UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරය

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරය


වලවෙල හේමානන්ද නා හිමි

හුණුපිටිය ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරස්ථානය ශත වර්ෂාධික ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියා පාන විහාරස්ථානයකි. කැලණි ආසනයේ පිහිටි හුණුපිටිය ගම ග්‍රාම සේවා වසම් 5ක් සහිත විශාල ගමකි. වර්තමානයේ මෙම ගම වටා විහාරස්ථාන කීපයක්ම තිබේ. ඒ අතරින් ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

නව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල

කොස්ගොඩ ශ්‍රී දේවානන්ද මා හිමි අනුස්මරණ දෙමහල් ධර්ම මන්දිරය

බෝධින් වහන්සේ අබියස බුද්ධ මන්දිරය


ප්‍රතිසංස්කරණය කරන ලද ධර්මශාලා මන්දිරය


අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත ඉපැරැණි බෝධින් වහන්සේ

ඈත අතීතයේදී ශ්‍රී විජය සුන්දරාරාම විහාරස්ථානය සඳහා සිය ඉඩම් දේපළ පූජා කරන ලද්දේ බී.කොරනේලිස් ප්‍රනාන්දු වෙද මහතා විසිනි. මෙම විහාරස්ථානය ඉපැරැණි මහනුවර යුගයට අයත් විහාර මන්දිරය පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයක් බවට ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව 2005 ජූලි මාසයේදී පැරැණි විහාර මන්දිරය නිමවා ඇති පිළිම වහන්සේලා සහ බිතු සිතුවම් සහිත විහාර ගෘහය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කොට පිළිසකර කරදෙන ලදී. එසේම මෙම විහාරස්ථානය සතුව තිබෙන ඉපැරැණි ධර්ම ශාලාව ශත වර්ෂාධික ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියයි. එසේම එය මෑතකදී ඉතා අලංකාරවත් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලදී. 2003 වර්ෂයේදී ඉදි කරනු ලැබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කරන ලද්දේ අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමිපාණන් වහන්සේ විසිනි.

1874 ආරම්භ කරන ලද විහාරස්ථ බෞද්ධාරක්ෂක සභාව විසින් විහාරස්ථානයේ අභිවෘද්ධිය පතා විශාල මෙහෙවරක් ඉටු කරනු ලබයි. කැලණිය කලාපයේ පැරණිතම දහම් පාසල වන ශ්‍රී ධර්මාශෝක දහම්පාසල 1933 වසරේදී ආරම්භ කරන ලදී. අතීතයේ සිටම මෙම දහම්පාසලෙන් රටට දායාද කළ උගත් බුද්ධිමතුන් පිරිස් අද සමාජයේ උසස් තලයක වැජඹේ. 1987 දී ශී‍්‍ර විජය පෙර පාසල ආරම්භ කළේ අපේ බෞද්ධ දරුවන් ඉතාම කුඩා කාලයේ සිටම බෞද්ධ පරිසරයක හැසිරිය යුතු අන්දම නගා සිටුවීම සුදුසු යැයි කල්පනා කළ නිසාය. එය ඉතාමත් සාර්ථක ලෙස අද ප්‍රදේශයේ හොඳම පෙර පාසලක් බවට පත්වී තිබේ. එහි අන්‍ය ජාතික දරුවන් පවා අධ්‍යාපනය ලබන බව සඳහන් කරන්නේ අභිමානයෙනි. 1988 දී ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ අනුබද්ධ කාර්මික විද්‍යාලයක් ලෙස හේමානන්ද කාර්මික විද්‍යාලය ආරම්භ කරන්නට අවස්ථාව උදා කරගත්තේය. අද මෙම කාර්මික විද්‍යාලය කැලණි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ලෙසට වෘත්තීය පුහුණූ අධිකාරිය යටතේ කාර්මික පුහුණු පාඨමාලා උගන්වන සාර්ථක මධ්‍යස්ථානයක් බවට පත්වී තිබේ.

අනාගතයේදී ශිෂ්‍ය භික්ෂු පරපුරක් දැයට දායාද කරලීම අරමුණ ඇතිව ශිෂ්‍ය භික්ෂූන්ට නැවතී අධ්‍යාපන කටයුතු කිරීමට සියලු පහසුකම් සහිත නව සංඝාවාස ගොඩනැගිල්ලක් මෑතකදී ඉදි කර අවසන් කරනලදී.

මෙම පූජනීය විහාරස්ථානයේ 1956 වසර දක්වා සතර දිගින් වඩින මහා සංඝ රත්නය වැඩ වාසය කළ අතර, 1956 සිට කොස්ගොඩ දේවානන්ද මා හිමිපාණන් විහාරාධිපතින් වහන්සේ ලෙස බෞද්ධාරක්ෂක සභාව මගින් පත් කර ගන්නා ලදී. උන්වහන්සේ 1977 අපවත් වීමෙන් පසුව උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වලවෙල සෝමසිරි හිමිපාණන් වහන්සේ විහාරාධිපති ධූරයට පත් වූ අතර විහාරස්ථානයේ සංවර්ධනයට විශාල මෙහෙවරක් කරන ලදී. උන් වහන්සේ 1983 අපවත් වීමෙන් පසු විහාරස්ථානයේ අති විශාල නවෝදයක් ඇති වූයේ වලවෙල සෝමසිරි හිමිපාණන්ගේ ශිෂ්‍ය වලවෙල හේමානන්ද නා හිමිපාණන් වහන්සේ විහාරාධිපති ධූරයට පත් වීමත් සමගය.

වලවෙල හේමානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි 2003 වසරේ ජනවාරි මස 01 දින අඛණ්ඩව දිනපතා බෝධි පූජා පින්කම් හා සෙත් පිරිත් සජ්ඣායනයන් සිදු කරනු ලබන අතර එබැවින් විහාරස්ථානය නිතරම සැදැහැවතුන් ගැවසෙන පූජනීය ස්ථානයක් බවට පත්වී තිබේ. සියලුම දායක දායිකාවන් සිහිකර ඔවුන්ට පින් අනුමෝදන් කිරීමටත් එසේම විහාරස්ථානයේ වැඩ වාසය කර අපවත් වී වදාළ සියලු නායක ස්වාමින් වහන්සේලා සිහි කර ගුණානුස්මරණ පින්කම් මාලාවක් 1986 සිට කඨින පින්කම් සිදු කරන හැම වර්ෂයකම ඊට සමගාමීව සිදු කරනු ලබයි. මෙම නිසා දෛනිකව සිදු කරන ජාතික ආගමික කාර්යයන්ගෙන් සමන්විත විහාරස්ථානයක් බවට ශ්‍රී විජය සුන්දරාරාම පුරාණ විහාරය පත්ව ඇත.

 

 බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදා පූර්වභාග 05.04 ට ලබයි. 03 වැනිදා බදාදා පූර්වභාග 04.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]