අපවත්වී වදාළ
හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමි
සීසර් සුදුසිංහ
මහනුවර දිසාවේ හාරිස්පත්තුවේ මාරුද්දන පහළ මැණිකේගේ ජේමිස් සිංඤෝ හා
පතිරාජගේ ගුණවතී හාමිනේ දම්පතීන් හට ස්වකීය දරුවන් ලෙස පුතුන් හය
දෙනෙකු හා එක් දියණියක් වූ අතර එම පවුලේ වැඩිමහල් පුතණුවන් බිහිවූයේ
1939 ඔක්තෝම්බර් 18 වැනිදා ය. එම පුතණුවන් “ධර්මසේන ආරියතිලක” නම් විය.
ධර්මසේන පුතනුවන්ගේ දයාබර පියාණන් ග්‍රාමීය මට්ටමෙන් වෙළෙඳ ව්‍යාපාර
කරමින් ඉපයූ ධනය නිසා ආර්ථික අගහිඟකම් ඒ පවුලට දැනුනේ නැත. ඒ නිසා සුව
පහසු ජීවිත ගත කළහ.
ධර්මසේන ආරියතිලකගේ වයස අවුරුදු පහළොව ඉක්මවා යාමටත් මත්තෙන් ඒ පවුල
අඳුරු වළාකුලකින් වැසීයාමේ කාලය උදා විය.
ධර්මසේන ඇතුළු සහෝදරයන් හා සහෝදරියගේ දයාබර පියාණන් ඔත්පළ විය. ඒ නිසා
පවුලේ බර පවුලේ වැඩිමලා වෙත කරට ගැනීමට සිදුවිය.
අලවත්තේගම සහ කඳන්හේන දෙගම්වාසීන්ගේ ඇරැයුමෙන් සිසු දරුවන් දහ අට
දෙනෙකුගෙන් අලවත්තේගම යෝජිත පාසල ආරම්භ කිරීමට එම තරුණයා මූලිකත්වය ගෙන
කටයුතු කළහ.
එකල දෙටුපෙළ සමත් වූ තවත් තිදෙනෙකු ද සමග එහි වැඩ බලන මුල් ගුරුවරයා
ලෙස කටයුතු කරන ලද්දේ ධර්මසේනය. දස වසක් පුරා පාසල වෙනුවෙන් වෙහෙස
මහන්සි වූ ඔහු 1959 ඔක්තෝබර් 01 වන දා සිසුන් අසූ දෙනෙකු ද සමඟ එම පාසල
රජයේ ලියාපදිංචි පාසලක් බවට පත් කර ගැනීමට හැකි විය. ඒ සමඟම ධර්මසේන සහ
අනෙකුත් ගුරුවරු තිදෙනාටද රජයේ ගුරුපත්වීම් ලැබිණි.
ආදායම් මාර්ග ඇතිව ජීවත් වූ ඒ පවුලට පියාගේ ඔත්පළවීමෙන් පසු මුල්ගුරු
වැටුපෙන් ලද මුදලින් ජීවිකාව කර ගෙන යාමට සිදුවිය.
ස්වකීය පියාණන්ගේ උපස්ථානයටත්, මල්ලිලාගේ සහ නංඟිගේ අධ්‍යාපනයත්
වෙනුවෙන් වැය කරන ලද්දේ මුල්ගුරු වැටුපෙන් ලද වේතනයයි.
ධර්මසේන ලද දහම් පාසල් අධ්‍යාපනය හා අනගාරික ධර්මපාලතුමාගේ
චරිතාදර්ශයෙන් ඔහුගේ ජීවිතයේ වෙනසක් කිරීමට සිදුවිය. කුඩා කල පටන්
බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමට ද ඉටා ගත්හ.
හේ කුඩාකල සිටම අධ්‍යාපනයට දස්කම් දැක්වූවා සේම 1949 දී දහම් පාසල්
ප්‍රථම විභාගයෙන්ද 1950 දී දහම් පාසල් දෙවන විභාගයෙන් ද ගෞරව පන්තියේ
ත්‍යාග සහිතව සමත්විය.
මහමොළගොඩ ශ්‍රී පියදස්සි දහම් පාසලත්, අලවත්තේගම සුචරිතෝදය දහම්
පාසලත්, හේනේගම ශ්‍රී සංඝානන්ද දහම් පාසලත් දහම් අධ්‍යාපනයෙහි විශේෂ
දස්කම් දැක්වීමට එකල ඉවහල් විය.
බ්‍රහ්මචාරී ධර්මසේන ආරියතිලකගේ පි‍්‍රයතම විෂය වූයේ අභිධර්මයයි. 1956
දී බුරුමයේ එක්සත් බෞද්ධ කවුන්සිලය මඟින් පැවැත්වූ අභිධර්ම විභාගයේ
ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන විභාග ත්‍යාග සහිතව සමත් වූ අතර අභිධර්ම
විභාග සඳහාත් විද්‍යාලංකාර ප්‍රාරම්භ සාහිත්‍ය මධ්‍යම විභාග හා
විද්‍යෝදයෙහි ශාස්ත්‍ර විභාගයට ද අවශ්‍ය දැනුම ලබා දුන්නේ පසු කලෙක
ශ්‍රී සංඝානන්ද පිරිවෙන් විද්‍යායතනයේ අධිපතිධුරය ද දැරූ අත්තරගම
වජිරජෝති නාහිමියන්ගේ ගුරු උපදේශ බැව් නිතර සිහි කළේ ය.
ඒ අයුරින් දහම් දැනුමෙන් ද පෝෂිතව සිටි අතර පාසල් ගුරුවරයකු ලෙස වසර
හයක් අලවත්තේගම විදුහලේත්, මාසයක් පමණ අඹතැන්න පුෂ්පදාන විද්‍යාලයේත්
මාස හතරක් පමණ මහහරංකහව මහා විද්‍යාලයේත් අවුරුදු පහක් නුගවෙල මධ්‍ය
මහා විද්‍යාලය ඇතුළු විවිධ පාසල්වල ආචාර්යවරයකු ලෙස සේවය කළේ ය.
දහම් පාසල් අධ්‍යාපනයෙන් සුචරිතය වර්ධනය කර ගනිමින් කුඩා කල සිටම සෑම
පසළොස්වක පෝදාකම පෙහෙවස් සමාදන් වෙමින් බෞද්ධ වත් පිළිවෙත් හා භාවනා
පුහුණූව වර්ධනය කර ගැනීමට දැක්වූයේ දැඩි කැමැත්තකි. මව්පිය ආදර්ශය ද ඒ
සඳහා බොහෝ විට බලපාන්නට ඇත.
බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළ දෙටු පුතණුවන් පැවිදි වනු දැකීම සිය
මෑණියන්ගේ අපේක්‍ෂාව වුවා ය.
පවුලක දරුවකු සසුන් දායාදය ලබාගැනීමෙන් මව්පිය දෙපළට ලැබෙන ආනිශංස
මෑණියන්ට ලබා ගැනීමට සලස්වන ලෙස මවගේ ඉල්ලිම වූවා ය. එහෙත් පවුලේ බර
සිය වගකීම කර ගැනීම නිසා ගුරුවෘත්තිය අඛණ්ඩව කරගෙන යාමට සිදුවීමෙන්
පාසල් නිවාඩු සමයේ දී හෝ ටික කලක්වත් පැවිදිවීමෙන් ඒ පැතුම ඉටු කළ හැකි
බව කල්පනා කළේ ය.
කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී 1972 ඔක්තෝබර් 10
වැනි දා මාසයක පමණ කාලයක් සඳහා කහටපිටියේ සුමතිපාල නාහිමියන්ගේ
ආචාර්යත්වයෙන් පළමුවරට ධර්මසේන ආරියතිලක සසුන් ගත විය.
කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී 1973, 1974 සහ 1975
වසරවලදී සිව්වරක් පැවිදි විය. 1974 දී පැවිද්ද ලැබූ දිනයේදී ඊට
සහභාගිවූ යටිරාවන නාරද නාහිමියන්ගේ හා හීනටියන ධම්මාලෝක නාහිමියන්ගේ ද
ඉල්ලීම පරිදි එදිනම අධිසිල් ද ලැබූහ.
අනතුරුව මව්පිය උපහාර පූජාවක්සේ සලකා මෙරට විවිධ නිකායන්හි මෙරට දී ද
ඉන්දියාවේදී ද එකොළොස්වරක් පමණ පැවිදිවීමේ භාග්‍යය උදාකරගත්හ. ඒ අතර
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ පාර්ශ්ව හයක පමණ හයවතාවක් ද ශ්‍රී
ලංකා රාමඤ්ඤ මහා නිකායේ දෙවරක් ද සසුන්ගතවීමට ඉඩකඩ ලැබිණි.
මේ අතර ශ්‍රී ලංකා අමරපුර ස්වේජින් නිකායේ සහ 2000 දී ශ්‍රී ලංකා
රාමඤ්ඤ නිකායේ ද බෙන්තර වනවාසී පාර්ශවයෙන් අධිසිල් ලබා එක් ජීවිතයක්
තුළ විසිඑක්වාරයක් පැවිදිවීමට එක් ජීවිතයක් තුළ තෙවරක් අධිසිල් ලබා
ගැනීමටද අති දුර්ලභ අවස්ථාවක් මෙසේ උදාකරගත්තේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ආගමික ඒකකයේ නියාමකයකු වශයෙන් 1976 දී අතිපූජ්‍ය
මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්
මහාචාර්ය හේන්පිටගෙදර ඤාණාවාස නාහිමි, ආචාර්ය හැවන්පොළ රතනසාර නාහිමි,
මහාචාර්ය යූ.ඩී. ජයසේකර, ආචාර්ය එස්.එස්. නිශ්ශංක හා යූ.එච්. මුදලිගේ
මහත්වරු ඇතුළු ගිහි පැවිදි විද්වතුන් සමඟ සෑම දිසාවකම දින හතර බැගින්
බුදුදහම ඉගැන්වීම් පිළිබඳ සම්මන්ත්‍රණ ගුරුවරු හා විදුහල්පතිවරු සඳහා
පැවැත්වීමට ඉඩකඩ ලැබුණි.
එහිදී බුදුදහම හා ජීවිතය පිළිබඳ විශේෂ දේශනයක් පන්ති කාමරයේ දී භාවනා
පාඩමක් ඉගැන්වීම පිළිබඳ ආදර්ශ ප්‍රායෝගික පාඩමක් ඉදිරිපත් කිරීමට එදා
බාරවූයේ බ්‍රහ්මචාරී ධර්මසේන ආරියතිලක වෙතය. එම දීප ව්‍යාප්ත ධර්ම
චාරිකාව මෙරට, අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පාසල්වල මහත් ආගමික ප්‍රබෝධයක්
ඇතිකිරීමට ද හේතු වූ බවත් කියයි.
මීරිගම ගුරුවිදුහලේ කථිකාචාර්ය ධූරයට පත්ව වසර හතක් පමණ එහි සේවය
කිරීමට ද සමත් විය. එහිදි දහස් ගණන් බෞද්ධ ගුරුවරුවෙත භාවනා හා වතාවත්
පුහුණු කිරීමේ කාර්යය ඔහුවෙත භාරවී තිබුණි. අනතුරුව නිට්ටඹුව බෞද්ධ
ගුරුවිදුහල හා නිට්ටඹූව ශාරිපුත්‍ර අධ්‍යාපන විද්‍යාපීඨයේ පුරා
සිව්වසරක්ද පොල්ගොල්ල මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ වසර එකොළහක්
ද සේවය කර පුරා හතළිස් එක් වසරක රාජ්‍ය සේවා කාලයෙන් 1989 නොවැම්බර් 01
වැනි දා විශ්‍රාම ලැබීය.
සෙනසුරාදා ඉරිදා හා රජයේ නිවාඩු දිනයන්හිදී රටපුරා දහම්පාසල්
සම්මන්ත්‍රණ, දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩමුළු පවත්වමින් ක්‍රියා
කළහ.
කොළඹ 07 විජේරාම මාවතේ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපතිව විශ්‍රාමික
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හාමුදුරුවෝ මෙරට බොහෝ
දෙනාගේ ධර්ම ශාස්ත්‍රීය ඤාණය පුළුල් කිරීමට මහඟු මෙහෙවරක් සිදු කරමින්
වැඩ සිටියහ.
අමද්‍යප සංගමය ඇතුළු බෞද්ධ සමිති විවිධ ස්වේච්ඡා සංවිධානවල විවිධ නිලතල
දරමින් හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හාමුදුරුවෝ සමාජය සුවපත් කිරීමට
මහත් ඇප කැපවීමෙන් ක්‍රියා කළහ.
ලොකු කුඩා කවුරුන් සඳහා වුවත් ඉතා සහෘදව ඇමතීමට පුරුදු වී සිටි
හාරිස්පත්තුවේ අරියවංශාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ දහම් පවස නිවන්නට
කැපවීමෙන් ක්‍රියා කළහ. උන්වහන්සේ විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක්
ලෙස ගෞරවාදරයට පාත්‍රව වැඩ සිටිහ.
ඉකුත් 22 වැනි දා අපවත්වී වදාළ හාරිස්පත්තුවේ අරියවංශාලංකාර
ස්වාමින්ද්‍රයන් වහන්සේගේ දේහය කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා
මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබිණි. උන්වහන්සේගේ අවසන් ඉල්ලීමට අනුව ආගමික
වතාවත් සිදු වූ අතර ශ්‍රී දේහය යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඉකුත්
23 වැනි දා බාරදෙනු ලැබිණි. මෙයට දස වසරකට පෙර හාරිස්පත්තුවේ
අරියවංශාලංකාර හිමියන් මෙම ලියුම්කරු සම¼ග ජාත්‍යන්තර විපස්සනා භාවනා
මධ්‍යස්ථානයේ දී කරන ලද සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසිනි. |