UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙත් සිසිලස

මෙත් සිසිලස

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.
“න මෙ චිත්තං විපරිණතං භවිස්සති . න පාපිකං වාචං
නිච්ඡාරෙස්සාමි. හිතානුකම්පී ච විහරිස්සාමි.
මෙත්තචිත්තො න දොසන්තරො ති”

පින්වත්නි,

අද ලංකාවාසී බෞද්ධයන්ට වැදගත් දිනයක්. අද වගේ දිනක බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට ලංකාවට වැඩම කළා. උන්වහන්සේගේ සම්බුද්ධත්වයෙන් නව වන මාසයේ දී මහියංගණයේ මහානාග වනයට වැඩම කර යක්ෂ ගෝත්‍රිකයන් දමනය කළ බව සඳහන් වෙනවා. එවන් අතිඋතුම් පොහෝ දිනයක දී ඔබගේ ධර්ම ඥානය වැඩි දියුණු කිරීම සඳහා මජ්ඣිම නිකායේ එන කකචූපම සූත්‍රය අසුරු කර ගනිමින් මෙම ධර්ම විග්‍රහය කිරීමට අපේක්ෂා කරනවා.

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියදී මොලීයඵග්ගුන හිමියන් අරභයා මෙම සූත්‍ර දේශනාව සිදු කළ බව සඳහන් වෙනවා. මොලීයඵග්ගුන හිමියන් නිතර භික්ෂුණින් වහන්සේ සමඟ සල්ලාපයේ යෙදෙන අතර භික්ෂුණින් පිළිබඳව යම් දොසක් අගුණක් කතා කළ විට එයට උරණ වී භික්ෂුන් සමඟ වාදවිවාද කරනවා. කලහ කරනවා. මේ ආකාරයටම මොලීයඵග්ගුන හිමියන්ගේ දෝෂයක් හෝ අගුණක් ගැන කතා කළ විට භික්ෂුණින් ද වාදවිවාද කරගන්නවා. මේ ගැන භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මතක් කළ විට ඵග්ගුන හිමියන් කැඳවා එහි ඇත්ත නැත්ත විමසුවා. එය භාරගත් විට බුදුරජාණන් වහන්සේ ඔහුට අවවාද කරමින් මුලින් සඳහන් කළ උද්ධෘතය ප්‍රකාශ කළා.

කෙනකු තමා ඉදිරියේ දී හෝ අනභිමුඛව හෝ චෝදනාවක් හෝ ගැරැහීමක් හෝ කරන විට මන්ත්‍රයක් ලෙසට මෙසේ සිතිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. “න මෙ චිත්තං විපරිණතං භවිස්සති” මගේ සිත වෙනස් නොවන්නේ ය. “න පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි” පාපි වචනයක් නොකියන්නෙමි. “හිතානුකම්පි ච විහරිස්සාමි” සිතේ අනුකම්පාව ඇතිව වාසය කරමි.”මෙත්ත චිත්තො න දොසන්තරො” මෛත්‍රි සිත් ඇතිව වසමි. ද්වේෂ සිත් නැතිව වසමි. මෙසේ කල්පනා කරන ලෙසට අවවාද කළා. මෙය එක්තරා ශික්ෂණ ක්‍රමයක්. කිසිවකු තමා පිළිබඳව අගුණ ඇසීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. පරිභවයක් ඇසීමට කැමැත්තක් දක්වන්නේත් නැහැ. එසේම තමා පි‍්‍රය කරන කෙනකු විවේචනය කිරීම හෝ ඔහුට දොස් කීම හෝ අවලාද කරනු ඇසීම හෝ ඔහුට කැමැත්තක් උපදවන්නේ නැහැ. මෙය බොහෝ දෙනා තුළ පවතින ස්වභාවයක්. යම් අවස්ථාවක දි එබඳු කතාවක් ඇසීමට සිදුවුවහොත් ඒ නිසා සිත වෙනස් වී පිරිසුදුව පැවැති සිත කිලිටි වන්නේ තරහ කෝපය වෛරය පළිගැනීම යන මේ සිතුවිලි සිතට පැමිණෙන නිසායි. එවිට තම සිත ‘තමාට අයත්’ සිතක් වන්නේ නැහැ. එයට හේතුව, සිත අනුන් විසින් ගන්නා ලද සිතක් බවට පත්ව ඇති නිසායි. සිතක පවතින සන්සුන්කම නැති කිරීමට පහසුයි. තමාගේ අභිමානය, අයිතිය, පි‍්‍රයතාව, අවශ්‍යතාව අහිමි කරන ඕනෑම වචනයක් අසන විට හෝ එබඳු ක්‍රියාවකට මුහුණ දෙන විට හෝ මනැසේ අස්ථාවරත්වයක් ඇති විය හැකියි. එවන් විටෙක මෙබඳු උපදේශන වාක්‍යයක් සිහිකිරීම මනැස යථා තත්ත්වයට පත් කිරීමට උපකාර වෙනවා.

බැණ වැදීමකදී, දොස් කීමකදී පමණක් නොව අතින් පයින් පහර දෙන විටත්, ගල්කැටවලින් පහරදෙන විටත්, ආයුධයකින් පහර දෙන විටත් තම සිත වෙනසකට පත් නොකරගත යුතු බවට මෙම සූත්‍රයේදී උපදෙස් දී තිබෙනවා. ද්වේෂයෙන් කටයුතු කරන්නා කෙරෙහි හිතේ අනුකම්පාව ඇතිව මෛත්‍රි සිතුවිලි ගොඩනැඟිය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ද්වේෂ සහගත සිතක්, පළිගැනීමේ සිතක්, කෝප සිතක් ඇති වුවහොත් එබඳු සිතුවිලි වහා පහ කළ යුතු බව දක්වා වදාළා. හේතුව, ඒවා සියල්ලක් ලෞකිකත්වයට අයත් (ගෙහසිත) සිතුවිලි වන නිසායි. ඒවා දුක් පීඩා ඇති වීම සඳහා බලපාන නිසායි.

මෙහි දී බුදුරජාණන් වහන්සේ කොසොල් දනව්වේ පෙර සිදු වූ සිද්ධියක් භික්ෂුන් වහන්සේට සිහිපත් කර දුන්නා. අතීතයේ මේ නගරයේ වෙදෙහිකා නම් ගෘහණියක් ජීවත් වුණා. ඇය කරුණාවන්ත, නිවුණු, ශාන්ත කෙනෙක්. ඇගේ මේ නිවුණු ගති ලක්ෂණ කවුරුත් පි‍්‍රය කළා. අගය කළා. ඇයට කාලි නම් දාසියක් සිටියා. මේ දාසියට අවශ්‍ය වුණා තම ස්වාමි දියණිය සත්‍ය වශයෙන්ම කාරුණිකදැ’යි පරීක්ෂා කරන්න. ගෙදර වැඩ යහමින් තමා කරන නිසා ඇයට කේන්ති නොයනවා විය හැකියි. එසේම ඇයට කේන්ති යනවා නමුත් පෙන්වන්නේ නැතිව සිටිනවා ද විය හැකියි. මෙසේ සිතා එක් දිනක් දාසිය පමා වී අවදි වූවා. ගෘහපතිනිය ඇගෙන් ප්‍රශ්න කළා පමාවී නැඟිටීමට හේතුව. ඇය හේතුවක් නැති බව ප්‍රකාශ කළා. ස්වාමි දියණිය ඇහිබැම හකුළුවා එය බාරගත්තා. දෙවන දිනයේදීත් ඇය පමාවී අවදි වූවා. එදිනත් හේතුව සැරෙන් විමසුවා. සේවිකාව හේතුවක් ප්‍රකාශ කළේ නැහැ. තුන්වන දිනයේදීත් ඇය එයම කළා. හේතුව විමසුවත් පිළිතුරක් නොලැබුණු නිසා දොරපොල්ල ගෙන ඇගේ හිසට පහරක් ගැසුවා. හිස තුවාල වුණා. සේවිකාව ලේ වැගිරෙන හිසින් යුතුව, නගරය පුරා ඇවිදිමින්, වෙදෙහිකා ගෘහණිය තමාට ලේ එන තෙක් පහර දුන් බව කියා සිටියා. එදා පටන් වෙදෙහිකා ගෘහණිය චණ්ඩි, වහා කේන්ති යන, ආක්‍රමණශීලි කාන්තාවක ලෙසට ප්‍රසිද්ධ වුණා. කෙනකු නරක වචන නො අසන තෙක් ඔහු කාරුණික, නිවුණු, උපශාන්ත කෙනකු ලෙස ජීවත් වීමේ හැකියාව ඇත්තකු බවත් නමුත් කෙනකුගේ උපශාන්ත බව, කාරුණික බව, නිවුණු බව ඔහුට වාක්ප්‍රහාර එල්ල වන විට දැනගතහැකි බවත් මේ කතා ප්‍රවෘත්තිය ගෙනහැර දක්වමින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. තර්ජන, ගර්ජන, අකටයුතුකම්, ඊර්ෂ්‍යා කිරීම්, විවේචන, විවිධ බාධා කිරීම් හමුවෙහි යම්කිසිවකු ඉන්ද්‍රඛීලයක් මෙන් අකම්පිතව විරෝධය ඉවසයි නම් එම ස්වභාව කෙනකුගේ උපශාන්ත බව කාරුණික බව තැන්පත් බව ප්‍රකට කරනවා. අභියෝගයක් ඉදිරියේදී තමා ඇති කරගන්නා වූ නොසෙල්වෙන අකම්ප්‍ය ස්වභාවය නිර්මාණය කර ගැනීම සඳහා මේ බුද්ධමන්ත්‍රය ඉතා ප්‍රයෝජනවත් වනවා.

ඉන්පසුව බුදුරජාණන් වහන්සේ වචන පථ පහක් ගැන මෙහිදී අවධානය යොමු කරවනවා. වචන පථ යනු වචන මාර්ගයි. කෙනකු තව කෙනකු ට කියන ප්‍රවෘත්ති පස් ආකාරයකට ගලා එන බව බුදුරජාණන් වහන්සේ මෙහි දී විස්තර කරනවා.

1. කාලීන ප්‍රවෘත්ති සහ කාලීන නොවන ප්‍රවෘත්ති(කාලෙන වා අකාලෙන)
2. සත්‍ය ප්‍රවෘත්ති සහ අසත්‍ය ප්‍රවෘත්ති(භූතෙන වා අභූතෙන)
3. මිහිරි ප්‍රවෘත්ති සහ අමිහිරි ප්‍රවෘත්ති (සණ්හෙන වා ඵරුසෙන)
4. ප්‍රයෝජනවත් ප්‍රවෘත්ති සහ ප්‍රයෝජනයක් නැති ප්‍රවෘත්ති(අත්ථසංහිතෙන වා අනත්ථසංහිතෙන)
5. මෛත්‍රි සිතින් කියන ප්‍රවෘත්ති සහ ද්වේෂ සහගතව කියන ප්‍රවෘත්ති(මෙත්ත චිත්තා වා දොසන්තරා)

කෙනකු ඔබ වෙත පැමිණ කරන වාර්තාව මේ පස් ආකාර රටාවන්ගෙන් එකක් විය හැකියි. ඔබට කියන දේ සත්‍ය විය හැකියි. එසේ ම අසත්‍ය ප්‍රවෘත්තියක් ද විය හැකියි. මේ දෙකටම දැක්විය යුතු ප්‍රතිචාරය උපේක්ෂාවයි. එම ප්‍රවෘත්තිය ඇසූ සැනෙකින් බුද්ධමන්ත්‍රය සිහි කළ යුතුයි. එයින් ශික්ෂණය ලැබිය යුතුය (එවං සික්ඛිතබ්බං) මගේ සිත වෙනස් නොවන්නේ ය. (න මෙ චිත්තං විපරිණතං භවිස්සති)

මෙයට ප්‍රතිචාරයක් ලෙසට නරක වචනයක් නොකියන්නෙමි. ඔවුන් කෙරෙහි සිතේ අනුකම්පාව සහිතව ජීවත් වෙමි. මෙත් සිතින් ජීවත් වෙමි. ද්වේෂ සිතින් බැහැරව ජීවත් වෙමි. මේ පිළිවෙළට සිත සංවර්ධනය කිරීම අනුදැන වදාළ ක්‍රමයයි.

කාලයට අදාළ ප්‍රවෘත්තින් මෙන්ම කාලීන නොවූ ප්‍රවෘත්තින්ද අපට අසන්නට ලැබෙනවා. නොහික්මුණු මනැසක් ඇති අය එම කතාව අසා කෝපයට පත් වනවා. ඇතැම් විට කම්පාවට පත් වනවා. අසහනයට පත් වනවා. මේවායේ කාලීන අර්ථයක් නැහැ. සිත වෙනස් නොකර තබා ගැනීම වැදගත් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. සමහර ප්‍රවෘත්තින් අසන විට සිතට මිහිරක් දැනෙනවා. සමහරක් ප්‍රවෘත්තීන් ඇසීමෙන් කනගාටුවක් ඇති වනවා. වේදනාවක් ඇති වනවා. නො ඇසුවානම් හොඳයි යන සිතුවිල්ල ඇති වනවා. මෙහිදීද ඇති කරගත යුතු මානසික ස්වභාව නම් පෙරපරිදිම සිත වෙනස් වෙන්නට ඉඩ නොතැබීමයි. සමහරක් ප්‍රවෘත්තින් ඇසීමෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. තමාගේ භෞතික හෝ අධ්‍යාත්මික හෝ ජීවිතයට කිසිදු අර්ථයක් ලැබෙන්නේ නැහැ.

මෙවන් විටකදි ද සිත නොවෙනස්ව තබා ගැනීම වැඩදායකයි. බොහෝ දෙනා ඔබ වෙත රැගෙන එන ප්‍රවෘත්තීන් ඔබගේ යහපත ඉලක්ක කරගත් තොරතුරු නොවේ. සියුම් ඊර්ෂ්‍යාවක් සහිතව පෞරුෂය බිඳ දමා, සිත සසල කරවන දේ කියන්නට පෙළැඹෙනවා. එහි අරමුණ දියුණුවට බාධා කිරීමයි. මේ ප්‍රවෘත්තිය හුදෙක් තමාට, තමාගේ දියුණුව ගැන සලකා ප්‍රකාශ කරන්නක්ද යන්න විමර්ශනය කිරීමට ඔබගේ සිතේ තැන්පත් බව රඳවා ගැනීම අතිශය වැදගත්. ඒ සඳහා නිරතුරුවම මේ බුද්ධමන්ත්‍රය සිහියෙහි තබා ගැනීම ඉතා වැදගත්. මෙසේ සිත ශක්තිමත් වූ විට බාහිර ලෝකයේ බලපෑම්වලට කිසිවිටෙකත් යටත් නොවී සිටිය හැකියි. බුදුරජාණන් වහන්සේ උපමා තුනකින් මෙය පැහැදිලි කර දුන්නා. කෙනකු මේ මහා පොළොව නොපොළොවක් කරමි’යි සිතා පොළොව හාරනවා. පස් තැන තැන විසුරුවනවා. කෙළ ගසනවා. මුත්‍රා කරනවා. එසේ කිරීමෙන් මහපොළොව නොපොළොවක් කිරීමට නොහැකියි. එසේ කිරීමෙන් ඔහු ක්ලාන්ත වනවා. හේතුව මහපොළොව ගැඹුරුයි. ප්‍රමාණ කළ නොහැකියි. එසේම මෛත්‍රි සහගත ගැඹුරු සිත කම්පාවට පත් වන්නේ නැහැ.

තවත් උදාහරණයක් මෙසේයි. කෙනකු විවිධ පාට වර්ග ගෙන ආකාශයේ චිත්‍රයක් ඇඳීමට උත්සාහ ගන්නවා. එහෙත් එහි චිත්‍රයක් නිර්මාණය වන්නේ නැහැ. එය කළ නොහැකියි. හේතුව ආකාශය ගැඹුරුයි. එහි වර්ණ රැඳෙන්නෙ නැහැ. මෛත්‍රියෙන් යුක්ත සිත ද ගැඹුරුයි. එහි ද්වේෂය රැඳෙන්නේ නැහැ. කම්පාවට පත් කළ නොහැකියි. කෙනකු ඇවිළෙන පන්දමක් ගෙන ගංගා නම් නදියේ ජලය උණුසුම් කිරීමට උත්සාහ ගන්නවා. ඔහුට එසේ කළ නොහැකියි. ඔහු වෙහෙසට පත්වනවා. ගංගා ජලය අප්‍රමාණයි. එසේම මෛත්‍රිය සහගත සිතින් ජීවත් වන කෙනකු විවිධ කුපිත කිරීම් තුළ කම්පිත කළ නො හැකියි.

බුදුරජාණන් වහන්සේ තවදුරටත් මෛත්‍රි සහගත සිතේ ප්‍රබලත්වය පෙන්වා දෙමින් මෙසේ එය අගය කළා. සොරුන් දෙදෙනකු කියතක් දෙ පැත්තෙන් අල්වා යමකුගේ ශරීර අංග කපනවා. එහි දී ඔහුගේ සිත ද්වේෂයෙන් කිලිටි වේද(මනො පදුසෙය්‍ය) ඔහු තමන් වහන්සේගේ අවවාදය පිළිපදින්නකු නොවන බව මේ සූත්‍රයෙහි අවධාරණය කර තිබෙනවා. එහි දී ද එම තැනැත්තා මෛත්‍රි සිතුවිලි ඇති කරගත යුතු බව, කියත උපමා කරගෙන (කකචූපම) පැහැදිලි කරනවා. මෙසේ මෙත් සිත් වැඩීමෙන් කෙනකුට බොහෝ කාලයක් සැප විපාක ලබා ගත හැකියි.

මේ නිසා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය පිළිපදින අප හැමදෙනාම මේ බුද්ධමන්ත්‍රය හිතින් දරාගෙන නිතර භාවිත කරමින් අවට ලෝකයේ එදිරිවාදි ක්‍රියාකාරකම්වලට කම්පිත නොවී ජීවත් වීමට කටයුතු කරමු. බොහෝ කාලයක් සැපවිපාක ලබා ගැනීමට අවෛරීව, මෛත්‍රිය වඩමින් දිවි ගෙවීමට අධිෂ්ඨාන කරමු. ඔබ සැමට සියලු යහපත උදා වේවා!

 

දුරුතු මස පසළොස්වක පෝය

දුරුතු මස පසළොස්වක පෝය ජනවාරි 15 වැනිදා බදාදා පූර්වභාග 07.52 ට ලබයි.
16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.23 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජනවාරි 15 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 24 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 15

Second Quarterඅව අටවක

ජනවාරි 24

New Moonඅමාවක

ජනවාරි 30

First Quarterපුර අටවක

පෙබරවාරි 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]