තුන්ලෝ තතු ලෙස දත් ලෝකවිදූ බුදුගුණය
මක්කානිගොඩ
අස්සජි හිමි
බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ ඉතා දීර්ඝ කාල පරාසයකිනි. ලොව
දුර්ලභ කරුණු පිළිබඳ සඳහන් කරන තැන ‘බුද්ධුප්පාදොච දුල්ලභෝ යනුවෙන්
සඳහන් කරන්නේ එම විශේෂත්වය නිසාමය.බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කිරීමෙන්
බුදුබවට පත්වෙයි. ඒ සඳහා දීර්ඝ කාලයක් සත්තිස්බෝධි පාක්ෂික ධර්ම පිරිය
යුතුය. විශේෂයෙන් පාරමිතා ධර්ම පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී යන
ත්‍රිවිධ ආකාරයට සම්පූර්ණ කිරීම බුද්ධත්ත්වය ප්‍රාර්ථනා කරන
බුද්ධාංකුරයන් වහන්සේගේ කාර්යය වෙයි. බුදුබව පතනා බෝධිසත්වරු වීර්යාධික
ශ්‍රද්ධාධික ප්‍රඥාධික යනුවෙන් ත්‍රිවිධ ආකාර වෙති. වීර්යාධික බවින්
යුත් බෝසත්වරයකු සොළොසාංක කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කිරීමෙන්ම
බුද්ධත්වයට පත් වෙති. අටසාංඛ්‍ය කල්ප පෙරුම් දම් පිරීමෙන් ශ්‍රද්ධාධික
බෝසත්වරු බුද්ධත්වයට පත් වෙති. ප්‍රඥාධික බුද්ධාංකුරයකු සාරාසංඛ්‍ය
කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කිරීමෙන් බුද්ධත්වයට පත්වෙති.
කාම,රූප, අරූප, යන භවත්‍රයෙහිම ශ්‍රේෂ්ඨතම උපත වන්නේ සම්මා
සම්බුද්ධත්වයට පත්වීම මයි. එයට හේතුව එම පදවියට පත්වීමේ ඇති
දුෂ්කරතාවයි. දුර්ලභතාවයි. ඒ සඳහා සම්පූර්ණ කළ යුතු ප්‍රතිපදාවන්
රාශියක් වීමයි. අනන්ත ගුණ සමුදායක් සම්මා සම්බුද්ධත්වය හා බැඳී පවතී.
එම ගුණ සමුදාය වචනයෙන් ප්‍රකාශ කර අවසන් කළ නොහැකිය. සිතින් සිතා නිම
කළ නොහැකිය. කටවල් දහසක් ඇති අනන්තනම් නාගරාජයා තම ජීවිත කාලය පුරාම
මුව දහසකින් බුදුගුණ වැණුවත් ගුණ වර්ණනා කර අවසන් කළ නොහේ. අනන්ත වූ
බුදුගුණ කැටිකොට ප්‍රධාන ගුණ නවයක්, නව අරහාදී බුදුගුණ පාඨයෙහි ඇතුලත්ව
ඇත. එය බුදුගුණ භාවනාවක් ලෙසද ප්‍රකටය. ඒ අතරින් ලෝකවිදූ ගුණය පස්වන
බුදුගුණය වේ. එනම් තුන්ලෝකය පිළිබඳව ඇතිවන්නා වූ නිවැරැදි
තත්වාවබෝධයයි. නිවැරැදි වැටහීමයි.බුදුපියාණන් වහන්සේ තුන්ලෝකයම නිසි
ආකාරයෙන් දැන වදාළ හෙයින් ලෝක විදූ නම් වන සේක.
තුන්ලෝකය පිළිබඳ සියලු තොරතුරු තම ඤාණයෙන් අවබෝධ කොට ගෙන ඒ පිළිබඳ නිසි
අවබෝධයක් නොමැතිව සිටින ජනතාව වෙත නියම ආකාරයෙන් දේශනා කළ බැවින් ලෝක
විදූ නාමය ලබන බව ඉන් අදහස් කෙරේ. එම ලෝක තුන නම් කාම,රූප, අරූප, යන
ලෝක ත්‍රයයි. කාමලෝකය ලෙස නම් කරන්නේ පස්කම් සැප විඳිය හැකි ස්ථානයන්ය.
ඇස්, කන්, නාස්, දිව, ශරීරය යන ඉඳුරන් පිනවීමට හැකි භූමි එකොළහක් ඇත.
ඉන් කාම දුගති භූමි හතරකි. එනම් නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර යන භූමින්
වල උපදින අය දුක් සහිත ජීවිත ගත කරති. සැප සම්පත් නැත. එනිසා ඒවා දුගති
භූමි වෙයි. අපාය භූමි එකසිය තිස් හයකට බෙදා දක්වා ඇති අතර ඒවායෙහි
උපදින අය තම කර්ම ශක්තිය අවසන් වන තුරුම එම දුක් ගිනි වැළදිය යුතුය.
අපාය භූමිවල උපන් විට කිසිදු පිනක් කරගත නොහේ. ඉතා කටුක දුක් ගිනි
දැල්වලින් දැවෙමින් අකල්ගෙවන බව කියවේ. පරදත්තූප ජීවි නමින් යුත්
පේ‍්‍රත කොටසකට අනුන් දෙන (අනුමෝදන් කරවන) පින් අනුමෝදන්ව සුඛී සුවපත්
භාවයට පත්විය හැකි බව ධර්මය අවධාරණය කර ඇත. කාම සුගති භූමි හතක් ඇත.
මනුෂ්‍ය ලෝකයට අයත් වන්නේ කාමසුගති භූමියක් වශයෙනි. මනුෂ්‍ය ආත්ම
භාවයක් ලැබීම උසස් පිනක ඵලයකි. තම ජීවිතය ඔසවා තබාගත හැකි සත්වයකු
වන්නේ මනුෂ්‍ය ජීවිතයයි. ප්‍රතිපත්තිකාමී ජීවිතයක පිහිටා ධර්මානුධර්ම
ප්‍රතිපදාවක් වැඩීමෙන් ජීවිත විමුක්තිය උදා කරගත හැකි වෙයි. නිවන දක්වා
සිත දියුණු කරගැනීමට මනුෂ්‍යයකුට හැකියාව ඇත.
දිව්‍යලෝක හය කාම සුගති භූමියට අයත්ය. 1.චාතුම්මහාරාජිකය, 2. තාවතිංසය,
3.යාමය 4.තුසිතය 5.නිම්මාණරතිය 6.පරනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකය යනු එම
ස්වර්ග භූමි හයයි. පංචනීවරණ ධර්ම යටපත් කොට භාවනා කිරීමෙන් ලබන උදාර
ප්‍රතිඵලය වන්නේ ධ්‍යාන සම්පත් ලබාගැනීමයි. විතක්ක, විචාර, පීති, සුඛ,
ඒකග්ගතා සහිත ප්‍රථමධ්‍යානයෙහි සිට උපේක්ඛා ඒකග්ගතා සහිත
චතුය්‍යධ්‍යානය දක්වාත් ඉන් අනතුරුව අරූපාවචර ධ්‍යාන හතර දක්වාත්
ලබාගත හැක්කේ සමථභාවනාවෙහි යෙදීමෙනි. මෙම ධ්‍යාන සම්පත් අනුව රූපාවචර
බ්‍රහ්මලෝක දහසයෙහි උපත ලබාගත හැකිය. ප්‍රථම ධ්‍යානය වැඩීමෙහි
ප්‍රතිඵලයක් ලෙස බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම යන
බ්‍රහ්මතලයන්හි උපත ලබයි. පරිත්තාභ,අප්පමාණභ ආභස්සර යනුවෙන්
ද්විතීයධ්‍යාන භූමි තුනකි. පරිත්තසුභ, අප්පමාන සුභ, සුභ කිණ්ණය යනුවෙන්
තෘතිය ධ්‍යාන භූමි ද තුනක් විස්තර වෙයි.වේහප්පල,අසඤ්ඤ සත්ත, සුද්ධවාස
යන භූමි සතර අයත්වන්නේ චතුර්ථ ධ්‍යාන භූමිවලටය.අවිහ,අතප්ප, සුදස්ස,
සුදස්සී, අකනිට්ඨ, යන බ්‍රහ්මලෝක පහ හැඳින්වෙන්නේ ශුද්ධාවාස ,භූමි
යනුවෙනි. අනාගාමී තත්ත්වයට පත්වන යෝගාවචරයන් ශුද්ධාවාස වල උපත ලබා
රහත්ව පිරිනිවන් පානා බව සඳහන් වේ.
බ්‍රහ්මපාරිසජ්ජ බඹලොව සිට අකනිට්ඨකා බ්‍රහ්මලෝකය දක්වා යන ලෝක දහසය
රූපාවචර බ්‍රහ්ම ලෝක ලෙස සැලකේ. අරූපාවචර භූමි හතරකි. ආකාසනාඤ්චායතනය,
විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤචායතනය, නේවසඤ්ඤා නාසඤ්ඤායතනය යන භූමි සතර
අරූප භූමි නම් වේ. මේවායෙහි රූපය සුඛම ලෙසත් සිත ක්‍රියාකාරීව පැවැත්ම
නිසා එම නමින් හැඳින්වෙයි. “සිත මිස කය නැති බඹලොව සතරෙකි” යනුවෙන්
ලෝවැඩ සඟරාවෙහි වෙසෙසා ඇත්තේද එම බ්‍රහ්ම ලෝකය. කාමලෝක එකොළහ රූපාවචර
භූමි දහසය ,අරූපාවචර භූමි හතර යන ස්ථාන තිස් එක සත්ත්වයා උපත ලබන ස්ථාන
ලෙස දක්වා ඇත. මරණයට පත්වන පුථජ්ජනයන් ඉහත එක් තිසක් වූ භූමිතලයන්හි
උපත ලබනු ඇත. ලෝකවිදූ ගුණය විස්තර කරන විට ලෝකයේ සම්භවය, පැවැත්ම හා
විනාශය යනාදි කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේදි ලෝකයෙහි ආරම්භය පිළිබඳව කරුණූ රාශියක් දේශනා
කොට ඇත. හේතුඵල සම්බන්ධතාවයන්ට අනුව එය සිදුවන ආකාරය මැනවින් දේශිතය.
අනමතග්ග සංයුත්තයෙහි එන සූත්‍ර ධර්ම අනුවද ලෝක සම්භවයෙහි පෞරාණික බව
මනාව විස්තර කොට ඇත. මහණෙනි, සංසාරය නො දන්නා ලද අග ඇතියක එහි පෙර කොන
නො පෙනේ යනුවෙන් වදාරා ඇත. බඹයක් පමණ වූ ශරීරය තුළම ලෝකයත් ලෝක
සමුදයත්, නිරෝධයත්,ලෝක නිරෝධගාමිණී පටිපදාවක් පනවමියි දක්වා ඇත.
අංගුත්තර නිකායේ තික නිපාතයෙහි ද්විතීය පණ්ණාසකයේ ආනන්ද වග්ගයේ දසවන
සූත්‍රයෙහි ලෝකධාතු විභාගය දැක්වෙයි. එමගින් ලෝකයෙහි විශාලත්වය පෙන්වා
ඇත්තේ එක හිරකින් එක සඳකින් ආලෝකවත් වන ස්ථානයක් ලෝකය නමින් ව්‍යවහාර
වන බවයි.
අප මුලින් සඳහන් කළ සත්වයා උපදින ස්ථාන තිස් එකම එලෙස එක හිරකින් සඳහන්
එළිය වන භූමි වෙයි. එලෙස දස සහශ්‍රී ලෝකධාතු ආදි ලෙස අනන්ත ලෝක පවතින
බව විස්තර කර ඇත. බුද්ධ ආඥාව කෝටියක් සක්වල පතුරවමින් පිරිත් සූත්‍ර
දේශනා කළ අතර එය ආඥාක්ෂේත්‍රය නමින් හැඳින්වෙයි. සත්වයන් වසන භූමි
නවයක් නව සත්තාවාස යනුවෙන් සාමණේර ප්‍රශ්නයෙහි නවවෙනි කරුණට දක්වා ඇත.
එම නව සත්තාවාස නම් කාම භවය,රූපභවය, අරූපභවය, සංඥාභවය,අසංඤාභවය
නේවසංඤානාසංඥා භවය, ඒකමෝකාරභවය, චතුවෝකාර භවය, පඤ්චවෝකාරභවය යන
ස්ථානයන්ය.
බුදුරජාණන් වහන්සේ ඉහත නව සත්තාවාසය දැන දේශනා කිරීමක්ද අෂ්ටලෝකධර්මය
දැන දේශනා කළ බැවින්ද සත්වයන්ගේ ආශය,අනුශය, චරිත, අධිමුත්ති දන්නා
හෙයින්ද අල්ප රජස්ත මහාරජස්ත, තීක්ෂණණේන්ද්‍රිය මෘද්වින්ද්‍ර්‍යය,
ස්වාකාරය ද්වාකාරය, සුවිඥස්‍ය, දුර්විඥාස්‍ය, භාව්‍යභව වශයෙන් ලෝක
විභාගය දක්නා හෙයින්ද ස්වභාව සමුදය නිරෝධ නිරෝධ්‍යාය වශයෙන් ලෝක දැන
වදාළ හෙයින්ද සර්වඥතා ඤාණයෙන් යථාභූත ඤාණයෙන් ලොව සියල්ල දැය වදාළ
හෙයින් ලෝක විදු යන බුදුගුණය වෙසෙසා දක්වා ඇත. ලෝකවිදූ බුදුගුණයෙන්
සැමට ධර්මාවබෝධය වේවායි ප්‍රාර්ථනා කරමු. |