම අසමතා තුළින් අනුන් මනින්නට ඇති අවශ්‍යතාව, විචිකිච්ඡානුසය හෙවත් තෙරුවන් පිළිබඳ හා මෙලොව පරලොව කර්මය ආදිය පිළිබඳ ඇති සැකය, භවරාගානුසය හෙවත් භවයෙහි උපදින්නට ඇති ආශාව හෝ පවතින්නට ඇති ආශාව, අවිජ්ජානුසය හෙවත් සිවුසස් පිළිබඳ ව හා කුසල් පිළිබඳ ව ඇති නො දැනීම යන මේ කෙලෙස් හත සත්ත්ව සන්තාන තුළ තැන්පත් ව පවතී. වෙනත් ලෙසකින් පවසතොත් ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් මූලයන් සෑම පෘථග්ජන සත්ත්වයෙකුගේම සිතේ ඉතා සියුම් ව නිද්‍රෝපගත ව තැන්පත් ව පවතී. එම අවස්ථාව අනුසය වශයෙන් හඳුන්වා ඇත. ඇස ආදී ඉන්ද්‍රියන්ට ගොදුරු වන රූපාදී අරමුණු නිසා සිතෙහි තැන්පත් ව පවතින හෙවත් අනුසය අවස්ථාවේ ක්‍රියාත්මක වන කෙලෙස් ඉස්මතුව එයි. එසේ මතුව එන අරමුණු තුළින් නිමිති ගන්නට යාම නිසා කෙලෙස් අවුස්සා ගනියි. ඉන්ද්‍රියගෝචර අරමුණු තුළින් පැනනගින කෙලෙස් පාලන කර ගත නොහැකි වූ විට සිදුවන්නේ ඒවා කයින් හා වචනයෙන් ක්‍රියාත්මක කිරීම හෙවන් සමාජගත කිරීමයි. එය ‘වීතික්කම’ අවස්ථාව ලෙස හඳුන්වා ඇත. වීතික්ක යනු පිටාරා ගලා යාමයි.

සාමාන්‍යයෙන් අපගේ සිතේ ද්වේශය තැන්පත් ව පවතී. ඇස ආදී ඉන්ද්‍රියයන්ට ගොදුරු වන අප අකැමැති අරමුණක් ගැනීම හා එය තුළට පිවිසීම නිසා හෙවත් අරමුණෙහි ම එල්බ සිටින්නට වීම නිසා යටපත් වී තිබූ ද්වේශය ඉස්මතු ව එයි. එමෙන් ම ඒ අරමුණ ම නැවත නැවත මෙනෙහි කරන්නට යාම නිසා සිත අභ්‍යන්තරයෙහි කැකෑරෙමින් පවත්නා වූ දේවේශය පාලන ය කර ගත නොහැකි ව කයින් වචනයෙන් ක්‍රියාත්මක කරන්නට පෙළඹේ. ලොව වසන සත්ත්වයන් ඔවුනොවුන් අඬදබර කරගනුයේ මේ මානසික ක්‍රියාකාරීත්වය නිසාය.

සාමාන්‍යයෙන් අප කරනුයේ ගලා ගෙන එන සියලු අරමුණුවලට ඇතුළට පැමිණීමට හෙවත් සිතෙහි පැළපදියම් වීමට අවකාශ සලසාදීම යි. එවිට කෙලෙස් හට ගැනීම වර්ධනය වේ. සාමාන්‍යයෙන් ඉන්ද්‍රියන් තුළින් ඇතුළට එන්නට උත්සාහ දරන්නා වූ අරමුණ දැක හඳුනා ගෙන ඇලෙන්නේ හෝ ගැටෙන්නේ හෝ මුළාවන්නේ නැතිව එය හඳුනා ගැනීමෙන් ම ප්‍රහාණය කළ යුතුය. එවිට නැවත නැවත කෙලෙස් හට ගන්නේ නැත. අප සිතිවිලිවලට සිත තුළ ඉඩකඩ සලසා දෙත් දෙත් ම, ඒවා සිතෙහි තහවුරු වන්නට ගනී. නිදසුනක් ලෙස මාවතේ සිඟාකමින් යන සිඟන්නෙකු ගෙදරට ආ විට අප ඔහු සතුටු කොට ගෙදරටත් ගෙන සැප පහසු අසුනක වාඩි කරවා, රස මසවුලෙන් පිරි ආහාර දී නැවත පැමිණෙන ලෙස ආරාධනාවක් ද කළහොත් ඔහු නැවත පැමිණේ. නිවැසියන් බෙදා දෙන්නටත් කලින් බලෙන්ම කෑම බෙදාගෙන කන්නටත් පටන් ගනී. හේතුව එම ස්ථානය ඔහුට පුරුදු තැනක් ලෙස පෙනෙන්නට වීම හා නිවැසියන් ඔහුගේ බිය නැති කොට ඔහු සතුටු කිරීමයි. යමෙක් සිඟන්නෙක් පැමිණි විට දොර විවර කොට බලා සිඟන්නෙක් බව අවබෝධ කර ගෙන දොර වසා දැමුවහොත් සිඟන්නා නැවත එම නිවසට පැමිණෙන්නේ ද නැත. නිවැසියනට කරදරයක් ද නැත. හේතුව සිඟන්නා සතුටු නො කළ බැවිනි. එලෙස අප අරමුණු ගන්නා විට ඒ අරමුණු හඳුනා ගත යුතුය. නමුත් ඒ තුළින් සිතෙහි කෙලෙස් පහළ වන්නට ඉඩ නො දිය යුතුය. අරමුණෙහි ඇලෙන්නට ගියහොත් අරමුණ තුළින් සතුටු වන්නට ගියහොත් සිත තුළ කෙලෙස්වලට ඉඩකඩ සැළසේ. පුහුදුන් තැනැත්තා සිතට නැඟෙන අරමුණු අතීතයට, අනාගතයට හා වර්තමානයට යොමු කරමින් සිතිවිලි ගොඩ නගයි. ඒ තුළ නිද්‍රෝපහතව පවත්නා වූ ක්ලේශ ධර්මයනට පැන නැඟෙන්නට ඉඩකඩ සැලසේ.

මෙම මානසික ක්‍රියාකාරීත්වය පාලනය කරන්නට නම් ශික්ෂණ ක්‍රම තුනක් අනුගමනය කළ යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ ශීල, සමාධි, ප්‍රඤ්ඤා යන ත්‍රිශික්ෂාවන් ය. සීලයෙන් සිදු කරන්යේ කය, වචන දෙක සංවර කර ගැනීමයි. සත්ත්වයාගේ ඉන්ද්‍රියයන් පිහිටා ඇත්තේ රූප කාය ආශි‍්‍රතව ය. ශීලයෙන් කය, වචනය සංවර කිරීම යනු ඉන්ද්‍රිය සංවරය ඇති කිරීමයි. ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගත් තැනැත්තා ඉන්ද්‍රිය ගෝචර අරමුණු පරිපාලනයෙන් යුතුව ගනීයි. තෝරා බේරා ගෙන කෙලෙස් ඇති නොවන ලෙස කටයුතු කරයි. අරමුණු ඔස්සේම සිත නො මෙහෙයවයි. ඒ තුළ මානසික සංවරයක් ද ඇති වේ. ඒ මානසික සංවරය සිත කුසල අරමුණක මෙහෙයවීමට උපකාර වෙයි. කුසල් අරමුණුවල සිත මෙහෙයවීම චිත්ත සංවරය පිණිස උපාකර වේ. ඒ මානසික ඒකාග්‍රතාව සමාධිය වශයෙන් හැඳින්වේ. නිසල සිතට, සමාධිගත සිතට යථාර්ථය අවබෝධ කර ගත හැකිය. සිත නිශ්චල වන විට සිතෙහි තැන්පත් ව පවතින ඉතා තුනී මට්ටමේ ක්‍රියාත්මක වන අනුසය කෙලෙස් පෙනෙන්නට පටන් ගනී. ප්‍රඥාවෙන් කරනුයේ ඒ අනුසය කෙලෙස් ඉවත් කොට සිත කුසලයෙහි ස්ථාවර කිරීම යි. සත්ත්වයා තම සිත අකුසලයෙන් මුදවා කුසලයෙහි ස්ථාපිත කිරීම නිර්වාණය වශයෙන් හඳුනා ගත හැකිය. ගැටුම් නැති නිරර්බුද ව පවතින එක ම ස්ථානය නිවන යි. වචනයේ පරිසමාප්තාර්ථයෙන් ගැටුම් නිවාරණය කරනුයේ නිවන් සුව සාක්ෂාත් කරගත් පසුවය.

එසේ වූයේ නමුත් මේ ගැටුම් නිරාකරණය කිරීමේ මාර්ගය ලෞකික ජීවිතවලට ද ඈඳා ගැනීම තුළ මෙලොව, පරලොව යහපත සලසා ගත හැකිය. රහතන් වහන්සේ ඉන්ද්‍රිය ගෝචර අරමුණු යෝනිසෝමනසිකාරයෙන් යුතුව හඳුනා ගන්නා අතර ඒ තුළින් කෙලෙස් ඇතිවන්නට ඇති ඉඩකඩ ද සහමුලින්ම අවුරා ඇත. ඒ අනුසය ක්ලේශ් ධර්මද සහමුලින්ම ඉවත්, කර ඇති බැවිනි. එබැවින් රහතන් වහන්සේ අරමුණෙහි ඇලෙන්නේ නැත. ගැටෙන්නේ නැත. මුලාවන්නේ නැත. උපාදානය කරගන්නේ නැත. පුහුදුන් සත්ත්වයා විඳින අරමුණෙහි ඇලෙයි. ගැටෙයි. මුලාවට පත්වෙයි. කෙලෙස් උපදවා ගනි. ඒ තුළ ගැටුම් ඇතිකර ගනියි.

අරමුණක් ඉන්ද්‍රිය ගෝචර වු පසු ඒ අරමුණ ඇතුලට ගෙන ස්ථාවර කිරීම තුළ ඇති වන්නා වූ ආදීනව හෝ ආනිසංසය සලසා බලතහොත් තම අධ්‍යාත්මයට හානිදායක අරමුණු නො ගෙන ඉන්නට බුද්ධිමත් සත්ත්වයා කටයුතු කරනු ඇත. එයට යෝනිසෝ මනසිකාරය පුරුදු කළ යුතුය. තමන් කරන කියන සිතන සියලු දේ පිළිබඳ විමසා බලා කටයුතු කිරීම යෝනිසෝමනසිකාරය යි. එසේ කරන විට බුද්ධිමත් තැනැත්තා කිසිවිටෙකත් තමනට හෝ අන් අයට හානි නොවන කි‍්‍රයාවෙන් සිදු කරන්න පෙළඹේ. තමන් හා සාපේක්ෂාව අන් අය දෙස ද බලන්නට පුරුදුු වෙයි. තමන් කිසිවෙකුගෙන්වත් නින්දා, අපහාස,තාඩන පීඩනවලට ලක් වන්නට කැමැති නො වන්නා සේ තමන්ගෙන් ලජ්ජාවට අපහාසයට පත්වන්නට හිංසාවට ලක් වන්නට කිසිවෙකුදු කැමැති නොවන බව සිතයි. .තමන්ගේ ක්‍රියාකාරකම් තුළ අන් අයට හානියක් ඇති නොවේ නම් හා අන් අයගේ ක්‍රියාකාරකම්වලදී තමන් බුද්ධිමත්ව කටයුතු කරයි නම් ගැටුම් උද්ගතවීම බොහෝ සෙයින් වළක්වාලිය හැකිය. සත්ත්වයා ලෝකය ලෙස සලකනුයේ තමන්ගේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියයන්ට ගොදුරු වන දේය. හෙවත් අරමුණු ය. ඒ අරමුණු හා කටයුතු කරන්නට යන ක්‍රමය තුළ ගැටුම් ඇතිවීම හෝ වළක්වාලීම සිදුවේ. යම් අරමුණක් තුළ කෙලෙස් හට ගන්නට ඉඩ නොදේද කුසලයට නැඹුරුවීමක් වේද, ඒ තුළ අධ්‍යාත්මක මෙන්ම බාහිර වශයෙන්ද සාමය හා සංවරය ඇතිවේ.

මේ අනුව සලකා බලනවිට ඉන්ද්‍රිය ගෝචර අරමුණු යෝනිසෝමනසිකාරයෙන් යුතුව පරිහරණය කිරීම සත්ත්වයාගේ ආධ්‍යාත්මික බාහිර ගැටුම් නිරාකරණයට මාවතයි.

- නයනා නිල්මිණි