UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිත දමනය

සිත දමනය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
න හි එතෙහි යානෙහි ගච්ජෙය්‍ය අගතං දිසං
යථාත්ථානා සුදන්තේන දන්තෝ දන්තේන ගච්ඡති

 

සැදැහැවත් කාරුණික පින්වතුනි,

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණ, ඛුද්දක නිකායට අයත් ධම්මපදයේ නාග වග්ගයේ සඳහන් වන උතුම් ගාථා රත්නයකුයි මාතෘකා කොට ගත්තෙ.

අප ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් තමන් වහන්සේ අවබෝධ කොට වදාළ ශ්‍රී සද්ධර්මය, ලෝක සත්වයාට දේශනා කරන ලද්දේ ඉමහත් වූ අනුකම්පාවකින් යුතුවයි.

බුදුරජාණන් වහන්සේ කියලා කියන්නෙ පින්වතුනි, විශ්ව ස්වභාවය ඒ හැටියෙන්ම පැහැදිලි කරල දුන්න මේ කල්පය තුළ පහළ වුණ අතිශ්‍රේෂ්ඨතම ප්‍රාඥයාණන් වහන්සේයි. උන්වහන්සේ ලෝකයාට පැහැදිලි කළේ විශ්වයට අයත් විශ්වයේ ස්වභාවිකවම සිදුවන විශ්ව ක්‍රියාවලියයි. මෙය පැහැදිලි කර දෙන්නා “බුද්ධ” හෙවත් බුදුරජාණන් වහන්සේ හෙයින් එම විශ්ව දහම බුදුදහම ලෙසින් හඳුන්වනව. ලෝකයේ ප්‍රථම වතාවට විශ්වයේ සිදුවන සත්‍ය ක්‍රියාවලිය ස්වයං භූ ඥානයෙන්ම අවබෝධ කරගෙන පහදා දෙන්නේ බුදුරජාණන් වහන්සේයි. මෙන්න මේ ක්‍රියාවලිය තුළ මිනිසා කියල කියන්නෙත් විශ්වය සතු සත්වයෙක්. මෙම ස්වභාවික ක්‍රියාවලිය තුළ මිනිසාට හිමි තැන පිළිබඳව පරිපූර්ණ විවරණයක් බුදුදහම තුළ තිබෙනව. ස්වභාවිකව හටගත් පාරිසරික වස්තූන්සේම මිනිසාත් ස්වභාවික සත්වයෙක්. මිනිසාසේම අනෙක් සතුන්, ස්වභාවික වස්තූන්, ඒ ඒ පාරිසරික හේතු සාධක මත ඇති වී නැතිව යනව. මේ සඳහා බලපාන හේතු සාධක ස්වභාවිකයි.

විශ්ව නියමය යටතේ ස්වභාවයෙන්ම ඇති වූ මිනිසා, සිය ජීවිත කාර්යය පවතින විශ්ව යථාර්ථයට අනුව හැඩ ගසා ගත යුතුව ඇත. ඔහු ඉන් පරිබාහිර අරමුණු කරා ගමන් කරනව. අන්න එවිට මිනිසා විශ්ව යථාර්ථයෙන් බාහිරවයි ගමන් කරන්නෙ. එහි ප්‍රතිඵලය වන්නෙ, මිනිසා මිනිසා අතරත් පාරිසරික වස්තූන් හා සත්වයන් සමඟත් ගැටුම් ඇතිකර ගැනීමයි. මේ කුමක්ද වෙන්නෙ? ආශාව මත ගොඩනඟාගත්ත අරමුණු ස්වභාවිකත්වයට, යථාර්ථයට එකඟ නැහැ. ඒ නිසා ගැටීම් ඇතිවෙනව. ආශාවයි ගැටීමයි, ආශාව මතමයි ගැටීම. මේ කුමක්ද තෘෂ්ණාව හා පටිඝය. මිනිස් සිතක උපදින මෙම අකුසල ධර්ම හේතුවෙන්මයි ලෝකයේ අර්බුද හට ගන්නෙ. ලොව ඇති සියලුම අර්බුදයන්හී උපත ඇත්තෙ මෙතැනයි. සිත තුළමයි. දමනය නොකළාවූ මිනිස් සිත තුළම උපදින්නක්.

වර්තමාන මිනිසාට උද්ගතව ඇති ලොකුම ගැටලුව තමාට තමාවම තේරුම් ගැනීමට, විසඳා ගැනීමට නොහැකිවීමයි. ඒ කියන්නෙ මිනිස් සිත, මිනිසා ස්වභාවිකයි කියා අමතක කර දැමීමයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ හෙවත් පස්, වතුර, ගිනි, සුළං යන ස්වභාවික මූලධර්ම මත උපන් මිනිසා ජීවත්ව සිටින කාලය තුළ එම මූල ධාතූන්ම සිය ප්‍රයෝජනය සඳහා භාවිතා කරනව. මිනිසාගේ ආහාර, නිවාස, ඖෂධ, වස්ත්‍ර, බඩු මුට්ටු ආදී කවර දෙයක වුවත් මූල ධාතු වෙන්නෙ පස්, වතුර, ගිනි, සුළං මයි. මෙම මූලධාතුවල සියුම් කොටස් වන පාට, සුවඳ, රස, ඕජාව ඇතුළත්ව හැම දෙයකම ස්වභාවික උරුමය වන්නෙ විනාශ වී යාමයි. ස්වභාවික පරිසරය පිහිට කොට ගෙන හටගත් කිසිවක් තුළ තිරසාර යමක් ඇත්තෙම නැහැ.

මිනිසා මෙන්ම ඔහු ප්‍රයෝජනයට ගන්නා ඕනෑම දෙයක යථා ස්වභාවය විනාශ වී නැත්තටම නැතිවයාම පමණයි. එය විශ්ව සත්‍යයයි. මෙන්න මේ යථාර්ථය, පිළිනොගෙන ඊට අකීකරුව තෘෂ්ණාව මත යම් යම් දේ තිරසාරව පවත්වන්නට යාම තුළ හටගන්නා වූ වේදනාවෙන් මිනිසා පෙළෙනවා. මෙය දුක වශයෙන් අත්විඳිනව. මෙන්න මේ දුක්ඛිත ස්වභාවය මිනිසා හැමදාමත් අත්විඳින දෙයක්. හේතුව කුමක්ද? තෘෂ්ණාව, අනවබෝධය මතයි තෘෂ්ණාව වඩන්නෙ මෝහයනෙ. බෞද්ධයා කියන්නෙ මෝහය නසන ප්‍රඥාව කරා ගමන් කරන කෙනායි. ප්‍රඥාව කරා ගමන් නොකරන්නා ආන්න අර දුකින්, වේදනාවෙන් පීඩිතව වල්මත් වෙනව. එකිනෙකා කෙරෙහිත් ආරවුල් ඇති කර ගන්නව. කුමක්ද මේ කරන්නෙ? තම හිත රවට්ට ගනිමින් තමා මෙන්ම තමා සන්තක දේත් තිරසාර යයි සිතා දැඩි තරගයකයි යෙදෙන්නෙ. අස්ථිර පුහු හේතූ සාධක අල්ලා ගනිමින් මිනිසා තම වර්ගයා හා දැඩි ඊර්ෂ්‍යාවකින් පෙළි පෙළී තෘෂ්ණාවම පොදි බඳිනව. ඒත් තමාත් සමගම තමා සතු සියල්ලත් යළි යළිත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත ධාතූන් සමගම එක්වෙනව කියල කල්පනාවට ගන්නෙ නැහැ. මිනිසා කියන්නෙත් මෙම මූලධාතූන් හතර පමණයි. මියගිය පසු ඒ ඒ ධාතු කොටස් ඒ ඒ කොටස් සමඟ යළි එක් වෙනව. ඒ ශාරය හෙවත් පොහොර මත අනෙකක් ගොඩනැඟෙනව. එය ගසක්, ගලක්, පස් කන්දක් වෙන්නත් පුළුවන්.

බුදුරජාණන් වහන්සේ ලොව පහළවෙලා මිනිසාට පැහැදිලි කරල දෙන්නෙ මෙම ස්වභාවික විශ්ව නියමය තුළ සිත පවත්වා ගන්නා ආකාරයයි. මැරි මැරී උපද්දවන මිනිස් සිත භවයෙන් භවයට රැගෙන යන විශ්ව ශක්තිය කඩා බිඳ දමන මාර්ගය ගැනයි. ඒ කියන්නෙ ඇලීමෙන් හා ගැටීමෙන් තොරව සසර ගමන නවතා දමන ආකාරය ගැනයි. මෙය කළ හැකි වන්නේ මිනිසා මිනිසාගේ ස්වභාවිකත්වය දැන හඳුනාගෙන ඊට කීකරු වූ තරමටමයි.

මෙන්න මේ කීකරුකම හදාගන්නයි බුදුපියාණන් වහන්සේ මඟ පෙන්වන්නෙ. කොහොමද කීකරුකම හදාගන්නෙ. යමෙක් යමක් දැන දැක අවබෝධයෙන් කියල දුන්නම පැහැදිලි කෙරෙව්වම එය පිළිගන්න වෙනව. ඒ සඳහා කීකරුවෙනව. ඒ දේ අනුගමනය කරන්න වෙනව. නැතිනම් විනාශය කරා ගමන් කරනව.

බුදුරජාණන් වහන්සේ අප පිළිගන්නව. එම දහම විශ්වාස කරනව. මක්නිසාද? සදාතනික විශ්ව සත්‍යය එය නිසා. එය අපිටම අපෙන්ම පසක්වන නිසාමයි. දැන් දැන්ම ප්‍රතිඵල අත්වන නිසාමයි. බුදු රදුන් පෙන්වා දුන්න මග, පිළිවෙත අනුගමනය කළහම ඒ අනුව සැපත, සැනසීම උදාවෙන බව ජීවිතයෙන්ම අත්දකිනව.

මම මාතෘකා කොට ගත් ගාථාරත්නය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනෙ සැවැත්නුවර ජේතවනාරාමයේදීයි. ඒ හස්ති ශිල්ප දත් එක්තරා හාමුදුරුවන් වහන්සේ නමක් මුල්කොට ගෙනයි. අචිරවතී ගඟබඩ පෙදෙසකින් වැඩම කරන ලද භික්ෂූන් වහන්සේලා කිහිපනමක් අතර මේ භික්ෂූන් වහන්සේත් වැඩම කළා. ඒ අසල ඇත්ගොව්වකු ඇතෙක් හික්මවන්න ගන්නා වූ නිසරු උත්සාහය දුටුව. මේ පෙර ඇතුන් හික්මවීමෙහි සමත් භික්ෂුව “මේ ඇත්ගොව්වාගේ වෙහෙස නිසරුය. ඇතාගේ අසවල් තැනට හෙණ්ඩුවෙන් ඇන පීයේනම් හික්මෙයැයි” කීය. මෙය ඇසුන ඇත්ගොව්වා එසේ කිරීමෙන් ඇතා හික්මුණා. මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට සැලවීමෙනුයි මෙම ගාථා ධර්මය මුල් කොට ගෙන දහම් දෙසුවෙ.

ආර්ය මාර්ගයෙන් මනාව දැමුණා වූ රහතන් වහන්සේ, තමන් විසින්ම දමනය කර ගත්තාවූ සිත කරන කොටගෙන ඇත් අස් ආදී යානාවලින් යා නොහැකි වූ නිවන් පුරය වෙත ගමන් කරයි. පින්වතුනි, මෙන්න මේ නිසයි සිතම සකස් කරන්නට වුවමනා. සිත නොහදා නිවන් දකින්නට බැහැ. නිවනට පමුණුවන්නෙ සිතයි. නිවන් දකික්නෙ සිතයි. මේ ලොව්තුරු දහම හැමදාමත්, හැම කෙනාටත්, හැම තැනකමත් එකම ආකාරයයි. කිසිදු වෙනසක් නැහැ. වෙනස් කරන්නටත් බැහැ. ඒ නිසයි එය විශ්ව දහමක් වෙන්නෙ. මිනිසාගේ සිතේ ස්වභාවයත්, ස්වභාවිකත්වයත්, සිතේ පිරිසුදුකම මත ලබා ගත හැකි අමා ශාන්තියත් ගැන පැහැදිලි කිරීමකුයි බුදුදහම කියලා කියන්නෙ.

මෙම බුද්ධි ගෝචර දහමට සවන් යොමු කරන ප්‍රඥාවන්තයා සත්‍ය වටහා ගන්නව.එවිට එය පිළිනොගෙන ඉන්නට බැහැ. මොකද තමන්ට තමන්ම බොරු කරගන්නෙ නැති නිසා. ආන්න ඒ නිසා එදා භාරතයේ හැමෝම බුදුරජාණන් වහන්සේට පැසසුව.

ඔබ වහන්සේගේ දම් දෙසුම මැනැවි. ඉතා මැනැවි. ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කර තබන ලද බඳුනක් උඩුකුරු කර තබන්නේද වසා තිබූ දෙයක් විවෘත කරන්නේ ද මං මුළා වූවෙකුට නියම මඟ පෙන්වන්නේ ද ඇස් ඇත්තෝ මෙහි තිබෙන රූප ආදිය දකිත්වායි යමෙක් අඳුරෙහි පහනක් දල්වා අල්වාගෙන සිටින්නාමෙනි.

මෙසේ ප්‍රශංසා කරන අය මහණ උපසම්පදාවත් ලබා ගන්නව. සසර දුකත් නිමා කරනව. පින්වතුනි බණ අහන්නෙ හිත හදා ගන්නයි. ජීවිතය නිවැරදි කර ගන්නයි. මේ ධර්ම විග්‍රහයෙන් ඔබ තුළ යම් අවබෝධයක් ඇති වුණානම් ඒ කුසලය, පින ඔබ අප සෑම සියලු දෙනාමත් දෙවියෝත් මියගිය ඥාතිනුත් අනුමෝදන්ව

නිවන් දකිත්වා!

 

 බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදා පූර්වභාග 05.04 ට ලබයි. 03 වැනිදා බදාදා පූර්වභාග 04.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]