Print this Article


බුදුබණ පදය සිහිපත් කරමු

බුදුබණ පදය සිහිපත් කරමු

මේ දිනවල අනුරාධපුර ප්‍රදේශය පිළිබඳව ජනමාධ්‍ය තුළින් නිතර නිතර කතාබහට ලක්වෙන බව පෙනෙන්නට තිබේ. අනුරාධපුර පිළිබඳව මේ දිනවල මේ ආකාරයෙන් කතාබහට ලක්වන්නේ අනුරාධපුරයේ මෑත භාගයේ සිද්ධ වුණා යැයි කියන සිදුවීම් දෙකක් සම්බන්ධවයි. එම සිද්ධි දෙකම බුදුදහම තුළ ආධ්‍යාත්මික වශයෙන් මිනිස් මනස දියුණු කරගත් ආධ්‍යාත්මික ජීවිතයක් ගතකරන ඇත්තන් පිළිබඳ කථාබහකි

මේ දිනවල අනුරාධපුර ප්‍රදේශය පිළිබඳව ජනමාධ්‍ය තුළින් නිතර නිතර කතාබහට ලක්වෙන බව පෙනෙන්නට තිබේ. අනුරාධපුර පිළිබඳව මේ දිනවල මේ ආකාරයෙන් කතාබහට ලක්වන්නේ අනුරාධපුරයේ මෑත භාගයේ සිද්ධ වුණා යැයි කියන සිදුවීම් දෙකක් සම්බන්ධවයි. එම සිද්ධි දෙකම බුදුදහම තුළ ආධ්‍යාත්මික වශයෙන් මිනිස් මනස දියුණු කරගත් ආධ්‍යාත්මික ජීවිතයක් ගතකරන ඇත්තන් පිළිබඳ කථාබහකි.

බුදුදහම තුළ ආධ්‍යාත්මික ජීවිතයේ අග්‍රඵලය වන්නේ බුදු, පසේ බුදු, මහරහත් යන සංකල්පයයි. මේ කාරණා තුන තුන්තරා බෝධිය ලෙස ප්‍රකාශ කරනු ලැබේ’. එම තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ නිවන් දැකීමට බලාපොරොත්තු වන බෞද්ධ ජනතාව එම තුන්තරා බෝධියටම එක ලෙස සලකනු ලැබේ. මේ කාලය තුළ අනුරාධපුර ප්‍රදේශයේ දිස්වුණාය කියල කියන පැවිදි රූපය මහරහතුන් වහන්සේලා වශයෙන් බොහෝ මිනිසුන් විශ්වාස කරන බව ජනමාධ්‍ය මඟින් ප්‍රකාශයට පත්වේ. පුවත්පත්, රූපවාහිනිය, ගුවන්විදුලිය හා අන්තර්ජාලය මඟින් මෙම කාරණාව හෙළිදරව් කරනු ලැබේ. මාධ්‍ය තුළින් කරුණු කාරණා පිළිබඳව සොයා විමසා බලන මිනිසුන් තුළ කුතුහලයක් මතුවී තිබේ. මේ දැක්කාය කියලා කියන්නේ සත්‍ය වශයෙන්ම මහරහතුන් ද? කියන කාරණාව, මේ දැක්කා යැයි කියා කියන්නේ සත්‍යවශයෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ජීවිතය දියුණු තත්ත්වයට පත්කරගත් අයද? යන කාරණාව පිළිබඳවයි.

මේ දිනවල අනුරාධපුර පුරාම හා ශ්‍රී ලංකාව පුරාම පමණක් නොව අන්තර්ජාලය හරහා ලෝකය පුරා පැතිරී යන සිද්ධි කාරණා දෙකක් ලෙස දක්වන්න පුළුවන්. ඉන් එක් කාරණාවක් නම් අනුරාධපුරයේ විජයාරාම කැණීම් කරන ස්ථානයේ තිබෙන සිද්ධිය. එම සිද්ධිය නම්, “ එහි වැඩකරන එක්තරා කාන්තාවක්, බොරපාට සිවුරු පොරවාගෙන පිණ්ඩපාතයේ වඩින ස්වාමින් වහන්සේලා කිහිප නමක් දැක තිබෙනවා. ඔවුන් විශ්වාස කරන්නේ එදා තිබූ ආධ්‍යාත්මික වශයෙන් හිත දියුණු කරගත් අය විවිධ ආකාරයෙන් මිනිසුන් ඉදිරියේ පෙනී සිටිනවාය කියාය. ඒ වගේම මෙම ස්ථානයේ මේ වගේ සිදුවීම් ගණනාවක් පිළිබඳව කතන්දර පවතී. මෙම ස්ථානය පිළිබඳව යමක් සිහිපත් කළොත් විජයාරාමය කියන ස්ථානය ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ආගමික ආධ්‍යාත්මික ඍෂිවරුන් වහන්සේලා ඉන්නට ඇති යැයි කියා ඇතැම් පිරිසක් සිතන ස්ථානයකි. මහායාන හෙවත් වෛතුල්‍ය වාදය ආරම්භ වූ ස්ථානය අභයගිරි විහාරයයි. අනුරාධපුරයේ අභයගිරි විහාරයට නුදුරින් පිහිටා තිබෙන මෙම විජයාරාමය කියන ස්ථානය අනුව අභයගිරියෙහි ජීවත්වුණ ආධ්‍යාත්මික වශයෙන් භාවනාවට නැඹුරු වුණු මහායාන බුද්ධාගම පිළිගත් භික්ෂූන් වහන්සේලා වාසය කළ ස්ථානයක් ලෙස පුරා විද්‍යාත්මක වශයෙන් තොරතුරු ඔප්පු වී තිබේ. එකදහස් නවසිය ගණන්වල බෙල් මහතා මේ ස්ථානය පරීක්ෂාවට ලක්කර තිබේ. ඒ වගේම සෙනරත් පරණවිතාන මහතාත් අභයගිරියට සම්බන්ධ මහායාන ආගම පිළිගත් ස්ථානයක්ය කියන කාරණාව ඔප්පුකර තිබෙනවා.

නමුත් ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතය වැඩම කරනව දැක තිබෙන්නේ මේ මෑතකයි. ඒ වැඩම කරන ස්වාමීන් වහන්සේලා ඒ පිරිස දුටු ගමන්ම අතුරුදහන් වුණාය කියලත් කියන කතාව මේ දිනවල අනුරාධපුරය පුරා පැතිරී තිබෙනවා.

අනුරාධපුරයෙහි සිදුවුනා යැයි කියන අනෙක් සිදුවීම් නම් කිසියම් පුද්ගලයකු ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතයේ වඩිනවා දුටුවාය කියන කාරණාවයි .එම පුද්ගලයා කියන ආකාරයට එම ස්වාමින් වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කර තිබෙනවා. මේ පුද්ගලයා එම ස්වාමීන් වහන්සේ ට පිණ්ඩපාතය බෙදලත් තිබෙනවා. ඒ වගේම ඒ දිනවල වැසි දවස් නිසා මඩ වගුරු සහිත මඩ බිමේ ස්වාමීන් වහන්සේ ඇවිදගෙන ආවත්, උන්වහන්සෙගේ පාදවල මඩ බින්දුවක් වත් තැවරී තිබුණේ නැහැ කියල මේ තැනැත්තා ප්‍රකාශ කරනවා. මේ පුද්ගලයා ප්‍රකාශ කරන ආකාරයටය,මේ ස්වාමින් වහන්සේ පාර මාරුවන විට වටපිට නොබලා පාර මාරු වුණාය. ඒ අවස්ථාවේ කිසිදු වාහනයක් පාරේ ගමන් කළේ නැත යන්නය. මේ ආකරයෙන් සාමාන්‍ය පුද්ගලයන්ට කළ නොහැකි ආකාරයේ යම් යම් ප්‍රාතිහාර්යාත්මක සන්සිද්ධි මේ ස්වාමින් වහන්සේ කළ කී දෑවලින් පෙනෙන්නට තිබෙන නිසා මාධ්‍යවල මේ සිද්ධිය ප්‍රචාරය වන්නේ මහරහත් ස්වාමීන් වහන්සේ නමක්ය කියලා. පිණ්ඩපාතය බෙදුවාය, දුටුවාය කියන පුද්ගලයා මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේ, මේ ස්වාමීන් වහන්සේ අඟල් කිහිපයක් උඩින් පාරේ ගමන් කරනවාය කියලා. ඒ නිසා තමයි කකුල්වල මඩ තැවරුනේ නැත කියන කාරණාව ඔහු තහවුරු කරන්නේ. ඒ වගේම සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා පැහැපත් ස්වභාවයක් තිබුණු බවත් කියනවා. මෙම සිදුවීම් දෙකම අධ්‍යයනය කරල බලන විට සිදුවීම් දෙකම බුද්ධාගමට සම්බන්ධ බෞද්ධ සම්ප්‍රදායට සම්බන්ධ බෞද්ධ ජීවිතවල අරමුණු කරුණු කාරණාවලට සම්බන්ධ සිද්ධි ලෙස දැක්විය හැකිය. සෑම මනුෂ්‍යයෙකුම මහරහත් තත්වයට පත්වීමට බලාපොරොත්තු වෙනවා මෙන් එබඳු මහරහත් වහන්සේ නමක් දකින්නත් උන්වහන්සේ සමඟ වචනයක් හෝ කතා බහ කරන්නත් ආසාවක් කැමැත්තක් පවතිනවා. කුතුහලයක් තිබෙනවා. වරින්වර බොහෝ වෙලාවට මේ වගේ සිද්ධි සමාජයේ මතුවෙනවා. මෙවර මතුවෙලා තිබෙන මෙම සිද්ධි දෙකම අනුරාධපුර ප්‍රදේශයෙන් වීම විශේෂයි. අනුරාධපුර නගරය ශ්‍රී ලංකාව තුළ ආධ්‍යාත්මික සමාජයට මඟ පෙන්වපු ආධ්‍යාත්මික වශයෙන් සිත, මනස දියුණු කරගත් මහරහතන් වහන්සේලා ලක්ෂ ගණනින් වැඩ සිටි ස්ථාන ලෙස අපේ ඓතිහාසික ග්‍රන්ථ තුළින් හඳුනාගන්නවා. ඒ රහතන් වහන්සේලා පිළිබඳ පුරාවෘත කතා කරගෙන එන විට අපේ ඓතිහාසික ග්‍රන්ථවල දක්නට ලැබෙන්නේ මලියදේව මහරහතන් වහන්සේ අපේ රටේ රහතන් වහන්සෙලාගේ නාමාවලියේ අවසන් රහතන් වහන්සේ ලෙසයි. නමුත් අවසන් රහතන් වහන්සේ මලියදේව මහ රහතන් වහන්සේ යැයි ඵෙතිහාසික ග්‍රන්ථවල සඳහන් වුණාට වර්තමාන සමාජයේ ඇතැම් අවස්ථාවල අපට දැන් දැන් අසන්නට ලැබෙනවා සෝවාන් වුණ මනුෂ්‍යයන් හා රහත් භික්ෂූන් වහන්සේ පිළිබඳව. සකෘදාගාමී වූ මිනිසුන්, භික්ෂූන් වහන්සේ පිළිබඳව, අනාගාමී වූ භික්ෂූන් වහන්සේ පිළිබඳව, මහරහතන් භාවයට පත්වූ භික්ෂූන් වහන්සේ හා මිනිසුන් පිළිබඳව අසන්නට ලැබෙනවා. මෙසේ අහන දකින විට අපේ බුද්ධිමත් මිනිස් සමාජය බොහෝ වෙලාවට ඒ සිද්ධි උපාහාසයෙන් දකිනවා. ඒ අය මේ සිද්ධි එසේ උපහාසයෙන් දකින්නේ අපේ ඓතිහාසික පැරැණි ග්‍රන්ථවල සඳහන්වන මලියදේව මහරහතන් වහන්සේ ගේ සිද්ධිය නිසා. මලියදේව මහරහතන් වහන්සේගේ සිද්ධිය නම් මෙරට වැඩ සිටි අවසාන රහතන් වහන්සේ මලියදේව මහරහත් වහන්සේය කියන කාරණාවයි. අපේ බොහෝ උගත්තු, බුද්ධිමත්හු රහත් සංකල්පය මෙසේ දකින්නේ. ඒ අය හිතාගෙන ඉන්නේ අන්තිම කෙනාට පසුව තවත් කෙනෙකු නැහැ කියලා. සාමාන්‍යයෙන් සමාජයේ එහෙම තමයි. වෙනත් කෙනෙකු නැත්නම් එයාට කියන්නේ අන්තිමයා කියලා. අන්තිමයාගෙන් පසුව තව කෙනෙකු ඉන්න පුළුවන්කමක් නැහැ. ඒ අප සමාජයේ යම් යම් සිද්ධී අර්ථ විග්‍රහ කරන ආකාරය

නමුත් ඒ සමාජයේ යම් යම් සිද්ධි අර්ථ විග්‍රහ කරන ආකාරයටම ඒ නියමාවලියට තබාගෙන ආධ්‍යාත්මික වශයෙන් දියුණු වුණ මිනිසුන් ලෝකයේ නැහැ කියලා කියන්න කිසියම් කෙනකු තර්කයක් ඉදිරිපත් කරනවා නම්, ඒ තර්කය බොල් තර්කයක්. ඒ ආකාරයට තර්ක කරන්න බැහැ. ආධ්‍යාත්මික වශයෙන් සිත දියුණුවුණ මිනිසුන් සිටින්න පුළුවන්. එහෙම නැහැයි කියලා කියනවා නම්, ඔප්පු කරන්න අවශ්‍යයයි. එහෙම ඉන්නවාය කියලා කියනවා නම් ඔප්පු කරන්න අවශ්‍යයයි. ඉන්නවාද? නැද්ද ? කියන තහවුරුව ගන්න පුළුවන් වෙන්නේ පර්යේෂණයකින්. සොයා බැලීමකින්, විමසා බැලීමකින් හා හඳුනා බැලීමකින් තමයි අපට “ඇත” “නැත” යන නිගමනවලට එන්න පුළුවන් වන්නෙ. නමුත් විය හැකි බව තේරුම් බේරුම් කරගැනීමට සිටිය හැකිය. නොහැකිය කියන සිද්ධි තේරුම් බේරුම් කරගැනීමට පර්යේෂණයක් අවශ්‍ය වන්නේ නැහැ. ආධ්‍යාත්මික වශයෙන් දියුණු වූ මිනිස්සු මේ සමාජය තුළ ඉන්නට පුළුවන්. අප දකින, තමන් දකින, තමන් ආශ්‍රය කරන, තමන් ගනුදෙනු කරන, තමන් හිතන ආකාරය තුළින්ම සියල්ල තීරණය කරන්න ගියොත් එසේ ගිය පුද්ගලයාට ඒ තීරණ වරදිනවා. එයට හේතුව ඔහුට තිබෙන දත්ත සීමා සහිත ඒවා වු නිසා. එනිසා අප කිසිකෙනෙකුට තමන්ගේ මනඞකල්පිත මනෝලෝකයේ තිබෙන අදහස් සත්‍යය ලෙස සමාජය හෙළිදරව් කරන්න අයිතියක් නැහැ. යමෙක් යම්කිසි ඤාණයක් සමාජයට දෙනවිට ඒ ඤාණය පිළිබඳව පර්යේෂණාත්මකව ඔප්පුකිරීමක් තියෙන්න ඕනේ. එහෙම නැතිව මේවා නැහැ.මේවා වෙන්න බැහැ. මේවා තියෙනවා. මේවා වෙන්න පුළුවන් ආදී වශයෙන් කියන්න බැහැ. අපේ සංස්කෘතික සමාජය තුළ රහතන් වහන්සේලා වැඩ හිටියා. රහතන් වහන්සේලා ට දන් පහන් පිළිගැන්වූවා. රහතන් වහන්සේලා සමඟ කතාබහ කළා. රහතුන් සමඟ එකට ජීවත්වුණා. එවැනි සමාජයක් අපට තිබුණා. ඒකට කියන්නේ අප ජීවත්වන ආධ්‍යාත්මික ලෝකය කියලා. ඒවා පිළිබඳව පිළිගැනීම් ඇති කරන්නේ විශ්වාස කරන්න. සෑම මනුෂ්‍යයෙකුම ඇහැට දැක්කේ නැතත් ඇතැම් ඇතැම් දේවල් විශ්වාස කරනවා. හැම කෙනකුම විශ්වාස ලෝකයේ ටික වේලාවක් ඉන්නවා.ජීවිතයේ කිසියම් වෙලාවක විශ්වාස ලෝකයේත් ඇතැම් අවස්ථාවල සත්ත්ව ලෝකයේත් ඉන්නවා. සත්ත්ව ලෝකය එකක්. විශ්වාස ලෝකය එකක්. කල්පනා ලෝකය තව එකක්. මේ ලෝක තුනෙන් අප ජීවත් වන්නේ සත්ත්ව ලෝකයේ. නමුත් අනෙක් ලෝකවලත් මිනිස්සු සැරිසරනවා .මේ ආකාරයට මිනිසුන් ආධ්‍යාත්මික ලෝකවල ජීවත් වන සමාජයක් අපට තිබෙනවා. අප එබඳු සමාජවල ජීවත්වෙනවා. ඒ සමාජ සංකල්පය කියල කියන්නේ එකක්. අනුරාධපුරයේ රහතුන් දැක්ක කියලා කියන්නේ තව එකක්. මෙතන සිද්ධි දෙකක් මිස එකක් නොවෙයි. දෙක එකට පටලවාගෙන යන්න ගියොත් අපේ සංකල්පීය අප ජීවත්වන මනෝභාවීය ලෝක විශ්වාසයන් අපට හැකිවෙනවා. අනුරාධපුරයේ වුණ සිද්ධි සිද්ධී ලෙස පිළිගන්න යනවා නම්, ඒවා පිළිගන්න වන්නේ තවදුරටත් සොයා බලාය. කෙනකු කියූ පමණින් ඒ දෙය ඇත්තමය කියලා පිළිගන්නට එපා යැයි කියල බුදුදහම උගන්වනවා. කියන දෙයක් ඇසූ පමණින් එම ඇසු දෙය සත්‍යය ලෙස පිළිගන්න එපාය කියලා බුදුදහමේ කියනවා. තමන් සොයා බලා විමසා නිවැරැදි ඤාණයට පැමිණි පසු එය පිළිගන්න, එය බැහැර කරන්න කියලා කියන බුදු බණ පදය අනුරාධපුර සිද්ධි සම්බන්ධයෙනුත් අදාළ බව සිහිපත් කරන්නට ඕනෑ.