බුදුදහමේ වීර්යයට හිමිතැන
ශි‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරි, මහාචාර්ය
බෙල්ලන්විල විමලරතන අනු නා හිමි
“නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යෝ ඒවං මහතො අත්ථාය
සංවත්තති. යථා යිදං භික්ඛවේ විරියාරම්භො භික්ඛ වෙ මහතො අත්ථාය
සංවත්තතිතී”
(අංගුත්තර නිකාය ඒකක නිපාතය)
මෙයින් අදහස් කළේ වීර්යාරම්භය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා
කළ ඉතා කෙටි සූත්‍ර ධර්මයක්, වීර්යාරම්භයේ වැදගත්කම, ගුණ. ඵලදායිතාවය,
මහණෙනි, මහත් අර්ථ පිණිස, ප්‍රයෝජනය පිණිස හේතු වන යම් ධර්මයක්, කරුණක්
තිබෙනවා නම් මේ වීර්යාරම්භය හා සමාන වෙනත් කරුණක් මට පෙනෙන්නේ නැහැ.
මහණෙනි, වීර්යාරම්භය මහත් අර්ථ පිණිස පවතී කියන එකයි. ඒ තේරුම අනුව මේ
සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කොට තිබෙන්නේ මිනිසුන්ගේ මහත්
ප්‍රයෝජනයට , ශුභ සිද්ධියට, යහපතට දියුණුවට, ප්‍රගතියට හේතු කාරක වන
මුල්වන, පිහිටවන, කාරණා අතර වීර්යාරම්භයට සමාන කළ හැකි වෙන කිසිම
ධර්මයක් නැති බවයි. එහෙම නම් දියුණූවේ මුල වීර්යාරම්භයයි. ශුභ සිද්ධියේ
හේතුව වීර්යාරම්භයයි. අභිවෘද්ධියට මග වීර්යාරම්භයයි. එහෙම නම් මිනිස්
සමාජයට දියුණුවේ මග දියුණුූවේ රහස, දියුණුවට මඟ එළිපෑදුම් කරමින්
බුදුරදුන් අවධාරණය කොට වදාළ වීර්යාරම්භය පිළිබඳ මේ ධර්මය ඉතා හොඳින්
දැන ඉගෙන පුහුණුූ කිරීම අපේම වාසියට, ලාභයට, සැනසීමට හේතුවන බව සලකා ගත
යුතුයි.
දැන් අපි බුද්ධ ධර්මයේ සඳහන් වන විස්තර තොරතුරුවලට අනුව වීර්යය,
කුමක්ද? විර්යය ආරම්භය කුමක්ද ? එය පුහුණු කරන්නේ කෙසේද? එයින් සැලසෙන
වාසි මොනවාද? ආදි කරුණුූ ඉගෙනීමට බලමු. අභිධර්මයේ ඉගැන්වෙන පරිදි
කියන්නේ සතර පරමාර්ථ ධර්ම වලින් චෛතසික කාණ්ඩවලට අයත් එක චෛතසික
ධර්මයක්, චෛතසික කියන්නේ සිතිවිලිවලටයි. වීර්ය චෛතසිකයක් නිසා එය
සිතිවිල්ලක්. සිතිවිල්ල එකට ඉපිද එකට නැසෙන එකම අරමුණක් ගන්නා, එකම
වස්තුවක පවත්නා ගති ලක්ෂණ ඇති මනෝමය පැවැත්මකත්, සිතත් සමඟ වීර්ය
චෛතසිකය යෙදීමෙන් තමයි කිසියම් කටයුත්තක් පිළිබඳ ක්‍රියාත්මක උනන්දුවක්
ඇතිවන්නේ, සිත හා වීර්ය නොයෙදුනු විට සිදුවන්නේ ක්‍රියාත්මක උනන්දුවක්
ඇති වෙනවා වෙනුවෙන් සිත පසුබැසීමයි. සිත හැකිළීමයි. සිත පසු බස්සවන,
සිත හකුළුවන , කුසීතකමට ප්‍රතිවිරුද්ධව සිත දිරිගන්වන, ඉදිරියට ගෙනයාමට
මෙහෙයවන චෛතසිකයයි විරිය. ඒ නිසා වීරිය චෛතසිකය උපමාවකින් හඳුන්වනවා
නම් හරියට කඩා වැටෙන දේකට දෙන බලයක් වගෙයි. රුකුලක් වගෙයි. සිත අවශ්‍ය
දෙයින් වැටෙන්නට නොදී ඉදිරියට පවත්වා ගැනීම සඳහා යෙදෙන උපස්ථම්භක
ශක්තිය වීර්ය නමින් හැඳින්වෙනවා.
වීර්ය යොදන හැටි විස්තර වන ධර්ම වාක්‍යවලින් විස්තර වන හැටියට සිත ඒ
වුවමනා දෙයින් වැටෙන්න ඉඩනොදී රඳා පවත්වා ගැනීම පමණක් වීර්ය නෙවෙයි.
සිතට ඊට වඩා පළල් විදියකින් බලපෑම් කරන බව තේරුම් ගැනීමටත් පුළුවනි.
ඡන්දං ජනෙති වායමති, විරියං ආරහති චිත්තං පග්ගණ්හාති පදහති. යන පාළි
පාඨවලින් අපට වීර්යාරම්භයත් වීර්යෙන් කෙරෙන දේත් වඩාත් සවිස්තරාත්මකව
වටහා ගැනීමට අවස්ථාව ලැබෙනවා. යම් දෙයක් කිරීමේ කැමැත්ත ඕනෑකම ඒ
කියන්නේ කත්තුකම්‍යතා ඡන්දය කරනු කැමති බව ඇතිවීමත් එක්කම වෑයම් කරනවා.
වීර්ය අරඹනවා. පටන් ගන්නවා. සිතට බලපෑම් කරනවා. අධිෂ්ටාන පූර්වකව වීර්ය
කරනවා. එයින් පේනවා අවශ්‍ය කාර්ය සම්පාදනය සඳහා සිත එයින් වැටෙන්නට ඉඩ
නොදි රඳවා ගන්නවා පමණක් නෙවෙයි. සිත දිරි ගන්වමින් සිතට බලපෑම් කරමින්
ජයග්‍රහණය තෙක් වෑයම අත් නොහැර තියුණුූ කිරීමේ ශක්තිය මේ වීර්ය චෛතසිකව
තිබෙන බව, මේ කරුණුවලින් පේනවා, හැම කාර්ය සංසිද්ධියක් සඳහාම, කවර තරමේ
මහන් තත්වයක් ලබා ගැනීම සඳහා වුවත් මේ වීර්ය ආරම්භය මූලිකයි.
අත්‍යවශ්‍යයි. වීර්යාරම්භයෙන් තොර ලැබිය හැකි කිසිම ජයග්‍රහණයක් නැහැ.
මේ බව අපට අපේ මේ ජීවිතයෙන්ම තේරුම් ගැනීමට පුළුවන් දෙයක්.
අප සරුසාර ජීවිත ලබා ගැනීම සඳහා, ගොඩනැගීම සඳහා නොයෙක් ව්‍යාපාර කටයුතු
පටන් ගන්නවා. කරනවා. ඉගෙනීම , ගොවිතැන, වෙළෙඳාම ආදි ඒ සියලු කටයුතු
සඳහා ඕනෑකම, වෑයම , වීර්යාරම්භය, සිත රැඳවීම කළොත් පමණයි අපට එයින්
දිනුමක්, ඵලයක්, වැඩක් සිදුකර ගත හැක්කේ, සමහර විට බාධාවලින් කරදරවලින්
පිරුණූ ලෝකයේ උත්සාහ කළත් ඒ බාධා නිසා ප්‍රතිඵල අඩුව යන වෙලාවල්,
වැරැදි යන වෙලාවල් තිබෙන්නට පුළුවන්. එහෙම නම් උත්සාහ නොකර වීර්යයෙන්
තොරව ජයග්‍රහයක් ලබා ගන්නවා කියන එක විහිළුවක්, ප්‍රතිඵලය වැරදුනත්
උත්සාහ කිරීම ගෞරවයක්, නම්බුවක්, හොඳ කියමනක් තිබෙනවා. “යත්නෙ කෘතෙ යදි
නසිද්ධ්‍යාති කොත්‍ර දොෂඞ” උත්සාහ කරල වැරදුනත් ඒකෙ ඇති වරද මොකක්ද?
වරදක් නෑ. ලෝකයා කියන්නෙ “මිනිහ නම් දන්න දහිරිය දැම්ම. ඒත් හරිගියේ
නෑ. මොනවා කරන්නද කියලයි. මේක මිනිස් කමට ගෞරවයක්. නම්බුවක් එහෙම
නෙවෙයි,උත්සාහ නොකොට කුසීතකමට පිරිහුණොත් එතනදී අපේ මිනිස්කමට ලැබෙන්නේ
නිගාවක්. මිනිහ විහින් පිරිහුණා . ඔයිට වඩා උනන්දු වුණා නම් ඕකට
ගොඩයන්න තිබුණා” වගේ කතා සමහර විට අපට අසන්නට ලැබෙනවා. ඒ කම්මැලියන්
ගැනයි. මේ කතා මිනිස් කමට ගෞරවයක් අවනම්බුවක් නෙවෙයි. එම නිසා ලෞකික
ජීවිතයක් ගෙවන අපට එය ගෞරවාන්විතව ගෙනයාමට ඒ ඒ දෙයට අවශ්‍ය වීර්යය ඒ ඒ
අවස්ථාවට යොදවන්නට ඕන.
ඉගෙනීමෙහි යෙදෙන ශිෂ්‍යයා ඉගෙනීමට අදාළ උත්සාහය උනන්දුව යෙදවුවොත්
පමණක් ඉන් නිසි නියම ඵල ලබන්න පුළුවන්. කියවීම, ලිවීම, සාකච්ඡාව,
චින්තනය, පර්යේෂණය යන විවිධාංශවලට යොදන උත්සාහය, උනන්දුව විශාරද රට
පිළිගත් උගතුන් වීමට බුද්ධිමතුන් වීමට පුළුවන්කම ලැබෙනවා. ඒ මිස
කම්මැලියෙක් කුසීතයෙක් විශාරද පඩිවරයෙකුගේ, උගතෙකුගේ තත්වයට පත්වු බවක්
අපට අහන්නටවත් ලැබෙන්නේ නැහැ. ලෞකික ජීවිතයේ අනික් හැම අංශයක් ගැන
බැලුවොත් එහි ජයග්‍රහණය සාරවත් බව ගොඩනගා ගත හැක්කේ වීර්යාරම්භය පදනම්
කර ගෙනයි. කෘෂිකර්මයෙන් රැකෙන්නෙකුට යැපෙන්නෙකුට විර්ය කොතරම් අවශ්‍යද?
කලට වේලාවට වැපිරීම, ආරක්ෂාව, නඩත්තුව, අස්වනු නෙලීම ,සුරක්ෂිත කිරීම
ආදි දේවලට ඉතාමත් සාර්ථක උත්සාහයක්, උනන්දුවක් තිබිය යුතුයි. නැතිනම්
ඒවා පාළුවීම, නිසරුවීම, නොයෙක් උවදුරුවලට අසුවීම නිසැකයි. වෙළෙඳාමේ
යෙදෙන්නාටත් ඒ වගේමයි. හොඳ උත්සාහයක අවශ්‍යතාව කියා නිම කළ නොහැකියි.
භාණ්ඩ සපයා ගැනීම,රැක ගැනීම, අලෙවිය ආදි කටයුතු නොපමාව අලස නොවී
කලට,වේලාවට කිරීමෙහි උත්සුක නොවුවහොත් කවදාවත් ඔහුට එයින් දියුණුවක්
ලබන්නට බැහැ. මේ සියලු කරුණුවලින් පෙනීයනවා ජීවිත ජයග්‍රහණය සඳහා විශාල
වාසි ලැබීමටත් වීර්යාරම්භය තරම් බලපාන වෙනත් කිසිම බලයක් නැතැයි බුදුන්
වදාළ කරුණෙහි ඇති සත්‍යතාව.
අවශ්‍ය තැන අවශ්‍ය උත්සාහය නොයෙදන වීර්යාරම්භයෙන් තොර මිනිසා කුසීතකම
නිසා පිරිහෙන හැටි බුදුරජාණන් වහන්සේ සවිස්තරව සිඟාලෝවාද සූත්‍රයෙහි
පැහැදිලි කොට තිබෙනවා. තමාගේ පුරුෂකාරයට පුරුෂ ධෛර්යයට, මිනිස්කමට පවා
නින්දා වන අයුරින් උත්සාහයට පිටුපා කුසීතකම ඉහවහා ගිය මිනිසුන් තමන්ගේ
මිනිස් වගකීම් පැහැර හැරීමට මාතෘකා හදාගත් හැටිත් ඒ මාතෘකා නිසා
වීර්යාරම්භයෙන් ලබන ජයග්‍රහණය වෙනුවට කුසීතකමින් පිරිහී යන හැටිත් එම
සූත්‍රයේදි පෙන්වා දි තිබෙනවා. කම්මැලියාට තිබෙන මාතෘකා මෙසේයි.
1.දැන් බෑ. දැන් බොහොම සීතලයි
2. දැන් බෑ දැන් හරිම උෂ්ණයි
3.දැන් බෑ. දැන් හොඳටම හවස් වෙලා
4.දැන් බෑ, දැන් හරිම බඩගිනියි
5. දැන් බෑ. දැන් හොඳටම බඩ පිරිලා
කම්මැලිකමට මේ මාතෘකා එකින් එක හදාගන්නා මිනිසෙකුට වැඩක් කරන්නට
කාලයක්, වේලාවක් ඉතිරිවෙයිද කියා හොඳින් සිතා බැලිය යුතුයි. මේ හැටියට
ශීත,උෂ්ණ, මද්දහන, හැන්දෑව, බඩගින්න , බඩපිරීම, සඳහා වැඩ අත්හරින
මිනිසා වැඩ කිරීමෙන් දවසේ ඉතිරිවන කාලයක් නැහැ. වැඩ එහෙමයි. මිනිහා
බුදි. වෙන්නෙ කුමක්ද ? හැම සැප සම්පතකින්ම පිරිහීමයි. කාලකන්නියකු
ඇතිවීමයි.
එහෙම නෙවෙයි මිනිසා බුද්ධිමත් විය යුතුයි. මේ හැම එකක්ම මිනිසා මුහුණ
දිය යුතු ප්‍රශ්නයි. ඒවාට බිය විය යුතු නැහැ. ධෛර්යයෙන් ඒවාට මුහුණදිය
යුතුයි. ජයග්‍රහණය ලබා ගත හැක්කේ එවිටය. එම ජයග්‍රහණය බුදුරජාණන්
වහන්සේ වර්ණනා කොට වදාළේ මෙහෙමයි.
යො ච සීතංච උණ්හංච තිණා භීය්‍යො නමඤ්ඤති
කරං පුරිසකිච්චානි සො සුඛා න විහායති
යමෙක් සීතල උෂ්ණ ආදි බාධක තණ පරඬලා තරමටවත් ගණන් නොගෙන පුරුෂකාරයෙහි
යෙදෙයි නම්, උත්සාහවත් වෙයි නම් ඔහු කිසිසේත් සැපයෙන් නොපිරිහෙයි යනු
එහි තේරුමයි.
ලෞකික සැප සම්පතින් නොපිරිහීමට ,ආඪ්‍ය වීමට විර්යාරම්භය මෙසේ බලපානවා
නම් මේ ලෝක තත්වය ඉක්ම වීමට තීරණය කිරීමට අපේක්ෂා කරන බලාපොරොත්තු වන
බුද්ධිමතෙකුට මේ වීර්යාරම්භය කොතරම් බලවත් ලෙසින් අවශ්‍ය වෙනවද කියන වග
අමුතුවෙන් කිව යුතු නැහැ.
එනිසා තමයි වීර්ය නොයෙක් ක්‍රම වලින් විස්තර කොට උගන්වා තිබෙන්නේ.
බුදුබව පතන මහ බෝසත්වරුන්ටත් පසේ බුදු බව පතන පසේ බෝසත් වරුන්ටත් රහත්
බව පතන ශ්‍රාවක බෝසත් වරුන්ටත් ඒ උතුම් ඤාණ ලාභයට උපකාරි වන ප්‍රධාන
කරුණක් තමයි විර්යාරම්භය, පාරමිතාවලදී වීර්ය පාරමිතාවක්, විර්යය සපුරා
ලීමෙන් ඤාණ ලාභය සිදුවන හෙයින් පාරමිතාවකි. බොජ්ඣංග ධර්මවලදී එය
බොධ්‍යාංගයකි. බෝධිය නම් නිර්වාණයයි. නිවනට අංගයක්, කරුණක් වන ධර්මය
බොධ්‍යංගයයි. නිවනට අසහාය උපකාරයක් වන හෙයින් වීර්ය බොධ්‍යංග ධර්මයකි.
බල ධර්ම අතර වීර්ය බල ධර්මයකි.
නිවන් දැකීම සඳහා අපට නොපසුබස්නා කායික මානසික බලයක් අවශ්‍යයි. එම බලය
අපට ලබාදෙන්නේ වීර්යයි. එහෙයින් එය බල ධර්මයකි. ඉන්ද්‍රිය ධර්ම අතර
වීර්ය ඉන්ද්‍රියකි. එම කාර්ය සාධනය සඳහා පුරෝගාමි වන නියාමක ශක්තියක්
තිබෙනවා. වීර්යයට එවැන්නක් සසර තරණය කොට නිවන් පුර පැමිණවීමට පුරෝගාමී
වන නියාමක ධර්මයක් වන හෙයින් වීර්යය ඉන්ද්‍රිය ධර්මයකි. මේ හැම
විස්තරයකින්ම පැහැදිළි වන වැදගත් කරුණක් නම් අපේක්ෂා කරන කවර ආකාරයේ
මහත් අර්ථ සිද්ධියක්, ජයග්‍රහණයක් වුවත් අත්පත් කර ගැනීමට වීර්යාරම්භය
තරම් බලවත්, වැදගත් ,වෙනත් කරුණක් නොමැති බවයි. ඒනිසා මේ කරුණූ
අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂයෙන් දැන වදාළ බුදුරජාණන් වහන්සේ ස්වකීය
අනුගාමිකයන් අමතා මෙබඳු දේශනාවක් කළා.
ආරභථ නික්ඛමථ යුඤ්ජත බුද්ධසාසනෙ
ධුනාථ මච්චුනො සෙනං නළාගාරංච කුඤ්ජරෝ
බුදු සසුනෙහි වීර්යාරම්භය කරව්. කුසීත භාවයෙන් නික්මෙව්. සියලු වධ
බන්ධනයන් සිඳලීම සඳහා විර්ය පරාක්‍රමයෙන් ක්‍රියා කරව්. බට දඬු ලෙනක්
සුණු විසුණු කරන හස්තිරාජයකු මෙන් සියලු මරසෙන් නසා වනසා දමව් යනු මේ
ගාථාවේ අදහසයි. වීර්යාරම්භය කළ යුතු සැටිත් කළ යුතු තැනත් මේ ගාථාවෙන්
පැහැදිලි වෙනවා. මේ අනුව ක්‍රියා කරන අයෙකුට පමණයි නියම බෞද්ධයෙකු විය
හැක්කේ. සසුන් ඵල ලැබිය හැක්කේ. සසුන්ඵල ලැබීමේ පරම අදහසින්
ක්‍රියාත්මක ජීවිතයක් ගත කරන කෙනෙකුට මිස නාම මාත්‍රයෙන් කිසිවෙකුටත්
බෞද්ධයෙකු වීමට නුපුළුවන. බුද්ධ ශාසනයේම යෙදුණූ කෙනෙකුටම සසුන්ඵල
ලැබීමටත් බෞද්ධයකු වීමටත් හැකි වන නිසා බුදුරජාණන් වහන්සේ ඉතා
පැහැදිලිව යුඤ්ජථ බුද්ධසාසනෙ යනුවෙන් බුද්ධ ශාසනයෙහි යෙදෙන ලෙස
අනුශාසනා කොට තිබේ. අපේ යුතුකම අපට මේ සසුන්ඵල ලබාගැනීමට අවශ්‍ය නම් එය
හඳුනා ගෙන බුදුන් වදාළ පරිදි එහි යෙදී සෑදි ක්‍රියා කිරීමයි. බුදු සසුන
නොහඳුනනවා නම් එහි යෙදීමක් ගැන සිතන්නටවත් ඉඩක් නැහැ. එනිසා සසුන හඳුනා
ගැනීම පළමුවෙන්ම කළ යුතුයි. ඉතාමත් කෙටියෙන්, බොහෝම සරලව, එමෙන්ම
පැහැදිලිව බුදුරජාණන් වහන්සේ අපට බුදු සසුන හඳුන්වා දි තිබෙන්නේ
මෙහෙමයි.
සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං ඒතං බුද්ධානසාසනං
මේ තමා බුද්ධ ශාසනය සියලු ආකාරයෙන් පව් නොකිරීම, කුසල් රැස් කිරීම,
තමාගේ සිත පිවිතුරු කිරීම යන මෙයයි. බුදු සසුන යුඤ්ජථ බුද්ධ ශාසනේ යන
ඉගැන්වීමෙන් කළේ බෞද්ධයා මේ ක්‍රියා පටිපාටිය සඳහා වීර්යාරම්භ කිරිමත්,
කුසීතකමින් නික්මීමත්, සියලු බාධක මඩිමින් වීර්යයෙහි යෙදිය යුතු බවත්
පැහැදිලිව ප්‍රකාශ කිරීමයි. අව බැහැර කිරීම, කුසල් රැස්කිරීම, සිත
පිවිතුරු කිරීම අරභයා වීර්යය වැඩීමට ප්‍රධන් වීර්යය නමිනුත් උගන්වා ඇත.
ප්‍රධන් වීර්යය හතරකි. ඒ හතර නම්,
1.නූපන් පව් නොඉපදවීම සඳහා වීර්යවත් වීම
2. උපන් පව් ප්‍රහාණය කිරීම සඳහා වීර්යවත් වීම
3.නූපන් කුසල් ඉපදවීම සඳහා වීර්යවත් වීම
4. උපන් කුසල් වැඩිදියුණුව සඳහා වීර්යවත් වීම
බුදුදහමේ කුසල් නමින් උගන්වන්නේ යම් කායික, වාචසික, මානසික
ක්‍රියාකාරකමක් තමන්ට හෝ අනුන්ට හෝ දෙගොල්ලන්ටම හෝ අහිත පිණිස අවැඩ
පිණිස, දුක් පිණිස , පවතිනවා නම් හේතු වනවා නම් ඒවායි. එබන්දක් මේතාක්
තමන්ගේ සිතෙන්, කයෙන්, වචනයෙන් සිදු වී නැත්නම් සිදු නොවූ ඒ අකුසලය
ඉදිරි ජීවිතයේදි කවරදාවත් නොකර සිටීමට වීර්යවන්ත වීම, උත්සාහවන්ත වීම
පළමුවන වීර්යයි. තමන්ගේ තම ජීවිතයේදි කවදා හෝ කායික වාචික මානසික
වශයෙන් එවැනි ලාමක පව්කමක් කර නැත්නම් ඉදිරි ජීවිතයේදි එබන්ඳක් කවදාවත්
නොකිරීමට බැහැර කිරීමට වෑයම් කිරිම දෙවැනි වීර්යයි. පින නැත්නම් කුසලය
කියා බුදුදහම උගන්වන්නේ යම් කායික වාචික මානසික ක්‍රියාකාරකමක් තමන්ට,
අනුන්ට, දෙගොල්ලන්ටම හිත පිණිස, වැඩ පිණිස, යහපත පිණිස, සැප පිණිස
පවතිනවා නම් එයයි. මේ තාක් තමන් නොකළ හොඳ දේ කිරීමට උත්සාහවන්ත වීම,
වෑයම් කිරීම තුන්වන වීර්යයි.
මෙතෙක් සිය ජීවිතයේදී සිදු කළ ඉටුකළ හොඳ දේ , කුසල් ඉදිරි ජීවිතයේදීත්
නැවත නැවත කිරීම වශයෙන් වැඩි දියුණු කිරීමට උත්සාහවන්ත වීම වෑයම් කිරීම
හතර වන වීර්යයි. මේ සතර අවස්ථා සඳහාම වීර්යය ආරම්භ කළ යුතුයි. එසේ
වීර්යය අරඹන තුරු සසුන් වීර්යයට බැසගැනීමත් ආරම්භයක් මුල පිරීමක් සිදු
වන්නේ නැහැ. මේ දේ මේ ප්‍රතිඵලය සඳහා මා කළ යුතුයි කියන කිරීමේ කැමැත්ත
කන්තුකම්‍යතාච්ඡන්දය ඇතිවුනොත් පමණයි වීර්යාරම්භය ඇතිවන්නේ, වීර්යයේ
මෙකී මුල් අවස්ථාව ආරම්භ ධාතු නමින් ඉගැන්වෙනවා. අර ඉහතින් ගාථාවේ
අරභථ, යන පදයෙන් ගත්තේ බුදුසසුනෙහි වීර්යාරම්භ කළ යුතුයි යන ආරම්භ
ධාතුවයි.
වීර්යය ආරම්භ කළ පමණින් කිසියම් කාර්යයක් සඵල වන්නේ නැත. අප දන්නා
අන්දමට බොහෝ හොඳ වැඩ ආරම්භ වෙනවා.ආරම්භ කරනව. නමුත් ප්‍රශ්නය ඒවා
පවත්වා ගැනීම පිළිබඳවයි. උපන්ගෙයිම මියයන හොඳ වැඩ ආරම්භ වන හැටි සුලභව
සමාජයේ දැක ගැනීමට පුළුවනි, බාධක, ගැටලු ප්‍රශ්න එක දෙක මතු වන විට
පසුබට වෙනවා. අබල දුබල, වෙනවා. අන්තිමට කැඩී බිඳී නැත්තටම නැති වෙනවා.
මෙසේ වීමට ඉඩ හැරිම සැබැ වීර්යයයේ හෝ වීර්යවන්තයෙකුගේ ලක්ෂණයක් නොවෙයි.
සැබෑ වීර්යයෙන් ආරම්භක වීර්යයෙන් ඉදිරියට නික්මෙනවා. වීර්යය පවත්වා
ගනිමින් ඉදිරියට ගෙනයාම එහි නික්ඛමධාතු කියන අවස්ථාවයි. ආරම්භක වීර්යයේ
ප්‍රබල අවස්ථාව එයයි. අර ගාථාවේ නික්ඛමථ යන පදයෙන් අදහස් කළේ ඇරඹූ
වීර්යය නොකඩවා නොහකුළුවා ඉදිරියට පවත්වා ගත යුතු බවයි. වීර්යයේ උච්චතම
අවස්ථාව එළඹෙන්නේ ඊළඟටයි. වීර්ය ඇරඹූ පමණින් වීර්ය තරමක් එපිටට පවත්වා
ගත් පමණින් ජයග්‍රහණය ලබා ගත හැකියි කියා නොසිතිය යුතුයි. මක්නිසාද?
ජයග්‍රහණය ලැබීම සඳහා ලෞකික වශයෙන් වේවා ලෝකෝත්තර වශයෙන් වේවා අත්පත්
කර ගත යුතු ජයග්‍රහණය ලබා ගැනීම බොහෝ බාධා හිරිහැර කම්කටොළු මැද කළ
යුත්තක්. එපා වීම ඇති කරවන බාධා බොහෝමයි. දිරිගන්නන්ට වඩා පසු
බස්සන්නන්, පැසසුම් කරන්නන්ට වඩා නින්දා කරන්නන්, මග පෙන්වන්නන්ට වඩා
මග ඇහුරන්නන්, හොඳ දේට දිරි දෙන්නන්ට වඩා නරක දේට දිරිදෙන්නන් බහුල
සමාජයේ හොඳට වඩා නරක පිරුණු ලෝකයේ වීර්යයෙන් යුතුව ඵලදායි ඉදිරි ගමනක
යෙදීමට ඇති බාධා අනන්තයි. අප්‍රමාණයි.
මේ සඳහා තමයි අපට වීර්ය පරාක්‍රමය අවශ්‍ය වන්නේ. වීර්ය පරාක්‍රමයෙහි
නොයෙදිය හැකි, පැරදවිය නොහැකි මාර බලයක් ඇත්තේ නැත. බට දඬුවලින් තැනූ
පැල්පතක් සුණු විසුණුූ කොට දැමීමට මහ ඇතෙකුට සුළුම සුළු කාරියක්
වන්නාක් මෙන් පුරුෂගමනයෙන් පුරුෂ පරාක්‍රමයෙන් ගොඩනගා ගත් වීර්ය
පරාක්‍රමයෙන් පරාජය නොකළ හැකි මාර බලයක් කිසිම තැනෙක නැත. එනිසා අර
ගාථාවේ යුඤ්ජථ යන පදයෙන් උගන්වා ඇත්තේ වීර්යයේ තුන් වන අවස්ථාව වන
වීර්ය පරාක්‍රමයෙන් බුදු සසුනෙහි යෙදිය යුතු බවයි. ඔහුට නියත වශයෙන්ම
හැම මාර බලයක් නසා වනසා සසුන්ඵල ලැබීම නියත වශයෙන්ම සිදුවෙයි.
වීර්යයේ මේ තුන්වන අවස්ථාව චතුරංග සමන්නාගත වීර්ය වශයෙන් හඳුන්වා ඇත.
එම වීර්යයේ තත්වය පැහැදිලි කර ඇත්තේ මෙසේයි.
කාමං තචොව නහාරූ ච අට්ඨි ව අවසුස්සතු
උපසුස්සතු ගත්තෙ මේ සබ්බං තං මස්සලොහිතං
මාගේ ශරීරයෙහි සමත්, නහරත්, ඇටත්, පමණක් ඉතිරි වේවා. ඒත් අපේක්ෂිත අර්ථ
සිද්ධිය නොලබා මේ වීර්යාධිෂ්ඨාන අත් නොහැරීම යනු මෙහි අදහසයි.
සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ බෝමැඩ ජය පර්යංකයෙහි වැඩ හිඳ ඉටා ගත්
මේ වීර්යාධිස්ඨානය නිසාම උන්වහන්සේ සියලු මරසෙන් දිනා බුදුවීමට අවස්ථාව
සැලසුණු බව උන්වහන්සේගේ ප්‍රධන්වීර්ය කථාවලින් විස්තර වෙයි. එබඳු දැඩි
අධිෂ්ඨාන පූර්වක වීර්යයකින් තොරව මාර බල, මාර පාශ නසා ජයග්‍රහණය ලබා
ගැනීමට නොහැකි වන නිසයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් අමතා යුඤ්ජථ
බුද්ධසාසනෙ යනුවෙන් වීර්ය පරාක්‍රමයෙන් යුතුව බුදු සසුනෙහි යෙදෙන ලෙස
අනුශාසනා කොට වදාළේ.
වීර්ය පිළිබඳව මෙතෙක් සඳහන් කළ තොරතුරුවලින් අපට වටහා ගත හැකි කරුණ නම්
වීර්යයෙන් තොරව ලෞකික වූත් හැම අර්ථ සිද්ධියක් සඳහාම ඇරඹිය යුතු ,
පවත්වා ගත යුතු කවර බලවේගයක් නිසාවත් අත් හැර නොදැමිය යුතු ශාරිරික හා
මානසිකව වැඩි දියුණූු කළ යුතු ශක්තියක් බලයක් බවයි.
එහෙයින් කුසීතකම හමුවේ පරාජයත් වීර්ය හමුවේ ජයග්‍රහණයත් ලැබෙන බව හේතු
සාධක ඇතිව, තර්කානුකූලව, යථාර්ථවත්ව තේරුම් ගෙන වීර්ය පාරමිතාවක්
වශයෙන් ප්‍රගුණ කළ යුතුයි. උප පාරමිතාවක් වශයෙන් ප්‍රගුණ කළ යුතුයි.
පරමාර්ථ පාරමිතාවක් වශයෙන් ප්‍රගුණ කළ යුතුයි. වීර්ය පාරමිතාව නිසා ලබා
ගත් ජීවිතය අර්ථවත් ඵලවත් කරගත හැකියි. පරලොව ජීවිතයත් සඵල කරගත
හැකියි. බෞද්ධයන්ගේ පරම අපේක්ෂාව වු නිර්වාණාවබෝධයට පිහිට වෙයි. |