Print this Article


95 වැනි වියට පත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක අග්ග මහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමි

95 වැනි වියට පත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක අග්ග මහා පණ්ඩිත

බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමි

“අවුරුදු තුනක් ඒ ධර්මදූත පුහුණුව යටතේ ඉංගී‍්‍රසි, දෙමළ, හින්දි ඉගෙන ගැනීමෙන් පසුව ඉන්දියාවට පිටත් කළා. ඉන්දියාවෙ බුද්ධගයාවෙ තමයි නේවාසික වුණේ. බුද්ධගයාව තරමක් දුර්වල වී තිබුණු නිසා බුද්ධගයාව වැඩිදියුණු කරන්නයි මට භාරවුණේ.” දීර්ඝායුෂ ලැබීමට බලපාන හේතු කවරේ ද? “බොහෝදුරට කර්ම ශක්තියත් බලපානවා. මගේ වයස දැන් අසූ පහයි. මගේ වයස අවුරුදු අසූ පහ වන විට මා රෝහලකට ගොස් තිබෙන්නෙ දවස් තුනයි. ඊට පසුව වුවත් වැඩිපුර රෝහල්ගතවෙලා නෑ. යහපත් සෞඛ්‍යය තත්ත්වය දීර්ඝායුෂ ලැබීමට හේතුවෙනවා ඇති. මා ඉපදුනු කාලයේ දී ආශ්‍රය කරපු භජනය කරපු සමාජය අද නෑ.”

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ මහානායක අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමියන්ගේ 95 වැනි ජන්ම දිනය ඉකුත් 26 වැනි දාට යෙදී තිබිණි.

1920 මාර්තු 26 වැනි දා කළුතර දිසාවේ පස්යොදුන් රට බෙල්ලන ග්‍රාමයේදී උපත ලබා කුඩා කල පාසල් අධ්‍යාපනය ලබා 1929 මැයි 21 වැනි දා රන්තොටුවිල සෝභිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස ‘බෙල්ලන ඤාණවිමල’හිමි නමින් සසුන් කෙතට ඇතුළත්විය.

බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙන උන්වහන්සේ සිය මූලික බණ දහම් ප්‍රගුණ කිරීමේ සිට පණ්ඩිත උපාධිය ලබා ගැනීම දක්වා ධර්ම, විනය, ශබ්ද ශාස්ත්‍ර හැදෑරීමටත් අනතුරුව එම පිරිවෙනේම පරිවෙනාධිපති පදවිය ලැබීමටත් බෙල්ලන ඤාණවිමල මහානාහිමියෝ වාසනාවන්ත වූහ.

1950 දී බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙනෙහි පරිවෙනාධිපති ධුරයට පත් වූ උන්වහන්සේ ධර්මපාල පිරිවෙනට ස්වර්ණමය යුගයක්ද උදාකළහ.

සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි, දෙමළ, හින්දි වැනි භාෂා කීපයක් එකසේ හැසිරවිය හැකි බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශාස්ත්‍රීය මෙහෙවර ආදර්ශවත්ය.

ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර පිළිබඳ ගැඹුරු පාණ්ඩිතයකින් හෙබි බෙල්ලන ඤාණවිමල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ වන විට රචනාකර ඇති ග්‍රන්ථ සංඛ්‍යාව ද විශාලය. අභිඥාන සාකුන්තලාය (පරිවර්තන) අශෝක ශිලා ලේඛන, ජාතක මාලා (පරිවර්තන) රත්නාවලී නාට්‍ය (පරිවර්තන) පටිඨානනය නිරූපණය ශ්‍රී සුමංගල ශතකය (පාලි පද්‍යය) අලහබාද් ශිලා ලේඛනය (අනුවාදය) සංස්කෘත ශබ්දාර්ණාවය (දෙවන කොටස) විශේෂයෙන් සඳහන් කළ හැකි ය.

ඊට අමතරව මෑත භාගයේ දී උන්වහන්සේ රචනා කරන ලද ග්‍රන්ථ රැසක් පාඨකයාගේ ඉමහත් ගෞරවයට භාජනය විය.

අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘බුදුසරණ’ සමඟ පසුගියදා කළ සාකච්ඡාවේ දී දැක්වූ අදහස් මෙසේ ය.

අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජීවිතයේ කුඩා කාලය ගැන....

ජීවිතයේ කුඩා කාලයේ සිට කළ කී බොහෝ දේ මතකයට එනවා.

ගිහි ගෙදරින් නික්මී පැවිදිවීමට සිතුනේ ඇයි?

ඒ කාලයේ පන්සලේ ඇසුර බොහෝ දුරට බලපාන්න ඇති.මගේ මෑණියොත්, පියාත් පසළොස්වකටත්, අව අටවකටත් පන්සලේ සිල් සමාදන්වුණා. මව්පිය දෙදෙනා සමඟ කුඩා කල සිටම පන්සලට යාමේ පුරුද්දක් මටත් තිබුණා. ඊට අමතරව පෙර ජාතිවල පුරුද්දක් තිබෙන්න ඇති.

මහානායක හාමුදුරුවන්ගේ පවුලේ තොරතුරු -

අපේ පවුලේ සහෝදර සහෝදරියො සියලු දෙනාම අට දෙනයි. එයින් පස් දෙනෙකු ගැහැනු. අනික් තුන්දෙනා පිරිමි. පවුලේ අටවැනියා මමයි.

පාසල් අධ්‍යාපනය -

ඒ කාලයේ බෙල්ලන මහා විද්‍යාලයක් තිබුණේ නෑ. දැනට බෙල්ලන මහා විද්‍යාලයෙන් තමයි පාසල් අධ්‍යාපනය ලැබුවේ. ඒ කාලයේ එය සාමාන්‍ය පාසලක්. මා පාසලට ඇතුළත් වුණේ 1925 දී. පාසලේ පස්වන පන්තිය දක්වා ඉගෙන ගත්තා.

පැවිදි වීමට මව්පිය දෙපළ කැමැත්තක් දැක්වූවාද?

මව්පිය දෙදෙනාගේ කැමැත්තටත් යෝජනාවටත් අනුව තමයි පැවිදි වන්නට ලැබුණේ. පැවිදි වුණේ ඒ කාලයේ බෙල්ලන ධර්මපාලාරාමය ඉතින් ඒ පන්සලේ වැඩ සිටි රන්තොටුවිල සෝභිත ලොකු හාමුදුරුවෝ වෙතින් 1929 මැයි මාසයේ 21 වන දා තමයි පැවිදි වුණේ. පන්සලට පැමිණිලා මාස දෙකකට පසුව අවශ්‍ය පොත්පත් පාඩම් කරල අවසන් වුණ පසුවයි පැවිදි කළේ. අවශ්‍ය මූලික බණ දහම් ලොකුහාමුදුරුවන්ගෙන්ම ඉගෙන ගත්තා.

පිරිවෙන් අධ්‍යාපනය

මූලික අධ්‍යාපනය පැවිදි වූ පන්සලෙන්ම ලැබුණා. ඒ කාලයේ බෙල්ලන පන්සලේ පිරිවෙනක් තිබුණේ නෑ. නමුත් උගත් හාමුදුරුවරු වැඩ සිටියා.

මගේ ලොකු හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් පිරිවෙන ආරම්භ කළාට පසුව ඒ පිරිවෙනින් ඉගෙන ගත්තා.

ධර්මදූත පුහුණුව - බෙල්ලන ධර්මපාල පිරිවෙනින් ඉගෙන ගැනීමෙන් පසුව මාලිගාකන්දේ පධානඝර විහාරයේ පරවාහැර වජිරඤාණ නායක හාමුදුරුවෝ යටතේ ධර්මදූත සේවය සඳහා පුහුණුව ලැබුවා. එය පසුව ධර්මදූත විද්‍යාලයක් දක්වා දියුණු වුණා. 1945 දී මහා බෝධි සමාගම මඟින් පිටරට ධර්මදූත මෙහෙවරට මා තෝරා ගනු ලැබුවා. ඒ යටතේ අවුරුදු තුනක පුහුණුවක් එහිදී ලබා ගත්තා.

ධර්ම දූත පුහුණුවෙන් පසු බුද්ධ ගයාවට

අවුරුදු තුනක් ඒ ධර්මදූත පුහුණුව යටතේ ඉංගී‍්‍රසි, දෙමළ, හින්දි ඉගෙන ගැනීමෙන් පසුව ඉන්දියාවට පිටත් කළා. ඉන්දියාවෙ බුද්ධගයාවෙ තමයි නේවාසික වුණේ. බුද්ගයාව තරමක් දුර්වල වී තිබුණු නිසා බුද්ධගයාව වැඩිදියුණු කරන්නයි මට භාරවුණේ.

අධික සීතලකදී අසනීප වූවා

අවුරුදු දෙක හමාරක්ම බුද්ධ ගයාවෙ හිටියා. බුද්ධගයාවේ ස්ථානය භාරව මා සිටියා. අධික සීතල පැවැති කාලයක මා අසනීප වුණා. ඒ අවස්ථාවේ වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෙලාවේ මට ඖෂධ ලබාදුන් වෛද්‍යවරයා කීවා මේ සීත කාලයේ ලංකාවට වඩිනවා නම් වඩා හොඳයි කියලා. ඉතින් මහාබෝධි සමාගමට දන්වා මා ලංකාවට ආවා.

බෙල්ලන ධර්මපාල පිරිවෙණට

ලංකාවට පැමිණිලා අවුරුද්දක් පමණ ගත වන විට බෙල්ලන පිරිවෙනේ පරිවෙනාධිපති හාමුදුරුවෝ අසනීප වුණා. ඉතින් ඒ වෙලාවෙදි මා බෙල්ලන පිරිවෙනේ නතර කර ගත්ත නැවත ඉන්දියාවට යන්න දෙන්න බෑ කියල. ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවක් නොතිබුණු වෙලාවක ලංකාවට ආවේ. මම පරිවෙනාධිපතිධූරය ලැබී 1977 දක්වා පරිවෙනාධිපති ලෙස කටයුතු කළා. අවුරුදු විසිපහක් පමණ ඒ කටයුතු සිදු කළා. මේ වන විට බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙන ඉතා දියුණු තත්ත්වයක තිබෙනවා.

බෙල්ලන පිරිවෙනින් විද්‍යෝදය මහ පිරිවෙනට

බෙල්ලන පිරිවෙනින් පසුව විද්‍යෝදය පිරිවෙනේ එවකට පරිවෙනාධිපති අකුරැටියේ අමරවංශ නායක හාමුදුරුවෝ මට ආරාධනාවක් කළා. විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයට එකතුවෙන්න කියලා විද්‍යෝදය පිරිවෙනේ උප ප්‍රධානාචාර්යවරයකු ලෙස මා කටයුතු කළා.

විදේශ ආරාධනා -

විද්‍යෝදය පිරිවෙනේ කටයුතු කරන අතරතුරදී එංගලන්තයෙන් ආරාධනාවක් ලැබුණා එංගලන්තයේ සමිතියක් මගින් අභිනවයෙන් විහාරස්ථානයක් ඉදි කරනවා කියලා. ඉතින් ඒ කරපු ආරාධනාවට අනුව පිරිවෙනින් අවුරුද්දක පමණ කාලයකට නිවාඩු ලබාගෙන එංගලන්තයට ගිහින් ඒ ආරාමය ආරම්භ කළා.

නැවත ලංකාවට ඇවිත් වැඩ කරගෙන යන අතරතුර එංගලන්තයේ තවත් විහාරස්ථානයක් ආරම්භ කරන්න කියල නැවත ආරාධනාවක් කළා. ඒ වෙලාවෙදි හය මාසයකට නිවාඩු අනුමත වුණා. ඉතින් ඒ හය මාසය තුළ දී ඒ ආරාමයේ කටයුතු කරල නැවත ලංකාවට ආවා. විද්‍යෝදය පිරිවෙනේ වසර තිහක් පමණ සේවය කළා. මෙසේ විද්‍යෝදය පිරිවෙනේ ඉගැන්වීමේ කටයුතු කරගෙන යන අතරතුරදී අපේ සංඝ සභාව මඟින් 2001 දී මහානායක පදවියට මා පත් කරගනු ලැබුවා. (නිල සංඝාවාසය) දක්වා මෙහි වැඩ ඉන්නවා.

දැන්නම් ලිවීම, හුගාක් අඩුයි. ඒ කාලයේ දී පොත්පත් ලිවීම තමයි කළේ.

වැඩිපුරම සතුටු වන්නෙ,

ඉගෙන ගන්න අයට උදව් කිරීමට බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ පොත් රචනා කිරීමට ධර්ම දේශනා කිරීමට. ඉතින් එක් අතකින් එය ධර්ම දානයක්. ධර්ම දූත සේවයක්.

දීර්ඝායුෂ ලැබීමට බලපාන හේතු කවරේද?

බොහෝදුරට කර්ම ශක්තියත් බලපානවා. මගේ වයස දැන් අසූ පහයි. මගේ වයස අවුරුදු අසූ පහ වන විට මා රෝහලකට ගොස් තිබෙන්නෙ දවස් තුනයි. ඊට පසුව වුවත් වැඩිපුර රෝහල්ගතවෙලා නෑ. යහපත් සෞඛ්‍යය තත්ත්වය දීර්ඝායුෂ ලැබීමට හේතුවෙනවා ඇති. මා ඉපදුනු කාලයේ දී ආශ්‍රය කරපු භජනය කරපු සමාජය අද නෑ.

පුනර්භවය යනු– එකම යාත්‍රාවක ගමන් කරනව වගේ. පුනර්භවය ගැන පොත් කීපයක් ලියා තිබෙනවා. ජීවන රටාව ආදර්ශයට ගැනීමෙන් පැහැදිලි කර ගන්න පුළුවන්. එකම දෙයක ගලාගෙන යාමක්. පුනර්භවයක් නැතිනම් ආගමක් පවතින්නෙ නෑ. එක් එක් ආගමේ වෙනස් අයුරෙන් විස්තර කරනවා. හොඳ, යහපත කළොත් හොඳ තැනකට යනවා කියන අදහස පිළිගන්නවා. හොඳ නරක දෙක ලොව තිබෙනවා. තමන්ගේ ක්‍රියාවෙන් තමන්ටත්, අන් අයටත් හෝ එයින් එක් කොටසකට හෝ අයහපතක් නම් ඒක පවක්. තමන්ටත් අන් අයටත් අයහපතක් නොවන්නේ නම් යහපතක් වන්නේ නම් ඒක පිනක්.

යහපත් ප්‍රාර්ථනා සම්පූර්ණ කර ගන්නේ කෙසේද? ඒවා සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය මාවත කල්පනා කළ යුතු ය. මජ්ඣිම නිකායේ සඳහන් වන සූත්‍ර දේශනාවකට අනුව යමක් නිතර නිතර බලාපොරොත්තු වනවා නම් ඒ කාර්ය සාර්ථක වන බව සඳහන් වේ. හැම කාර්යකටම අවශ්‍ය දේ සම්පූර්ණ කර ගත යුතු යි.

එදා සහ අද තරුණ පිරිස

එදා සහ අද කියල බලන විට ලොකු පරතරයක් දකින්නට තිබෙනවා. 1930 ගණන්වල හිස කෙස් වවා කොණ්ඩය බැඳ සරම ඇඳගත් පිරිමින් සිටියා. ඊට පසුව කලිසම, කෝටි එක ඇඳීමට පටන් ගත්තා.

ගිහි සමාජය විලාසිතාවලට යොමු වනවා. හිස බූ ගා සිටියා නම් සමහර විට හිර ගෙදරක ඉඳල ආපු කෙනෙක් හෝ උපැවිදි වූ කෙනෙක් කියල එදා සමාජයේ එවැනි කෙනෙක් දුටු විට හිතනවා. නමුත් අද එය වෙනස් වෙලා.

ලෝකයේ බොහෝ රටවල පවා එසේ වෙනස් වෙනවා. අපේ සාරධර්මවලට වඩා ගතානු ගතිකත්වයේ වෙනසක් තමයි දකින්නට ලැබෙන්නෙ යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ ශාස්ත්‍රපති චාමික මුණසිංහ සාකච්ඡා ඇසුරෙන් කරන ලද ලිපි මාලාවක් බුදුසරණ පුවත්පතෙහි ‘සක්වළ සක්මන’ නමින් පසුගිය කාලයේ පළකළ අතර එම ලිපි පෙළ පාඨක ප්‍රසාදය දිනා ගැනීමට සමත්වූහ. අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට චිරාත් කාලයක් නිරෝගීව වැඩ සිටින්නට කායික මානසික ශක්තිය හිමිවේවා.