පවිටු මිතුරෝ
දෙලොව යහපත වළකති
කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
මිතුරන් තෝරා ගැනීමේදී
අප පළමුවැනුව ඔවුන් හොඳින්
හඳුනාගත යුතු වේ. මිනිසුන්ගේ
ස්වභාව නිවැරැදිව හඳුනාගැනීමට අපහසු ය. සතුන්ගේ ස්වභාව
ප්‍රකට ය. මේ තත්ත්වය හේතුවෙන් කිසිවකු ඇසුරට තෝරා ගැනීමේ දී නුවණැති
පුද්ගලයකු අනුගමනය කළ යුතු නිවැරැදි පිළිවෙත
විය යුත්තේ එම පුද්ගලයා පිළිබඳ වැටහීමක් ඇතිකර ගැනීමට උත්සාහ කිරීමයි.
දුටු පමණින්,
එක්වරක් දෙකක් කථා කළ පමණින් මිතුරු බවක් ඇතිකර නොගත
යුතු ය. සිහි නුවණින් යුක්තව
මැනැවින් නිරීක්‍ෂණය කොට
නිගමනයට බැසිය යුතු වේ.
පුද්ගලයා උපතින්ම සමාජ සත්වයෙකි. සමාජයෙන් තොරව පුද්ගල පැවැත්මක්
පිළිබඳ සාකච්ඡා කළ නොහැකිය. සමාජය හා පුද්ගලයා අතර පවතින්නේ අන්තර්
සම්බන්ධතාවකි. එහෙත් මේ සමාජ සම්බන්ධතා හිතකර නොවුණහොත් ගිහි වුවද,
පැවිදි වුවද ජීවිතය අසාර්ථක විය හැකිය. ගිහි ජීවිතය සාර්ථක කෙරෙන එම
සමාජ සම්බන්ධතා විවිධ ය.මේ පිළිබඳ පොදුවේ සැලකූ විට මවුපියන්, සහෝදර
සහෝදරියන්,නෑදෑයන්, ගුරුවරුන්, හිතමිතුරන් හා අසල්වැසියන් වශයෙන් වර්ග
කළ හැකි වේ.
මේ එකිනෙක අය සම්බන්ධයෙන් ගත්විට ආශ්‍රයේ සීමාවන් තිබෙන බව අවබෝධ කරගත
යුතුවේ. එම සීමාව විවාහක,අවිවාහක, ළමා, වැඩිහිටි ආදි වශයෙන් වෙනස් වේ.
මෙයින් යම් පමණක ගැටලුකාරි සමාජ සම්බන්ධතා ඇතිවන්නේ මිතුරන් හා
අසල්වැසියන්ගෙන් හෝ එදිනෙදා අපට හමුවන පුද්ගලයන්ගෙන් ය. තම පවුලේ
සාමාජිකයන්, නෑදෑයන් , ගුරුවරුන් හැරෙන කොට අන් අය ඇසුරු කිරීමේදී අප
බෙහෙවින් බුද්ධිමත් විය යුතු වේ. අපට ඇසුරට ලැබෙන සියලු දෙනාම
කල්‍යාණමිත්‍රයන් වශයෙන් පිළිගත නොහැකිය. තමන් ඇසුරු කරන ප්‍රමාණය හා
සීමාව මත ඔවුන්ගේ බලපෑම තීරණය වේ.
හිතකර සමාජ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අවශ්‍ය උපදෙස් සමූහයක් බුදුසමයෙන්
ඉදිරිපත් කරයි. වරක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි ආනන්ද තෙරණුවෝ,මේ
සම්බුදු සසුනෙන් හරි අඩක්ම කල්‍යාණ මිත්‍රතාව මත පවතින්නේ යැයි ප්‍රකාශ
කළහ. මෙයට පිළිතුරු සපයන බුදුරජාණන් වහන්සේ ,අඩක් නොව සමස්ත සසුනම
කල්‍යාණ මිත්‍රතාව මත පවතින බව පැහැදළි කළ සේක. මෙයින් කල්‍යාණ
මිත්‍රතාවේ අගය කොතරම්දැයි පැහැදිලි වේ. බුදුසමය නිරන්තරයෙන්ම අවධාරණය
කරන්නේ සද්පුරුෂ, කල්‍යාණමිත්ත, පණ්ඩිත, උත්තමපුරුෂ ,උසස් (සෙය්‍ය),
සමාන (සදිස) සහ වෘද්ධ (වුද්දා) ගණයට අයත් පුද්ගලයා හා සමඟ කෙරෙන
ඇසුරයි. මෙහි ප්‍රතිවිරුද්ධ අංශය නියෝජනය කෙරෙන අසද්පුරුෂ, පාපමිත්‍ර
,බාල, අධම පුරුෂ, අසමාන පුද්ගලයන් ඇසුරට නොගත යුත්තන්ය. බුදුසමය
‘වෘද්ධ’ යන්න විශේෂ අර්ථයකින් යොදන බව ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දැක්වෙන
‘දහරොවා වුද්දසීලි වුද්දොවා වුද්දසීලි’ පාඨයෙන් පැහැදිලි වේ. ‘දහරොවා
වුද්දසීලි’ යන්නෙන් අදහස් කෙරෙන්නේ තරුණ වුවද ශික්‍ෂණයකින් හා මනා
දැනුමකින් යුක්තය යන්නය. ‘වුද්දොවා වුද්දසීලි’ යනුවෙන් අදහස් කෙරෙන්නේ
වියපත් වුවද ශික්‍ෂණයකින් හා මනා දැනුමකින් යුක්තය යන්නය. මේ අනුව,
බුදුසමය ආශ්‍රය සම්බන්ධයෙන් වැදගත්කොට සලකන්නේ වයස නොව දැනුම උගත්කම ,
හැදියාව සහ ගුණගරුක බව යන වටිනාකම්ය. එවැනි ලක්‍ෂණ සහිත මිතුරෙකු සම
වයසේ හෝ වියපත් අයකු හෝ තමන්ට වඩා වයසින් බාල කෙනෙකුද විය හැකිය.
පුද්ගලයාගේ දියුණුව හෝ පිරිහීම හෝ කෙරෙහි බලපාන එක් ප්‍රධාන සාධකයක්
වන්නේ ඔහු හෝ ඇය ලබන සමාජ ආශ්‍රයයි. එබැවින් හැම විටම සුදුසු ඇසුරක්
ලැබීම වැදගත්වේ. බුදුසමයට අනුව සියලු දෙනාම තමන්ගේ ඇසුරට සුදුසු
පුද්ගලයෝ නොවෙති. ධම්මපදයේ දැක්වෙන පරිදි, අප පවිටු මිතුරන් හා අධම
පුද්ගලයන් ඇසුරෙන් ඉවත්විය යුතුයි. (න භජෙ පාපකෙ මිත්තෙ) ඒ වෙනුවට
කල්‍යාණ මිත්‍රයන් හා උතුම් මිනිසුන් පමණක් ඇසුරු කළ යුතුයි. (භජෙත
මිත්තෙ කල්‍යාණෙ) ඇසුරට සුදුසු අයකු තෝරාගැනීමේදී සලකා බැලිය යුතු
කරුණු රැසක් බුදුදහමින් අපට පෙන්වා දෙනු ලැබේ.
අධ්‍යාත්මික මෙන්ම භෞතික දියුණුව ද අපේක්‍ෂා කරන කවරකුට වුවද කල්‍යාණ
මිත්‍ර ආශ්‍රය අත්‍යවශ්‍ය කරුණකි. බෞද්ධයකුගේ අධ්‍යාත්මික ජීවිතයේ
වැදගත් සන්ධිස්ථානයකි, සෝතාපන්න භාවයට පත්වීම. සතර අපායෙන් මිදුණු,
නියත වශයෙන්ම විමුක්තිය සාක්‍ෂාත් කරන්නකු බවට පත්වීමේ අවස්ථාව වනාහි
අතිශය වැදගත් කරුණකි. මෙම උතුම් තත්ත්වයට පත්වීම උදෙසා කරුණු හතරක්
සංයුත්ත නිකායේ දුතිය සාරිපුත්ත සූත්‍රයේ දැක්වේ. එයින් එක් කරුණක්
වන්නේ සද්පුරුෂ ආශ්‍රයයි. කාමභෝගී ගිහියාගේ මෙලොව අභිවෘද්ධිය පිණිස
කරුණු දක්වන ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි කල්‍යාණමිත්තතාව යටතේ ඉදිරිපත්
කරන්නේ මෙකී ආධ්‍යාත්මික මිතුරකු පිළිබඳ ලක්‍ෂණයි. ඒ අනුව අධ්‍යාත්මික
වශයෙන් ශ්‍රද්ධා (බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැහැදුණු), ශීල (පංචශීලය
ආරක්‍ෂා කරන), චාග (පරිත්‍යාගශීලි), පඤ්ඤා (ජීවිතය හා ලෝකය පිළිබඳ
පරිණත අවබෝධයක් සහිත) යන ගුණාංග සහිත මිතුරකු ඇසුරට තෝරාගත යුතුයි.
එසේම එම මිතුරාගේ වයස පිළිබඳ ගැටලුවක් නොමැත. වයසින් බාල වුවද මෙකී
අධ්‍යාත්මික ගුණයන්ගෙන් ඉහළ මට්ටමක කෙනෙකු විය යුතුය. වයසින් වැඩිමල්
වුවද මෙකී ලක්‍ෂණ නොමැතිනම් ඇසුරු නොකළ යුතුයි.
මෙම අධ්‍යාත්මික මිතුරා තමන් තුළ නැති ශ්‍රද්ධා , ශීල, චාග, පඤ්ඤා යන
ගුණාංග අලුතින් වගාකර ගැනීමටත් දැනට තමන් තුළ තිබෙන එකී අධ්‍යාත්මික
ගුණ තවදුරටත් වර්ධනය කරගැනීමටත් උපකාරි වන්නකු විය යුතුයි.මෙම ලක්‍ෂණ
සහිත කල්‍යාණ මිත්‍රයන් සමඟ පවතින ඇසුර විශේෂ වූවකි. එවැනි කල්‍යාණ
මිතුරන් සමඟ එකට කටයුතු කිරීම (සන්තිට්ඨති), කථා කිරීම (සල්ලපති),
සාකච්ඡා කිරීම (සාකච්ඡං සමාපජ්ජති) විශේෂකොට දැක්වේ. සූත්‍රයෙහි
ඉදිරිපත් කෙරෙන මෙම වචනවලින්ම එය කෙබඳු ආකාරයේ ඇසුරක් ද යන්න පැහැදිලි
වේ. මෙවැනි සදාචාර සම්පන්න මිතුරන් හා නිරන්තරයෙන් සිදු කෙරෙන සාකච්ඡා
අර්ථවත් ඒවා වන්නේ ඔවුන්ගෙන් අපගේ ජීවිතයේ ඉදිරි ගමනට යහපතක්ම සිදුවෙන
බැවිනි.
අධ්‍යාත්මික මිතුරෙකුගේ ස්වභාව නම් තමන් රැකෙමින් අන් අයද ආරක්‍ෂා
කිරීමයි. එවන් සද්පුරුෂ උතුමෙකු තමන් දස අකුසලයෙන් වැළැකී අන් අයද
එයින් මිදවීම පිණිස කටයුතු කරන අයුරු අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ
කම්මපථ වර්ගයේ ඇතුළත් වේ. අධ්‍යාත්මික මිතුරකුගේ විශේෂත්වය වන්නේ භෞතික
දේ මත පදනම් වූ බැඳීමක් නොමැති වීමයි. භෞතික කරුණු මත ගොඩනැඟෙන සමාජ
සම්බන්ධතා මෙන්ම හිතවත්කම් ද කෙටි කලකින් අවසන් විය හැකිය. එහෙත්
අධ්‍යාත්මික මිතුරකු සම්බන්ධයෙන් ගොඩනැඟෙන කල්‍යාණ මිත්‍ර සබඳතාව
සංසාරික ගමනක අවසානය තෙක් වුව පවතින්නකි.එයට හේතුව එවන් බැඳීමක් ලෞකික
අපේක්‍ෂාවලින් කිලිටි වී නොමැති බැවිනි.
එහෙත් අපට එවන් අධ්‍යාත්මිත මිතුරන් සොයා ගැනීම තරමක් දුෂ්කර වේ. එයට
හේතුව එවන් උතුමන් කඩිනමින් සමාජ සම්බන්ධතා ගොඩනඟා ගැනීමේ අපේක්ෂාවෙන්
මිදුණු අය වන බැවිනි. ඔවුන්ට ලෞකික අපේක්‍ෂා නොමැති බැවින් ලෝකයට
අප්‍රමාණව මෛත්‍රිය, කරුණාව දානය කරන අතර තම සේවය අගය කිරීම
සම්බන්ධයෙන් මුදිතාවත්, අගය නොකිරීම සම්බන්ධයෙන් උපේක්‍ෂාවත් ඇතිකර
ගනිති. එවන් මිතුරෝ අට ලෝ දහමින් ප්‍රකම්පිත නොවෙති. ලෞකික හෝ භෞතික
අවශ්‍යතා මඟින් උත්තේජනය කරන ලද පුද්ගලයා කඩිනමින් සමාජ සම්බන්ධතා
ගොඩනඟා ගැනීමේ අරගලයට අවතීර්ණවේ. අධ්‍යාත්මික මඟ පෙන්වීමකට වඩා ඔහුට
ඇත්තේ තම භෞතික අවශ්‍යතා ඉටු කරගැනීමය. එවන් පුද්ගලයෝ තම අවශ්‍යතා
ඉටුකරගත් සැනින් ඉවත්ව යති. ප්‍රතිලාභ නොලැබෙන විටදී අත්හැර දමති. අන්
අයගෙන් ඉටුවිය යුතු යුතුකම ගැන පමණක්ම කථා කරති. මෙවැනි මිත්‍ර
ප්‍රතිරූපකයන් සිව්දෙනකු පිළිබඳ දීර්ඝ විස්තරයක් සිගාලෝවාද සූත්‍රයෙහි
ඇතුළත්වේ. ඔවුන්ගේ ගති ස්වභාවයන් නිවැරැදිව හඳුනාගැනීමෙන් පාප මිත්‍ර
ඇසුරෙන් මිදිය හැකිවේ.
අප ඇසුරු කරන මිතුරන් දෙයාකාරයකින් අපගේ ජීවිතවලට බලපෑම් එල්ල කරයි.
ඉන් එක් කරුණක් වන්නේ, ඍජුවම ඔවුන්ගේ සිතුම් පැතුම් හා හැසිරීම් රටාව
අපගේ ජීවිතවල සාමාන්‍ය පුරුදු බවට පත්වීමයි. නැතහොත් ඔවුන්ගේ චර්යා
රටාවන් අප විසින් අනුගමනය කරනු ලැබීමයි. දෙවැන්න නම් ඔවුන් පිළිබඳ
තිබෙන සමාජ ආකල්පය හා පිළිගැනීම වක්‍රාකාරයෙන් අපගේ ජීවිතවලටද බලපෑම්
කිරීමයි.මේ සම්බන්ධයෙන් හොඳ සහ නරක දෙකම දක්නට ලැබේ. සද්පුරුෂ කල්‍යාණ
මිත්‍රයකුගේ ඇසුර ලැබීම යහපත් ගුණාංග තමන් තුළ වගා කරගැනීමට හේතුවන අතර
එවන් සද්පුරුෂ මිතුරකුට සමාජයේ තිබෙන ගෞරවනීය සැලකිල්ල හේතුවෙන් තමන්ද
සමාජයේ පිළිගත් අයකු බවට පත්වේ. එහෙත් පාප මිත්‍රයකු අපගේ ඇසුරට
යොමුවන්නේ නම් මේ තත්ත්වය වෙනස්වේ. පවිටු ගති ලක්ෂණ අප තුළත් වර්ධනය වන
අතරම සමාජ අවමානයට ලක් වීමටද සිදුවේ. මේ හේතුව නිසා බුදුසමය
නිරන්තරයෙන්ම පවිටු මිතුරන් බැහැර කොට යහපත් මිතුරන් ඇසුරු කිරීම පිණිස
පුද්ගලයා උනන්දු කරවයි.
මිතුරන් තෝරා ගැනීමේදී අප පළමුවැනුව ඔවුන් හොඳින් හඳුනාගත යුතුවේ.
මිනිසුන්ගේ ස්වභාව නිවැරැදිව හඳුනාගැනීමට අපහසුය. සතුන්ගේ ස්වභාව
ප්‍රකටය. එහෙත් මිනිසාගේ ස්වභාව අප්‍රකටය. මේ තත්ත්වය හේතුවෙන් මිනිසා
පහසුවෙන් හඳුනාගත නොහැකිය.
එබැවින් නුවණැති පුද්ගලයකු අනුගමනය කළ යුතු නිවැරැදි පිළිවෙත විය
යුත්තේ ක්‍රමයෙන් මිත්‍රත්වය තහවුරු කරගැනීමයි. දුටු පමණින්, එක්වරක්
දෙකක් කථා කළ පමණින් මිතුරු බවක් ඇතිකර නොගතයුතුය. සිහි නුවණින් යුක්තව
මැනැවින් නිරීක්‍ෂණය කොට නිගමනයට බැසිය යුතුවේ. මේ සඳහා නිවැරැදි
ක්‍රමවේදයක් චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ සහ සත්තජටිල සූත්‍රයේ ඇතුළත් වේ.
කපටි, අවස්ථාවාදී, වංචනික පුද්ගලයන් හා මිතුරුකම් ගොඩනඟාගැනීමෙන්
දුක්ඛදායක තත්ත්වයට පත්වූ පුද්ගලයන් කොතෙකුත් දක්නට ලැබේ.
තාක්‍ෂණය විසින් හඳුන්වාදෙන ලද විවිධ මෙවලම් මඟින් මෙම වංචනික
පුද්ගලයන්ට පහසුවෙන් අන් අය රැවටීමටත් ඔවුන් තමන්ගේ උපක්‍රමවලට හසුකර
ගැනීමටත් අවස්ථාව උදාකර තිබේ. මෙවැනි පරිසරයක් තුළ අප වඩාත්
බුද්ධමත්විය යුතු කාලය එළැඹ තිබේ. වත්මන් තරුණ පරපුර මේ සම්බන්ධයෙන්
වඩාත් සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපනය කඩාකප්පල්කරගත්, ධනය මෙන්ම තම
ආත්මගරුත්වයත්, චරිතයත්, කිලිටිකරගත් බොහෝ දෙනෙකු අද දුකට පත්වී
තිබෙන්නේ මෙකී තාක්‍ෂණික මෙවලම් පිටුපස සිටින මිත්‍ර ප්‍රතිරූපකයන්ට
රැවටීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
ධම්මපද පාලියේ පණ්ඩිත හා බාල වග්ගවල ඇතුළත් ගාථා මගින් පෙන්වා දෙනු
ලබන්නේ අප ඇසුරට ගත යුතු හා නොගතයුතු පුද්ගලයන් පිළිබඳ මනා විවරණයකි.
එහි දැක්වෙන පරිදි, තමන්ගේ වරද දැඩි ලෙස පෙන්වා දෙමින් යහමඟ කියාදෙන
පණ්ඩිතයන් ඇසුරු කළ යුතු අතර එවන් උතුමා නිධානයක් පිළිබඳ තොරතුරු
කියන්නකු ලෙස සැලකිය යුතු බවත් අවධාරණය කෙරේ. එවන් උතුමන්ගේ ඇසුර
ලැබීමෙන් තමන්ද උසස් අයකු බවට පත් වේ. |