Print this Article


මල් වැනි දරුවන් රටේ අනාගතයයි

මල් වැනි දරුවන් රටේ අනාගතයයි

මවුපියන්ගේ යුතුකම් ඉටුවීම තුළින් සතුටට පත්වන දරුවෝ මවුපියන් උදෙසාද සිය යුතුකම් ඉටුකිරීමට නිතැතින්ම පෙළැඹෙති. එය සද්පුරුෂ දරුවන් මවුපියන් උදෙසාද යුතුකම් පහක් ඉටුකරන බව සූත්‍රය පැහැදිලි කරයි. “භතෝ මේ හරිස්සන්ති” මවුපියන් වයෝවෘද්ධ වු විට ආහාරපානාදිය ලබාදෙයි. “කිච්චං නෙසං කරිස්සන්ති” මවුපියන්ගේ කුදු මහත් කටයුතු කරදෙයි. “දායජ්‍යං පටිජ්ජාම්” මවුපියන්ගෙන් ලද දායාද රැකගනියි. ‘කුලවංශං ඨපෙස්සති “ තමාගේ කුල පරම්පරාවේ කුලසිරිත් රැක ගනියි. ‘අතචපන පේතානුනං කාලකතානං දක්ඛිනං අපදස්සන්ති “ මිය පරලොව ගිය මවුපියන් උදෙසා දානාදි පින්කම් කොට පින් දෙයි

සමස්ත ලෝකයම සුවඳවත් කරන ළමයා පිළිබඳව විවිධ දාර්ශනිකයන්, ආගමික ශාස්තෘවරුන්, විද්වතුන් නොයෙක් සංකල්ප දක්වා ඇත. බුදුදහමෙහි ළමයා අර්ථ ගන්වන්නේ හික්මවිය යුතු විභවතාවයන්ගෙන් පිරි අයකු ලෙසයි. මානව වර්ගයාගේ වටිනාම සම්පත වන ළමයා හික්මවීම සහ ලෝකයට ගැළැපෙන මනා පෞරුෂයකින් හෙබි, ගුණ නැණ දෙකින් යුතු පුද්ගලයකු බවට පත්කිරීම සමස්ත සමාජයේම වගකීමයි. මේ සඳහා ක්‍රියාත්මක විය යුතු ආයතන කිහිපයක් බුදුසමය පෙන්වා දෙයි.

ඒ අනුව, ළමයා පිළිබඳව මූලිකම වගකීම දරන්නේ මවුපියන් සහ පවුලයි. අධ්‍යාපන ආයතන,සිද්ධස්ථාන,පාසල මිතුරන් හා ඇසුරු කරන අය ළමයා කෙරෙහි බලපෑම් කරන අනෙක් කණ්ඩායම් ලෙස අපට හඳුනා ගත හැකිය.මෙම පුද්ගල කණ්ඩායම් අතරින් මුලින්ම දරුවාට මුණගැසෙන්නේ පවුල, මවුපියන්, සොහොයුරු සොහොයුරියන්ය. බුදුදහම දක්වන ආකාරයට දරුවාගේ පූර්ව ආචාර්යවරුන් වන්නේ තම මවුපියන්ය. ‘බ්‍රාහ්මාති මාතා පිතරෝ , පුබබාචාරියාති වුච්චරේ” මහා බ්‍රහ්මයා තුළ ඇති මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා යනාදි ගුණයන්ගෙන් පිරිපුන් මවුපියෝ දරුවාගේ පූර්ව ආචාර්යවරු වෙති. මුල්ම ගුරුවරු වෙති. දරුවාට කළ යුතු නොකළ යුතු දෙය කියාදෙන හොඳ නරක කියාදෙන, කෑම්බීම් ඇඳුම් පැළැඳුම් ගැන කියාදෙන සංස්කෘතිය පවරා දෙන මවුපියෝ දරුවාට මේ ලෝකය කුමක්දැයි පැහැදිලිකර දෙති” ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ “ මෙසේ මවුපිය ආදරය සෙනෙහස තුළ දරුවා හැදී වැඩිය යුතුය. මවුපියන්ගෙන් නිසි වයසේදී ජීවිතය පිළිබඳ නිවැරැදි උපදෙස් නොලැබීම දරුවා හොඳ නරක පිළිබඳව හැඟීමක් නැති පුද්ගලයකු බවට පත්වීමට හේතුවක් වෙයි.

අධ්‍යාපන විද්‍යාඥයන් මනෝවිද්‍යාඥයන් දක්වන පරිදි දරුවාට වයස අවුරුදු පහක් සම්පූර්ණ වනතුරු උපදෙස් පිළිපැදීම අපහසු වෙයි. දරුවා හික්මවිය යුතුවන්නේ යහපත් ක්‍රියාකාරකම් වල යෙදවීමෙන් සහ කරන ක්‍රියාවලදී යහපත්දේ දැකීමට ඇසීමට සැලැස්වීමෙන්ය. ඒ තුළින් දරුවාට යහපත් දෙය පිළිබඳ පෙළැඹවීමක් ඇතිකළ හැකිවෙයි.මේ ආකාරයට දරුවාට වයස අවුරුදු දාහතරක් පමණ වනතුරු ලබාගන්නා හොඳ, නරක, ගතිගුණ, ගුණධර්ම මුළු ජීවිත කාලය පුරාම අනුගමනය කිරීමට පුරුදු පුහුණුවෙයි.මේ කාලය තුළ හොද සංකල්පනා ,අදහස්, සිරිත් විරිත් ලබාදීමට පෙර දැක්වූ සියලු කණ්ඩායම් පෙළගැසිය යුතුය.මේ ආකල්ප මත වැඩෙන දරුවාට ප්‍රධාන කරුණු දෙකක් ලැබිය යුතුය. පළමුව භෞතිකව ආහාරපාන, ඇඳුම් පැළැඳුම් පොත්පත්ද දෙවැනුව චිත්තවේගිව සෙනෙහස,ආදරය, කරුණාව ද ලැබිය යුතුය.මෙසේ භෞතිකව හා ආධ්‍යාත්මිකව සැකසුණූ පරිසරයක වැඩෙන දරුවා සම්පූර්ණ දරුවකු බවට පත්වෙයි. පූර්ණ පෞරුෂයකින් යුතුව නොවැඩුණු දරුවකු සමාජ විරෝධී ක්‍රියාවන්ට පෙළැඹීමේ ඉඩකඩ වැඩි බව පෙන්වාදිය හැකියි.

දරුවාට ආදරය දැක්වීමෙන් දරුවා අකීකරුවීමට, පාලනය කිරීමට අපහසුවීමට ඉඩ ඇති නිසා දරුවන්ට ආදරය නොකළ යුතුයැයි මතයක් සමාජයේ දක්නට ඇත. එහෙත් අප තේරුම් ගත යුතු වන්නේ දරුවාට ලැබිය යුතු මූලික අවශ්‍යතාවය ආදරය බවයි. මේ නිසා අප දරුවන්ට ආදරය කළ යුතුය. සුරක්‍ෂිත කළ යුතුය. ගස් සිටුවීමෙදී අතරක් ඇතිව ගස් සිටුවීමෙන් එම ගස සරුසාරව වැඩීමට එයම හේතුවක් වන්නාසේ දරුවන් ද පරතරයක් ඇතිව බිහිකිරීමෙන් දරුවාගේ පෞරුෂ වර්ධනයට එය හේතුවෙයි. තමන්ට ලැබෙන ආදරය බෙදෙන විට, වෙනත් කෙනෙකුට ලබාදෙන විට, දරුවන්ගේ සිත තුළ ඊර්ෂ්‍යාව වෛරය, පළිගැනීම, වැනි අපිරිසුදු චේතනාද පහළ වෙයි. මේ නිසා දරුවා තුළ හොඳ මානසික සංකල්පනා ඇතිකරලීමට මවුපියන් කටයුතු කළ යුතුය.

බුදුදහමේ ඉගැන්වෙන සිඟාලෝවාද සූත්‍රය තුළින් පවා බුදුරදුන් විස්තර කර ඇත්තේ දරුවන්ට මවුපියන් යුතුකම් ඉටුකළ යුතු බවයි.අනෙක් පාර්ශ්වයන්ට මෙන්ම දරුවන්ටද සම තැනක් ලබාදී ඔවුන් පිළිබඳව සඳහන් කරන්නේ සමාජයේ වැදගත් තැනක් ඔවුන්ට ලබාදිය යුතු නිසයි. සූත්‍රයේ සඳහන් වන පරිදි මවුපියන් පළමුව කළ යුතුවන්නේ ‘පාපා නිවාරෙන්ති” කුදු මහත් වැරැදි ක්‍රියාවන්ගෙන් දරුවා වළක්වා ගැනීමයි.දෙවනුව “කළ්‍යාණෙ නිවාසෙන්ති “ යහපත් දෙය කිරීමට දරුවා යෙදවිය යුතු බවයි “සිප්පං සික්ඛාපෙන්ති “ ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීමට අවශ්‍ය කටයුතු සැලසීම තෙවනුවද “දායජ්ජං නීයාදෙන්ති” සුදුසුකළ ධන ධාන්‍ය සම්පත් දරුවන්ට පවරාදීම සිව්වැනුව ද “පතිරූපන දාරේන සංයෝජෙන්ති” සුදුසු කාලයේදී ආවාහ විවාහ කටයුතු සිදුකරදීම පස්වැනුවද සඳහන් කරයි.

මවුපියන්ගේ යුතුකම් ඉටුවීම තුළින් සතුටට පත්වන දරුවෝ මවුපියන් උදෙසාද සිය යුතුකම් ඉටුකිරීමට නිතැතින්ම පෙළැඹෙති. එය සද්පුරුෂ දරුවන් මවුපියන් උදෙසාද යුතුකම් පහක් ඉටුකරන බව සූත්‍රය පැහැදිලි කරයි. “භතෝ මේ හරිස්සන්ති” මවුපියන් වයෝවෘද්ධ වු විට ආහාරපානාදිය ලබාදෙයි. “කිච්චං නෙසං කරිස්සන්ති” මවුපියන්ගේ කුදු මහත් කටයුතු කරදෙයි. “දායජ්‍යං පටිජ්ජාම්” මවුපියන්ගෙන් ලද දායාද රැකගනියි. ‘කුලවංශං ඨපෙස්සති “ තමාගේ කුල පරම්පරාවේ කුලසිරිත් රැක ගනියි. ‘අතචපන පේතානුනං කාලකතානං දක්ඛිනං අපදස්සන්ති “ මිය පරලොව ගිය මවුපියන් උදෙසා දානාදි පින්කම් කොට පින් දෙයි.

මේ ආකාරයට සිඟාලෝවාද සූත්‍රය නැඟෙනහිර දිසාව යුතුකම් වගකීම්වලින් ආවරණය වූ විට ගැටුම් නැති, සාමය සතුට සැනසුම් පිරි ගෘහ ජීවිතයකට මඟ පෑදෙනු ඇත. වරදක් කරන දරුවකු දුටු වහාම එම වරදින් මුදා ගැනීම එම වරද පිළිබඳව අවබෝධයක් ලබාදීම අප කළ යුතුය.සමාජ විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වී දඬුවම් ලබා සිරගතවූවන්ට එම වරද පිළිබඳව අවබෝධයක් ලබාදී එම වරද නැවත නොකිරීමට පෙළැඹවීම සිර කඳවුර තුළ සිදු කෙරේ. එහිදී සිරදඬුවම් අවසන්ව නිදහස්වන පුද්ගලයෝ නැවත එම වරද නොකිරීමට පෙළැඹෙති. තමා ීජීවත්වන පරිසරයට අනුව ආකල්ප,අදහස් ගොඩනැඟීමද සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්ත්වයකි. එය මිනිසාට පමණක් නොව සත්ව ලෝකයටද බලපාන සිද්ධාන්තයකි.

බුදුරජාණන් වහන්සේ සත්තිගුම්භ ජාතකයෙන් සහ දදිවාහන ජාතකයෙන් පුද්ගලයන් තුළ ඇතිවන ආකල්ප නිසා ඔවුන් තුළ හටගන්නා වෙනස්කම් පිළිබඳව මනාව පැහැදිලි කර ඇත. යහපත් ආකල්ප ඇති දරුවන් නිසා ගෙදර ආරක්‍ෂාවත් සමාජ ආරක්‍ෂාවත් තහවුරු වන අතර එසේ යහපත් ආකල්ප නැති විට සමස්ත සමාජයම විනාශවී යනු ඇත. මේ නිසා හැමවිටම මවුපියන් ආදර්ශවත්වීමට වගබලාගත යුතුය. එසේම දරුවන් තුළ අපචාර ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඇතිවීමට ජානමය තත්ත්වයන්ද බලපාන බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. බුදුදහම ද එය දක්වා ඇත. බීජ නියාමය ලෙස දක්වන්නේ එම න්‍යායයි.

සටහන : ගීතානි සඳමාලි පතිරණ