Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය
බුදුන් වහන්සේ කුරු රට ‘කම්මාස ධම්ම නම් නියම් ගමෙහිදී ශ්‍රාවක පිරිස අමතා ‘මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙසේ විස්තර කළහ.

’මහණෙනි, දුක් නැති කිරීමේ පිළිවෙත නම්වූ ආර්ය සත්‍යය කුමක්ද? එය නම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, හා සම්මා සමාධි නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙම මාර්ගයෙහි පළමු අංගය වූ ‘සම්මා දිට්ඨි’ හෙවත් නිවැරැදි දැකීම පිළිබඳව ධර්ම විවරණයක් කරන්න.

පිළිතුර
සම්මා දිට්ඨි හෙවත් නිවැරැදි දැකීම යනු දුක පිළිබඳ නුවණ, දුකට හේතුව පිළිබඳ නුවණද දුක නැතිවීම පිළිබඳ නුවණ හා දුක නැතිකිරීමේ මඟ පිළිබඳ නුවණ යන මෙය නිවැරැදි දැකීම යි .

නිවැරැදි දැකීම දෙයාකාරයි. එනම් ආශ්‍රව සහිත කුසලභාගි වූ විපාකයට පදනම්වූ සම්මා දිට්ඨිය හා ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර වූ මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨියයි.

ප්‍රශ්නය
මහ බෝසතාණෝ “හිමි ඔබ හා එක් බඳු වූ පුතණු කෙනෙක් උපන්හයි” පුවත අසා රථයට නැග කිඹුල්වත් පුරයට එන අතර මඟ බෝසතුන් වීථීයෙහි වඩනා ලීලාව හා ඵෙශ්චර්ය දුටු එක්තරා රාජ කන්‍යාවක් මෙසේ පී‍්‍රති වාක්‍ය පහළ කළාය.

මෙවන් පුතු ඇති යම්
මව්පිය දෙදෙන නිවියහ
බිරිඳ මෙවැනි හිමිසතු
නිවුනීය ඕ සැනසී

නිබ්බූතා නූන සාමාතා
නිබ්බූතා නූන සො පිතා
නිබ්බූතා නූන සා නාරි
යස්සායං ඊදිසො පති

පී‍්‍රති වාක්‍ය ඇසූ බෝසතාණෝ මවගේද පියාගේද භාර්යාවගේද හෘදය නිවේ යැයි මෝතොමෝ කියයි”

මේ ප්‍රකාශය කළ රාජ්‍ය කන්‍යාවගේ නම කුමක්ද?

පිළිතුර

කිසාගෝතමී

ප්‍රශ්නය

එක දිනක බුදුන් වහන්සේ වෙත ගිය අනුරුද්ධ තෙරුන් වහන්සේ කවර හේතුන් නිසා කාන්තාවන් මරණින් මතු” මනාප කායිකා “ නම් දෙවඟනන් බවට පත් වන්නේ දැයි විචාළහ. බුදුන් වහන්සේ එම පැණයට පිළිතුරු දෙමින් කාන්තාවක් මෙලොව කරන යහපත් ක්‍රියාවක් නිසා “මනාපකායිකා’ දෙවඟනක වන්නේයැයි වදාළහ. පැහැදිලි කරන්න.

පිළිතුර

දේශනා පාලියෙහි සඳහන් වන පරිදි කාන්තාවක් මරණින්මතු ‘මනාපකායික” දෙවඟනක් වන කරුණු අට මෙසේය.

ස්ත්‍රිය තම සැමියාට කලින් අවදි වී සියලු කටයුතු නිමවා නින්දට යායුතුය. සැමියාට මෙන්ම සියලු ඤාතීන්ට පි‍්‍රය වදනින් කථා කළ යුතුය.

වැඩිහිටියනට ගරු කළ යුතුය. දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට ගරු කළ යුතුය.

සැමියාගේ කටයුතුවලදී සාහායකව අනලස්ව කටයුතු කළ යුතුය.

දැසි දසුන් හා ගේ දොර පිවිතුරු බව පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතුය.

සැමියා උපයන ධනය අපතේ යා නොදී ආරක්ෂා කළ යුතුය.

තෙරුවන් සරණ යා යුතුය.

පස් පවින් වැළකිය යුතුය

පරිත්‍යාගශීලී වීම මෙන්ම නිරතුරුව දානාදී පින්කම් හි නියැළිය යුතුය

(අං:නි: උපොසථ වග්ග අනුරුද්ධ මනාපකායික සූත්‍ර හා විශාඛා මනාපකායික සූත්‍ර)

ප්‍රශ්නය

බුදුරජාණන් වහන්සේ දෛනික දින චරියාව පිළිබඳව නිකායගත තොරතුරුවලට අනුව උන්වහන්සේ ඉතා විධිමත් ක්‍රමානුකූල පිළිවෙතක් අනුගමනය කළහ. ආධ්‍යාත්මික වශයෙන් භාවනානුයෝගීව විමුක්ති සුව විඳිමිනුත් බාහිර වශයෙන් ලෝකයා ගුණ නුවණින් පොහොසත් කරනු පිණිස පරාර්ථකාමීව කැපවීමෙන් ක්‍රියා කරමිනුත් උන් වහන්සේගේ කාලය ගතවිණි. බුදුරජාණන් වහන්සේගේ දෛනික දිනචර්යාව කොටස් හයකට මෙසේ බෙදා වෙන්කොට තිබුණි. පෙරවරු කිස, පස්වරු කිස,පෙරයම් කිස,මැදියම් කිස,හා පැසලු යම්කිස වශයෙනි. උන්වහන්සේගේ පෙරවරු කිස සුවිශේෂත්වයක් දක්නට ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර

පෙරවරු කිස උන්වහන්සේ ආරම්භ කරන්නේ දිවැසින් බලා තමා වෙතින් උපකාරයක් කළ හැක්කේ කාහටදැයි සමාලෝචනය කරමිනි. යමෙකුට තමාගේ ආධ්‍යාත්මික අනුග්‍රහය අවශ්‍ය නම් උන්වහන්සේ අනාරාධිතවම බොහෝ විට පා ගමෙනිනුත් ඉඳහිට ඍද්ධි බලයෙනුත් එහි ගොස් ඒ පුද්ගලයා නිසිමගට ගණිති. සිරිත්වශයෙන් නොහික්මුූ පාපි පුද්ගලයන් සොයා උන්වහන්සේ වැඩම කළ අතර සිල්වත් පින්වත් පුද්ගලයෝ උන්වහන්සේ සොයා පැමිණෙති. අං¼ගුලිමාල නම් මිනීමරුවා සහ ආලවක නම් යක්ෂයා සොයා බුදුරජාණන් වහන්සේ වැඩි අතර විශාඛා වැනි විනීත කාන්තාවෝද අනාථ පිණ්ඩික වැනි දානපති සිටුවරයෝද සාරිපුත්ත මොග්ගල්ලාන වැනි බුද්ධිමත්හුද උන්වහන්සේ සොයා ආහ. දවල් දානය සඳහා විශේෂිත ඇරැයුමක් නැතිනම් ශ්‍රාවකයන් සමඟ හෝ හුදකලාව පාත්‍රය රැගෙන පිඬුසිඟා වඩිති. අසූ හැවිරිදිව වියපත්ව පිරිහුණු සෞඛ්‍ය තත්වය ඇතිව සිටියදී පවා උන්වහන්සේ විශාලා මහනුවර පිඬු සිඟා වැඩියහ.