Print this Article


අහිංසාව

අහිංසාව

තථාගතයන් වහන්සේ විසින් සාක්ෂාත් කරගත් නෛර්යානික ශ්‍රී සද්ධර්මයෙහි ප්‍රධාන මූලධර්මය අහිංසාවාදයයි. තෙරුවන් සරණගත වූ මොහොතේ සිටම නිවන් දැකීම දක්වාම බුද්ධශ්‍රාවකයන් පිළිපදින,ආරක්ෂා කරන ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි ක්‍රියාත්මක වන අනුල්ලංඝනීය න්‍යායයි. එහෙයින් සෑම අව්‍යාජ බෞද්ධයෙකු විසින් ම ඒ පිළිබඳ ව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

අහිංසාව යන්නෙහි මූලික අදහස හිංසාවෙන් වැළකී සිටීමේ ප්‍රතිපදාවයි. කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ මිනිසෙකුට තබා තිරිසනෙකුට වත් කිසිම ආකාරයක රිදවීමක්, පීඩාවක් හෝ නොකිරීම එහි නීතිය වේ. මේ සම්බන්ධයෙන් ගෞතම බුද්ධ චරිතයෙන් උදාහරණයක් දක්වතොත් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන අවදියේදී අහිංසාව ප්‍රගුණ කළ ආකාරය දැක්විය හැකිය. උදෑසන ඇවිදින අවස්ථාවලදි තණ පතක අග එල්ලී තිබෙන දියබින්දුවකට වත් හානියක් නොවන සේ ඇවිදීමට උන්වහන්සේ ප්‍රවේසම්කාරි වූහ. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව, ප්‍රස්තුත සංකල්පය නිර්වචනය වන්නේ එලෙසිනි. භාෂාමය පක්ෂයෙන් ගත් කල එය නිෂේධාර්ථවත් ශබ්දයකි. එනම්, යම් ක්‍රියාවක් හෝ සිතිවිල්ලක් හිංසාව ලෙස හැඳින්වෙයි නම් එය අත්හැරිමයි. හිංසාකාරි ක්‍රියාවන්ට ඇබ්බැහි නොවී ඒවායින් වැළකී සිටීමයි. බෞද්ධ ශික්ෂණ මාර්ගයේ ආරම්භක වකවානුට අයත් පන්සිල් අතරේ මෙන්ම එහි අනුක්‍රමික වර්ධන අවස්ථා නියෝජනය කෙරෙන අටසිල් අතරේත් ගිහි දසසිල්වලත් ශික්ෂමානා දසසීලයත් සාමණේර දසසීලයත් දැක්වෙන ශික්ෂාපද දෙස විමසිල්ලෙන් බලන විට, ඒ සියල්ලම වැළකි සිටීම් (විරමණයන් වේරමණී) බව ඉතා හොඳින් පැහැදිලි වෙයි. ඒ වචනවලින් දක්වනු ලබන්නේ ආධ්‍යාත්මික ගුණධර්ම වගාවේ ප්‍රාථමික අදියරේ සිටින කවර පෘථග්ජන පුද්ගලයෙකු විසින් වුවත් සමාදන් විය යුතු සහ පිරිය යුතු ශික්ෂාපද සමූහයකි.බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි උත්තර භාරතයේ ජනසමාජයෙහි පැවති දුෂ්ප්‍රතිපත්ති ලෙසින් හැඳින ගත් ඇවතුම් පැවතුම් ප්‍රතික්ෂේප කිරීම මේ වචනවලින් ඒ කාලයේ අදහස් කරන්නට ඇත. අනුක්‍රමයෙන් ශිෂ්ටත්වය අගයන මිනිසුන් වාසය කරන කවර ප්‍රදේශයකදී වුවත්, කවර කලෙකදී වුවත් ඔවුන්ගේ ආධ්‍යාත්මික දියුණුවට අදාළ වු ගුණධර්මයක් ලෙස සම්භාවනාවට පාත්‍ර වන්නට ඇත. අද එය විශ්වීය සදාචාර ධර්මයක් බවට පත්වී ඇත.

ඉහත සඳහන් කළ විස්තරය කියවන ඔබට අහිංසාව යනු විරතියක් පමණක් නම්, ඒ වෙනුවට, නැත්නම් ඉන් ඈතට කළ යුතු වෙනත් යමක් නැද්දැයි, ප්‍රශ්නයක් නැඟෙන්නට පුළුවන. අහිංසාව පමණක් ක්‍රියාත්මක කිරීමෙන් පරමනිෂ්ටාව සාක්ෂාත් කරගත හැකියැයි සිතෙන්නට පුළුවන. ඊට දිය හැකි පිළිතුර කුමක්ද? නිසැකයෙන්ම පිළිතුරක් නැත යන්න නම් නොවේ. හිංසාවට මූලික වන සියලු මානසික ආකල්ප හා කායික ඇවතුම් පැවතුම් සහමුලින්ම දුරු කිරීම හා නිෂ්ක්‍රිය කිරීම එහි අනිවාර්ය අංගයක් විය යුතුය.

මහාකාරුණික තථාගතයන් වහන්සේ දේශනා කරන පරිදි, හැම ජීවියෙකු සමඟ ම ගැටුම්වලින් හැලහැප්පීම්වලින් තොර ව එක්සිත් ව ගනුදෙනු කිරීමේ හැකියාව ප්‍රතිපත්තියක් වශයෙන් දියුණු කර ගන්නා ආකාරයේ මානසික ආකල්ප ජනනය කොට වර්ධනය කළ යුතුය. මෛත්‍රිය හෙවත් කා සමඟත් මිත්‍රශීලි ව විසීම ආකල්පයක් වශයෙන් දියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. බුදුරජාණන් වහන්සේ මේ අදහස හඳුන්වන්නේ උපන් සියලු ජීවින්ට හිතවත් බව සහ අනුකම්පා සහගත බව දැක්වීමේ (සබ්බපාණභුතහිතානුකම්පී) ගුණය වශයෙනි. වෙනත් වචනවලින් කියතොත් ඒ සමානාත්මතාව ප්‍රගුණ කිරීමකි. ඒ ඒ වෙලාවට තමන් විසින් ගනුදෙනු කරනු ලබන පුද්ගලයාගේ ආත්මභවය හෝ විශේෂතා හෝ තරාතිරම වැදගත් නොවේ. ඔහු පිරිමියෙකු විය හැකිය. නැතහොත් ගැහැනියක් විය හැකිය. නැත්නම් තිරිසන් සතෙකු හෝ සර්පයෙකු විය හැකිය. ඒත් නැත්නම් අදෘශ්‍යමාන සත්ත්වයෙකු විය හැකිය. ඒ කවුරු සමඟ වුවත් සමානාත්මතාවයෙන් යුතුව ඔහුට හෝ ඇයට නිසි ගරු සරු ඇතිව ක්‍රියාකිරීම මෛත්‍රිය නම් වේ. එය සීමා රහිතය. කරණීය මෙත්ත සූත්‍රයෙහි මේ බව මනාව විස්තර වෙයි. ඕනෑම ඉරියව්වකින් වුවද දියුණු කළහැකිය. මෙවන් ආකල්පයක් දියුණු වන විටෙක පැහැපත් වන සිතෙහි ඊර්ෂ්‍යාව , වෛරය, ක්‍රෝධය, දැඩි කෝපය සහ ද්වේෂය ආදි රෞද්‍ර චෛතසික හට නොගනී. සිතෙහි බලපෑමක් ක්‍රියාත්මක වෙමින් පැවති දුෂ්ට චෛතසික ක්‍රමක්‍රමයෙන් පහව යයි. එවිට සිත ප්‍රසන්න වෙයි. තවත් ගුණාංග රාශියක් දියුණු වන බව මිත්තානිසංස සූත්‍රයෙහි විස්තර වෙයි. මේ නයින් මෛත්‍රිය වැඩීම පුද්ගලික ජීවිතයෙහි මෙන්ම සමාජ ජීවිතයෙහි සාර්ථකත්වයට අනූපමේය මෙහෙවරක් වන බව කිව යුතුය.

කෙතරම් අගනා ප්‍රතිපදාවක් වුවත් අහිංසාව ප්‍රායෝගිකව ක්‍රියාවට නැඟීම හිතන තරම් පහසු නොවන බව නම් නොකියාම බැරිය. හේතුව අප ජීවත් වන මානව පරිසරයෙහි ස්වභාවයයි. වරෙක බෝසතුන් වහන්සේ සුදු ඇතෙකු ව හිමාලයේ උපන්නේය. ඔහු එහි වාසය කළේ තමන්ට නෑකම් කී සුළු පිරිසක් සමඟය. ඒ එසේ වුවත් ඒ වන ප්‍රදේශය ඔහුට ඉතා පි‍්‍රයජනක විය.ඇත් පැටියා සිත්සේ අහර බුදිමින්, ක්‍රීඩා කරමින්, විවේක ගනිමින් කාලය ගත කළේය. මේ අතරතුර බරණැස් නුවර වෙළෙන්දෙක් කිසියම් කාර්යයකට ඒ වනාන්තරයට පිවිසියේය. පහසුවෙන් පිවිසි නමුත් ඒ කැලයෙන් එළියට එන පාර සොයා ගත නොහැකිව දින කීපයක් වනයේ ඔබ මොබ සැරිසරමින් සිටි ඔහු මහත්සේ වෙහෙසට පත් වී ගසක් යට සිත් තැවුලෙන් විඩා හරිමින් සිටියේය. කෙළිදෙළෙන් පසු වු ඇත් පැටියාට අහම්බෙන් මෙන් විපතකට පත්ව අසරණව සිටි වෙළෙන්දා දකින්නට ලැබිණ. ඔහුගේ විලාශය දුටු ඇත් පැටවා තුළ බලවත් කම්පාවක් ජනිත විය. ඔහු වෙත ගිය ඇත් පැටවා වෙළෙන්දා හමුවට ගොස් ඔහුගේ වතගොත දැන ගෙන ඔහුට උපකාර කිරීමට ඉදිරිපත් විය. දින ගණනක් නිතිපතා පානීය ජලය සහ පලතුරු මීපැණී සපයා දුන්නේය. මිත්‍රශීලිව ඇප උපස්ථාන කළේය. පිළිසඳරෙහි යෙදුණේය. එයින් සුවපත් වු වෙළෙන්දා තමන්ට කැලයෙන් එළියට යා ගන්නට උදව් කරන ලෙස ඇත් පැටවාගෙන් ඉල්ලා සිටියේය. කරුණාභරිත වූ ඇත් පැටවා වහා ක්‍රියාත්මක වී වෙළෙන්දා තම පිට උඩ තබාගෙන කැලයෙන් පිටවන තැන දක්වා ගෙන ආවේය. දැඩි සේ විමසිලිමත් වූ වෙළෙන්දා ඒ ගමන් මඟ සලකුණු අමතක නොවන සේ සිත තබා ගත්තේය.

වෙළෙන්දා නගරයට ගොස් දින ගණනකින් පසු අවි ආයුධ කීපයක් රැගෙන ගොස් වනයේ පෙර පුරුදු තැනට ගොස් කලින් තමන්ට සෙවණ දුන් ගස මුල අසරණව මෙන් වැටී සිටියේය.අපේක්ෂා කළ පරිදි ම,ඇත් පැටවා එහි පැමිණ “ ආයෙත් ආ එක හොඳයි” කියා පිළිගෙන සත්කාර කරන්නට විය. යුහුසුළු වූ බරණැස් වැසියා “අනේ මට අනුකම්පා කරන්න. මම හරි අසරණයි. මම ජීවත්වන්නේ නගරයේ, එහෙ මිනිසුන්ට මම හුඟක් ණය වෙලා ඉන්නේ. ඔවුන්ගෙන් මට බේරීමක් නෑ. කරදර කරනවා. අනුකම්පා කරලා ඒ දුකෙන් නිදහස් විය හැකි උපකාරයක් කරන්නැයි” වෙළෙන්දා බැගෑපත් ව ඉල්ලා සිටියේය. ඒ වෙනුවෙන් මගෙන් බලාපොරොත්තු වන්නේ මොනවාදැයි ඇත් පැටියා විමසීය. “අනේ පින්වත් ඔබතුමා සතුව තිබෙන ඔය දළ දෙකෙන් එකක් මට දෙන්න” ඒ කූඨ වෙළෙන්දාගේ ආයාචනය විය. එකහෙළාම ඇත් පැටියා ඊට එකඟ විය. වෙළෙන්දා දළයක් කපා ගෙන කැලයෙන් පිට ව ගියේය. වැඩිකල් නොගොස් ඔහු නැවතත් ඒ වනයේ එතැනටම ගොස් කලින් කළා වගේම කතාවක් කියා ඇත් පැටියාගේ දෙවන දළයද කපා ගත්තේය. එයින් තෘප්තියට නො පැමිණි බරණැස් වැසියා තෙවැනි වරටද එහි ගොස් ඇත්පැටියා හමුවිය. එවර ඔහුගේ ඉල්ලීම වූයේ ඉතිරි වී කට ඇතුළෙ තිබෙන දළ කෑලි දෙකයි. පරම අහිංසාවාදි වූ නමුත් තම ක්‍රියාවෙන් තමන්ට වන හානියේ තරම ගැන නොදත් ඇත් පැටවා ඊටද එකඟ විය. කෛරාටික වෙළෙන්දා ඇතා මරා දමා දළ කෑලි දෙක ගලවා ගත්තේය.

අහිංසාව පරාජය වන අයුරු පැහැදිලි කරන මේ කතාවේ ඇත් පැටවා කෙතරම් අහිංසාවාදි වී දැයි සහ ධනයට ගිජු වූ අසත්පුරුෂ වෙළෙන්දා කෙතරම් කෲර වී දැයි ඉහත කථාවෙන් ඉතා මැනවින් නිරූපණය වෙයි. ඇත් පැටවාට අන්තිම වශයෙන් අත් වූ ඉරණමට හේතු වූයේ කවර කරුණුද? වරද අහිංසාවේද? ඊට පිළිතුරු සපයන තවත් කථාවක් ජාතක පොතේම ඇතුළත් වෙයි.

පියතුමාගේ ඇවෑමෙන් රාජ්‍යයට පත් වීමට අපේක්ෂා කරමින් සිටි එක් කුමාරයෙක් ඊට පෙරාතුව රටේ නියම තනතුරු දැන ගැනීමේ අදහසින් වෙස් වළාගෙන රට වටේ යමින් සිටියේය. ඒ අතරතුර එක් තැනකදි දේවාලයක පූජා පැවැත්වෙනු දුටු හෙතෙමේ එතැනට ගොස් ඒ දෙස බලා සිටියේය. ඔහුට දකින්නට ලැබුණේ අතිශයින් ඛේදජනක පූජාවකි. පූජාව වූයේ හාවුන්, මුවන්, එළුවන් ආදි අහිංසක සතුන්ගේ බෙලි කපා පණ යන්නට පෙර ගින්නට බිලි කිරීමයි. අතිශයින් හෙළා දැකිය යුතු පූජාවක් නමුත් ඊට විරුද්ධ වන්නට මට බලයක් නෑ. මා බලයට පත් වු දාට පිළියම් යොදන්නම් යන අධිෂ්ඨානයෙන් එතැනින් නික්ම ගිය කුමරා ඉන් ටික කලකට පසු පියාගේ මරණයෙන් පසු ඔටුනු පැලැන්දේය.අර සිද්ධිය සිත තබා ගෙන සිටි හෙතෙමේ ඉන් පසු රට පුරා අණ බෙරයක් යවා මෙසේ ආඥාවක් පැනවීය. මෙයින් පසු තම විජිතයෙහි සතුන්ගේ බෙලි කපා ගිනිබත් කරමින් පූජා පවත්වන සියලු මිනිස්සු බෙලි කපා ගිනිබත් කරනු ලැබෙත්. මේ පිළිබඳව තමන්ට වාර්තා කිරීම පිණිස චරපුරුෂයන් යෙදවීය. දින, සති, මාස, අවුරුදු ගත විය. දඬුවම ක්‍රියාත්මක කිරීමට තරම් කිසිදු සිද්ධියක් වාර්තා නොවීය.

හිංසාව මර්දනය කළ අපූරු විලාශය මෙහි විස්තර වෙයි. අහිංසාව කෙරෙහි එල්ල වන අභියෝග මැඬ ගත හැක්කේ අහිංසාවාදී හිංසනයෙන් ම යැයි මෙයින් තහවුරු කෙරෙයි.