නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාව
අර්ථවත් කෙරෙන
උපෝසථ සමාදානය
කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
බෞද්ධ විමුක්ති මාර්ගය සීල, සමාධි, ප්‍රඥා යනුවෙන් ත්‍රිවිධ
ශික්‍ෂාවකින් යුක්ත වේ. විමුක්තිය සාක්‍ෂාත් කිරීම උදෙසා මෙම අංග තුනම
එක්වර ක්‍රමයෙන් සම්පූර්ණ කළ යුතුවේ. පූර්ණ වශයෙන් පිරිසුදු බ්‍රහ්ම
චරිය ජීවිතයක් ගත කරන නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාවට කැපවුණු පැවිද්දෙකුට
කඩිනමින් විමුක්තිය සාක්‍ෂාත් කිරීමේ හැකියාව පවතී. එහෙත් සංකීර්ණ
ගිහිජීවිතයක් ගත කරන ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට එවැනි පිළිවෙතක්
කඩිනමින් ක්‍රියාත්මක කිරීම අපහසු වේ. මේ ජීවිතයේ හෝ මතු ජීවිතයකදී හෝ
නිවන් අපේක්‍ෂා කරන බෞද්ධයෙකු විසින් පංචකාම ලෝකයට තිබෙන බැඳීම් ඉවත්කළ
යුතුවේ. මෙම බැදීම් ඉවත්වන තරමටම ඔහු හෝ ඇය විමුක්තියට සමීප වේ. එහෙත්
මෙම ක්‍රියාවලිය සරල එමෙන්ම පහසු එකක් නොවේ. ඒ සඳහා දීර්ඝ කාලීන
පුහුණුවක් අවශ්‍ය වේ. මෙම පුහුණුව ඉහතින් දැක්වූ ත්‍රිවිධ ශික්‍ෂාව මත
පදනම් විය යුතු වේ.
විමුක්තිය පිණිස අවශ්‍ය නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාව පුහුණුවීමේදී ගිහි
ශ්‍රාවක ශ්‍රාවිකා දෙපිරිස කලින් කලට උසස් සීලයක පිහිටා කටයුතු කිරීම
අවශ්‍යවේ. පූර්ණ විමුක්තිය පිණිස කැපවුණු භික්‍ෂුවගේ ශීලය සාකල්‍යයෙන්ම
නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාව හා සම්බන්ධ වේ. එබැවින් උන්වහන්සේගේ ශීලය
විශේෂ වූවකි. ගිහි සමාජය සඳහා අවශ්‍ය නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාව ඉදිරිපත්
කෙරෙන්නේ උපෝසථ සමාදානය යටතේය. අෂ්ඨාංග හෝ දසාංග උපෝෂථ සමාදානය ගිහි
ශ්‍රාවක ශ්‍රාවිකාවන් නෛෂ්ක්‍රම්‍ය ප්‍රතිපදාව සඳහා පුහුණු කෙරෙන
පිළිවෙත වේ. එබැවින් උපෝසථ සමාදානය සිදුවිය යුත්තේ පංචකාම ලෝකයෙන්
මිදීමේ පුහුණුව අරමුණු කරගෙනය.
උපෝසථ සමාදානයේ අරමුණ කවරේදැයි ඒ සඳහා නිර්දේශිත ශික්‍ෂාපද විමර්ශනයෙන්
පැහැදිලි වේ. ගිහියාගේ නිත්‍ය ශීලය වන පංච ශීලය ශික්‍ෂා පද පහකින්
සමන්විත වේ. එම ශික්‍ෂා පද පහෙන් ඉදිරිපත් කෙරෙන්නේ ප්‍රබල අකුසල සහගත
,පාප සහගත, සදාචාර විරෝධි, අපරාධ සංඛ්‍යාවෙහිලා සැළකෙන, සමාජයට හා
පුද්ගලයාට අයහපත පණිස පවතින සාවද්‍ය චර්යාවන්ය. මෙම සාවද්‍ය චර්යා
ශිෂ්ඨ සම්මත ලෝකය මුළුමණින්ම ප්‍රතික්‍ෂේප කරයි. අපායගාමී එම සාවද්‍ය
චර්යාවන්ගෙන් නියත වශයෙන්ම පුද්ගලයා වැළකිය යුතුවේ. මෙනිසා එය නිත්‍ය
ශීලය වශයෙන් දක්වා තිබේ. උපෝසථයට අයත් සෙසු ශික්‍ෂා පද හතර (දසාංග
උපෝසථයට අනුව) පාප ගණයට අයත් නොවේ. එම ශික්‍ෂා පද යටතේ දැක්වෙන කරුණු
අනුගමනය කළේයැයි කිසිවෙක් අපාගත වන්නේ නැත. නමුත් ඒ හා සම්බන්ධ
සිතිවිලි හා ආකල්ප සසර දුක් නිර්මාණය කරමින් පුද්ගලයා තුළ කෙලෙස්
වැඩීමට උපකාරි වේ. එමගින් පුද්ගලයා තවදුරටත් සසර පැවැත්ම හා සම්බන්ධ
කෙරේ. කාමභෝගී ගිහි ජීවිතයක් ගතකරන්නෙකුට මෙම ශික්ෂා පද තුන
නිරන්තරයෙන්ම සමාදන්ව කටයුතු කළ නොහැකිය. එහෙත් විමුක්තිය අපේක්‍ෂා කරන
තැනැත්තා කෙදිනක හෝ මෙම පංචකාම ලෝකය හා සම්බන්ධ බැඳීම්වලින් බැහැර විය
යුතුවේ. විමුක්තිය ප්‍රමාද කෙරෙන සියලු චර්යාවන්ගෙන් වැළකිය යුතුවේ.
මෙසේ කාමභෝගී ගිහි ජීවිතයෙන් මිදී විරාගික ජීවිතයකට අවශ්‍ය මානසික පදනම
සැකසෙන්නෙ මෙම අවසන් ශික්‍ෂාපද අවබෝධයෙන් යුතුව අනුගමනය කිරීමෙන්ය.
එබැවින් එම ශික්‍ෂාපද තුන කාමභෝගී ජීවිතයෙන් සමුගැනීම පිළිබඳ පළමු
පියවර වශයෙන් සැළකීම සුදුසුය. මතු යම් දවසක පූර්ණ නෛෂ්ක්‍රම්‍ය
ප්‍රතිපදාවකට පත්වන තෙක් කලින් කලට එය සිහියට නගාගනිමින් තම ජීවිතයේ
අර්ථය හා යථා ස්වභාවයට හා ගැනීමට උපෝසථයට අයත් අවසන් ශික්‍ෂා පද උපයෝගි
වේ. නෛෂ්ක්‍රම්‍ය ජීවිතයකට අවශ්‍ය පදනම සකස් කරගැනීම උපෝසථ සමාදානයෙහි
ප්‍රධාන අරමුණ වේ.
බුදුරජාණන් වහන්සේ විසින් විශාඛා මහා උපාසිකාවට දේශනා කළ උපෝසථ
සූත්‍රයෙහි ආර්ය උපෝසථයෙහි අරමුණ ඇතුළත්වේ. ඒ අනුව උපෝසථ සමාදානයේ තවත්
එක් ප්‍රධාන අරමුණක් වන්නේ ක්‍රමයෙන් තම සිත පිරිසුදු කෙරෙන
අභ්‍යාසයන්හි නිරතවීමය. බුදුරජාණන් වහන්සේ මෙහිදී සිත පිරිසුදු කෙරෙන
උපක්‍රම වශයෙන් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය,
සීලානුස්සතිය හා දේවතානුස්සති යන අනුස්සති භාවනා නිර්දේශ කරති. සමථ
කර්මස්ථාන වශයෙන් සැළකෙන මෙම නුස්සති භාවනා තුළින් ඇතිවෙන මානසික
පරිවර්තනය එක් භාවනා ක්‍රමයක් පමණක් විමසීමෙන් පැහැදිලි කරගත හැකිවේ.
බුදුගුණ මෙනෙහි කරන්නාගේ සිතෙහි බුදුරජාණන් වහන්සේගේ නවඅරහාදී බුදුගුණ
පදනම් කරගෙන යම් චිත්තප්‍රසාදයක් ඇතිවේ. (චිත්තං පසීදති) චිත්ත
ප්‍රමෝදයක් ඇතිවේ (පාමුජජං උප්පජජති) ඒ සමගම සිතේ යම් උපක්කිලෙසයක්
වෙතොත් ඒවා ක්‍රමයෙන් පහව යයි. බුද්ධානුස්සතිය වැඩීමෙන් ඇතිවෙන කායික
හා මානසික පරිවර්තනය කෙබඳුද? යන්න අංගුත්තර නිකායේ මහානාම සූත්‍රය
කියවීමෙන් වටහාගත හැකිවේ. බුද්ධානුස්සතිය වැඩීමෙන් ආර්ය මාර්ගයේ පළමු
පියවර සම්පූර්ණ කිරීමේ හැකියාව පවතින බව එහි දැක්වේ. විවිධ උපක්‍රම
භාවිතකරමින් තම හිස,ශරීරය හා වස්ත්‍ර පිරිසුදු කරගන්නාක් මෙන් විවිධ
භාවනා උපක්‍රම භාවිත කරමින් සිතේ පවතින කෙලෙස් ධර්ම බැහැර කළ යුතුයැයි
උපෝසථ සූත්‍රයෙන් ඉදිරිපත් කෙරේ. මේ අනුව බෞද්ධ උපෝසථ සමාදානයේ අරමුණ
විය යුත්තේ භාවනාව සඳහා කාලය වැඩි වශයෙන් වෙන් කිරීමයි.
චිත්තපාරිශුද්ධත්ත්වය භාවනාව තුළින් අත්පත් කරගත යුත්තකි. උපෝසථ
සමාදානයේ නිරත වන්නා දවසේ වැඩි කාලයක් වෙන්කළ යුත්තේ සමථ හෝ විපස්සනාව
වැඩීම පිණිසය. භාවනාව යනු නිහඬ පරිසරයක් තුළ කෙරෙන මානසික අභ්‍යාසයකි.
ආරම්භයේදී එයට නිහඬ පරිසරයක් අවශ්‍ය වේ. පුහුණුව ලැබීමෙන් අනතුරුව
සංකීර්ණ පරිසරයක් තුළ වුවද එය වැඩිය හැකිවේ. මේ අනුව පොහෝ දිනයන්හි
විහාරස්ථාන තුළ සිදුකෙරෙන ආගමික පිළිවෙත් තුළ ආමිස පූජාවට වඩා
ප්‍රතිපත්ති පූජාවට වැඩි කාලයක් වෙන් කෙරෙන පරිද්දෙන් සකස් වීම අවශ්‍ය
වේ. උපෝසථ සමාදනයේ තවත් එක් අරමුණක් වන්නේ ශීලයේ පිහිටා චිත්ත සමාධිය
පිණිස භාවනාවේ නිරත වීමයි.
උපෝසථ යන වචනයෙහි මූලික අර්ථය වන්නේ සමීපයෙහි වාසය කරන්නේය යන්නය.
ප්‍රාග් බෞද්ධ යුගයේ මිනිසා පොහොය දිනයෙහි දෙවියන් සමීපයේ වාසය කරන්නේය
යනුවෙන් සළකා අර්ථ උපාවාසයෙහි යෙදෙමින් දෙවියන් උදෙසා පුද පූජා
පවත්වමින් දවස ගත කර තිබේ. බුදුරජාණන් වහන්සේ එවැනි චර්යා බැහැර කොට
ආධ්‍යාත්මික විමුක්තිය පිණිස උපයෝගීවන පිළිවෙතක් ඉදිරිපත් කළහ. ඒ අනුව
බෞද්ධයා තුණුරුවන් සමීපයෙහි වෙසෙමින් රහතන් වහන්සේලා අනුකරණය කරමින්
ශික්‍ෂාපද සමාදානයේ නිරත වේ. උපෝසථ සූත්‍රයෙහි දැක්වෙන පරිදි රහතන්
වහන්සේලා අනුකරණය කිරීම යනුවෙන් අදහස් කෙරෙන්නේ “රහතන් වහන්සේලා
දිවිහිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී සියලු දඩු මුගුරු අවි ආයුධ බැහැර කොට
සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරති. මමද මේ රාත්‍රිය හා
දහවල දෙකෙහිම ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පීව
වාසය කරමි”
යනුවෙන් ගැඹුරින් සළකා ශික්‍ෂාපද සමාදන් වීමයි. සෙසු ශික්‍ෂාපදද
රහතන්වහන්සේලා හා සම්බන්ධකරමින්, උන්වහන්සේලා තම පරමාදර්ශය කරගනිමින්
සමාදන්ව වාසය කළ යුතුවේ. මෙම විවරණයට අනුව පැහැදිලි වන්නේ උපෝස්ථ
සමාදානය ආධ්‍යාත්මික ප්‍රගතිය අරමුණ කරගත් ප්‍රතිපදාවක් බවයි.
උපෝසථ සමාදානය තුළදී ජීවිතය හා ලෝකය පිළිබඳ ගැඹුරු දැක්මක් ඇතිකරගත
යුතු බැවින් සිත තුළ කාමවිතර්ක, ව්‍යාපාද, විතර්ක, විහිංසා විතර්ක,
ඇතිකෙරෙන අකුසල සංඥාවන්ට පදනම් වන දෙතිස් කථාවෙන් වැළකිය යුතුවේ.
පංචකාම ලෝකය හා සම්බන්ධ දෙතිස් කථා ආධ්‍යාත්මික ශාන්තියට බාධක වේ.
ධර්මයෙන් පරිබාහිර දෑ පිළිබඳව කෙරෙන සාකච්ඡා මානසික ඒකාග්‍රතාවට
බාධකයක් වන්නේ එමගින් ගොඩනැගෙන විතර්ක මගින් අභ්‍යන්තර මනසේ යම්
වික්ෂිප්ත බවක් ඇතිකෙරෙන බැවිනි. මෙම පදනම යටතේ උපෝසථ සමාදානයේ යෙදෙන්නා
හැකිතාක් කථාවෙන් වැළකී ආර්ය නිශ්ශබ්දතාව අනුගමනය කළ යුතුවේ. උපෝසථ
සමාදානයේ උපරිම ඵල අත්පත්කරගත හැකිවෙන්නේ ජනාකීර්ණ පරිසරයකින් ඉවත්වී
ජන ශුන්‍ය ස්ථානවල කාලය ගතකිරීමෙන්ය.
උපෝසථ සමාදානය කාමභෝගී ජීවිතයට ලබාදෙන තාවකාලික විරාමයකි. මෙම විරාමය
තුළ සිදුකෙරෙන සියල්ල නෛෂ්ක්‍රම්‍ය පිළිබඳ ප්‍රතිපදාව අර්ථවන්නක් විය
යුතුයි. ආගමික වශයෙන් එම දිනයන්හි සිදුකෙරෙන වැඩසටහන් කාමභෝගී
ගිහිජීවිතයේ ආදීනව පෙන්වන එහි පවතින සංකීර්ණ බව පැහැදිලි කෙරෙන දෑ බවට
පත්වීම අවශ්‍ය වේ. කාමභෝගි ගිහි ජීවිතය වනාහි නිරන්තරයෙන්ම පාපය හා
අකුසලය සහ සම්බන්ධව පවතී. පංචේන්ද්‍රියන්ගෙන් ගලාඑන විවිධ අරමුණුවල යථා
ස්වභාවය වටහා ගැනීමට කාමභෝගි ගිහියාට ශක්තියක් නොමැත. මෙනිසා ඔහු හෝ ඇය
අතින් විවිධ පාප කර්ම අකුශල කර්ම සිදුවීමේ ප්‍රවණතාව වැඩිය. උපෝසථ
සමාදානයේදී සිදුවිය යුත්තේ පංච කාම ලෝකයේ ස්වභාවය වඩාත් ගැඹුරින්
ගිහියාට අවබෝධකරගැනීමට අවස්ථාව උදාකිරීමයි. මෙම පදනම යටතේ වයස් භේදයකින්
තොරව උපෝසථ සමාදානයේ යෙදීම වැදගත් වේ. |